Contact us now +61(0) 433 638 610

Articles

විසිවැනි සියවස උපන් පබාවතියේ

Posted in සාහිත්‍ය by on August 6, 2014

-ගීතදේව

අසම්මත පේ‍්‍රමයක යුක්තියුක්ත බව හෝ බිඳුනු පේ‍්‍රමයක විප‍්‍රයෝගී දුක තරම් ගීත රචනාවකට සුදුසු තවත් නිමිත්තක් ඇත් ද ? එහෙත්, නාගයෙකු ගස් දෙබලකින් රිංගා ගොස් පරණ සැව ගලවා ඉවත හරින්නාක් මෙන් එකී ගතානුගතිකත්වයෙන් මිදී, සම්මත පේ‍්‍රමයේ සදාතනික නැවුම් අපූර්වත්වය නැවත නැවතත් විඳ ගැනීමට අසන්නාව යොමු කරවන අතිශය ළයාන්විත ගීතයකි, චන්ද්‍රසේනරන්ගේ විසින් හැත්තෑව දශකයේ මුල් භාගයේ රචනා කළ ‘‘ජීවිතේ තුරුණු වසන්තේ’’. මේ ගීතයේ පදමාලාව නිරායාසයෙන්ම කෙනෙකුගේ සිතක් නිවා සනසන්නේ ය. වික්ටර් රත්නායකයන් පදමාලාවට උචිත ලෙස ගීතයට මුසුකළ සංගීතයත්, සුමධුර සුගායනයත් රසික හදවත් ඇද බැඳගෙන දැහැන්ගත කරවන්නට තරම් සමත් ය.

විවාහයක මූලික පදනම විය යුත්තේ එකිනෙකා කෙරෙහි තිබිය යුතු විශ්වාසනීය බැඳීමත්, අනෙකාව තේරුම් ගැනීමත් ය. එහෙත් එපමණකින් සියල්ල සර්වසම්පූර්ණ වේ ද ? නොවේම ය. එකිනෙකා අනෙකා වෙනුවෙන් අධ්‍යාත්මයෙන්ම කළ යුතු කැපකිරීම්ද විවාහ සංස්ථාව තුළ ඇත්තේ ය. එහෙත්, කැපකිරීම් යනු පෙරළා නැවත තමන්ටත් ලැබෙතැයි යන අපේක්ෂාවෙන් ඉටුකළ යුතු යුතුකම්ම නොවේ. අනෙක් අතට එසේ නොවන්නේත් නොවේ.

ජීවිතේ තුරුනු වසන්තේ
පොත පත අතරේ දියකර හරිනා
ඔබෙ හිමියානන් සිහිවී ඔබ ගැන
සිතට දුකක් නොඑනවා නොවේ
එනමුදු නිහඬව ඔබ ගෙනෙනා
ඇරයුම පිලිගනු සිතෙනු නොහේ

ගීතයේ මුල් කොටසේ මුල් දෙපදයෙන් දැක්වෙන්නේ විවාහක කාන්තාවකගේ සිතෙහි සිය සැමියා නිසා උපන් සංතාපයකි. ඔහුගේ ජීවිතයේ වැඩි තැනක් ඇත්තේ ඇය වෙනුවෙන් නොව පොත පත කෙරෙහිය. ඇයට අවශයව ඇත්තේ ඔහුගේ නිරන්තර ආදරය ය. එහෙත් ඔහු ඇයටත් වඩා පොතපතට ආදරය කරන්නේ අහේතුකවම ද ?

