Contact us now +61(0) 433 638 610

Articles

මයුරිගෙ කතාව

Posted in කාලීන by on March 11, 2013

ශීලා ජීවත් වූනේ ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ නම්සාර් කියන ප‍්‍රදේශයේ. වෘත්තියෙන් බොම්බායේ ආයතනයක ගණකාධිකාරීවරියක්. වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් එංගලන්තයේ ජීවත් වෙනවා. ශීලාගේ මවත් ඔවුන් සමග එංගලන්තයේ ජීවත් උනා. ශීලාගේ සැමියා ජග්දීශ්. ඔහු තමාගේම ව්‍යාපාරයක් ජීවිත වෘත්තිය කරගෙන සිටියා. ශීලාටත්, සැමියාටත් දියණියන් දෙදෙනෙකු සිටියා. වැඩිමහල් දියණිය ජයශ‍්‍රී. දෙවැන්නිය මයුරී. ජග්දීශ් ටිකෙන් ටික බීමට ඇබ්බැහි වෙලා. අන්තිමට හොඳම බේබද්දෙක් උනා. ශීලා බොම්බායේ තම රැකියාව කරන නිසා දියණියන් දෙදෙනා ජීවත් වුණේ නව්සාරීවල තම පියා සමග. සති අන්තවල නව්සාරිවලට එන ශීලාට නිවසට ගොඩවැදුණු ගමන්ම අසන්නට ලැබෙන්නේ බේබදුකම්. ධනවත් නොවූවත් යමක් කමක් තිබුණු ඔවුන්ගේ පවුල ටිකෙන් ටික ගරා වැටෙන්නට පටන් ගෙන තිබුණා. මේ නිසාමත් බේබදු සැමියා සමග දියණියන් දෙදෙනා අනාරක්‍ෂිත නිසාත් වැටුපෙන් අඩු වුණත් නව්සාර් ප‍්‍රදේශයේම රැකියාවක් ලබා ගෙන දියණියන් දෙදෙනා සමග ජීවත් වෙන්නට ශීලා නව්සාරියට ආවා. ටිකෙන් ටික පවුලේ අඩදබර ආරම්භ වුණා. තම ව්‍යාපාරය නැත්තටම නැති වී වටපිටාවට ණය වෙන්නට පටන් ගත් විට ශීලාගේ වැටුපෙන් කොටසක් වරින් වර ජග්දීශ්ගේ තැබෑරුම්වලට ගෙවන්නට සිදු වුණා. ඇත්තටම මුදලක් නැති වූ විට ජග්දීශ් ශීලාට හොඳහැටි තලන්නට පටන් ගත්තා. මේවායින් බේරෙන්නට තමා මෙන්ම දියණියන් සතුව තිබුණු කණකර ආභරණ පවා ජග්දීශ්ට දෙන්නට ශීලාට සිදු වුණා. නිවසේ අගහිඟකම් මෙන්ම අඩදබර අනන්තයි. එතෙර සිටින ශීලාගේ සොහොයුරන් මුලදී මුදල් එව්වත් ඒ මුදල්වලට සිදු වන දේ දැන ගත් විට එයද නතර වුණා. තම මවට පහර දෙන විට මයුරී නිහඬවම සිටියත් ඇතැම් අවස්ථාවල ඉවසන්නට බැරිම තැන ජයශ‍්‍රී දෙදෙනා අතරට මැදි වී පියාගෙන් අම්මා ගළවා ගන්නවා. ජයශ‍්‍රීටද පහරක් දෙකක් වැදීම ස්වභාවිකයි.

දිනක් බීමත්ව නිවසට පැමිණි ජග්දීශ් මුදල් ඉල්ලා කරදර කිරීම ශීලාට පහර දීමට තරම් දුර දිග ගියා. මවට පහර දෙන විට ජයශ‍්‍රී මැද්දට පැන්නා. ජග්දීශ්ගේ වේගවත් පා පහරක් වැදුණේ ජයශ‍්‍රීගේ උදරයේ පහළ කොටසට. මේ වේගවත් පහර වැදී ජයශ‍්‍රී සිහිසුන්ව වැටුණා. ජග්දීශ් මේ දෙසවත් නොබලා නිවසින් පිටව ගියා. සිහිසුන්ව වැටුණු දියණිය ඔසවා ගත් ශීලා නතර වුණේ ආරෝග්‍ය ශාලාවෙ.

