Contact us now +61(0) 433 638 610

Articles

ත්‍රී වීල් පොලිටික්ස්

Posted in ලොවින් එකෙක් by on August 13, 2015

කපිල කුමාර කාලිංග විසිනි (by Kapila Kumara Kalinga)

මම නිතර ත්‍රීරෝද රථ වල ගමන්කරන්නෙක්මි. බොහෝ ත්‍රී රෝද රියදුරන් තම මගීන් සමග කතා බස් කිරීමේ රුසියෝ ය. ඔවුන්ගේ ජනප්‍රියතම මාතෘකාව කාලීන දේශපාලනයයි. බජට් කාලෙට බජට් කතාය. ඡන්ද කාලෙට ඡන්ද කතාය. දෝෂාභියෝග කාලෙට ඒ කතාය.

එබඳු කතාවල දී මා වැනි මගියන්ගේ සිරිත ‘හුමිටි’ තැබීමය. අනුමැතිය දුන්නොත් කතාව දිග් ගැහෙයි. ගමන ප්‍රමාද වෙයි. විරුද්ධව අදහස් දැක්වුවොත් ගමන වේගවත් වෙයි. ජිවිතය කෙටි වෙයි. පක‍ෂග්‍රාහී රියදුරෝ මෙන්ම නිර්පාක‍ෂික රියදුරෝද වෙති. සමහරු මධ්‍යස්ථය. හැම පක‍ෂයකම ගුණාගුණ දකිති.

ලංකාවේ සෑම තැනකම වාගේ කොළඹට තදාසන්නව පිහිටි මාගේ කුලී නිවස අසල මං සන්ධියේ ද ත්‍රීරෝද ගාලකි. නිතර යනෙන නිසා මෙහි සිටින සැවොම මා සමග මිතුරුය. ඔවුනතින් වැඩිහිටියා සෝමේය. (වයස 50 – 60 අතර) තරුණ වියේ සිටම දේශපාලන රැස්වීම් අසන්නට යාම විනෝදාංශයක් කරගෙන සිටින අතර හසුවන හැම පත්තරයක්ම කියවන සෝමේ ගේ අදහස් වැදගත්ය. රසවත්ය.

මේ දවස්වල කොතැනත් කතා කෙරෙන්නේ ළඟ එන මැතිවරණය ගැන නිසා සෝමේ ද වරින් වර වෙනස් වන දේශපාලන කේෂත්‍රයේ සිදුවීම් පිළිබඳ මා හා කතාබස් කරයි. මැතක දී මා සමග ගමනක් යද්දී සෝමේ මෙසේ කීය.

“දැන් ඔන්න නොමිනේෂන් ඉල්ලා ගන්න පෝලිමේ එනවාලූ. මම නම් කියන්නේ වෙට්ට පිත්තලයින්ටයි. සරුව පිත්තලයින්ටයි නොමිනේෂන් දෙන්න හොඳ නෑ. එහෙමනේද සර්.” සෝමෙගේ කතාව ඇත්තය.

“ඔව් ඔව්”

මා දෙවරක්ම “ඔව්” කිව්වේ එහෙයිනි.

මෙදා පාර අපි ඡන්දෙ දාන්න ඕන දෙපාරක් නෙවෙයි හතර පස් පාරක් හිතල. මට නම් ඔය හත් පණ දේශපාලනකාරයෝ එකෙක්වත් දිරවන්නේ නෑ. මං මෙදා පාර ඡන්දෙ දෙන්නේ අලූත් පරම්පරාවේ කාට හරි. අනිත් උන් ඔක්කොම අපිව රවට්ටන වෙට්ටයෝ.

එදින සවස මට යළිත් වරක් සෝමෙගේ කතාව සිහිපත්වුණි. වෙට්ට පිත්තල සහ සරුව පිත්තල.
මම, හරිස්චන්ද්‍ර විජේතුංගයන්ගේ, ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය පෙරළා එහි මෙම යෙදුම් සඳහා අරුත් සපයා ඇති අන්දම බැලීමි. එහි මෙසේ විය.

