Contact us now +61(0) 433 638 610

Articles

කුල්ල සූත‍්‍රය

Posted in ආගමික,කාලීන by on December 16, 2012

img3

කිසියම් කෙනෙකුට තමන්ගේම මවක හා පියෙකුගේ සෙනෙහස වෙනත් මවකගෙන් හා පියෙකුගෙන් ලැබෙනවා නම් එය කෙතරම් භාග්‍යයක්ද ? ජීවිතයේ විශේෂ-යෙන් නව යොවුන් තරුණ වයසේදී එබඳු උතුම් මව් වරුන් සහ පියවරුන් කිහිප දෙනෙකුගේම ආශ‍්‍රය ලැබීම මා කළ පිනක් යැයි මට සිතේ. මෙහි පහත දැන්වෙන සිද්ධිය සිදුවන විටද මා නැවතී සිටියේ එබඳු යුවළක් සම`ගය. අද ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නැතත් ඔවුනගේ සෙනෙහස මට ලැබුණේ එබඳු සෙනෙහසක් මා හට අවැසිවම තිබූ යුගයකය. ඒ නිසාම ඔවූහු සදහටම ම’හදෙහි රැුදී සිටිති.

එය ඉතාමත් බැතිමත් කතෝළික පවුලක් ජීවත් වූ ජාඇළ ප‍්‍රදේශයේ පිහිටි නිවසකි. මෙම යුවළට පුතුන් දෙදෙනෙකු සිටියහ. එහෙත් ඔවුන් මට සැළකුවේද ඔවුන්ගේම පුතෙකුට මෙනි. අනෙක් අතට ඔවුන්ගේ පුතුන් දෙදෙනා මට සැලකුවේද ඔවුන්ගේම සහෝදරයෙකුට මෙනි.
නිවසේ සිටි අම්මා සම`ග මම නිරත නිතර වාදවල පැටළුණෙමි. නිතරම අප වාද කළේ බුදු දහම හා කිතු දහම ගැනය. තාත්තා සමඟ මා කතා කළේ තරමක් ගැඹුරු කාරණා ගැනය. ඔහුත් මාත් අතර සිදු වූ සාකච්ඡුා නිමාවට පත්කරමින් නිතරම ඔහු එච්. සී. පී බෙල් මහතාගේ කියමනක් මට මතක් කර දුන්නේය. ඒ ‘‘බුදුදහම ලොකු ගල් කුළක්. මම එහි ඔළුව ගසා නොගනිමි’’ යි යන්නය. බොහෝ විට අප අතර සිදු වූ සාකච්ඡුා වල විරාමය වූයේද එම කියමනය. අද වනතුරුත් එච්. සී. පී බෙල් මහතා එසේ කියූ බව සොයා ගැනීමට නොහැකි වුවද ඒ කථාව තුළ රැු`දී ඇති දිග පළළ පමණක්ම වුවත් සෑහෙතැයි මට සිතේ.

දිනක් හවස් වරුවේ එම නිවසේ නවාතැන් ගැනීමට ඔවුන්ගේ පවුලේ සමීප මිතුරෙක් පැමිණියේය. රජයේ ඉහළ පෙළේ රැකියා-වක් කළ හෙතෙම තනිකඩව දිවි ගෙවූ වයස අවුරුදු පණහ ඉක්මවූ අයෙකි. ඔහුද උපතින්ම කතෝලික භක්තිකයෙකි. එදින තාත්තාත්, ආගන්තුක තැනැත්තාත් රාති‍්‍ර දහය පමණ වන තුරු මදුවිත තොළ ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෝය. මම මගේ කාමරයට වී පොතක් කියවමින් සිටියෙමි. මේ අතර අහම්බෙන් මෙම ආගන්තුකයා මා නැවතී සිටි කාමරයට ඇතුළු විය. මා සමඟ ආ ගිය තොරතුරු කතාකරීමෙන් පසුව ඔහු ඉතා ඕනෑකමින් මගේ පොත් මේසය අවුස්-සා බැලූවේය. එහි ටෝල්ස්ටෝයිගේ සිට රේරුකානේ චන්ද්‍රවිමල හිමියන් දක්වාත් සිග්මන් ප්‍රොයිඞ්ගේ සිට මාර්ටින් වික‍්‍රමසිංහ දක්වාත් මා සිත් ගත් නොයේක් ලේඛකයෝ රැුදී සිටියහ. පොත් මේසය මතින් ඇවිද ගිය ඔහුගේ දෙනෙත් අවසානයේ මා සුරතේ නැවතිණ. තරමක් කල්පනාකාරී වූ ඔහු මගේ අතේ පිරිත් නූලක් බැඳගෙන සිටින්නේ ඇයිද කියා ඇසුවේය.

ඔහු උපතින්ම කතෝළික බැතිමතෙකු බව කලින්ම අසා තිබුණෙන් ඒ ප‍්‍රශ්නය තුළ ගැබ්ව තිබුණේ බෞද්ධ විරෝධය විය හැකියැයි මම අනුමාන කළෙමි. ඒ නිසා පිරිත් නූල හා බැදුනු දාර්ශනික හා සංකේතාත්මක පසුබිම ගැන පැයකට ආසන්න දේශනයක් පැවැත්වීමට මම ඔහුගේ එම ප‍්‍රශ්නයම උපයෝගී කර ගතිමි. මෙම දේශනයට එකල මා කියවමින් සිටි අභිධර්ම පොත්වලින් කටපාඩම් කරන ලද කරුණුද ඇතුළත් වූ බව මට මතකය. දේශනය අවසන් වන තුරු ඔහු මගේ ඇෙ`ද් පසෙකින් වාඩි ගෙන සංසුන්ව මට ඇහුම් කන් දුන්නේය. අවසානයේ මා දැඩි උද්දාමයකින් මගේ දේශනය අවසන් කළේ ඔහුගේ අනවබෝධය පහකර හැරීමට මගේ ධර්ම දානය ඉවහල් වන්නට ඇතැයි සිතමිනි. මට මා ගැනම ඇති වූයේ දැඩි චිත්ත පී‍්‍රතියක් හා ආත්මාභිමානයකි.

