Contact us now +61(0) 433 638 610

Articles

ක්‍රිස්තු ධර්මය සහ ශ්‍රී ලංකාව

Posted in ආගමික,ඉතිහාසය by on December 24, 2014

Basilica of Our Lady of Lanka, Tewatta, Sri Lanka
Photo by Fr. Sunil De Silva

සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි

Basilica of Our Lady of Lanka, Tewatta, Sri Lanka
Photo by Fr. Sunil De Silva

ලොව විවිධ ආගමික සංස්ථාවන් බිහිව ඇත්තේ මානව සම්බන්ධතා ශිෂ්ට සම්පන්න කරනු පිණිස ය. ‘ආගම යනු, ජනතාවගේ අබිං’ යනුවෙන් මාක්ස් පැවසූ බව නිතර කතා බහ කෙරෙතත් එකී මාක්ස් විසින් ම ‘හෘදයක් නැති ජනයාගේ හෘදය ආගම’ යනුවෙන් පැවසූ බව වැඩිපුර නොකියැවේ. ඒ අනුව ආගම් විසින් ජනයාගේ හෘද සාක්ෂිය පවත්වා ගැනීමටත්, ම්ලේච්ඡයන් බවට පත්ව සිටින්නට නියමිතව සිටියවුන් සදාචාර පද්ධතියක් වෙත ගෙන යාමටත්, විශිෂ්ට ගණයේ කලා සම්ප්‍රදායන් ලොවට දායාද කිරීමටත් කළ මැදිහත්වීමේ අගය අඩු කළ යුතු නොවේ.
ඒ කෙසේ වෙතත් ආගමික සංස්ථාපිතයන්ගේ නාමයෙන් සිදුකරන ලද කුරුස යුද්ධයන්, ජන සංහාරයන්, අතිශය අනිසි සංස්කෘතික සහ කලා වාරණයන් කිසිදු කරුණක් මත සාධාරණීකරණය කළ නොහැකි ය. මේ සියල්ල කෙරෙහි ඇරුණු හදැතිව මෙහි දී අපේ වෑයම වන්නේ කිතුණු දහම විසින් සිරිලක කෙරෙහි කරන ලද සාධනීය වෑයම යම් පමණෙකින් විග්‍රහ කරගන්නට ය.

ශ්‍රී ලංකාව වෙත යේසුස් වහන්සේ ගේ දහම මුලින් ම ගෙන ආවෝ පෘතුගීසිහු ය. ඒ 1505 දී පමණ ය. අද වන විට දෙකෝටියක් වන ලාංකේය ජනගහණයෙන් මිලියනයක් කතෝලිකයෝ වෙති. 1505 පමණ සිට අද දක්වා වෙනත් සෑම ආගමික සංස්ථාවක් මෙන්ම එය ද සංස්කෘතිය, දේශපාලනය, භාෂාව හා කලාව, සාහිත්‍ය නිර්මාණ, ගෘහ නිර්මාණ ශිල්පය ආදි කොට ඇති කුදුමහත් සැම කටයුත්තකටම අවියෝජනය ආකාර- යෙන් සම්බන්ධ විය.
කෙසේ වෙතත් කාර්මීකරණයෙන් පසුව යුරෝපයේ බිහි වූ නූතනත්වය හරහා පැමිණි යම් සංකල්ප සේම උපකරණද ශ්‍රී ලංකාව වෙත පැමිණියේ යුරෝපා ආක්‍රමණ සමගිනි. බොහෝ විට යුරෝපීයන් තමන් අනෙක් රටවල් වෙත ශිෂ්ටත්වය ගෙන ආ බවට පාරම් බෑව ද ඔවුන් පැමිණෙන විටත් ලංකාව බ`දු බොහෝ රටවල තමන්ට අනන්‍ය වූ ශිෂ්ටත්වයක් සහ සභ්‍යත්වයක් පැවතුණු බව උහු අමතක කරති. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී ක්‍රමෝපායන්ට අනුව ආක්‍රමණයන් සිදු වෙත් දී ඒ පාලන සංස්ථාපිත හා බැ`දුණු ආගමික සංස්ථාපිතයන් ද පරිධියේ රටවල් වෙත ඇතුල් වීම අනිවාර්යක් ලෙසින් පැවතුණි.

