Contact us now +61(0) 433 638 610

Articles

අලි කලබල

Posted in Nature by on August 11, 2015

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි

ශ්‍රී ලංකාවේ මේ දිනවල අලි කලබල. ඒත් මෙහෙම අලි කලබල කියලා සඳහන් කළේ දේශපාලන පක‍ෂ ලාංඡන ගැන හිතලා නෙමෙයි. ලොකු කලබැගෑනියක් තියනකොට සාමාන්‍ය ජන ව්‍යවහාරයේ කියන්න් අලි කලබල කියලයි. කොහොම උනත් දේශපාලනය නිසා මේ දිනවල අලි කලබල තමයි.

පසුගිය ‘කැඩපත’ සඟරාවේ සඳහන් වුන අලි පරපුර ගැනත්, සාමාන්‍ය ජනතාව සහ කැලෑ අලි ඇතුන් අතර ඇතිවන ගැටුම් ආරවුල් ගැනත් ‘හක්ක පටස්’ බෝම්බය ගැනත් කියෙව්වාම තමයි මේ අලිකලබල මගේ මතකයට ආවේ. කැලෑ ගම්මානවල ලූණු හට්ටියටත්, හේන්වල ඵලදාවටත් වහ වැටුනු වල් අලි ගම්මානවලට කඩා වදිනවා. සොබාව ධර්මයත් එක්ක ගමන් කරනකොට සොබාව ධර්මය අපිට පෙරලලා අපිට දෙන පහර නම් ඉතාමත්ම දරුණුයි.

“එදා තමා මහ වැස්ස. වැස්ස පමණක් නම් මදෑ…” ආදී වශයෙන් ආරම්භ වුනු කුමාරතුංග ශූරීන්ගේ “හීන් සැරය” පොත් පිංච අපි මොන තරම් වාර ගණනක් කියවන්නට ඇති ද?

අලියාට පාඩමක් උගන්වන්නට හිතාගත්තු කටුස්සා අලියාගේ නහය දිගේ ගිහින් අලි හෙම්බිරිස්සාව බෝ කළ ආකාරය අපිට තාමත් මතකයි. මේ කතාව කියෙව්වට පස්සෙ පුංචි කාලේ මා ජීවත් වූ මහ පයාගල ගාලූ පාර දිගේ අලි ගමන් කරනා විට කඩුල්ල ළඟට ගිහින් “අලියගේ නහයේ කටුස්සා” කියලා අලියට ඇහෙන්න කෑ ගහනවා. ඌ අපිව තඹ සතේකට ගණන් ගන්නේ නෑ. එහෙම කෑ ගහන්නේ අලියාට හෙම්බිරිස්සාව හදන්න හිතාගෙන.
අලි ඇතුන්ටත් පුංචි දරුවන්ටත් එක මොහොතක් දඟලන්නේ නැතුව ඉන්න බෑ කියන කතාව නම් ඇත්ත. තමුන්ගේ ඇගේ නිපදවන අමතර ශක්තිය පිටකර ගන්න ඕන උනාම අලියා ඔළුව එහාට මෙහාට වන වනා කරකනවා.
මුල්ම අලි කලබලය මගේ මතකයට ආවේ මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ පෙරහැරක ඇති වූ අලි කුලප්පුවයි. 1956 ශ්‍රී දළදා පෙරහැර වීථී සංචාරය කරනා වෙලාවේ පන්දම් කරුවෙකු ගෙන ගිය කොප්පරා ලාම්පුවක ගිනි අඟුරු පෑගීමෙන් එක් පරිවාර ඇතෙක් මහා කලබලයක් ඇතිකළා. බොහෝ දෙනෙකු තුවාල ලබා අතපය පවා කඩා ගත්තේ පණ බේරාග-න්නට දුවන්නට ගිහින්. ඒත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ රාජා – තමා තමාගේ පිට උඩ ගෙනයන්නේ කුමක්දැයි අවබෝධ කරගන්නට ඇති. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකළ රාජා දලදා කරඩුවත් යහතින් රැකගෙන දලදා මාලිගාවේ දොරටුව ළඟට ගොස් නතර වී තිබුණා. ලෝකයේ සිටි පින්වන්තම සත්වයා මාලිගාවේ ඇතා කියලා මට හිතෙනවා. ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ජිවමාන බුදු රජුන් තම සිරුර මත තබාගෙන මේ තරම් දුරක් යන්නට වාසනාව ලැඛෙන්නේ වෙන කාට ද?

