Contact us now +61(0) 433 638 610

Articles

වංකගිරියට මාරැවීම

Posted in Art,සාහිත්‍ය by on December 27, 2014

Rathna Sri by Saamantha Tennege

ඉසුරැ ප්‍රසංග විසිනි

Illustration by Saamantha Tennege

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විශ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ
පොඩි උන්ව බලාගන්ඩයි
ඉස්කෝලෙ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැනුම් අසා ගන්ඩයි
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසව් නගරේ
මේ කුලී මාලිගාවේ
කිරි ශිරා සියක් ඉල්පී
කෘෂ ලැමට ඇදී එත්මැයි
පියයුරෝ දෙදන හොරැහින්
බිම බලාගෙන හඩත්මැයි
ලේ කදුළු බිංදු නොසැලී
ලැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්ෂා කෙරෙත්මැයි
මට යන්ට දෙන්ට දේවී
ඒ දුෂ්කර පළාතේ
ඛෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන්ද වැඩ වසන්නේ
බෝ ප්‍රවේසම්ව ඉන්නෙම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනත් දෙන්නෙම්
නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වාල් කමටා
ඇග මස පුදා රකිම් මැයි
නොපුරම් එහෙත් පෙරුම් දම්
බුදුවන්ට ඕන නුඹලා
මට නිවන් මග කියල්ලා
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
හිත සදුන් තවරපන්නේ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ
“වස්සානේ” කාව්‍ය සංග්‍රහයෙන්

ස්ත්‍රී පුරුෂ ප්‍රේමය තරම් කවියට කලාවට විශය වූ වෙනත් මාතෘකාවක් ලෝකයේ කිසි තැනෙක තිබිය හැකි දැයි මම නොදනිමි. කිසිදු කවිත්වයක් තියා රසවින්දනයක් හෝ නැති පුද්ගලයන් පවා ප්‍රේම අත්දැකීම් හමුවේ කවි ලියන්නට උත්සාහ ගත් අවස්ථා මා කොතෙකුත් දැක තිබේ. දැනටත් බොහෝ පුවත්පත් කවි පිටු ආදියේ පළවන ආධුනිකත්වය නොඉක්මවන කාව්‍ය රචනා බොහෝවිට ලියැවෙනුයේ ප්‍රේමය ගැනය.
Rathna Sri by Saamantha Tennege

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ “වස්සානේ” කාව්‍ය සංග්‍රහයේ එන ඉහත කවියටද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය විශය වෙයි. එසේ වුවද ස්ත්‍රී පුරුෂ ප්‍රේමයෙන් ඔබ්බට යමින් විවාහය, දුවා දරුවන් ආදියද සහිත කුටුම්බ අත්දැකීම් මීට විශය වී ඇති බැවින් වඩා නිවැරදි වන්නේ මෙය ගේහසිත ප්‍රේමය අරභයා ලියැවුනු කවියක් ලෙස හැදින්වීමය. ගේහසිත ප්‍රේමය යනු ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේම දිගුවක් ලෙස නිර්මාණය වන වඩා සංකීර්ණතා සහිත එහි ඉදිරි පරිණාමීය අවස්ථාවකි. එකම ප්‍රවාහයක කොටස් වුවද ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හා ගේහසිත ප්‍රේමය අතර වෙනස්කම්, සංකීර්ණතා බොහොමයක් තිබේ. නව යොවුන් ප්‍රේමය හෝ ස්ත්‍රී පුරුෂ ලිංගික ආලය වනාහී ඇවිලෙන ආවේග සහිත අරුමැසි කවි කල්පනා බහුල එකක් වන විට, ගේහසිත ප්‍රේමය යනු සැබෑ ජීවිතයේ කටුක අතෝරයන්, සුඛ දුක්ඛ වේදනා සම`ග හැපෙමින් පොර බදමින් විකසනය වන්නකි. එයද කිසිසේත්ම කවි කල්පනාවන්ගෙන් හෝ සුන්දරත්වයෙන් තොර එකක් නොවුනද එහි සුන්දරත්වය නිරතුරුවම පාහේ සැබෑ ජීවිතයේ හැල හැප්පීම් සම`ග කැලතී මුසුවී පවතින්නකි. ගේහසිත ප්‍රේමයද ගැඹුරු රසභාව සහිත එකක් වුවද, නව යොවුන් ප්‍රේමයක හෝ දෛනික ජීවිතයේ කටුකත්වයෙන් දුරස්තව පවතින රොමාන්තික් ආදරයක ඇති දිවා රෑ සිත පොපියවන සූකිරි මී පැණි චමත්කාරයට වඩා ගේහසිත ප්‍රේමයේ රසය ඛෙහෙවින් සංකීර්ණය. සැකෙවින් කිවතොත් ගේහසිත ප්‍රේමය යනු, සූකිරි මී පැණිවලට වඩා කටුක හා සංකීර්ණ රසයන් ගුණයන් රාශියකින් යුත් කසායක් වැන්නකි. ගුණය කුමක් වුවත් කසාය වැනි දේට වඩා සූකිරි මීපැණිවල සරල ක්ෂණික රසයෙන් කුල්මත් වීමට අපි බොහෝ දෙනා ආශා කරමු. මේ නිසාම ප්‍රේමය ගැන ලියවෙන බොහෝ කවිද එහි රොමාන්තික පාර්ශවය වෙත වැඩි වශයෙන් නැඹුරු වූ ඒවා වෙයි. ඒ අතරේ “වංකගිරියට මාරුවීම” යන හිසින් යුත් මේ කවිය සැලකිය හැක්කේ කසායක් වැනිවූ ගේහසිත ප්‍රේමයේ සංකීර්ණ රසයන් ගුණයන් මනාව දැනෙන සේ නිරූපණය කර ඇති අපූර්ව නිර්මාණයක් වශයෙනි.