වෙට්ට පිත්තල – වැඩකට ගත නොහැකි පිත්තල, වට පිත්තල (නා.ප්‍ර) වැඩකට නැති තැනැත්තා. හදන්ට බැරිමිනිහා. කෛරාටිකයා. පාදඩයා.
(වෙට්ටයා යනුවෙන් හැඳින්වෙන්නේ ද ඉහත කී ආකාරයේ වෙට්ට පිත්තලයින්ම ය.)

සරුව පිත්තල – (නා) සැරසිලි වලට ගන්නා දීප්තිමත් ඉතා තුනී ලෝහ සිවි, දිලිසෙන ලෝහපත් විශේෂයක් (වි) බොරු සැරසිලි ඇති, හරයන් නැති බාල දිස්නය මිස අගයක් නැති.

ත්‍රීවිල් සෝමේ කියූ ආකාරයට මේ යෙදුම් දෙක අපේ දේශ පාලඥයින්ට නියමෙට ගැලපෙනවා නේද ?
නිදහස ලැබුව දා සිටම (රජකාලේ අමතක කරමු) විවිධ තලවල කෛරාටිකයන් දැමූ සරුව පිත්තල ෂෝ වලින් ජනතාව මුලා වූ අතර අපේ අගනා දේශය යුගයෙන් යුගය – වසරෙන් වසර – දිනෙන් දින අඳුරු ආගාධයකට ගමන් කළේය. මේ සත්‍යය ත්‍රීවිල් සෝමේලාට පවා රහසක් නොවීම ගැන මසිත උපන්නේ සියුම් සතුටකි. ජනතාව, සත්‍යය වටහා ගෙන ක්‍රියාකාරිවන්නේ නම් අනාගතය දෙස සුභවාදි ලෙස බැලිය හැකිවනු ඇත.

සෝමේත් මාත් අතර සිදු වූ ඉහත කී කතා බහෙන් දෙසතියකට පසු වැඩට යන අතරේ නාම යෝජනා දෙන්නට යන රථ පෙළපාලියක් දුටුවෙමි.

සෝමේගේ ත්‍රීරෝද රථය ද එහි අගිස්සෙක විය. ඒ අපේක‍ෂකයා මත් ද්‍රව්‍ය චෝදනා ලාභියෙකි. වෙට්ටයන්ගේත් වෙට්ටයෙකි. එහෙත් යහමින් මුදල් හදල් ඇති නිසා සරුව පිත්තල වැඩ වලින් ජනතාව ළං කර ගැනීමේ සමතෙකි. සෝමේගේ ත්‍රීරෝදයේ පිටුපස අපේක‍ෂක වෙට්ටයාගේ දැවැන්ත කටවුට් රුපයකි. මට සෝමේ ගැන පුදුම සිතුණි.

ඉන් දින කීපයකට පසු මට සෝමේගේ ත්‍රීරෝදයෙන් ගමනක් යෑමට සිදුවිය.

“මම දැක්ක සොමේ ……………” ගේ නොමිනේෂන් පෙළපාලියේ යනවා. එයා වෙට්ට පිත්තලයෙක් නොවෙයිද ?
සෝමේ ආපසු හැරි බලා සිනාසුණේය.

“කවුද නෑ කිව්වේ සර්. ඒත් මිනිහා සල්ලි ගහ හොලවන වෙලාවේ අපි ඒවා ඇහිද ගන්න ඕනේ. නැත්තං අපි මෝඩයෝ. අනික සර් සරුව පිත්තල වගේ පෙනුනට සල්ලි කොල සරුව පිත්තල නොවෙයිනේ.”

“එතකොට සෝමේ මිනිහට ඡන්දෙ දෙන්නේ නැද්ද ?”

“පිස්සුද සර් ? අපි එච්චරම මෝඩ නෑ”

සෝමේ එසේ කියූව ද මට ඔහු විශ්වාස නැත. අප ජීවත්වන්නේ දිගින් දිගටම වෙට්ට පිත්තලයන් විසින් රවටනු ලබන සරුව පිත්තල රාජ්‍යයක බැවිනි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>