Contact us now +61(0) 433 638 610

Articles

මෙම දේවස්ථානය මහනුවර කුමාරයා විසින් සාදන ලදි

Posted in ආගමික by on December 13, 2012

ලාංකිකයන් ගැන කොතැනක හෝ සදහන් වෙනවා නම් අපට දැනෙන්නේ විශාල ආඩම්බරයකි. එසේම ශී‍්‍ර ලාංකිකයෙකු විසින් තනන ලද ගොඩනැගිල්ලක් යූරෝපියයන් විසින් ආරක්ෂා කරන්නේ නම් එයද අපට මහත් ගෞරවයකි – ආඩම්බරයකි. මෙවැනි ගොඩනැගිල්ලක් සම්බන්ධව රසවත් සිද්ධියක් 1955 පමණ වන විට ලංකාවේ තිබූ පෘතුගීසි පල්ලි පිළිබදව විමර්ශනයන් කිරීම සදහා පෘතුගාලයේ ලිස්බන් නුවරට ගිය ගරු ඩබ්. ඇල්. ඒ දොන් පීටර් දේවගැතිතුමා විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම ගොඩනැගිල්ල පැරණි කතෝලික දේවස්ථානයකි. එය පිහිටා ඇත්තේ පෘතුගාලයේ අගනුවර වූ ලිස්බන් නුවරට ආසන්න ග‍්‍රාමයක් වූ තෙල් හීරාස් නම් නගරයේය. මෙම දේවස්ථානයේ උපත පිළිබද සුලමුල ඇරඹෙන්නේ කි‍්‍ර.ව. 1592 ලංකාවේ කන්ද උඩරටිනි.
එකල උඩරට සිටි කරලියද්දේ රජු, රාජසිංහ රජුගේ අඩන්තේට්ටම් ඉවසනු නොහැකිව පෘතුගීසින් වෙත පලා ගියේ තම සිගිති දියණිය ඇතුළු තවත් පිරිසක්ද කැටුවය. ඔහුගේ දියණිය කන්ද උඩරට රාජධානියේ එකම උරුමක්කාරිය වූ කුසුමාසන දේවිය (කතිරිනා) නම් වූවාය. පෘතුගීසි ජාතිකයන් යටතේ හැදී වැඩුනු ඇය කි‍්‍රස්තු භක්තික කාන්තාවකි. ඔවුන් ඇයව බොහෝ රැුකවරණය ඇතිව ඇති දැඩි කළේ ඇයට තිබෙන ලෙන්ගතුකම නිසා නොව කන්ද උඩරට රාජධානිය කෙරෙහි ඇති ලොල් බව නිසාය. කුඩා කල සිටම ඇය බොහෝ මානසික දුක් පීඩාවන්ට ගොදුරු වූවාය. ඇයගේ පියාගේ ඇවෑමෙන් ඇගේ භාරකාරත්වය පැවරී තිබුණේ ඇයගේ ලේ නෑයෙකු වූ දොන් පිලිප් යමසිංහයන්ටය. කතිරිනා කුමරිය තවමත් කුඩා දැරියක වූ බැවින් 1592 දී පෘතුගීසි ජාතිකයන්ගේ සහාය ඇතිව මහනුවර රජ වූයේ දොන් පිලිප් යමසිංහ කුමරුවන්ය. ඔහුගේ දොළොස් හැවිරිදි පුත් දොන් ජුආවෝ ඔහුගෙන් පසුව සිහසුනට හිමිකම් කීය.

නමුත් දරුවෙකුට හෝ කි‍්‍රස්තු භක්තික අයෙකුට රාජ්‍ය ලබාදීම කන්ද උඩරට සිරිත නොවීය. පෘතුගීසි භටයින්ගෙන් සිදු වූ දුක් ගැහැට බලාසිටිය නොහැකි තැන දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර නම් රදළ කුමරා යමසිංහ රජු මරා පළමුවන විමලධර්මසූරිය නමින් රජ විය. විමලධර්මසූරිය රජුගේ රජකම ස්ථිර වන්නට නම් ඔටුන්නට හිමිකම් ඇති කෙනෙකුගේ සහාය අවශය විය. මේ නිසා ටික කලකට පසුව කුසුමාසන දේවිය සිය බිසව ලෙස කරකාරයට ගන්නා ලදී. විමලධර්මසුරිය රජු රට ගැන සිතූ දැහැමි පාලකයෙකු විය.