සිදුවීමක ලෙස ගත්කළ මෙහි ඇත්ත රැකියා මාරුවක් නිසා සුතනඹුවන් අතහැර දුෂ්කර පළාතකට යාමට සිදුවී ඇති පියකුගේ – සැමියකුගේ – ආත්ම භාෂණයකි ඒ භාෂණය සදහා වෙස්සන්තර ජාතක පුවත ඇසුරුකර තිබීම නිසා මේ කවිය ජාතික සංස්කෘතික අනන්‍යතාවයකින් පොහොසත් වෙමින් අපගේ සභ්‍යත්ව විඥාණය ස්පර්ෂ කරයි. එහෙත් කවියා මෙහිදී වෙසතුරු පුවත ඇසුරු කරනුයේ තමාගේම වූ වෙනස් අර්ථකතනයකට අනුව එහි මුල් කතාව සංශෝධනය කරමිනි. සුතනඹුවන් ගැන ඇලීම් බැදීම් අතහැර නිවන් මග සොයන පියකු වෙනුවට මෙහි අපට හමුවන්නේ ඇග මස පුදා දරුවන් රකින්නට සපත කරන තම සුතනඹුවන්ට බුදුබව ලැඛෙන්නයි පතා ඔවුන්ගෙන් නිවන් මග අසා සිටින ඇලීම් බැදීම්වලින් හද මනස අවුලූවා ගත් තාත්තා කෙනෙකි. එසේ ඇවිලෙන හද මනස ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ශෘංගාර රස භාවයන්ගෙන් කුල්මත් වූවක් නොව, ප්‍රායෝගික ජීවිතයට අදාල ප්‍රේමයේ සුඛ දුක්ඛ වේදනා හැල හැප්පීම් අතරින් මානව බැදීම්වල ඉගැඹුරු ඉසව් මොනවාදැයි නිහඩව හගවා සිටින්නකි.

“කිරි ශිරා සියක් ඉල්පී” යනුවෙන් ආරම්භ වන පද පෙළ ඒ වග හගවන තියුණු කාව්‍යමය සංධිස්ථානයකි. සුලබ පෙම් කවියකදී ලැම හසුන්, තිසරුන් ගැන ලියැවෙන ශෘංගාර කවි කල්පනා වෙනුවට මෙහි සදහන්ව ඇත්තේ හොරැහින් බිම බලා හඩන, කිරිශිරා ඉල්පුනු පියවුරන් සහිත, දෙදරුන් රක්ෂා කරන කෘෂ ලැමක් පිළිබද සදහනකි.

අවසාන වශයෙන් ගත්කළ මේ කවිය සැලකිය හැක්කේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හා එහිම සංකීර්ණ දිගුවක් වන ගේහසිත ප්‍රේමය අතර වන වෙසෙස් සංකීර්ණතා වෙත කදිම අන්තර්දෘෂ්ටීන් සපයා දෙන නිමැවුමක් වශයෙනි. මා නැවත නැවත අවධාරණය කරන මෙකී ප්‍රේම සංසන්දනය වටහා ගැනීම සදහා කළ හැකි හොදම අභ්‍යාසයක් වන්නේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වස්සානේ කෘතියේම එන “වස්සානය” කවිය හා “වංකගිරියට මාරුවීම” යන කවිය විචාරාත්මකව සලකා බැලීමය. වස්සානය කවිය ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබ`ද ආල අරුමැසිවාදී හැගවීම් සහිත එකක් වන විට “වංකගිරියට මාරුවීම” ගේහසිත ප්‍රේමයේ සංකීර්ණ රසයන් ගුණයන් විදහා දක්වයි. එය ගේහසිත ප්‍රේමය අරභයා ලියැවුණු කවි අතර වඩා අපූර්ව, හෘදයාංගම මෙන්ම ජනප්‍රිය කවියක් ලෙසද සැලකිය හැකිය. මේ කවිපෙල ආශ්‍රයෙන් සකස් කරගත් ගීතයක් නැසී ගිය ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කර තිබීමද මේ කවියේ ජනප්‍රියත්වයට බලපෑ තවත් හේතුවකි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>