ඉතා සාවදානව පැයක් පමණ මා කියූ දෙයට කන් යොමා සිටි ඔහු අවසානයේ මගෙන් මෙසේ ඇසුවේය.
‘‘පුතා, අහලා තියෙනවාද කුල්ල සූත‍්‍රය ගැන ?’’
මේ ප‍්‍රශ්නය මම ඔහුගෙන් අපේක්ෂා කළ මට්ටමේ එකක් නොවීය. මගේ අභිමානය හිරු දුටු පිනි මෙන් වියැකී යන අතර, අකමැත්තෙන් වුවද ‘‘නැතැයි’’ කීමට මට සිදු විය. මා දැන සිටි එකම කුල්ල වූයේ එකල අම්මා හාල් පෙළීමට භාවිතා කෙරූ කුල්ලය.

ඔහු සෙමෙන් සෙමෙන් ඒ ගැන කියන්නට විය. ‘‘කුල්ල කියන්නේ පුතේ පාරුවට. ඔන්න දවසක් මනුස්සයෙක් ගමනක් යනකොට ලොකු ග`ගක් හම්බ වුනා. එයාට පීනන්නත් බැහැ. එයා වටපිට බලලා ගස්වල අතු ටිකක්, වැල් ටිකක් කඩාගෙන ඇවිත් පාරුවක් හැදුවා. ඊට පස්සේ ඒකේ ආධාරයෙන් ගෙ`ග් අනික් පැත්තට ගිහින් කල්පනා කරනවා මේ පාරුව මට උපකාර වුනා. මම මේ පාරුව ඉදිරියේදී ප‍්‍රයෝජනයට ගන්න කරේ තියාගෙන යනවද, එහෙම නැත්තම් මෙතැනට එන වෙන කෙනෙකුගේ ප‍්‍රයෝජනයට මෙතනම දමා යනවද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ පාරුවට උපමා කර ගන්න කියලා. මේ පාරුව තියෙන්නේ ප‍්‍රයෝජනයට ගන්න. කරේ තියාගෙන යන්න නොවෙයි.’’ ඔහු එතැනින් කතාව හමාර කොට නිදාගැනීමට ඔහුගේ කාමරයට පිටත්ව ගියේය.

මෙම සිදුවීම සිදුවී අදට වසර ගණනාවක් ගතවී ඇත. ඒ අතර පිරිත් නූල් සිය ගණනක් නැවත නැවතත් මගේ අතේ බැද ගෙන ඇත. එහෙත් ඒ හැම අවස්ථාවකදීම මට ඔහුගේ උපහැරණය මැවී මැවී පෙනේ. පසුකාලීනව සිදු වූ යම් යම් දේශපාලන, ආගමික සහ ආගමික නොවන ඊනියා ආයතනගත සිදුවීම් ගැන සිතන විට ඔහුගේ උපදෙස එදාට වඩා අද දවසේ කෙතරම් ප‍්‍රායෝගිකදැයි මට සිතෙන්නේ වරක් දෙවරක් නොවේ.
මෙහිදී මට වැරදුණු තැන් කිහිපයක්ම තිබේ. පළමු කාරණය වන්නේ කියවූ දේවල් වල වහළෙක් වීමෙන් මට අත් විඳින්නට වූ පාඩුවය. එදා මා කළ යුතුව තිබුණේ ඔහුට බණ කීම නොව ඔහුට ඇහුම් කන් දීමය. ඇහුම්කන්දීම හෝ කථාකිරීම යන දෙකින් අප තෝරා ගත යුතු වන්නේ කුමක්ද යන්න අප ඉදිරියේ සිටින පුද්ගලයාගේ දැණුම මත නොව අවබෝධය මත තීරණය කළ යුතු බව මට නොවැටහීමද ඊටම අදාලය. දෙවනුව අන්‍යාගමක උපතක් ලද කෙනෙක් දෙස සුළුවෙන් තක්සේරු කර බැලීමය.

කුල්ල සූත‍්‍රය ගැන කියා දී ටික කලෙකින් කතරගම ප‍්‍රදේශයේ භාවනායෝගීව සිටියදී හදිසියේම ඔහු මිය ගිය පුවත අපට දැනගන්නට ලැබුණි. අහම්බෙන් ජීවිතයේ එක් වරක් පමණක් හමුවූ මොහු එකම එක සිදුවීමක් අරඹයා ඇති කළ වෙනස සුවිසල්ය. මා පැයක් පමණ කථා කළා නම්, ඔහු කථා කළේ විනාඩි තුනක් නැත්නම් හතරකි. සාවදානව මට සවන්දුන් ඔහුගේ ඉවසීමත්, එක දිගට පැයක් බණ කියූ මගේ නොහික්මීමත් පසුව මටම පසක් විය. මිනිසුන් වෙනස් කළ හැක්කේ ඇසූ බණ ප‍්‍රායෝගිකව ඔවුන් තුළින් විද්‍යාමාන වූ තරමට නොවේද ? මදුවිතක් තොළ ගෑ පමණින් මෙබදු අයෙක් දඬු කඳේ ගැසීමට තරම් කුරිරු වීමට මට නොහැකිය. ඒ වෙනුවට තවත් කිහිප වරක් හෝ මේ අපූරු මිනිසා සම්මුඛ වූවා නම් කෙතරම් අගනේදැයි මට සිතේ.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>