Contact us now +61(0) 433 638 610

Articles

අනේ අපි කවදාක …….. ?

Posted in කාලීන,දේශපාලන by on July 3, 2013

mata-weraduna-then

කිසියම් කෙනෙකු හෝ දෙයක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් අප තුළ විවිධ අදහස් හා මතිමතාන්තර ඇති වීමට බලපාන සාධක අභ්‍යන්තර හා බාහිර යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි යැයි අපි සිතමු. අභ්‍යන්තර කරුණු යනු කිසියම් සිදුවීමක් අරඹයා අප විසින් එළැඹෙන උපකල්පන හා කරණු ලබන තර්ක විතර්කයන් ය. බාහිර සාධක යනු අපගේ චින්තනය, හැසිරීම් සහ ආකල්ප කෙරෙහි බලපෑ අපෙන් පරිභාහිර වූ සාධකය. එහෙත් පසුගිය සිදුවීම් හා අවස්ථාවන් ගැන සලකා බැලීමේදී එම අභ්‍යන්තර හා බාහිර සාධක යන ද්විත්වයම නිවැරදි නොවූ අවස්ථා වැඩි බව අපගේ පුද්ගලික අත්දැකීම ය. මීට හේතුව කුමක් විය හැකි ද ?


කාලාම සූත‍්‍රයේදී බුදුහු මෙසේ වදාළ හ. ‘‘යමක් අනුන් කියන නිසා, පරම්පරාවෙන් ආ නිසා, මෙසේ විය හැකියැයි අනුමාන කිරීම නිසා, පොත්පත්වල තිබූ නිසා, තර්කයට එක`ග වන නිසා, න්‍යායට එකඟ නිසා, මේ කරුණු යහපත් යැයි සංකල්පනය කරන නිසා, කලින් බැසගත් දෘෂ්ඨීන්ට එකඟ නිසා, අවවාද දෙන්නා ගුණවතෙකු වූ නිසා, තමාගේ ශ‍්‍රමණයන් වහන්සේ කියන නිසා යන කරුණු දහය හේතුවෙන් ‘විවෘත මානසිකත්වයකින් අවිචාර පූර්වක ලෙස’ කිසිවක් පිළිනොගන්න.’’

ඉහත කරුණු ගැන තව දුරටත් සිතන්නට අප පෙළඹුණේ පසුගියදා අප සහභාගි වූ වැදගත් උත්සවයකින් පසුව ය. එම උත්සවය නම්, ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ අභිනවයෙන් විවෘත කළ කොන්සොල් ජෙනරාල් කාර්යාලය විවෘත කිරීම ය. නියමිත වේලාවට අප එම ස්ථානයට ළඟා වන විට අප දුටුවේ කොටි හිතවාදීන් අතළොස්සක් දෙනා විසින් පවත්වන්නට යෙදුනු විරෝධතාවයකි. සුදු ජාතිකයෙක් විසින් අතේ ගෙන යා හැකි ස්පීකරයක් භාවිතා කරමින් ශී‍්‍ර ලංකාවට එරෙහිව මඩ ප‍්‍රහාර එල්ල කළේ ය. ඔවුන්ගේ මෙම විරෝධතාව ගැනත්, ලංකාවට එරෙහිව එල්ල කරන ලද මඩ ප‍්‍රහාර ගැනත් මුළින්ම අප තුළ ඇති වූයේද දැඩි කෝපයක් සහ නොසන්සුන්තාවක් බව නොකිවමනාය. ඒ මොහොතේ මගේ සිතට නැගුණේ පසුගියදා එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන් හා කී‍්‍රඩකයන්ට කොටි හිතවාදීන්ගෙන් එල්ල වූ අඩම්තේට්ටම් සහ කෙණෙහෙලිකම් ගැන කියැවූ මාධ්‍ය වාර්ථා ය.

ලෝකයේ කිසි තැනක ශී‍්‍ර ලාංකිකයන්ට විශේෂයෙන් සිංහල බෞද්ධයන් හට කිසිවක් කළ නොහැකි තැනට කරුණු කාරණා සකස් වී ඇත්නම් ඊට බලපාන හේතු කුමක් විය හැකි ද ?

  • අසත්‍ය පදනම් වූ කොටි හිතවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රචාරාත්මක යාන්ත‍්‍රණය.
  • විශේෂයෙන් බහුතර සිංහලයන්ගේ නිද්‍රාශීලිත්වය.
  • ශී‍්‍ර ලංකා රජයේ අකාර්යක්ෂමතාව.

