Contact us now +61(0) 433 638 610

Articles

ලෝකයේ ධනවත්ම අම්මා කෙතරම් අසරණද ?

Posted in කාලීන by on December 16, 2012

අවුරුද්දක්ම අප සමග ගත කරමින් අපේ දරු පැටවුන් බලා කියා ගත් අම්මා ආපසු ලංකාවට යන්නටයි සූදානම.
මහ රෑ මැදියම නින්ද අතරමග කැඞී අවදි වෙන පුංචි දෝණිට තමන්ගේ නිදිමත නොසලකා හැර ඇය කොතරම් හැඩ වැඩ දමා කතා කියා දුන්නාද ? මුළු ගෙදරම වැඩත් දෙදරුවන්ගේ වැඩත් කර හොඳ හැටි මහන්සි වී ඇඳට යන අම්මාට රෑටවත් නිදහසේ නිදා ගන්නට නොලැබුණේ ඒ කතා කීමේ හැකියාව නිසයි. තුන් නින්දෙනුත් එහා ඉඳලා අතරමගදී ඇහැරුණ විට කෙනෙක් මේ තරම් ආයිත්තම් කර ඉවසීමෙන් කතන්දර කියන්නේ කොහොමද ? අපි කතා වුණා.

මගේ දරුවෝ දවල්ටත්, රෑටත් නිදා ගත්තේ අම්මාගේ කතන්දර අහමින්. දවස පුරාම ඔවුන්ව නාවා, කවා, පොවා බලාගත්තේ අම්මා. ඒ නිසාමදෝ අපි ළඟ පාතක හිටියත් බඩගිනි දැණුනු විට, නිදිමත ආ විට ඔවුන් අම්මා ළඟටයි හැරුණේ. ඊට කළින් මගේ නැන්දම්මා හිටියා. අවුරුදු ගණනක්ම මාරුවෙන් මාරුවට ළමයි බලා ගත්තේ අත්තම්මල දෙන්නා.

ඕස්ටේ‍්‍රලියාවේ දරා ගන්න බැරි හීතලට අම්මලාගේ ඇඟිලි පැලූණත්, කොන්ද කැක්කුම හැදුණත් ඔවුන් ඒවා ඉවසා ගත්තා. ලංකාවේ ගෙදර වත්තේ පිටියේ ඇවිදලා, වගා කරගෙන, පෝයට සිල් සමාදන්ව බණ භාවනා කරගෙන හිටිය අපේ අම්මා අවුරුද්දක්ම අපේ ගේ ඇතුළේ ඉතා කැමැත්තෙන් සිරගත වෙලා හිටියා. දැන් ආපසු ලංකාවට යන විට වසරකට පසු ගම රට බලා යන සතුටට වඩා දරු පැටවුන් දමා යන්නට වීමේ තැවුලෙන් ඇය පෙළෙනවා.

හැබැයි අපේ පුංචි දවස්වල මේ තරම් නිවී සැනසිල්ලේ අපිත් එක්ක ගත කරන්නට කාලයක් අම්මාට තිබුණේ නෑ. අපේ අම්මා එක මොහොතක් එක තැන නොරැඳෙන සුළඟක් වගේ. ගුරුවරියක් වූ ඇය පාසල් යන අතරතුරම වත්ත පිටියේ වැඩත්, කුඹුරුවැඩත් අතරම ගෙදර වැඩපළත් බලා කියා ගත්තා. ගොයම් ඉන්දවන්න, කපන්න වගේම කොල මඩින මිනිස්සුන්ට, ගොයම් කයියට උයා පිහන්නත් ඇයට සිද්ධ වුණා. ශීතකරණ, ගෑස් උදුන් තියා මුල් කාලේ අපේ ගමට විදුලි බලයවත් තිබුණේ නෑ. එහෙම කාලෙක අම්මා අපේ පාඩම් වැඩත් අතපසු නොකර හැමදේම කෙරුවේ කොහොමද කියල හිතෙනවා. ඒ සියලූ දේ අතරතුර ? නින්දට යන විට තමන් කැමතිම පොතක් කියවන්නට විණාඩි කීපයක් ඉතිරි කර ගනිමින් ඇය අපට කාල කළමනාකරණය පිළිබඳ නිහඬ පාඩමකුත් කියා දුන්නා.

