Contact us now +61(0) 433 638 610

Articles

කඩුවක් අවැසි තැන නව ගුණ වැල ගනිමු !

Posted in Art,ආකල්ප,කාලීන,දේශපාලන by on February 9, 2015

සාමන්ත තැන්නගේ විසිනි

මම කිසිවෙකු හෝ ඝාතනය කර නැත. එහෙත් හදපිරි සතුටින් ඇතැම් අවමංගල දැන්වීම් කියවා ඇත්තෙමි.
- ක්ලැරන්ස් ඩැරෝ

විජය කුමාරතුංග 1983 මහර අතුරු ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ ය. ඔහු මූලික වටයේ ඡන්ද ගණනය කළ පසු එම ආසනය ජයග්‍රහණය කොට තිබුණේ ය. දෙවෙනි වතාවටත් ඡන්දය ගණන් කිරීමට අණ ලැබිණ. ඒ අතර හදිසියේම සැක කටයුතු අන්දමින් ඡන්ද ගණනය කළ මධ්‍යස්ථානයේ විදුලිය ඇණ හිටියේ ය. නැවත විදුලිය පැමිණි පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් ජයගෙන තිබුණි. විදුලිය ඇණ හිටි කාලයේදී ඡන්ද මධ්‍යස්ථානයේ සිටි කෙනෙකු විසින් විජයට ලැබුණු ඡන්ද අනුභව කර ඇති බවට පසුව විපක්ෂය චෝදනා කළේ ය.

හන්තානේ කතාව විජය කුමාරතුංග රගපෑ මුල්ම චිත්‍රපටය යි. එතැන් පටන් දශක දෙදකකට ආසන්න කාලයක දී ඔහු රගපෑ චිත්‍රපට ගණන 114 කි. ගැයූ ගීත ගණන 100 කට වැඩිය. නිකුත් කළ කැසට් පට ගණන දහයක් පමණ වේ. එපමණක් නොව 1983 සිට 1988 දක්වා එක දිගටම ලංකාවේ ජනප්‍රියම නළුවා ය. ඒ අදටත් ලාංකේය සිනමාවේ නොබිදුනු වාර්ථාවකි.දෙවතාවක්ම හොඳම ගායකයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබුවේ ය. මේ සියල්ලටම වඩා විජය කුමාරතුංග යනු අපූරු මානව හිතවාදියෙකි. එහෙත් එකී මානව හිතවාදියා 1988 පෙබරවාරි මස 16 දින සිය දෙනෙත සදහටම පියා ගත්තේ ය. ඔහුගේ පැහැදිලිවූත්, ගැඹුරුවූත් හද ඒ සමගම නිහඩ විය.


බොහෝ අය ජීවත්ව සිටියදී අපට ඔවුන්ව නොපෙනේ. අවාසනාවකට මෙන් අපට ඔවුන්ව පෙනෙන්නට පටන් ගන්නේ ඒ අය ඔවුන්ගේ දෙනෙත් සදහටම වසා ගත් පසුව ය. ජීවත්ව සිටියදීත්, රුදුරු වෙඩි උණ්ඩයකට ගොදුරුව මිය ගිය පසුත් මට නොපෙනුන එබඳු එක් අයෙකි, මුලින් හඳුන්වා දෙන්නට යෙදුනු විජය කුමාරතුංගයන්. විජය නම් වූ නළුවාව අපි එකල දුටුවෙමු. විජය නම් වූ ගායකයාගේ හඩද ඇසුවෙමු. විජය නම් වූ දේශපාලකයාද දුටුවෙමු. එහෙත් විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියා දැක ගත්තේ ඔහු මිය ගොස් දශක දෙකකට පසුව ය.

විජය ඝාතනය කළ අවධියේ අපි උසස් පෙළ සිසුහු විමු. එකල ලංකාවේ පැවති වාතාවරණය විසින් විශේෂයෙන්ම උසස් පෙළ සිසුන්ගේ හිසට කඹයක් බැද යටත් පිරිසෙයින් එකවර දිශා දෙකකට අදින ලදි. ජාති ආලය එක් පැත්තකි. විප්ලවීය දේශපාලන රැල්ල තවත් පැත්තකි. ජාති ආලයේ පැත්තෙන් බැලු විට අප දුටුවේ සිංහල බෞද්ධ උරුමය පමණි. විප්ලවීය දේශපාලනය ඔස්සේ අප දුටුවේ ප්‍රතිගාමී බලවේගයන්ට එරෙහි විය යුතුව තිබූ අප විසින් ප්‍රගතිශීලි යැයි හඳුන්වාගත් මතවාද පමණි. එකී දඩු අඩුවට හසුව සිටි අප කෙසේ නම් කිසිවෙකු නොසිතූ යුගයක කොටි ත්‍රස්තවාදීන් සමග සාකච්ඡාවට ගිය, දෙමළ ජනතාව දෙස සානුකම්පිතව බැලු විජය බදු චරිතයක් හඳුනා ගන්න ද ? එකල අප පෙනී සිටි මතවාදය නන්දා මාලිනිය ගැයූ ගීයකින් දක්වනවා නම්,