තම පියාගේ මරණින් පසු අසරණ වන කුඩා දොන් ජුආවෝ කුමරු රහසේම කොළඹට පළා විත් පෘතුගීසීන්ගේ රැුකවරණය මධ්‍ය- යේ ජීවත් විය. ඉගෙනීමට උපන් හපන්කම් ඇති මේ කුමරුවාට පෘතුගීසීන් අභිබවා යන තරමට පෘතුගීසි භාෂාව කතා කිරීමේ හැකි-යාවක් තිබුණි. ඔහු මෙන්ම ඉගෙනීමට දක්ෂ තවත් කුමරෙක් කොළඹ කොටුවේදී දොන් ජුආවෝට මුණ ගැසුණි. ඒ අන් අයෙකු නොව සීතාවක රාජධානියේ පළමුවන රාජසිංහයන්ගෙන් පසු සිහසුනට උරුමක්කාරයාවූ නිකපිටියේ බන්ඩාරයන්ය.

මන්නාරමේ ප‍්‍රැන්සිස්කානු අසපුවේත් එකල කොළඹ තිබූ උසස් විදුහලක් වු ශාන්ත අන්තෝනි විදුහලේත් ඉගෙනීම ලැබූ මේ කුමාරවරු දෙපළගේ ඉගෙනීමට ඇති හැකියාව නිසා වැඩිදුර අධ්‍යාපනය පිණිස ඔවුන්ව ගෝවේ මාගි නම් උසස් පාසැලට යවන ලදී.

නිකපිටියේ බන්ඩාර සමග නැව් නැගි දොන් ජුආවෝ කුමරුන්ගේ බලාපොරොත්තුව වූයේ ඉගෙනීමේ කටයුතු අවසන් කොට ලංකාවට පැමිණ කන්ද උඩරට තම අයිතිය ලබා ගැනී -මටය. නමුත් ගෝවේ අවුරුදු පහළොවක් ඉගෙනීමේ යෙදී සිටියදී දොන් ජුආවෝ කුමරුන්ගේ සිත ක‍්‍රමයෙන් ලෞකික ආශා-වන්ගෙන් ඈත්ව පූජකයෙකු වීමේ අරමුණ කරා යොමු වන්නට විය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම පෘතුගාලයේ රජුගේ අණ පරිදි ලිස්බන් නුවරට ගෙන්වා එරට ඉතා උසස්ම සරසවිය වූ කොයිම්බ්රා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන ලදි.

පැරණි ලේඛන වලට අනුව එදා ඒ නුවර වැසියන් මේ කුමාරවරුන් දෙපළ ඉතා ආදරයෙන් හා හරසරින් පිළිගෙන තිබේ. රාජකීය අමුත්තන්ට හිමි සියලූ සත්කාර හා වරප‍්‍රසාද මොවුන් දෙදෙනාටද හිමි විය. නමුත් මේ අතර දොන් ජුආවෝගේ ජීවිතයේ තවත් දුක්බර අවස්ථාවක් පැමිණියේය. එනම් තමාගේ සෙවනැල්ල මෙන් සිටි නිකපිටියේ බණ්ඩාර ඉතා තදබල ලෙස රෝගාතුර වී මිය යාමය. ඒ 1611 දිය.

නිකපිටියේ කුමරුන්ගේ මරණින් බලවත් සිත් තැවුලට පත් දොන් ජු ආවෝ කොයිම්බ්රා සරසවියේ ඉගෙනීම අත්හැර දමා ලිස්බන් නුවරම නැවතුණි. 1611 නොවැ. 26 වැනි දින ඔහු පූජක වරප‍්‍රසාද ලැබුවේය. එතැන් පටන් ඔහුගේ වාසස්ථානය බවට පත් වන්නේ Moorish Quarte හි පිහිටි මාලිගයකි. පසුව රජුගේ අණින් විශේෂ වැටුපක් ලෙස ඔහුට කෲසෝ 4000 ක් ගෙවූ අතර එහිදී මහනුවර රජු වශයෙන් ඔහුව පිළිගැනීමද සිදුවිය. මීට අමතරව ආගමික නායකයින් වූ බිෂොප්වරුන් සමග එකට අසුන් ගැනීමේ වරප‍්‍රසාදයද ඔහුට හිමි විය.

තමන්ට සැලකූ පෘතුගීසි ජාතිකයන්ටත්, කතෝලික ධර්මයටත් කලගුණ සැලකීමක් වශයෙන් තම වියදමින් දේවස්ථානයක් ගොඩනැගීමට දොන් ජුආවෝ කල්පනා කළේය. පසුව ඔහු විසින් 1625 දී තෙල්හීරාස් නම් නගරයේ එක්තරා භූමි භාගයක යාඥා ගෘහයක් ඉදිකරවන ලදී. ඒ කාලයේදීම ඔහුBrotherhood our lady of Heavens door බිහි කිරීමටද මූලික විය. මෙයින් අපේක්ෂා කෙරුනේ ප‍්‍රැන්සිස්කානු නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු සැලසීමය.