එදා වගේම අදත් අම්මා අපේ ජීවිත සැලකුවේ තමන්ගේ ජීවිතයේම කොටසක් වශයෙන්. අපේ අම්මාගේ දරුවකු වීම තරම් ජීවිතයේ අන් කිසිවක් ගැන ආඩම්බර නෑ.

බාගදා ඔබත් එසේ සිතනවා ඇති. මෙය මගේ පමණක් නොවේ ඔබ අප බොහෝ දෙනෙකුගේ කතාව වන්නටත් ඇති. අපේ අම්මලා ගැන කතාව එහෙම වුණත් ලෝකයේ ධනවත්ම අම්මා ගැන ඇගේ දරුවන්ට එහෙම හිතන්නට පුළුවන්ද?

ලෝකයේ ධනවත්ම අම්මා වන ජිනා රේන්හාට් ජීවත් වෙන්නේ බටහිර ඕස්ටේ‍්‍රලියාවේ. ලොව ධනවත්ම ගැහැණියත් ඇයමයි. යකඩ නිධිවලින් උපයාගත් මහත් ධනස්කන්දයක් ඇති ඇගේ වත්කම හැම මොහොතකම වැඩි වෙමින් පවතින්නක්. සෑම මිනිත්තු 30 කටම ඩොලර් මිලියනයක් හෙවත් දවසකට ඩොලර් මිලියන 52 කින් ඇය ධනවත් වෙනවා.

වසරකට ඩොලර් මිලියනය ගණනේ වියදම් කළත් මේ මුදල වියදම් කර ඉවර වීමට ගත වන කාලය අවුරුදු 29,170 ක්. සාමාන්‍ය උපයන්නෙකුට ඇගේ මට්ටමට එන්නට අවුරුදු 950,000 ක් ගත වෙනවා. ඇය මේ මුදලින් ලෝකයේ දුගී රටවල් 10 ක් මිලට ගත්තද ඉතිරි වන මුදල ඩොලර් බිලියන 22 ක්. තවත් අතකින් කියනවානම් ලෝකයේ හැම මිනිසුන් හත් දෙනෙකුටම අයෙක් කුස- ගින්නේ සිටින අතර ඒ දුප්පත් මිනිසුන්ට පුරා අවුරුද්දක් කෑම දෙන්නට තරම් ඕ තොමෝ ධනවත්.

ඉතින් මේ තරම් ධනවත් ජිනාගේ දරුවන් කොතරම් වාසනාවන්තද ?

කාට වුණත් එහෙම හිතෙනවාට සැක නෑ. විවාහ දෙකකින් උපන් දරු හතර දෙනෙකු ඇයට සිටියත් ඔවුන්ගෙන් තිදෙනෙක්ම අද අම්මා සමග ඇගේ ධනයට නඩු කියනවා. දරුවන්ට ලොව ඇති සුපිරිම ඇඳුම් පැළඳුම්, නේවාසික පාසල්, නිවාස සහ යාන වාහන ලබා දී ඇතත් ඔවුන් නඩු මගට බැසීම ගැන මේ ධනවත් අම්මා සිටින්නේ නොපහන් හැඟීමෙන්.

”මම දෙන ප‍්‍රමාණය මදි නම් ඔවුන්ට මහන්සි වෙලා රස්සා කරල හම්බ කර ගන්න පුළුවනි.” ඇය මාධ්‍යයට පවසා තිබුණා.ලෝකයම හකුලා එක මිටට ගන්නට තරම් වත්කමක් ඇති ඒ ගැහැණියගේ කතා විලාසයේ හිතුවක්කාර දැඩි බවක් දක්නට නොතිබුණා නොවේ. එහෙත් එක අතකට ඇය කොතරම් අසරණද ? මුළු ලෝකයම මුදලට ගන්නට හැකි වුණත් කුසින් වැදූ දරුවන්ගේ ආදරය දිනා ගන්නට ඇයට බැරි වූ හැටි ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>