“මුගුරුක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු
කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනු
සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොයනු
සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිනු”

යනුවෙන් කිව හැකි ය. එහෙත් එදා විජය කුමාරතුංග පෙනී සිටියේ මෙබදු මතයක් වෙනුවෙන් නොවේ. ඒ නිසාම ඔහුව “ද්‍රෝහියෙක්” හැටියට සලකන්නට අපට දෙවරක් සිතන්නට සිදු නොවිණ. දේශපාලන අරමුණු හෝ වාසි ලබා ගන්නට එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව අඩම්තේට්ටම් කරන විට සිංහල හෝ දෙමළ හෝ වේවා අගතියට පත් ජාතීන් කෙරෙහි ඇතිවන වෛරය මතින් සාමකාමී අනාගතයක් බිහි වෙතැයි කෙසේ නම් සිතන්න ද ?

අද මෙන් නොව එකල දක්ෂතාව නිසා මිනිසුන්ගේ හදවත් වල සදා ලැගුම් ගත් කලා කරුවෝ වූහ. එකී කලාකරුවන්ගේ දේශපාලනය ගැන ඔවුන්ට ආදරය කළ ජනතාව එතරම්ම තැකූ බවක් පෙනෙන්නට නොතිබුණි. නිදසුනක් ලෙස එච් ආර් ජෝතිපාලගේ දේශපාලනය නිසා මිනිසුන් ජෝතිපාල නම් කලාකරුවා සිය හදවත් වලින් පිටමං නොකළේ ය. ඔහු අදටත් අපේ හදවත්හි ලැගුම් ගෙන සිටිනවා නොවේ ද? ගාමිණී ෆොන්සේකාගේ තත්ත්වය මීට තරමක් වෙනස් නමුත් දක්ෂ කලාකරුවන් හැටියට ගාමිණී මෙන්ම ජෝ අබේවික්‍රමයන්ද පෑ පෙළහැර අමතක කර දමන්නට අපට හැකියාවක් නැත. එහෙත් ඔවුන්ගේ දේශපාලනය අමතක කර දමන්නට අපට බැරි කමක් නැත. මේ හැමදෙනාටම වඩා විජය කුමාරතුංග නම් කලාකරුවාට ආදරය කළ පිරිස වැඩි බව අපගේ වැටහීම ය. එහෙත් අද අපට දැනෙන අන්දමට විජය කුමාරතුංගයන්ගේ දේශපාලනය හා කලා ජීවිතය එකිනෙකට වෙන් නොවූ සුවිශේෂී එකකි.

කවර හෝ හේතුවක් නිසා දශක ගණනාවක් ඔස්සේ අපට අසන්නටත්, දකින්නටත් ලැඛෙන්නේ විතණ්ඩවාදී තර්කවලින් ඛෙදී වෙන් වී සිටින බහුතර ශී්‍ර ලාංකික ජනතාවකි. එක් කණ්ඩායමකට අනුව අනෙක් කණ්ඩායම වැරදිය. එමතුද නොවේ විරුද්ධ මතධාරීන් විනාශ කර දැමීම පවා වරදක් ලෙස බොහෝ ලාංකිකයන්ට නොපෙනෙන තරම් ය. අපි අපේ දැක්ම සකස් කර ගන්නේ අප අසන – දකින – විදින දේ අනුව ය. කාලයක් ගත වන විට වටපිටාවෙන් එක්වන නොයේක් අපද්‍රව්‍ය නිසා “අපේ මතවාද” නැමති ගස හොදින් වැඩෙන්නේ ය. එහෙත් එසේ සරුවට වැඩුණු බොහෝ ගස්වල ප්‍රයෝජනයට ගත හැකි සරු ඵල හට නොගන්නා බව පැහැදිලිව පෙනෙන්නට තිඛෙන කාරණයකි. අප කළ යුතුව තිබුණේ වටින් පිටින් කවරාකාරයේ අදහස් හා උපදෙස් ලැබුණද “මනුෂත්වය” නැමති පෙරහන්කඩින් සමාජයටත් යහපතක් වන දේ පමණක් පෙරා ගැනීම ය.

“මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු” යන හඩ ඇසී එකල අප හදවත් ජාති ආලයෙන් කුළුගැන්විණ. විජය ගායනා කරන “දග ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් – අළුගෝසුවනේ එල්ලාපන්” යන ගීතය ඇසූ විට එකල අපට කිසිදු හැගීමක් නොදැනුනු තරම් ය. එහෙත් මුගුරක් අතට ගෙන සාධාරණය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් හුදී ජන හදවත්හි වපුරනු ලබන වෛරී සිතිවිලි නිවැරදි විය නොහැකි බව අද අපි දනිමු. එසේම සාධාරණය වෙනුවෙන් වධ බන්ධන වලට ලක් ව “දගගෙයි දඩුවම් විඳින” මිනිසෙකුගේ ආයාචනයේ හඩ නම් එදාට වඩා අද අපේ හදට දැනෙන්නේ ය.

බොහෝ විට අපට දුකක් කණගාටුවක් දැනෙන්නේ අපේ එකෙකුට කරදරයක් වූ විට ය. එහෙත් සැබෑ මානව හිතවාදියාගේ ළය ඕනෑම කෙනෙකුගේ දුකක් කරදරයක් අභිමුව තෙත් වන්නේ ය. අදටත් සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් නායකයෝ වෙන වෙනම තම තමන් නියෝජනය කරන්නා වූ ජනතාවගේ හිස් වලට කඩු, පොලූ, මුගුරු දෙති. අනුගාමිකයෝ පිස්සු කෙළින්නට පටන් ගන්නේ එකී අවි ආයුධ වලින් සන්නද්ධ වූ පසුව ය. නායකයෝ කළ යුත්තේ තම තමන් නියෝජනය කරන ජනතාවට අනෙක් ජන කොට්ඨාෂයන් විදින දුක් කම්කටොළු දෙස සානුකම්පිතව බලන්නට කියා දීම ය. දුකේදී පිහිට වන හැටි කියා දීම ය. එහෙත් එබඳු මානව හිතවාදියෝ අපට සම්මුඛ වන්නේ කලාතුරෙකිනි. විජයද වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එබඳු මිනිසෙක් වූ බව දැන් අපි දනිමු.
එහෙත් විජය මියගියදා අපට සිතුණේ මොනවා ද ?

අවංකව කියනවා නම් එදින අපට කිසිවක් සිතුණේ නැත. දැනුනේ ද නැත. ඒ එදා ඔහු අප දැරූ මතවාදයට එරෙහිව ගිය එකෙකැයි අප තුළ තිබූ විශ්වාසය නිසාවෙනි. මට වැරදුණු තැන එතනින්ද නවතින්නේ නැත. ඒ ගැන තවත් එක් නිදසුනක් පමණක් මෙහි සටහන් කරමු.

එකල අපේ නිවසට ආ ගිය කාන්තාවක් වූවා ය. අවිවාහක ජීවිතයක් ගත කළ ඇය විජය කුමාරතුංගගේ රසිකාවියකි. විජය ර`ග පෑ සෑම චිත්‍රපටියක්ම දෙතුන් වතාවකටත් වඩා නැරඹූ ඇයගේ ලෝකයත්, විජය කුමාරතුංගත් එකක් විය. විජය මිය ගිය දා ඇය හඩා වැටුණු තරම මට තවමත් මතක ය. දින ගණන් නොකා නොබී වැළපුණු ඇය විජයගේ දේහය බලන්නට මහනුවර සිට කොළඹ බලා පිටත්ව ගියා ය. වරක් දෙකක් නොව කිහිප වතාවක්ම ඇය දිගු පෝළිමක පෙළ ගැසී විජයගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව පසුව අපි දැනගත්තෙමු.

එදා ඇය හඩා වැටෙද්දී දහ අට හැවිරිදි කොළුවෙක් ඈ දෙස සරදම් සහගත සිනාවක් පෑවේ ය. ඒ සිනාවේ ඇදී තිබුණේ “විජයත් මිනිහෙක් ද ?” යන අරුතය. ඒ, ඒ වන විට ඔහු දැරූ මතය නිසාවෙනි. එකී කොළුවා අන් කවරෙකුත් නොව මා ය. මීට වසර දෙක තුනකට පෙර ඇයද මෙළොව හැර ගියා ය. අවසන් හුස්ම හෙළන තුරුම ඇය විජයගේ රසිකාවියක වූ බව මම දනිමි. එසේම විජය කුමාරතුංග “අපූරු මිනිහෙක්” බවද දැන් මම දනිමි. එහෙත් එදා මා හෙළු නරුම සිනහව පසුපස සිටි “සමාජවාදියා” ගැන දුක් වෙමි.

විජය කුමාරතුංගයන්ගේ මානව හිතවාදයත්, එක්තරා රසිකාවියකගේ හද තුළ විජය කෙරෙහි උපන් සෙනෙහසත් මා දුටුවේ ඔවුන් දෙදෙනාම සදහටම දෙනෙත් පියා ගෙන බොහෝ කාලයක් ගත වූ පසුව ය. සහකම්පනය නොහඳුනන හදවතක් ඇතිව “විප්ලවවාදියෙක්” විය නොහැකි බව අද මම වටහා ගෙන ඇත්තෙමි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>