Contact us now +61(0) 433 638 610

Articles

වැව රවුම – අගෝස්තු 2015

Posted in කාලීන by on August 11, 2015

සාමන්ත තැන්නගේ විසිනි

හිස නැමීම
ඔබ ඔබේ රාජකාරියට හිස නමන්න. එවිට අන් කිසිවෙකු ඉදිරියේ හිස නමන්නට සිදු නොවනු ඇත. ඔබ ඔබේ රාජකාරිය දූෂණය කරයි නම්, සියලූ දෙනා ඉදිරියේම හිස නමන්නට සිදු වනු ඇත.
- අබ්දූල් කලාම්

මිසයිල් මිනිසා
වසර 2002 සිට 2007 දක්වා ඉන්දියාවේ එකොළොස්වෙනි ජනාධිපති ධූරය හෙබ වූ අබ්දූල් කලාම් 1931 ඔක්තෝබර් 15 වැනිදා තමිල්නාඩුවේ රාමේශ්වරම්හි දෙමළ – මුස්ලිම් සාමාන්‍ය පවුලක උපත ලැබීය. දුප්පත් පවුල් පසුබිමක උපන් කලාම් ළමා කාලයේ අධ්‍යාපනය ලබන අතර පුවත් පත් විකුණුවේ පවුලේ නඩත්තුවට සිය පියාට සහායක් වනු පිණිස ය.
අබ්දූල් කලාම් ‘පද්ම භූෂණ’ හා ‘භාරත රත්න’ යන සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ 1974 දී පරීක්ෂණ මට්මටමෙන් ආරම්භ කර පසුව 1998 දී සිදුකළ පොක්රාන්-ෂෂ න්‍යෂ්ඨික අත්හදාබැලීම් පසුපස සිට ඉටු කළ සුවිසල් කාර්යබාරය උදෙසාය. ඒ නිසාම ඔහුට “ඉන්දියාවේ මිසයිල් මිනිසා”  යන අන්වර්ථ නාමය පටබැඳුනි.

ජනතා ජනපති

ඉන්දියාව ලොව න්‍යෂ්ඨික රාජ්‍යයක් බවට පත් කරන්නට දරදිය ඇද්ද කලාම් අදටත් “ජනතාවගේ ජනාධිපති” යන විරුද්ධාවලිය ලබන්නේද අහේතුකව නොවේ. ඔහු 2002 දී ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් වන්නේ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පූර්ණ සහායෙනි. වසර පහක සේවයෙන් පසු ඔහු විශ්‍රාම ගන්නේ තවත් වසර පහක් ජනාධිපති ධූරය හොබවන්නට හැකියාව තිබියදී ය. ඉන් අනතුරුව ඔහු ලේඛණය, මහජන සේවය සහ අධ්‍යාපනය වෙනුවෙන් සිය කාලය යෙදවීය. එපමණක්ද ? ඔහු භාවනා කළේය. වීණා වාදනය කළේය. තුරු ලතාවලට ආදරයෙන් සැලකීය. දරුවන්ටත් වැඩිහිටියන්ටත් ගුරුහරුකම් දුන්නේ ය. පොත් 20 ක් රචනා කළේ ය. ඔහු අල් කුරාණය මෙන්ම භගවත් ගීතාවද හොඳින් ඇසුරු කළ අයෙකු විය. එසේම අවිවාහක ජීවිතයක් ගතකළ නිර්මාංශික ඉස්ලාම් බැතිමතෙකි. රාජකාරි දිවිය තුළ ඔහු ගෙන ඇත්තේ නිවාඩු දෙකකි. එකක් මවගේ අභාවයට ය. අනෙක පියාගේ අභාවයට ය.

කලාම්ගේ කියමන්

* සිහින ඉටුවන්නට පෙර ඔබ සිහින දැකිය යුතුව ඇත.
* සාර්ථකත්වය විඳගන්නට නම් මිනිසුන් දුෂ්කරතා විඳිය යුතුය.
* විශිෂ්ඨත්වය යනු නොනවතින ක්‍රියාදාමයකි. අහම්බයක් නොවේ.
* දෙවියන් උදව් කරන්නේ මහන්සි වී වැඩ කරන අයට පමණ ය. එය පැහැදිළි සත්‍යයක්.
* මම ලියන්නට ආශා කරමි. ඔබ ආශාවෙන් කිසියම් දෙයක නිරත වන විට ඕනෑවටත් වඩා කාලය සොයා ගැනීමට පුළුවන. මම දිනකට පැය දෙකක් ලියමි. සාමාන්‍යයෙන් මම ලියන්නට පටන් ගන්නේ මධ්‍යම රාත්‍රි 11.00 ට ය.
* තරුණයෝ රැකියා හොයන්නන් නොව රැකියා උත්පාදනය කරන්නන් බවට පත්විය යුතුය.

හදෙන් හාල් ගෙනත් දීම

1970 දී සිරිමා බණ්ඩාරණායකගේ මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුවකි “හෙඳන් හාල්” ගෙනත් දීමේ කතාව.