පිළියන්දල ධර්ම ශ්‍රාස්ත්‍රෝදය පිරිවෙන් විහරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහැර පවත්වන කාලයේ තවත් අලි කලබලයක් සිදුවුනා. මිහිඳු පෙරහැරේ ගමන් කරන්නට ගෙන එන අලි ඇතුන් පන්සල් වත්තේ තැනින් තැන බැඳ තබන්නට කලින් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය රාහුල හිමියන්ට වැඳ ආචාර කිරිම සිරිතක්. එසේ වැඳ ආචාර කරනා අලි ඇතුන්ට කෙසෙල් ඇවරියක්, අඹ ගෙඩියක්, පැපොල් ගෙඩියක් වැනි දෙයක් කෑමට දීම රාහුල හිමියන්ගේ සිරිතක්. මේ පෙරහැරට මටත් කරන්නට බොහෝ රාජකාරි තිබුණා. එදා අපි පන්සල් වත්තේ වැඩ කරමින් උන්නේ. එක් ඇතෙකු රාහුල හිමියන්ට ආචාර කරන්නට ආවාස ගෙයි දොර අසලට ගෙනාවා. රාහුල හිමියන් කෙසෙල් ඇවරියක් ගෙනවුත් ඇතාගේ හොඩයට දුන්නත් අවාසනාවට ඌ අතින් කෙසෙල් ඇවරිය බිමට වැටුනා. මේ කෙසෙල් ඇවරිය අහුලා යළිත් ඇතාට දීමට රාහුල හිමියන් පහත් වුණා. ඇතා ද මේ වනවිට තම හො~යෙන් තමාගේ ආහාරය සොයමින් උන්නා. තමාට අයිති ආහාරය වෙනත් කෙනෙකු ගන්නට උත්සාහ දරනවා යැයි ඇතාට සිතෙන්නට ඇති. ඇතා තම හොඩයෙන් රාහුල හිමියන්ව තල්ලූ කළා. ඇතා නම් දාන්නට ඇත්තේ ඉතාමත්ම පුංචි තල්ලූවක්. රාහුල හිමිය් පිටුපසට විසිවී ගොස් කොන්ක්‍රීට් වහලය දරා සිටින බිත්තියට හේත්තු වුණා. තමාගේ ආහාරය ගන්නට යළිත් වරක් රාහුල හිමියන් ඉදිරියට එතැයි ඇතා සිතන්නට ඇති. කොන්ක්‍රීට් වහලයෙන් පහත් වී ඉදිරියට ආ ඇතා තම හිසෙන් රාහුල හිමියන්ව බිත්තියට හේත්තු කොට තෙරපුවා.

අපිට කරන්නට කිසිම දෙයක් නෑ. එතන උන් සියල්ලන්ම මහ හඬින් කෑ ගැසුවා. දෙවන වර හිමියන්ට තම දලින් අනින්නට සිතා ඇතා හිස ඔසවත්ම උගේ හිස කොන්ක්‍රීට් වහලයේ වැදුනා. මේ පහර නම් ඇතාට මහා වේදනාවක් දැනෙන්නට ඇති. කවුරුන් හෝ මහා ටොක්කක් ඇන්නා යැයි සිතන්නට ඇති. ඇත් ගොව්වාත් පැන ගිහින්. කොන්ක්‍රීට් වහලයේ හිස වැදුනු වේදනාව උහුලා ගන්නට නොහැකිව ඇතා පිටුපසට ගොස් යලිත් වරක් උත්සාහ කළේ රාහුල හිමියන්ට පහර දෙන්නට. ඒත් මේ වනවිට රාහුල හිමියන් ආවාස ගේ තුළට ඇදී ගොස් තිබුණා. කොන්ක්‍රීට් වහලයෙන් වැදුනු ටොක්ක මතක් වීමෙන් දෝ ඇතා මෙල්ල වී අනිත් ඇතුන් බැඳ තිබූ පන්සල් වත්ත දෙසට ගමන් කළා.
මේ සිදුවීමෙන් රාහුල හිමියන්ගේ ඉල ඇට ගණනාවක් බිඳි තිබුණා. මාස කිපයක් ආරෝග්‍ය ශාලාවේ ඉන්නටත් උන්වහන්සේට සිදුවුනා.

යම් දිනක ඔබටත් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය විහාරස්ථානයට යන්නට හැකිවුනොත් මේ සිදුවීම අදටත් නරඹන්නට පුළුවනි. සිද්ධිය සිදුවූ තැන බිත්තියේ මේ සිදුවීමේ රූපයක් අඹා තිඛෙනවා. ඇතාගේ හිස වැදීමෙන් පිපුරුනු කොන්ක්‍රීට් වහලය තවමත් එහෙමමයි.

