Contact us now +61(0) 433 638 610

Articles

අප‍්‍රකට සිංහල වීරවරියෝ

Posted in සාහිත්‍ය by on February 6, 2013

රට කුඩා වුවද වසර දහස් ගණනාවක් පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන්නට තරම් ශී‍්‍ර ලාංකිකයෝ පොහොසත් වෙති. ඉතිහාසය පුරාවටම ඇත්තේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ගැන ලියැවුන කතාන්තරය. ජාතියේ හිතසුව පිණිස තම දිවි දෙවැනි කොට කටයුතු කළ අභීත විරුවන් ගැන අදටත් අප කතා කරන්නේ ආඩම්බරය මුසු වූ හැගීමකිනි. එසේ වීරයන් ගැන කතා කළද අපේ ගෞරවාදරයට පාත‍්‍ර විය යුතු වීරවරියන්ද බොහෝ ගණනක් ශී‍්‍ර ලාංකික වංශයට උරුම වී ඇත. නමුත් මේ වීර චරිත කෙරෙහි සැලකිය යුතු අවධානයක් මෙතෙක් යොමුව ඇති බවක් පෙනෙන්නට නැත.

කෙසේ වෙතත් අපේ මේ අප‍්‍රකට වීරවරියන්ගේ චරිත අතරින් ප‍්‍රමුඛ තැන්හි ලා සැලකිය හැකි චරිතයකි දේවසාරා කුමරියගේ චරිතය. චීනයේ භික්ෂුණී සාසනය පිහිට වූ දේවසාරා සිංහල කාන්තාවකි. ඇය ක‍්‍රි.ව. 410 – 432 කාලයේ අනුරපුරයේ රජ කළ මහානාම රජුගේ ඥාති දියණියකි. ඒ බුදු සමයත්, සසුනත් දියුණුව පැවති වකවානුවකි.

චීන දේශාඨක පාහියන් තුමා ලංකාවට වැඩියේද මේ කාලයේදීය. බෞද්ධ පොත් පත් පිටපත් කරමින් උන්වහන්සේ දෙවසරක් පමණ ලංකාවේ සිටියහ. මේ කාලයේ ලංකාව හා චීනය අතර සංවර්ධිත වෙළද කටයුතු සබඳතාවක්ද තිබුණි. චීනයේ මෙහෙණි සස්න පිහිටවූ දේවසාරා භික්ෂුණිය ගැන සදහන් වන්නේ චීන වාර්තාවලය. මෙය පෙරදිග රටක් හා ඇති වුන ප‍්‍රථම සිංහල බෞද්ධ දූත මෙහෙවරය. ඇය ක‍්‍රි.ව 429 – 433 අතර කාලසීමාවේදී චීනයට ගිය මේ බෞද්ධ පිරිසේ නායිකාවද වූවාය. ඇතැම් විට මේ දූත මෙහෙවර පාහියන් හිමියන්ගේ ආරාධනාවක් අනුව සිදුවු දෙයක්ද විය හැකිය. වාර්තාගත කරුණු අනුව මෙය දෙවසරකින් සම්පූර්ණ වූ උදාර ශාසන සේවයකි. මෙහි වටිනාකම වඩාත්ම වැඩි වන්නේ අද වනතුරුත් භික්ෂුනී සාසනය නොනැසී පවතින එකම රට චීනය වන නිසාවෙනි. තම ජිවිතය හා මරණය අතර තියුණු සටනක යෙදෙමින් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ගොස් එවැනි අනුස්මරණීය සේවාවක් කළල දේවසාරා ලංකා වනිතාවට හැමදාමත් ආඩම්බරයෙන් කතා කළ හැකි වීර මාතාවකි.

දෙවැනි රාජසිංහ රජුගේ කාලයේදී සතර කෝරළය කරවු ලක්දිව එකම දිසාපති තුමිය ඒදඩුවාවේ දිසාපතිනිය ලෙස හැදින්විය හැකිය. ඇයද ‍ඓතිසාහික වීරවරියකි. ඇය ගැනද ජනප‍්‍රවාදයන්හි සදහන්වේ.

ඒදඩුවාව වැව් ගමකි. එගම ආරම්භකයා ලෙස සැලකෙන්නේ විමලදහම් රජුගෙන් ගම්වරය ලද නිළමේ කෙනෙකි. ඔහු මාරලියේ පණික්කිරාළ නමින් ප‍්‍රසිද්ධව සිටි දක්ෂ අංගම්පොර ශූරයකු බව කියැවේ. අංගම් පොර යනු මාරාන්තික සටන් කලාවකි. එකල රාජ නියෝගයකට අනුව මාරලියේ පණික්කිරාළ හා සුදලිගේ පණික්කිරාළ අතර බිහිසුණු අංගම් පොරයක් පැවතියේය. පොර වදින්නට පෙර මාරලියේ පණික්කිරාළ තමන්ගේ ගැබ්බර බිරිය අමතා මෙවර උපදින දරුවා කවුරුන් හෝ වේවා ඔහුට හෝ ඇයට අංගම් සටන් ක‍්‍රමය පුහුණු කරවන මෙන් කීවේ තම මරණය ස්ථිර බැව් සිහියේ තබා ගනිමිනි.

සටන ඇරඹුණු අතර මාරලියේ පණික්කිරාළ මරුමුවට පත්විය. ටික දිනකට පසුව ඔහුගේ බිරිද දියණියක ලැබුවාය. තම සැමියාගේ ඉල්ලීම පරිදි අවුරුදු දොළහේදී තමන්ගේ දියණියට කඩු හරඹ පුහුණු කරන්නට ඇය වගබලා ගත්තාය. වයස අවුරුදු දහසයේදී ඇය දක්ෂ අංගම් ශිල්පීන්ගෙන් පුහුණුව ලබා අති දක්ෂ අංගම්කාරියක වූවාය.