ලංකාවේ පළමු මුද්‍රිත පුවත්පත් ආදිය බිහි වූයේ ද මේ ආගමික ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ මැදිහත්වීම හේතුවෙනි. බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් අතර පැවතුණු තරඟකාරී ආගමික වාද විවාදවල ප්‍රතිඵල වශයෙන් මුල් යුගයේ බොහෝ පුවත්පත් බිහි විය. එකල සමයාන්තරව පැවතුණේ ද ප්‍රබුද්ධ වාද විවාදයන් ය.
එමෙන් ම සංස්කෘතියක් විචිත්‍ර වන්නේ විවිධ අංගෝපාංග වැඩි වශයෙන් ඊට එකතු වීමෙනි. මෙලෙසට කිතු දහම පැමිණීම මගින් ද රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත ව කාලයාගේ ඇවෑමෙන් එයට අයත් සියලූ‍ම සංස්කෘතික අංග ද වැඩෙන්නට විය. එක් එක් විශේෂිත දින සුවිශේෂ උතුමන් සඳහා කැප කළ දෙව් මැඳුරු, නත්තල, කැරොල් ගී, සැරැසිලි, සුබ පැතුම් පත් ආදිය ද ආගමික අංශයේ ඇදහිලි පුද පූජා, මංගල්‍යය ආදිය ද ජීවය ලබමින් වැඩෙන්නට විය. වෙසෙසින් ම නත්තල වැනි උත්සවයක් ශ්‍රී ලංකාවේ දී පවත්වන විචිත්‍ර ස්වභාවයත් කිතුණු නොවන ජනයා පවා එකී ප්‍රහර්ෂයට නතු වන ආකාරයත් දැක ගත හැකි ය.

පෙර නොවූ විරූ පන්නයේ ගෘහ නිර්මාණ ශිල්පයක් ද කිතු දහම ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ගොඩ නැගුණේ වෙයි. ලංකාවේ ඇති ප්‍රමාණයෙන් විශාලතම කිතුණු දේවස්ථානය වන රාගම තේවත්තේ බැසිලිකාව හෙවත් “තේවත්ත පල්ලිය” ම ඒ වෙනස් ගෘහ නිර්මාණ ශිල්පයක් පැමිණීම පිළිබඳව සාක්ෂි සපයයි. පොදුවේ සමස්ත ක්‍රිස්තියානි සියලූ දේවස්ථාන ආදී වූ ඉදිකිරීම් පෙර ලක්දිව පැවති ගොඩනැගිලි වලින් වෙනස් වෙයි.
ලාංකේය අධ්‍යාපනය ද ක්‍රිස්තියානි ආගමේ බලපෑම තදින් දැනුණා වූ විෂයකි. ශ්‍රී ලංකාව වෙත ආක්‍රමණකාරී මැදිහත්වීම් සිදු කළ සියලූ ජාතීන් එය කරන ලද්දේ බයිබලය තම එක් අතක තබා ගනිමිනි. විශේෂයෙන් ඉංගිරිසි පාලන කාලයේ සිය කටයුතු සඳහා පරිපාලන නිලධාරීන් ස්වදේශිකයන්ගෙන් නිර්මාණය කර ගැනීමට භාවිතා කරන ලද්දේ එවකටත් ක්‍රියාත්මක තත්වයේ පැවති මිෂනාරි පාසල් පද්ධතිය යි.