බණ්ඩාරගම පැත්තේ ජීවත් වූ එක් ඇතෙකු ප්‍රසිද්ධව සිටියේ මිනීමරු ඇතෙකු ලෙසයි. තමා බලා ගන්නා ඇත්ගොව්වන් කීපදෙනෙකු සමග සාමාන්‍ය මිනිසුන් කීපදෙනෙකුම මරා දැමූ නිසා මේ මිනීමරු නාමය ඌට ලැබුණා.

මා දන්නා කාලයේ දී එක් ඇත් ගොව්වෙකු මේ ඇතා බලා ගත්තා. රාජකාරී අවසන් වූ හැන්දෑවේ ගම්මන්පිල වැවට බැස පොල් ලෙල්ලකින් හොඳින් ඇඟපත අතුල්ලා ඇතාව නාවා තමාද දිය නා ගැනීම මේ ඇත්ගොව්වාගේ සිරිතක්. ඉන්පසුව දෙදෙනාම අසල පොල් අතු කඩයක් ළඟ නතර වෙනවා. අසල පොල් ගසක ඇතාව බැඳ තබන ඇත්ගොව්වා කඩයට යන්නේ රා කට්ටක් බොන්නටයි. ඇති පදම් රා බී වෙරි වූ පසු මේ ඇත්ගොව්වා තම හොඩය මත පටලා නිවසට ගෙන යන්නේ ඇතා විසින්. අකුලා ගත් හොඩය මත වාඩිවී හොඩය බදාගෙන ඇත්ගොව්වා ගමන් කරන්නේ මහත් ආඩම්බරයෙන්. ඒත් එක දවසක් ඇත්ගොව්වාට වැරදුනා. කඩයෙන් රා බී තමා මේ යන්නේ මද කිපුනු තම සතා ළඟට යැයි ඔහු දැන සිටියේ නෑ. සිදුවූ දෙය කියන්නට අවශ්‍ය නැහැ නේද ?

මද කිපුනු මිනීමරු ඇතා ළඟට යන්නට කිසිවෙකුට බැහැ. ඇතා දින කීපයක් තම පාලකයාගේ මල සිරුර මුර කළා. කුණු වූ මළ සිරුරට මැස්සන් එනවිට පොල් අතු අගිස්සක් හොඩයෙන් එහා මෙහා වනමින් මැස්සන් ද පලවා හැරියා. මේ සිදුවීම දුටු අය පවසන්නේ ඇතාගේ ඇස්වලින් කඳුළු ගැලු බවයි.

එච් ඩී ප්‍රේමරත්න මහතා අධ්‍යක‍ෂණය කළ, දයා විමලවිරයන් කැමරාකරණය කළ “පර සතුරෝ” පුළුල් තිර සිනමා පටයේ සහය අධ්‍යක‍ෂවරයා ලෙස මා කටයුතු කළා. මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වු දෙවන පුළුල් තිර නිර්මාණයයි. (මුල් නිර්මාණය ‘වැලි කතර’) වන සතුන් ගේ දර්ශන සිනමා පුස්තකාලවලින් ලබාගැනීම සාමාන්‍ය සිරිතක්. ඒත් මෙය “පුළුල් තිර” නිර්මාණයක් වීම නිසා ඒ වනවිට පුළුල් තිර වනගත දර්ශන තිබුණේ නෑ. වන සතුන්ගේ දර්ශන රූ ගත කිරීමට ‘කුමන’ විල්ලූවට යෑමට අපට සිදුවුණා. කුමන විල්ලූවේ මෙම චිත්‍රපටියේ නිෂ්පාදකවරයාගේ සංචාරක බංගලාවක් තිබීම එසේ යෑමට හේතුවක් වුණා.

හැම හැන්දෑවකම ඉර බහින කොට අලි ඇතුන් දෙසීයක් තුන්සීයක් ඛෙරු කන්නට වැවට බසිනවා. ඒ ඛෙරු නමින් වැවෙන් මතුවන පැලෑටියක් අලි ඇතුන්ගේ අතුරු පස වූ නිසයි. මෙය මගේ ජීවිත කාලයට මා දුටු ඉතාමත් ලස්සන දසුනක්. ඒත් මට කැමරාවක් නොතිබිම මහා පාඩුවක්.