ඉහතාකාරයේ චෝදනා එල්ල කළ හැකි විවිධ තර්ක විතර්කයන් සිතට නැගී එද්දී අපි එම කොටි හිතවාදීන් පිරිස හොඳින් නිරීක්ෂණය කළෙමු. එතැන සිටියේ ලංකාවෙන් පැමිණියා යැයි සිතිය හැකි තිදෙනෙක් නැතිනම් වැඩිම වුණොත් සිව් දෙනෙක් පමණි. ඔවුන් අතරිනුත් විරෝධතාව සහ පිරිස මෙහෙයවීමට සිටියේ එක් අයෙක් පමණි. ඒ හැර එතැන සිටි අනෙක් පිරිස වූයේ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් යැයි සිතිය හැකි තවත් දෙදෙනෙකි. විරෝධතාවට සහභාගී වූ අයට වඩා වැඩි දමිළ ජාතික පිරිසක් උත්සවයට සහභාගිවූවන් අතර දුටු විට අපට දැනුණේ බලවත් සතුටකි. එසේම එම උත්සවයට දෙමළ ජාතික වැඩි පිරිසක් සහභාගි කර ගැනීමට මාධ්‍යවේදී විජය වික‍්‍රම කරුණාසේන මහතා උනන්දු වී තිබුණු බවද පසුව දැනගන්නට ලැබුණි.

කෙසේ හෝ ඒ අවස්ථාවේදී එතැනට පැමිණි ඕස්ටේ‍්‍රලියානු පොලිස් නිළධාරීන් මෙම කොටි හිතවාදීන් සමග සුහඳව කතා බහක නියැලී සිටි බව දුටු කල්හි අපට සිතුණේ ඇතැම් ශී‍්‍ර ලාංකික මාධ්‍ය වල දැක්වෙන පරිදි බටහිර රටවල් ත‍්‍රස්තවාදයට උල්පන්දම් දෙන බව මෙහිදීත් සනාථ වන බවය. මෙතැනදීත් කොටි හිතවාදීන් උත්සාහ දැරුවේ කිසියම් ආකාරයක ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කරගැනීම බව නම් සක්සුදක් සේ පැහැදිළි විය. යම් විදියකින් එබඳු දෙයක් සිදු වූවා නම් ඒ හරහා ඔවුන්ට ලැබෙන ප‍්‍රචාරය සැබැවින්ම ඔවුන්ට ආශිර්වාදයක් විය හැකිව නොතිබුණි ද ? මේ බැව් වටහා ගත් කිසිවෙකු හෝ ඇතැම් විට ඕස්ටේ‍්‍රලියානු පෙඩරල් පොලිසිය විසින් එදින උත්සවයට ශී‍්‍ර ලංකාවෙන් පැමිණි මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු පිරිස වෙනත් මාර්ගයකින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබිණි. ගොඩනැගිල්ල ඉදිරියේ කිරීමට නියමිතව තිබුණු පිළිගැනීමේ උත්සවය ක්ෂණයකින් ගොඩනැගිල්ල ඇතුළතදී සිදු වීමත් සමගම උත්සවය ඇරඹී මද වේලාවකින් බලාපොරොත්තු කඩ වූ කොටි හිතවාදීහු තම නාමපුවරු හා බැනර් අකුළාගෙන එතැනින් පිටව ගියහ. එය දුටු අපගේ මුවගට මුලින්ම නැගුණේ නරුම උපහාසාත්මක සිනහවකි.

දැන් මේ සිදුවීම මට වැරදුණු තැන් කොලමට අඩංගු කිරීමට තරම් තුඩු දුන් කරුණු මොනවාද යන පේ‍්‍රහේළිකාව විසඳමු.

