Contact us now +61(0) 433 638 610

Articles

තොටුපලේ භික්ෂූව

Posted in ජීවිතය,සාහිත්‍ය by on September 14, 2014

thotupole-bhikshuwa

- ඉසුරු ප්‍රසංග

තොටුපලේ භික්ෂූව
කුමක්ද හිමියනි
ඔලොගුවෙහි
වෙහෙසින් නොවෙද අතවැසි
රිදුම් දෙද ඔබේ දෑස
තොටියා සොයන
මීදුම් විදින උදෑසන

එතෙර වූයේ මෙතැනිනි
එතුමන්ද
නොවී ඔලොගුවක් උහුට
නොවී අතවැසි
තොටියකුද ආවේ නැත

තොටුපලේ භික්ෂූව නම් වන උක්ත නිමැවුම ප‍්‍රවීණ කිවියර ලාල් හෑගොඩයන්ගේ සදුන් අරටුව දැල්වූයේ ඔබයි කාව්‍ය සංග‍්‍රහයේ එන්නකි. හෑගොඩ කවියා තම සුපුරුදු කවි මගට තරමක් වෙනස්ව වචන ඉතා අරපරෙස්සමින් භාවිත කොට ලියා ඇති මේ කවිය, කවියාගේ ආධිපත්‍යය පතුරුවන්නකට වඩා, කවිය කියවන්නා වෙත වැඩි නිදහසක් පවරා දෙන්නකි. සැකෙවින් කිවතොත් මෙහිදී අපට හමුවන්නේ කවිය කියවන්නාගේ නිදහසට හිස නමමින් ඒ කියවීම සදහා ප‍්‍රවේශයක් පමණක් සපයා දී නිහඩව පසෙකට වන කවියෙකුගේ ගැඹුරු සිතිවිලි මාත‍්‍රයකි.

ශී‍්‍ර ලංකාවේ ආගමික සංස්කෘතික පසුබිම ආශ‍්‍රයෙන් කවියාගේ ප‍්‍රවේශය කුමක්ද යන්න සහ එහි නොකියන අරුත් අපට පහසුවෙන් හදුනාගත හැකි වුවද, ඒ ආගමික සංස්කෘතික පසුබිමේ කාලීන සංකීර්ණතා තුළම තබා මේ කවිය විවාදාත්මක ලෙසද කියවිය හැකි බව මෙහිදී අමතක කළ යුතු නොවේ. එහෙයින් මේ කවිය විදින්නකු ලෙස මට කළ හැක්කේද ඒ විවාදයේ මට තරම් යැයි හැගෙන තැනක සිටිමින් මේ කවිය ගැන මති මාත‍්‍රයක් පල කිරීමය.

කවිය ආරම්භ වන්නේ තොටුපලකින් එතෙර වීමට බලා සිටින භික්ෂුවක් ගැන සදහනකිනි. අනතුරුව මෙවැනිම ගංගාවකින් එතෙර වූ තවත් උත්තම පුරුෂයෙකු ගැනද කවියා සිහිපත් කරයි. ඒ උත්තම පුරුෂයා සිද්ධාර්ථ බව සැනෙකින් අපට සිහිගන්වනුයේ අපගේ සංස්කෘතික විඤ්ඤාණය විසිනි. උන්වහන්සේද එතෙර වන්නේ ගංගාවකිනි. එනම් නේරංජනාවෙනි. මෙහිදී නේරංජනාව යන්න හුදු භෞතික ගංගාවකට වඩා කාව්‍යමය වටිනාකම් රැසක් උසුලාගත් රූපකයක් වැනිය. ආරියවංශ රණවීර කවියා විසින් සිදුහත්ගේ අභිනිෂ්ක‍්‍රමණය හා චේ ගුවේරා බොලීවියාවට පිටත්වීම අරභයා ලියන ලද නේරංජනා නැමති කෙටි කවියද මෙහිදී මගේ සිහියට නැගෙනුයේ එය ඉහත කී රූපකයෙන් විපුල පල ප‍්‍රයෝජන ලත් නිර්මාණයක් වන බැවිනි.