සිරිලක එවක පැවති පිරිවෙන් ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත වෙමින් පැවති ධනේශ්වර ආර්ථීක ක්‍රමය සහ කිසිසේත් ම නොපෑහෙන බව පැහැදිලි කරුණකි. ඉංගිරිසින් විසින් ඉංගිරිසි භාෂාව සහ පරිපාලන කටයුතු ඉගැන්වීම පිණිස මෙකී මිෂනාරි පාසල් යොදා ගත්තෝ ය. කෝල්බෘෘක් කැමරන් ආණ්ඩු ක්‍රමය හරහා මිෂනාරි පාසල් වෙත විශේෂ අනුග්‍රහය දක්වන ලද්දේ එහෙයිනි. මිෂනාරි සමාගම් ප්‍රධාන නගරවල ඇති කළ පාඨශාලා මගින් ඉංග්‍රීසි භාෂාව මුල්කොට උගැන් වූ අතර දමිළ පළාත්වල දෙමළ භාෂාවට මුල්තැන දෙන ලදී. මෙහිදී ගම්බද පාසල් අධ්‍යාපන කටයුතු ගෙනයන ලද්දේ සිංහල භාෂාවෙනි. සමාජ සංවර්ධනයේ අර්ථයෙන් මෙය ප්‍රගතිශීලි කටයුත්තක් ලෙස හැඳින්විය හැකි ය. ලංකාවේ ප්‍රකට සහ දක්ෂ රංගධරයෙක් වන සිරිල් වික්‍රමගේ මහතා වරක් මේ ලියුම්කරු සමග කළ කතා බහක දී පැවසුවේ ඔහු මුලින් ම අධ්‍යාපනය ලැබුවේ ද “ගැලවීමේ හමුදාව” විසින් පවත්වාගෙන ගිය මෙවැනි ද්විභාෂා පාසලක බවයි.
එලෙසින් ම කිතුණු දහම ඇසුරෙන් විචිත්‍රවත් වුණු අතිශය වැදගත් ම ක්ෂේත්‍රයක් ලෙස භාෂා සහ සාහිත්‍ය ක්ෂේත්‍රය දැක්විය හැකි ය. ලංකාවට යුරෝපීය ජාතීන් එන විට පැවතියේ පුස්කොල ආශි්‍රත ලේඛන සුරක්ෂා කිරීමේ ක්‍රමයකි. බටහිර ජාතීන් විසින් මුද්‍රණ කර්මාන්තය ලංකාවට හදුන්වා දෙන ලදී. ආගම ප්‍රචාරය වෙනුවෙන් ලතින් බසින් තිබූ ග්‍රන්ථ සිංහලයට නැගීම සිදු විය. ඒ හරහා කතෝලික සාහිත්‍යයක් බිහි විය. මේ කටයුතුවල පූර්වගාමියා වන්නේ ජාකොබ් ගොන්සාල්වේස් නම් පූජකතුමෙකි. එතුමා මෙලෙසින් කිතුණු ආගමික සිංහල ග්‍රන්ථ විස්සකට වැඩියෙන් රචනා කළ බව ස`දහන් වේ. ගීතිකා සාහිත්‍යයක් බිහි වීමට අඩිතාලම වැටුණේ ද මෙතුමාගෙනි.

“සුර ලොවිනේ බැස මෙදිනේ
මව් කුසිනේ බිහි වෙමිනේ
එරි දෙතනේ කිරි බොමිනේ
මි‚ ලෙසිනේ වැඩුණු තැනේ
දිලෙන රනේ රුව ලෙසිනේ
මල් උයනේ සිටිය දිනේ
මේ මරණේ ඔබට වුණේ
කිමෙක අනේ දෙව් රජුනේ”