එවකට පෘතුගාලයද ස්පාඤ්ඤයේම කොටසක් වූ බැවින් 1626 දී වැටුප් පිළිබදව කතා කිරීමට ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරට ගොස් එහි රජතුමා බැහැදැකීමේ අවස්ථාවද ඔහුට උදාවිය. පෞද්ගලිකවම 1ඪ පිලිප් රජු හමුවී කන්ද උඩරට රාජ්‍ය සදහා තමන්ට ඇති අයිතියද පිලිප් රජුට පැවරුවේය. එමෙන්ම ඒ වන විට ඔහුට ලැබුණු දීමනාව ප‍්‍රමාණවත් නොවන බව දැනුම් දීම නිසා එය කෲසෝ 8000ක් දක්වා වැඩිකර ඔහුව ස්පාඤ්ඤයේ ග‍්‍රැන්ඞී තනතුරට පත් කළේය.

පසුව Telheiras වෙත ගිය ඔහු තමන්ගේ ඉඩමේ පල්ලියක් හා පූජකාරාමයක් ඉදිකි-රීමට කටයුතු කළේය. එය ”නාස්සා සෙන් හෝරා ඩා පෝටා ඩි සියෝ” (මෙහි ඉංගී‍්‍රසි අර්ථය Our Lady of Heaven’s door හෙවත් ස්වර්ගයේ වැඩ වසන දේව මාතාවන් වෙනුවෙන් නම් කළේය. 1639 ඔක්. 20 වන දින ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ප‍්‍රැන්සිස්කානු පූජකවරුනට එය භාර දී දේවස්ථානයට ආසන්නයේ ඇති උද්‍යානයක්ද පරිත්‍යාග කර තමන්ට ලැබෙන මුදලින් කෲසෝද 1000 ද ඊට ලැබෙන්නට සැලැසුවේය.

Moorish Quarte හි තිබුණ නිවහනේ ජීවත්වූ දොන් ජුආවෝ එහිදී සුසානා ද ආබෲ නම් කාන්තාව සම`ග ජීවත් වූ බව කියැවේ. ඒ සම්බන්ධය නිසා ඔහුට දාව සුසානා 1634 දී ගැහැණු දරුවෙකු බිහි කළාය. ඇය මාරියා ඇන්ටෝනියා නම් වූ අතර පසුව ඇය කන්‍යා සොයුරියක් වූ බව දැක්වේ.

වසර 64ක් පමණ ජීවත් වූ දොන් ජු ආවෝ පෘතුගාල වැසියන් විසින් හදුන්වන ලද්දේ ඊක්ජන Black Prince යන නමිනි. ඔහු මියගියේ 1642 අපේ‍්‍රල් 01 වෙනිදා Moorish Quarte හි නිවහනේදීය. එතෙක් ඔහු විසින් සාදන ලද දේවස්ථානයේ බැතිමතුන් දහස් ගණනකට ඔහු විසින් දේව මෙහෙයන් පවත්වා ඇත. ඔහුගේ ඉල්ලීමකට අනුව ඔහුගේ මෘත දේහය තැන්පත් කරනු ලැබුවේද මේ දේවස්ථානයේමය. පසු කාලයක එය කඩා විනාශ කොට ඇත. නමුත් මේ සොහොනේ තිබූ පාෂාණමය කොටස් 2ක් ලිස්බන්හි ඇති කාර්මෝ පුරා විද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබේ.

1708 දී පූජකවරු විසින් දොන් ජුආවෝ මිහිදන් කළ ස්ථානයේ කැණීම් කොට අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඒවා ගෞරවයෙන් යුතුව දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඩ වලින් නිර්මිත සොහොන් ගැබක තැන්පත් කරණ ලදි. එහි පහත සදහන් වැකිය සටහන් කොට ඇත.
“fuisacram hanc Mariae Principis ossa septiantur”

(මෙහි වලදමා ඇත්තේ මරියතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය) අදටත් මේ දේවස්ථානයට රොක්වන බැතිමතුන් තම ගීතිකා මගින් ඒ පි‍්‍රන්සිපි නිග්‍රෝ (කළුකුමාරයාණෙනි) යන වදන් ඇතුළත් කොට ජු ආවෝට ඔවුනගේ භක්ති ප‍්‍රණාමය පුදති. එසේම දේවස්ථානයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව අභියස ආරුක්කුවේ මෙම වැකිය ගලින් කොටා ඇත.

”මෙම දේවස්ථානය මහනුවර කුමාරයා විසින් සාදන ලදී”

එම වැකියම සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින අපට ආඩම්බරයක් නොවන්නේද?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>