මහත්ය ගත දුක් එගොඩෙහි
උදක්ම ලෝ සත වෙනුවෙනි
සදක්ම කළ යුතු විනිසෙකි
සුගක්ද මෙලොවෙහි මව් පුතු

තම කවියේ දෙවැනි පද සතර එසේ පබදන රණවීර කවියා දකින මේ නේරංජනාව දෙලොවක් අතරෙහි වන ඉමකි. මෙගොඩෙහි සුවදායක රජමැදුරුය. සුතනඹුවන්ය. එගොඩෙහි මහත් දුකින් තැවෙනා ලෝ සතය. ලෝකයට වැඩ පිණිස එගොඩට යාම සදහා මෙගොඩ ජීවිතය වටා ඉදිවී ඇති පුද්ගලිකත්වයේ ගංගාව අසීරුවෙන් තරණය කළ යුතුය. මේ ගංගා තරණය සසරින් එතෙර වීම සමගද අනුරූපී කර ගනිමින් කියවිය නොහැකිද ?

කෙසේ වුවද හෑගොඩ කවියා අපට පෙන්වන සිද්ධාර්ථ නේරංජනාව තරණය කර ඇත්තේ තනිවමය. එතුමන් අසල අතවැසියකු හෝ අත ඔලොගුවක් පවා නැත. වැදගත්ම කාරණය වන්නේ තොටියකුද නොසිටීමය. එනම් තමන් තමන්ගේ වීර්යයෙන් නේරංජනාව තරණය කරන්නට යන මේ ගමන බොහෝ ඇලීම් බැදීම් අත්හල ගමනක් බවද ඔලොගුව හා අතවැසියා පිළිබද රූපක ඔස්සේ කියවන්නාට හැගෙයි. එය වර්තමානයේ බහුභාණ්ඩිකත්වයට හා පාරිභෝජනවාදයට හසුවී සිටින ජනප‍්‍රිය භික්ෂුව පිළිබද පල කෙරෙන සාධාරණ නොමනාපයක් විය හැකි වුවද භික්ෂූ සාසනයේ අවනතීන් ගැන මහ හඩින් කතා කිරීමේ අසාධාරණ දේශපාලන ව්‍යාපෘතියක්ද පවතින බැවින් මේ කෙටි සටහන තුළ එකී සංකීර්ණ සංවාදයට අත නොතබා සිටීමට මට සිදුවෙයි. භික්ෂූ සාසනය කෙරේද බලපාමින් නූතන සමාජයම ගිලගනිමින් පවතින පාරිභෝජනවාදය හා සමාජ පාදඩකරණය බුදු සමයේ හෝ බෞද්ධ සංස්කෘතියේ නිර්මාණ නොවේ. දෙවනුව මේ කවියේ අරුත තුළින් මතු නොවන තවත් පාර්ශවයක් ගැනද මෙහිදී අවධානය යොමු කළ යුතු යැයි සිතමි. තොටුපලේ භික්ෂුව සියලූ ඇලීම් බැදීම් අතහැර තනිවම නදිය තරණය කරන උත්තම පුරුෂයෙකුට සමාචාර දක්වන මේ කවිය, බුදු දහම හුදු පුද්ගල විමුක්තියේ ආකාසගත දර්ශනයක් කිරීමට වෙර දරන්නන් අතද පහසු ආයුධයක් වීමේ අවධානම ඇත්තකි. එසේ වුවද සැබෑ සිද්ධාර්ථ යනු උත්තරීතර ඓතිහාසික දාර්ශනික සත්‍යයන් සහ කටුක ප‍්‍රායෝගික ලෝකය පටලවා ගත් අල්පශ‍්‍රැතයෙකු නොවේ. එතුමන් යස ඉසුරු අතහැර, තනිවම නදී තරණය කරමින් නික්ම ගියේ පුද්ගල විමුක්තියේ පරම සුවයක් වෙත නොව සුනීතලා, සෝපාකලා සහිත දැවෙන මිනිස් සමාජය වෙත බව අප විසින් කිසිවිටෙකත් අමතක නොකළ යුත්තකි. බුදු දහමින් සැලසෙන සමාජ විමුක්තිය කුමක්දැ යි මතුකෙරෙන ප‍්‍රශ්නයට පිළිතුරු දීමට මෙය නිසි තැන නොවුනද, සමාජ කි‍්‍රයාකාරිත්වයක් පිළිබද අදහසක් හෝ නොවී නම් භික්ෂූ ශාසනයක් ගොඩනැගීමටද බුදුන් වහන්සේට සිදු නොවේ. නමුත් කිසිවිටෙකත් නිර්වාණයක් අසල නොනැවතුනු බුදුන් වහන්සේ විශාල සමාජ ව්‍යාපාරයකට නායකත්වය දුන් ශාස්තෲවරයෙක්ද වූහ. භික්ෂු සාසනය යනු ඒ සමාජ ව්‍යාපාරයේ අරටුව බදු සංවිධානාත්මක ආයතනයකි. එවන් සංවිධානාත්මක ආයතන, බලාධිකාරීන් සහිත සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම යනු හැමවිටකම විශ්ව සාධාරණ, උත්තරීතර ඓතිහාසික සත්‍යයන් මත පිහිටා කළ හැකි කාර්යයක් නොවේ. එය ප‍්‍රති මල්ලවයන් හා ගැටීමට සිදුවන, සතුරු මිතුරු බලවේග කළමණාකරණය කිරීමට සිදුවන, ප‍්‍රතිවිරෝධතා මැඩලීමට සිදුවන, සාපේක්ෂ සත්‍යයයන් මත පිහිටා තීන්දු තීරණ ගැනීමට සිදුවන දේශපාලන කි‍්‍රයාවකි.