ඇට අට

1977 දී ජේ ආර්ගේ මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකි “ධාන්‍ය රාත්තල් අටක්” ලබා දීම.

ගෑණු පිරිමි කිරීම හා පිරිමි ගෑණු කිරීම

1978 ව්‍යවස්ථාව ගැන ජේ ආර් කියූවේ ඒ ව්‍යවස්ථාවට අනුව තමන්ට ගෑණු පිරිමි කිරීම සහ පිරිමි ගෑණු කිරීම හැර වෙනත් ඕනෑම දෙයක් කළ හැකි බවය.

3.50 ට පාන්

1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පොරොන්දුව වූයේ 3.50 ට පාන් දෙන බවට ය.

හොරා

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවකට අනුව “හොරා” යනු “හොඳම රාජ්‍ය නායකයා” ය.

කුංකුණාවේ හාමුදුරුවෝ

1818 තරම් ඈත අතීතයේදී මහනුවර දෙගල්දොරුව රජමහා විහාරාධිපතිව වැඩ සිටි කුංකුණාවේ නායක ස්වාමීන් වහන්සේ දිනක් කුහුඹු ගුලක් දෙස බලා සිටියේ එවකට රට මහුණ දුන් විනාශකාරී තත්ත්වය ගැන සිතමිනි. ශතවර්ෂ දෙකක් ගතවී ගොස් ඇතත් උන්වහන්සේගේ සිතෙහි එදා පහළ වූ සිතිවිල්ල අදටත් කෙතරම් වලංගු ද ?

අනේ කුහුඹුවනේ
තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුණොත්
කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්
සාදු නාදෙන් ගිගුම් දෙන්නම්

අපි කොතරම් දුප්පත් ජාතියක් ද ?

අබ්දූල් කලාම් විසින් විටින් විට කරන්නට යෙදුනු විවිධ කියමන් ලොව පුරා සුවහසක් දනන්ගේ සිත් වලට ගෙන එන්නේ කෙතරම් සැනසිල්ලක් ද ? අවබෝධයක් ද ? නිදහසෙන් පසු ලංකාවේ පහළ වූ රාජ්‍ය නායකයන් විසින් කරන්නට යෙදුනු අප සිත් ප්‍රබෝධමත් කළ කියමන් මතක් කරගන්නට අපි උත්සාහ ගත්තෙමු. අපේ ඇට මස් නහර සිදුරු කළ එකඳු කියමනක් හෝ තිබුණේ නම් හොයා බැලීමකින් තොරව ඒවා සිතට නැගී ආ යුතු නොවේ ද ? හෙඳන් හාල්, ඇට අට, ගෑණු පිරිමි කිරීම, 3.50 පාන්, හෙංචයියෝ වැනි වැදගම්මකට නැති කියමනක් හැරෙන්නට වැදගත් යැයි කිව හැකි කිසිවක් අපේ නායකයෝ කියා නැද්ද ? ඒ අතින් අපි කෙතරම් දුප්පත් ජාතියක් ද ?

Never too old


බික්රම් චවුද්රි අපගේ ගුරුවරයෙකි. ඔහු නිතර නිතර සිය සිසුන්ට දෙන උපදෙසකි, මේ.
නැවතත් මුළ පටන් ආරම්භ කිරීමට ඔබ තවමත්,
පමා නැත
මහළු නැත
රෝගී ද නැත
අයහපත් තත්ත්වයක ද නැත.

පෞරුෂය යනු කුමක් ද ?

සමාජය අනුශීලනය කිරීමෙන් මිනිසා තුළ ඇති වෙන්නා වූ පුරුදු, ආකල්ප හෝ ගති ලක්ෂණ පෞරුෂය ලෙස දැක්විය හැකි ය. මිනිසුන් සමාජය සමග කටයුතු කරන විට ඔහුගේ භාවිතාවන් ඔස්සේ පෞරුෂයද ඉස්මතු වන්නේ ය. අංගුත්තර නිකායේම අත්තකාර සූත්‍රයේදී “පෞරුෂයක් හෝ පුද්ගල වගකීමක් කියා දෙයක් කෙනෙකුට නැතැයි කියා ඇතැම් ඉගැන්වීම් වල සඳහන් වන කරුණු නිවැරදිදැයි” අයෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි යි. එහිදී බුදුන් වහන්සේ මිනිසාගේ පෞරුෂයට අදාලා සුවිශේෂී ලක්ෂණ හයක් ඉදිරිපත් කළහ. ඒවා නම්,
1. කිසියම් කටයුත්තක් ආරම්භ කිරීමට ඇති හැකියාව
2. අලසකම නැතිකොට එයින් නික්මීමට ඇති හැකියාව
3. ඇරඹූ ක්‍රියාව වීර්යෙන් කරගෙන යාමට ඇති හැකියාව
4. එම ක්‍රියාවේ ස්ථීරව රැඳී සිටීමට ඇති හැකියාව
5. එහි ස්ථාවරව සිටීමට ඇති හැකියාව
6. තම අභිමතාර්ථයන් ජය ගැනීමට මිනිසාට ඇති උපක්‍රමික හැකියාව යන කරුණු ය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>