‘‘මොකද උණේ’’ වෛද්‍යවරුන් විමසුවා.

මයුරී නිහඬවම උන්නා. තවදුරටත් ජග්දීශ්ට සමාව දී ඔහු හොඳ මිනිහෙකු වේ යැයි බලාපොරොත්තුවෙන් ශීලා නිහඬව උන් මයුරිගේ මුහුණ බැලූවා. ‘‘මෙයින් පසුවවත් ජග්දීශ් බීම අත අරීවි.’’ ශීලා කල්පනා කළා.

‘‘ළමයාගේ තත්වය බරපතළයි. තදබල පහරක් වැදීමෙන් අභ්‍යන්තර ලිංගික අවයවවලට තුවාල හා තැලීම් සිදු වෙලා. යෝනි විවරයෙන් අධික ලෙස රුධිරය ගලනවා. තවම ළමයට සිහිය නෑ. මොකද උණේ’’ ශීලාගේ නිහඬතාවය ඉවසා ගත නොහැකි වූ වෛද්‍යවරයා තදින් ඇසුවා.

‘‘මොනවා හරි උණොත් මයුරිට තාත්ත කෙනෙක් නැති වෙනවා. ඉන්දියානු සමාජයේ පිළිකුලට භාජනය වන තමා තනි වූ ගැහැණියක වෙනවා.’’ ශීලා කල්පනා කළා.
‘‘මොකද උණේ.’’ වෛද්‍යවරයා නැවත ඇසුවා.

‘‘වැටුණා.. පඩිපෙළෙන් පහළට වැටුණා. කොන්ක‍්‍රීට් කණුවක වදින්න ඇති.’’ ශීලා උත්තර දුන්නා. කතාව ඉවරයි. ඒත් වැසි කුණාටු සහිත අන්ධකාර රාත‍්‍රියේ ජයශ‍්‍රී හැමෝගෙන්ම සමු ගත්තා. ජයශ‍්‍රීගේ මරණයටවත් ජග්දීශ් ආවේ නෑ. කවදා හරි ඒවි. ශීලා කල්පනා කළා. මයුරී නිහඬව උන්නා. ජග්දීශ් නීතියෙන්ද වරදකරුවකු වන්නේ නැහැ.

‘‘ජයශී‍්‍ර ශාන්තා නව්පීක් – අභ්‍යන්තර තැලීම් හා රුධිරය අධික ලෙස වහනය වීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුළ රුධිරය කැටි ගැසීමෙන් සිදු වූ ස්වභාවික මරණයක්.’’ ජයශ‍්‍රීගේ මරණ සහතිකය ලියවී තිබුණේ එහෙමයි.

ජග්දීශ් දිනක් නිවසට ආවා. ශීලා හැමදේටම සමාව දුන්නා. කලකට පසු උදා වූ සොඳුරු රාත‍්‍රියක්. ජීවිතය යළිත් හොඳ වේවි. ශීලා කල්පනා කළා. ඒත් මාස කීපයයි. ජග්දීශ් පරණ මිනිහා බවටම පත් වුණා. තම බාලදියණියගේ ජීවිතයත් අකාලයේ බේබද්දාට බිලි නොදෙන්නට ශීලා කල් ගත්තේ නෑ. එතෙර සිටින සොහොයුරන්ටද මවටද තම තීරණය දන්වා ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන ශීලා ජග්දීශ්ගෙන් වෙන්වන්නට නීතියේ පිහිට පැතුවා.

දික්කසාදයකට හේතුව කුමක්ද? ජයශ‍්‍රීගේ මරණය නැවත අළුතින් ලියන්නට බෑ. බේබදුකම ඔප්පු කළ යුතුයි. අක‍්‍රමික ද්වේශසහගත ලෙස අත්හැරීමක්ද, ලිංගික අනාචාරයක්ද, දිගු කලක් වෙන්ව සිටීමක්ද යන කිසිම නඩු නිමිත්තක් පහළ වෙලා නෑ. පැවරූ වෙන් වීමේ නඩුවට නීතිය පිළිතුරු දුන්නේ ඉන්දියානු රුපියල් එක්ලක්ෂ පනස්දාහක් වන්දි වශයෙන් ගෙවා ශීලාට ජග්දීශ්ගෙන් නීත්‍යානුකූලව වෙන් විය හැකි බවයි. සොහොයුරන් එයට මුදල් දුන්නා. ශීලා තම කරදරකාරී ජීවිතයෙන්ද නීතියෙන්ද වෙන් වුණා.