මෙසේ කාලයාගේ ඇවෑමෙන් තමන්ගේ පියා මැරූ සුදලිගේ පණික්කි පරපුරෙන් පළි ගැනීමේ වරම ඇය ලබා ගත්තාය. රජ පිරිස ඉදිරියේ හැඩි දැඩි සුදලිගේ පුරුෂයකු සමග ඇය සටන් කළාය. බඹ සතක් ගැඹුරු වලක් තුළ පැය ගණනාවක් තිස්සේ කෙරුණු මේ ද්වන්ධ සටනින් ජය ලැබුවේ පිරිමි වෙසින් සිටි මාරලියේ දියණිය ය.

ජයග‍්‍රහණය පිළිබද පුවත විශ්මයෙන් යුතුව අසා සිටි රජු මේ පුංචි මැණිකේට ඇතුන් පස් දෙනෙක් ද, ඒදඩුවාවේ විසීමට අවසරද ඇතිව සතර කෝරළයේ මහ දිසාවේ තනතුරද පිරිනැමුවේය. මේ ගැන සදහන් ජනකවියක කොටසකි මේ….

තෙදවත් සිරි රජසිහ නිරිදුන්ගෙන්
දිගුපති මහ පදවිය ලැබුවයි
කතකත් පෙරදා ඒදඩුවාවේ
අංගම් කොටලා ජය ගත්තයි

ඇගේ පරපුරෙන් පැවත ආ තවත් වීරවරයින් කිහිප දෙනෙකුම ඉංග‍්‍රීසි යුගයේදී මහ සමත්කම් දැක්වූ බව කියති. මෙම දිසාපතිනිය ගැන 1605 දී ස්පිල් බර්ජන් ලියූ සටහනක දැක්වෙන බව ආනන්ද කුමාරස්වාමී මහතා (මධ්‍ය කාලීන සිංහල කලා – 2 පරි, 39 පිට) දක්වයි.

මෙබදුම තවත් අප‍්‍රකට සිංහල ගැමි වීරවරියකි දෙගල්දෝරුවේ මියනදෙනියේ ලේකමගේ දියණිය. ලංකාව යටත් විජිතයක්ව පැවති කාලයේදී ඔවුන්ගේ පාලනය ආරම්භයේදී ගෙන්වා සිටි ඉංග‍්‍රීසි හමුදාවේ සිටි ජා සෙබලූන් පිරිසක් ඉහත සදහන් කරන ලද ලේකමගේ ගෙය කොල්ලකෑම පිණිස ගියහ. දෙගල්දොරුවේ ලේකම ශ‍්‍රී වික‍්‍රම රජුගේ හිතවත් සේවකයෙකු වූ බැවින් ඉංග‍්‍රීසි භටයන්ට අසු නොවී පැන ගිය රජු මෙහි සැඟව සිටි බවද කියනු ලැබේ.

ජා සෙබලූන් එහි ගියේ රජු ඇල්ලීම සදහාය. නමුත් ඔවුන්ගේ ඉලක්කය වැරදුනි. මියනදෙණියේ ලේකමගේ තරුණ දියණිය විසින් රජු තම කරින් ගෙන ගොස් වෙනත් ආරක්ෂිත තැනක සඟවා තැබුවාය. ඉලක්කය වැරදුන බැවින් භටයන් ගේ කොල්ල කන්නට විය. ලේකමද ඔවුන් සමඟ හැකි ආකාරයෙන් සටන් කළේය. නමුත් ලේකමට විශාල ලෙස තුවාල කරන්නට තරම් භටයෝ සැහැසි වූහ. රජු සඟවා නැවත ගෙට එනවිට දියණිය දුටුවේ තමන්ගේ පියානන් මරණාසන්නව සිටින ආකාරයයි. දියණිය බෙහෙවින් කෝප විය. අසල වැටී තිබූ තම පියාගේ කඩුපත අතට ගත් ලේකමගේ දියණිය නැවතුනේ ජා සෙබලූන් සිව් දෙනෙකු බිම හෙලීමෙන් පසුවය.

ලේකම් තැන තමන්ගේ බූදලය තම එකම දියණියට හිමි කොට දී දෙනෙත් පියා ගත්තේය. පසුව ඔහුගේ දියණිය යුධ අධිකරණය ඉදිරියේ දී ඇත්ත හෙළි කොට තම ගේ කොල්ල කෑ ජා භටයින් සියළු දෙනාටම දඩුවම් ලබා දුන් බවත් මේ වීර බව නිසාම ඇයට සුදු අධිපතින් විසින් ගම්වරයක් ප‍්‍රදානය කළ බවත් කියැවේ.

මෙවැනි අප‍්‍රකට වීර චරිත අප අතර තවත් ඇත. ප‍්‍රකට චරිත ඇසුරින් අප බොහෝ දේ දැනගන්නා නමුත් මෙවන් අප‍්‍රකට චරිත ගැන දන්නා අය සිටින්නේ අතලොස්සකි. ඒවා සමාජ යහපත උදෙසා හෙළි කළ යුතුව ඇත. එය නිදහස සමරන දිනෙකදී කළ යුතුම වූ දෙයකි.

(පැරණි ලිපි කිහිපයකින් කරුණු සොයා ගන්නා ලදී)

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>