වන දර්ශන ගැනීමට නියමිත දිනයේ විවෘත ජීප් රියක කැමරා ශිල්පී දයා විමලවීර මහතාත්, සහාය කැමරා ශිල්පී ජයනාත් ගුණවර්ධන සහ මමත් ගමන් කළා. ඉදිරියෙන් ගිය ජීප් රථයේ ප්‍රේමරත්න මහතා සමග තවත් කිහිප දෙනෙකු ගමන් කළා. වන ආරක‍ෂකයකු උන්නේ එම ජීප් රථයේ. අපේ ජීප් රථයේ සිනමා කැමරාව අටවා තිබුණා. එවකට ලංකාවේ තිබුණු පුළුල් තිර කාචය ද මෙම කැමරාවට සවිකොට තිබිම විශේෂයි. ඒ කාලයේ මෙය ඉතාම මිල අධිකයි.
සංචාරක බංගලාවේ මුරකරු අපේ ජීප් රියේ ඉදුනු කෙසෙල් කැනක් එල්ලූවේ මගදී කන්නට.

බොහෝ දුරක් වනයේ ගමන් කළ ද කුමන විල්ලූවේ විවිධ කුරුල්ලන් හැරුණු විට වෙනත් සතුන් අපට මුණ ගැසුනේ නෑ.
“අලියෙක් නේද ?” දයා විමලවීර මහතාගේ රහසිගත හඩ අපි කාටත් ඇසුණා. ඒත් අලියෙකු පෙනෙන්නට නම් නෑ. ඉදිරියෙන් ගමන්ගත් ජීප් රථය නතර උනා. එය විවෘත එකක් නොවෙයි. පිටුපස අසුනේ වාඩිවී සිටි කෙනෙක් තම ඇඟිල්ල අපට සමාන්තර දකුණු පස කැලයට දිගු කළා. වල් අලියෙකු අපේ ජීප් රියට සමාන්තරව නතර වී සිටියා. දෙවියන් – බුදුන් අම්මා – තාත්තා සියලූ දෙනාම සිහිවුණේ එවිටයි. ඒත් මේ අලියට දැවැන්ත ගස් හරහා ජීප් රිය දෙසට එන්නට බෑ. එය අපට මද සහනයක් වුණා. ඉදිරි ජීප් රිය සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් ගත්තා. අතින් ලැබූ සංඥාවෙන් අපේ ජීප් රියත් සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුනා. සිනමා කැමරාව අකුලා ගත් ජයනාත් එය තම උකුල මත තබා ගත්තා. කෙසෙල් කැන එහාට මෙහාට පැද්දෙනවා. අලියා අපට සමාන්තරව ගමන් කරනවා. ජීප් රිය නතරවීමත් සමගම අලියා ද නතර වෙනවා. තවම කරදරයක් නම් නෑ. ඒත් ඒක තව මොහොතක් පමණයි. අප සහ අලියා අතර තිබු දැවැන්ත ගස් නිසා අලියාට පාරට එන්නට මෙතෙක් නොහැකි වී තිබුණත් එක් එලිමහන් තැනක දී අලියා පාර මැදට පැමිණ අපගේ ජීප් රිය දෙසට හැරී නතර වුණා. දැන් අලියා ඉන්නේ ජීප් රථ දෙක මැද්දේ. තරමක් වේලා නතර වී උන්නු අලියා සෙමෙන් සෙමෙන් අපේ ජීප් රිය ඉදිරියට ආවා. මේ ඉදිරියට එන්නේ අප කාගේත් මාරයා යැයි අපි හැම දෙනාටම සිතුණා. ජීප් රථය අසල නතරවුණු දැවැන්තයා තම හොඩය ජීප් රිය තුළ එහා මෙහා යැව්වා. උගේ මුහුණේ-ඇස්වල කේන්තියක් නම් මම දැක්කේ නෑ. ඉන්පසුව හොඩය කෙළින්ම ගියේ කෙසෙල් කැනටයි. කෙසෙල් කැනෙන් ඉඳුනු කෙසෙල් ගෙඩි කිපයක් කඩාගෙන කනතුරු අපට හෙළවෙන්නටවත් සිතුනේ නෑ. අපේ වාසනාවට එක්වරම කෙසෙල් කැන ගැලවී බිමට වැටුණා. අපි කාටවත් කරදරයක් අනතුරක් නොකළ අහිංසකයා බිම වැටුනු කෙසෙල් කැන තම හොඩයෙන් අරගෙන කැලයට වැදුනේ අපිට “බොහොම ස්තුතියි” කියලා වෙන්න ඇති.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>