සොහොයුරන්ගේ උපදෙස් හා මැදිහත් වීමෙන් මයුරී එංගලන්තයට ගෙන්වා ගත්තේ එරට විසු ඉන්දියානු තරුණයකුට නීතියෙන් විවාහ කර දීමෙන්. ශීලාට සැනසුම් සුසුම් හෙළන්නට හැකි වුවත් ඇය ඉන්දියාවේ තනි වුණා. නැවත බොම්බායට ගිය ශීලා නව්සාරිය අමතක කර දැම්මා. තනිවම ජීවිතයට මුහුණ දෙන්නට අදිටන් කර ගත් ඇය මහලූ කාන්තාවකගේ නිවසේ නතර වුණා. මේ කතාවේ අනිත් පැත්ත නවසීලන්තයේ.

රංජන් තමාගේම ව්‍යාපාරයක් සතු මුදල් හදල් අතින් කිසිම අගහිගයක් නැති මැදි වයසෙ අයෙක්. පහුගිය වසර 17 ක කාලය තුළ මා ඔහුගේ හොඳම මිතුරෙක්. මට වඩා වසර දෙකකින් බාලයි. ඉන්දියානු බිරිඳත් වැඩිමහල් දියණියන් දෙදෙනාත් එකම පුතාත් සමග ඔහු ජීවත් වුණේ ණය බරින් නිදහස් ඔහුගේම නිවසේ. බිරිඳ සමාජයේ පොදු කටයුතුවලට අතහිත දුන් කවුරුත් දන්නා යහපත් කාන්තාවක්. ඒත් රංජන්ට අනියම් සම්බන්ධයක් තිබුණා. මෙය මෙරට ඉන්දියානු සමාජය තුළ කවුරුත් දන්නා රහසක් වී තිබුණා. තම අනියම් බිරිඳට නිවසක් මිල දී ගත් රංජන් බොහෝ රාත‍්‍රී කාලයන් ගත කළේ ඒ නිවසේ. මිතුරකු වුවත් පවුලේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වීමට මට කිසිම අයිතියක් නැහැ. මට සිදුවුණේ දෙපැත්තෙම දුක් ගන්නා රාළ වීමටයි. දෙපැත්තම කියන දේ අහගෙන සිටියත් මට වෙන කරන්නට දෙයක් නෑ.

රංජන්ගේ බිරිඳ මිය ගියේ අක්මාවේ හට ගත් පිළිකා රෝගයකින්. මිය යන්නට ඇත්තේ සැමියා සමග වෛරයෙන් සහ දරුවන්ට ආදරයෙන්. මිය ගියෙත් විවාහ වූ දා සිට තම සැමියා සමග නිදා ගත් කාමරයේ එම සයනයේ.

බිරිඳ මිය ගිය පසු තමා විවාහ කර ගන්නැයි රංජන්ගේ අනියම් බිරිඳගෙන් බලපෑම් ඇති වන්නට පටන් ගත්තා. අම්මාට පිළිකා රෝගය වැළඳුණේ පියාත්, අනියම් බිරිඳත් අතර සම්බන්ධය නිසා යැයි තරයේම සිතා සිටි දරුවන් තිදෙනා මෙම අනියම් බිරිඳව තදින්ම පිළිකුල් කළා. සමාජය තුළත් පැතිර ගියේ ඇය නිසාම රංජන්ගේ බිරිඳට පිලිකා රෝගය වැළඳෙන්නට තරම් සිත් තැවුල් ඇති වූ බවයි.