ඔලොගු, අතවැසියන් හෝ තොටියන් රහිතව ගිහිගෙයින් හෝ සසරින් එතෙර විය හැකි වුවද පෙර කී සමාජ ව්‍යාපාරය ගොඩනැගීමේදී අතවැසියන්, භෞතික සම්පත්, මහා විහාර, ආරාම, වගකීම්, තනතුරු, බල ව්‍යූහයන්, රාජ්‍ය අනුග‍්‍රහය, ආදී සියල්ල බුදුන් වහන්සේට අවැසි වූ බව බුදු සිරිත පිළිබද මූලික අවබෝධය ඇත්තකුට වුවද වැටහෙයි. එය බෞද්ධ දර්ශනයේ හරයන්ට පටහැනි නොවන්නේද යන ප‍්‍රශ්නය ලාමක මනසක් තුළ මතුවිය හැකි වුවද ප‍්‍රායෝගිකත්වය හා අභිමුඛ වන මෙකී දෙවන ප‍්‍රවේශය නොවන්නේ නම් විශ්ව සාධාරණ ධර්මතා සහිත බුදුසමයේ දාර්ශනික හරයෙන්ද ලෝකයට කිසිදු ප‍්‍රයෝජනයක් අත් කර දිය හැකි නොවේ. මෙය බෞද්ධ සංස්කෘතියේ පැවැත්මට එරෙහිව බෞද්ධ දර්ශනය තුළින්ම ආවුද සොයමින් සිටින බාලයන් විසින්ද තේරුම් ගත යුතු ප‍්‍රායෝගික ගැටලූවකි.

අවසාන වශයෙන් ගත්කල මා මෙහි දෙවනුව මතුකල ප‍්‍රවේශය, හෑගොඩයන්ගේ කවියේ අර්ථය නිශේධ කරන්නේද, යන පැනය මේ ලිපිය හමාර වීමේදී යමෙකුට මතුවිය හැක්කකි. කෙටි පිළිතුරක් දෙන්නේ නම් එය එසේ නොවේ. එක් සත්‍යයකින් තවත් සත්‍යයක් සපුරා අහෝසි වනු ඇතැයි සිතීම ලෝකය වටහා ගැනීමේ අතිශයින් කල් ඉකුත් වූ ප‍්‍රවේශයකි. ලෝකය විග‍්‍රහ කර ගත හැක්කේ කිසිදු ගැටීමකින් තොර එක් පැතලි කේවල සත්‍යයක් හෝ සත්‍යයන් පද්ධතියක් ලෙස නොව, එක විට එකට පවතින පරස්පර සත්‍යයන් සමුදායක එකතුවක් වශයෙනි. ප‍්‍රායෝගික ජීවිතයේදී අපට මේ පරස්පර සත්‍යයන් සමග කටයුතු කිරීමට සිදුවන අවස්ථා බොහෝය. ඒ නිසාම හෑගොඩ කවියා, කවිය තුළ මතුකරන කාරණය එක් සන්දර්භයක් තුළ සත්‍යයක් වන විට, මා විසින් විචාරය තුළ මතුකරන දෙවන කාරණය තවත් සන්දර්භයක් තුළ සත්‍යයක් වන බව වටහා ගැනීමෙන් පාඨකයාට මේ කවිය වඩා පුලූල්ව වින්දනය කළ හැකි වනු ඇතැයි සිතමි.

1 comment.

One thought on “තොටුපලේ භික්ෂූව

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>