මාධ්‍ය යනු අපෙන් බාහිර දෙයකි. එහෙත් සැබෑ මාධ්‍යක වගකීම ප‍්‍රශ්න කිරීම මිස ප‍්‍රශ්න විසඳීම විය හැකි ද ? එංගලන්තයේ, ලංකාවේ හෝ කැනඩාවේ සිදු වූ දේවල් අනුසාරයෙන් අපි මෙල්බර්න් නුවර ජීවත් වන දෙමළ ජනතාව ගැන තීරණය කිරීම කොතෙක් දුරට නිවැරදි ද ? මෙල්බර්න් යනු ලංකාවෙන් පිටත වැඩිම ශී‍්‍ර ලාංකිකයන් (සිංහල හා දෙමළ) පිරිසක් ජීවත් වන නගරයයි. අතිවිශාල ශී‍්‍ර ලාංකික දෙමළ ජනතාවක් අතුරින් මෙම විරෝධතාවයට පැමිණ සිටියේ දෙතුන් දෙනෙක් පමණි. මෙම පිරිස දුටු පමණින් අපට සමස්ත දෙමළ විරෝධයක් ඇතිවීම සාධාරණ නම්, මෙවැනි විරෝධතාවයකට සහභාගි නොවූ දස දහස් ගණනක් දමිළ ජනතාව වෙනුවෙන් අපි කෘතඥ විය යුත්තේ කෙළෙස ද ?
ඕස්ටේ‍්‍රලියානු පොලිස් නිළධාරීන් විරෝධතා කරුවන් හා සතුටු සාමිචියේ යෙදුණේ කිසියම්ම හෝ ගැටුමක් ඇතිවීම වැළක්වීම පිණිස තම උපාය – එනම් වෙනත් මගකින් උත්සවයට ආරාධිතයන් ගෙන ඒමට විය නොහැකි ද ? පොලිස් නිළධාරින් හා කොටි හිතවාදීන් අතර එබඳු සතුටු සාමීච්යක් ඇතිවීම ගැන අප කියවා හෝ අසා තිබූ ශී‍්‍ර ලාංකික මාධ්‍ය වල දෘෂ්ඨියෙන් බලා කටයුතු කිරීම කොතෙක් දුරට සාධාරණ ද ? දියුණු රටවල දියුණුව ඇත්තේ බාහිර පරිසරයේ හෝ ඒක පුද්ගල ආදායමේ නොව එක් එක් අවස්ථාවන්හිදී ගනු ලබන නිවැරදි තීරණ මත නොවේ ද ? ආවේග වලින් මඬනා ලද කල්හි අප හැසිරෙන්නේ වගකීම් රහිතව ය. අපට සිතෙන පරිදි පාලකයන් සහ නායකයන් මානව හැ`ගීම් සහ ප‍්‍රතිචාරයන්ගේ මනෝ විද්‍යාත්මක පක්ෂය වටහා ගත්තා නම්, අතීතයේ ඇතිව වර්තමානයේ තවමත් පවතින ප‍්‍රශ්න අනාගතය කරා ඔසවා ගෙන යාම වැළැක්වීමට තරම් සම්පප‍්‍රයෝගී වනු නොඅනුමාන ය.

අවසාන වශයෙන් කිව යුත්තේ බලාපොරොත්තු කඩ වූ කොටි හිතවාදීන් කෙරෙහි අප මුවගට නැගුණු නරුම උපහාසාත්මක සිනහව ගැනය. බොහෝ සංවිධානගත හා අනෙකුත් වමේ සහ දකුණේ පක්ෂ විපක්ෂ දේශපාලනික කි‍්‍රයාකාරීහු මෙන්ම මෙම කොටි කි‍්‍රයාකාරීහුද අනුකම්පාවට බඳුන් විය යුතු සැබෑ අසරණයෝ ය. අප අනුකම්පා කළ යුත්තේ බුදුහු කලාම සූත‍්‍රයේදී වදාළ ඉහත දැක්වෙන කරුණු කාරණා ගැන දැනුම් තේරුම් ගත නොහැකි තරමට අන්ධානුකරණය වූ එම හිතවාදීන් ගැන පමණක්මද ? මාද ඒ ගොඩටම අයත් වූ කෙනෙක් නොවිණි ද ? ඔවුන්ගේ පරාජය දෙස බලා මගේ මුවගට නැගි උපහාසාත්මක සිනහව කෙතරම් අමානුෂික ද ?

උත්සවය අවසානයේදී පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් මහතාගෙන් අපි ප‍්‍රශ්නයක් නැගුවෙමු. ඒ ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට රජයක් හැටියට ගන්නා උත්සාහය කුමක්ද ? යන්න ය. පිළිතුරු වශයෙන් අපට ලැබුණේ ආර්ථික සංවර්ධනය පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු සමූහයකි. ඒ නිසාම අප එහිදී කල්පනා කළේ ඉළක්කම් වලින් සහ කුප‍්‍රකට සර්වාගමික ආච්චාරුවලින් ඔබ්බට ගොස් ජාතීන් අතර සුහඳතාව වර්ධනය කිරීමට අඩුතරමින් ඔබටත් මටත් කළ හැක්කේ කුමක් ද යන කාරණය ගැන ය. ජාති ආගම් භේදයකින් තොරව අපි ශී‍්‍ර ලාංකික යැයි උදම් ඇනිය හැකි කිසියම් දිනක ඔවුහු 13 ව්‍යවස්ථා සංශෝධනය දුන්නත් එපා කියනු නොඅනුමාන ය.

උත්සවය අවසානයේ මම සෙමෙන් සෙමෙන් ට‍්‍රෑම් රථයකට ගොඩ වන්නට පදික වේදිකාව දිගේ පිය මැන්නෙමි. මීටර් සියයක් එන්නට මත්තෙන් අප දුටුවේ තුර්කියේ නිදහස පතා ‘මෙල්බර්න් තුර්කි වේදිකාව’ නම් සංවිධානය විසින් තුර්කි රජයට එරෙහිව පවත්වන්ට යෙදුනු විරෝධතාවයකි. එම විරෝධතා ව්‍යාපාරයට සිය ගණනක් දෙනා සහභාගී වී සිටිය හ. මම මදකට නැවතී ඔවුන් දෙස බලා සිටියෙමි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>