මේ නිසාම රංජන් තම දෙවැනි විවාහය වරින් වර කල් දැම්මා. කිසිම පොරොන්දුවක් නැති මිනිසකු නිසා තම තරුණ බව විනාශ වන බව සිතූ රංජන්ගේ අනියම් බිරිඳ ඇමරිකාවේ පදිංචි වෛද්‍යවරයකු සමග විවාහ වී එහි පදිංචියට ගියා. රංජන් නවසීලන්තයේ තනි වුණා. දරුවන් තිදෙනාද රංජන් පිළිබඳව එතරම් තැකීමක් කළේ නැහැ. දෙමව්පිය පාලනයෙන් තොර වූ දියණියන් දෙදෙනා දැනට විවාහයන් දෙක බැගින් කරගෙන දරුවන් සමග තනි වෙලා. එකම පුතා හිතුවක්කාරයකු වෙලා.

බිරිඳගේ මරණයත්, අනියම් බිරිඳගේ වෙන් වීමත් අතර අතරමං වූ රංජන්ට ටිකෙන් ටික ජීවිතයේ තනිකම හා පාලූව දැනෙන්ට පටන් ගත්තා. අන්තර්ජාලයේ කපුකම් කරන වෙබ් අඩවියක ලියාපදිංචි වූ රංජන් ජීවිතයේ තනිකමට සහකාරියක් හොයන්නට පටන් ගත්තා. ශීලාගේ සොහොයුරන්ද එංගලන්තයේ සිටින ශීලාගේ දියණිය මයුරි හා එක්ව මෙම වෙබි අඩවියෙන් ශීලාට ද සහකරුවකු හොයන්නට පටන් ගෙන තිබුණා.

රංජන් ශීලා මුණ ගැහුණේ මේ විදියට. මහබඹා නළලේ කෙටු කෙනාත් ඉරණමත් අපට වෙනස් කරන්නට බෑ. රංජන් ඉන්දියාවට ගොස් ශීලා විවාහ කර ගත්තා චාම් ඉන්දියානු උත්සවයක් සමග. නැවත නවසීලන්තයට පැමිණි රංජන් ශීලාට නවසීලන්තයට එන්නට වීසා බලපත් ලබා ගන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයදුම්පතක් දැම්මා.
වරදක් වෙන්නට කිසිම විදියක් නෑ. නවසීලන්තයේ පුරවැසියකුට ඕනෑම රටකින් බිරිඳක් ගෙන ඒමට අයිතියක් තිබෙනවා, නීතියෙන් ඔවුන් දෙදෙනාම නිදහස් නම්. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දිල්ලියේ ශාඛාවෙන් ශීලාව දුරකථනයෙන් පරීක්‍ෂණයක් කළා. සියල්ලම හොඳයි. නිළධාරිනිය තවත් ප‍්‍රශ්නයක් ඇහුවා. ඒ ශීලාගේ දියණියන් ගැන.

‘‘මට දියණියන් දෙදෙනෙකු සිටියා. එක් අයෙක් මරණයට පත් වුණා. අනික් දියණිය එංගලන්තයේ පුරවැසිභාවය ලබා එහි ජීවත් වෙනවා.’’

‘‘ඒත් ඔබේ අයදුම් පත‍්‍රයේ ඔබ සඳහන් කර ඇත්තේ එක් දියණියක් ගැන පමණයි. ඒ නිසා මියගිය දියණියගේ මරණ සහතිකයක්, එංගලන්තයේ ජීවත් වෙන දියණියගේ ගමන් බලපත‍්‍රයේ සහතික පිටපතක් හෝ පුරවැසි සහතිකයේ පිටපත් අවශ්‍යයි.’’ නිළධාරිනිය දුරකථනය විසන්ධි කළා. පහසු කටයුත්තක්. ඉක්මණින්ම මේ දෙකම නිළධාරිනියට විද්‍යුත් ලිපියක් මගින් යැව්වා. ප‍්‍රශ්නය බැරෑරුම් උණේ ඒ සමගම. නිළධාරිනිය ශීලාට දුරකථනයෙන් කතා කළා.

‘‘ජයශ‍්‍රී ශාන්තා නව්නීත්’’ ඇගේ මරණ සහතිකය නිවැරදියි.