සිංහල ගී කාව්‍ය රීතියට සපුරා ම අනන්‍යව නිර්මාණය වී ඇති ඉහත ගීතිකාව ගොන්සාල්වේස් පියතුමා මුල්කාලීනව නිර්මාණය කළ එකකි. “යශෝධරාවත” වැනි ජන කාව්‍යයක ඇසුර එහි දැක්ක හැකි ය. ෙජ්සුතුමන්ගේ දුක්ඛප්‍රාප්තිය එහි මනරම් සහ ළගන්නා සුලූ අයුරින් විස්තර කර ඇත.
මෙනයින් ඇරඹුණු කිතු සමයෙන් සිංහල භාෂා සාහිත්‍යයට එක් වූ නවාංගයන් පසු-කාලීනව තවදුරටත් විදාරණය වනු දකින්නට ලැබුණි. එකී කථාන්තරයේ දී කෙළෙසකවත් මගහැර යා නොහැකි චරිතයක් ලෙස මර්සලින් ජයකොඩි පියතුමා නම් කළ යුතු ය.

“ඕලූ‍ නෙළුම් නෙරිය රඟාලා – කිකි‚ හ්‍ඩන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා”
යන ගී දෙපදය නොදන්නා අයෙක් වෙත් නම් පුදුමයකි. සිංහල සාහිත්‍යයට මහත් කෘති සම්භාරයක් එක් කරන්නට එතුමෝ සමත් විය. “රැමොන් මැග්සෙසයි” සම්මානයෙන් ද පියතුමාණන් පුදනු ලැබීය. සිංහල සාහිත්‍ය වංශයත් සමග කිතුණු ආගමික සංකල්ප නොදිරන හුයකින් බැඳ තබන්නට එතුමෝ සමත් වූහ.

“මගෙ නත්තල දුගියා බත් කන දා ය
මගෙ නත්තල වැරහැලි නැති වන දා ය
මගෙ නත්තල ඔඛෙ දුක සැනසෙන දා ය
මගෙ නත්තල ම~ු පල්ලිය යන දා ය”
මෙම කවිය ජයකොඩි පියතුමා විසින් රචිත චිරප්‍රසිද්ධ කවියකි. මෙලෙසින් ම සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නම රැන්දූ කතෝලික පියනමකි, අර්නස්ට් පෝරුතොට පියතුමන්. එතුමාගේ වෙසෙස් මැදිහත්වීම සිනමා කලා ක්ෂේත්‍රය ඔස්සේ සිදු විණි.

1972 වසරේ දී ආරම්භ කළ ඕ.සී.අයි.සී සම්මාන උළෙල ද මෙහි ලා සුවිශේෂී බවක් දක්වයි. එය ශ්‍රී ලංකාවේ සිනමාවේ වර්ධනය වෙනුවෙන් එදා සිට ම වැදගත් වැඩ කොටසක් ඉටු කරන්නකි. සිනමා සාහිත්‍යයක් ගොඩනැගීමට ද දායක වුණු මෙම සම්මාන උළෙල කතෝලික පල්ලිය කේන්ද්‍ර කරගෙන බිහි වුණ එකකි.
මෙසේ සලකා බලන කල කිතු දහම ඇසුරේ ලාංකේය සංස්කෘතික පද්ධතියට, අධ්‍යාපන පද්ධතියට, මානව පද්ධතිය මතු නොව පරිසර පද්ධතියට එක් ව ඇති සම්ප්‍රදානයන් ඉමහත් ය.

කිතුණු දහමේ මූලික සහ කේන්ද්‍රීය ඉගැන්වීම වන ශුද්ධ ත්‍රිත්වය ශුද්ධවන්ත ජීවිතයක්, දැහැමි හා නිහතමානි ජීවිතයක් ගත කරන්නාට තම ජීවිතය මෙහෙයවන ආකාරය ගැන විවේක බුද්ධියෙන් හිතන්නට ඉඩ හසර ලැඛෙයි. එබන්දෙකුට අනෙකා ගැන හිතන්නට අනෙකා වෙනුවෙන් පෙනී සිටින්නට උදව් කරන්නට ප්‍රස්ථා විවර වනු ඇත.
ආගමේ නාමයෙන් විවිධ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්නට වැර වෑයම් කරද්දී සැබෑ කිතුණුවන් තවදුරටත් ලංකාතලය විචිත්‍ර කරනු ඇති.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>