‘‘ජය ශ‍්‍රී ශාන්තා නව්නීත්’’ එංගලන්තයේ ජීවත් වන දියණියගේ ගමන් බලපත‍්‍රයේත්, පුරවැසි සහතිකයේත් ඇත්තේ ඒ නමයි. ‘‘ඒත් ඔබ කීවේ එංගලන්තයේ ජීවත් වන්නේ මයුරි ජසින්තා නව්නීත් යන අය බවයි. මේවා පරස්පර විරෝධීයි. නවසීලන්තයට වීසා බලපත‍්‍රය දෙන්න මේවා නිවැරදි විය යුතුයි. මිය ගියේ ජයශ‍්‍රී ද, මයුරි ද උත්තර දෙන්න.’’

රංජන්ගේ නව බිරිඳගේ වීසා බලපත‍්‍රය ගැන නිතර විමසන මටත් එංගලන්තයේ ශීලාගේ සොහොයුරන්ටත් රංජන් කතා කළා. ඇත්තටම මිය ගියේ ජයශ‍්‍රී. මයුරීට විවාහ වන්නටත්, ගමන් බලපත‍්‍රය හා වීසා ලබා ගන්නටත් වයස සම්පූර්ණ වී තිබුණේ නැහැ. මයුරී එංගලන්තයට ගෙන්වා ගැනීමට, විවාහ කර දීමට ජයශ‍්‍රී බවට පත් කර තිබුණා. එදා සිට මිය නොගිය මයුරී මිය ගියා. මිය ගිය ජයශ‍්‍රී යළි උපන්නා. ඒත් මේ කතාව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කියන්න බෑ.

දැන් ලිඛිත සාක්කි දෙපාර්තමේන්තුවට යවා අවසන්. ඒවා වෙනස් කරන්නටත් බෑ. නීතිඥ උපදෙස් පැතුවත් ඔවුන් ද කීවේ කරන්නට දෙයක් නැති බවයි. අන්තිමේදී එක් නීතිඥවරයෙකු උපදෙසක් දුන්නා. ‘‘ජයශ‍්‍රී ගේ මරණයත් සමග තමා අධික චිත්ත පීඩාවට පත් වූ බවත්, සැමියාගේ බේබදුකමත්, දික්කසාදයත් යන මේවා නිසා ජීවිතය පවා නැති කර ගන්නට සිතූ බවත්, මයුරී ශාරීරිකව තමා ළඟ සිටියත්, ජයශ‍්‍රී තමා ළඟ කෙසේවත් නැති නිසා මයුරීවත්, ජයශ‍්‍රීවත් දෙදෙනාවම ජීවත් කරවන්නට මයුරීගේ නම ජයශ‍්‍රී ලෙස වෙනස් කළේ දියණියන් දෙදෙනාම තමා ළඟ ඉන්නවා යැයි සිතා සැනසීමට පත් වීමේ අහිංසක චේතනාවෙන් බවත්, වීසා අයදුම් පත‍්‍රයේ එක් දියණියක් ගැන පමණක් සඳහන් කළේ මිය ගිය දියණිය ගැන එහි සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතූ නිසා බවත් මෙය අහිංසක මවකගේ අහිංසක චේතනාවක් බවත් එම ලිපියේ සඳහන් කළා. එංගලන්තයේ සිටින දියණියට ඕනෑම අවස්ථාවක නිදහස් නවසීලන්තයට ඒමට හැකි නිසා මෙම වීසා බලපත‍්‍රයට ඇයගේ බලපෑමක් නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කළා.

අවසානයේදී ශීලාට නවසීලන්තයට ඒමට වීසා බලපත‍්‍රය අනුමත වුණා. ඒ අනුව පසුගිය වසරේ රංජන් ඉන්දියාවට ගොස් ශීලාව මෙහි කැඳවාගෙන ආවා. ජීවත්වන තැනැත්තියක් මරා දැමීමත්, මිය ගිය තැනැත්තියක් ජිවත් කරවීමත් මෙම කතාවේ වැදගත් දෙයයි. මිය ගියේ අහිංසක මයුරි. මේ කතාවට සම්බන්ධ තවත් කතාවක් දැන් උද්ගත වෙලා. ඒ කතාව ලබන කලාපයෙන් කියන්නම්. ඒත් එය කියවන්නට මේ ලිපිය නැවත කියවිය යුතුමයි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>