කිසියම් කාන්තාවක විසින් තම සැමියාගේ වැරදි අඩුපාඩු තවත් පුරුෂයෙකු හා දෙඞීමෙන් බලාපොරොත්තු වන කාරණා විසිවැනි සියවස උපන් පබාවතියේ දෙකකි. එකක් ඇයගේ දුක තුනී කරගැනීම ය. අනෙක සිය සැමියාගෙන් නොලැබෙන දෙයක් ලබා ගැනීම ය. ඇය තම සිතෙහි ඇති වූ සංතාපය මුදා හරින්නේ තෙවැන්නෙකු ඉදිරියේදීය. ඇයගේ සංවේදී කතාවට කන් යොමන තෙවැන්නා ඇගේ සැමියා ගැන සිතයි. එසේ සිතන කල්හි ඔහුට ඇය ගැන ඇතිවන්නේ දුකකි. එහෙත් ඒ කිසිසේත්ම ඇය කෙරෙහි සිය හදපතුළෙන්ම උපන් පතළ මහා කරුණාවක් තරමට ප‍්‍රබල සංවේගයක් නොවන බව නම් පැහැදිලිය. ‘‘සිතට දුකක් නොඑනවා නොවේ’’ යන අවිශ්වාසය හා විශ්වාසය අතර දෝළනය වන පද පෙළින් ඒ බව හොඳින් තේරුම් ගත හැකිය. වචනයෙන් නොකීවද, ඇය ඔහුට ඇරයුම් කරන්නේ අනියම් ඇසුරකට බව ඔහු හොඳාකාරවම දනී. එහෙත් ඔහු ඒ ඇරයුම පිළිගැනීමට සූදානම් නැත. වර්තමාන ලෝකයා තමන් අත ළගටම පැමිණෙන ගොදුරකට පයින් ගසන මෙබදු අය දෙස බලන්නේ වපර ඇසින් නොවේ ද ? රසිකයා තුළ ඇතිවන මේ උභතෝකෝටිකය හරහා තෙවෙනි මානයක් කරා ඔහුව කැදවාගෙන යන්නට ගීත රචකයා දෙවෙනි හා තෙවෙනි අන්තරා කොටස් හරහා උත්සුක වෙයි.

සසල ඔබේ දග බිගු නෙතු සගලෙන්
උමතු නොකල මැන සිතිවිලි සලෙලූන්
මගුල් මුඳුව මා අත දිලෙනා
ඔබ දුටුවේ නැති දෝ
සිල් පද නූගත් යොවුන් මලෙවි ලදුනේ

විවාහ ජීවිතය භ‍්‍රමණය වන අක්ෂය වන්නේ එකිනෙකා කෙරෙහි ඇතිවන්නා වූ අනුරාගික බැඳීම ය. ගමන, බිමන, ඇල්ම, බැල්ම මේ බැදීම තව තවත් තීව්‍ර කරයි. මේවා නැති කළ බිදී යන්නේ විවාහ ජීවිතයේ කොඳු නාරටිය යි. මේවා ඇති කළ උමතු වන්නේ සිතිවිලි සළෙළුන් ය. සම්මත විවාහ රාමුව තුළ උමතු සළෙළුන්ට නොකළ හැකි රංගනයක් නැති තරම්ය. කිසියම් කෙනෙකු සම්මත රාමුවෙන් පිට මේ සළෙළුන්ට රගන්නට ඉඩ දෙතොත් ඔහු හෝ ඇය ගෘහාශි‍්‍රත මෙන්ම සමාජීය සමතුළිතතාවය ද බිඳ දමයි. සිල්පද ඇත්තේ මෙවැනි තැන් වලදී ප‍්‍රයෝජනයට ගැනීමට මිස මැටි රූප ඉදිරියේ සජ්ජායනය කිරීමට පමණක් නොවේ.

ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් සිය සැමියාගේ සිත තමා වෙත නම්මවා ගැනීමට නොහැකි වීමට තරම් ප‍්‍රබල හේතුවක් තිබිය නොහැකි බව ඇයගේ කන්නලව්ව අසා සිටින්නා විශ්වාස කරන බවක් හැගවෙයි. ඇගේ බැල්ම රාගාන්විතය. ඒ බැල්ම හෙළිය යුත්තේ ඇය කෙරෙහි උනන්දුවක් නොදක්වන සිය සැමියා නැවත තමාගේ වසගයට ගැනීමට නොවේ ද ? ‘‘මගුල් මුඳුව මා අත දිලෙනා, ඔබ දුටුවේ නැති දෝ’’ යන්නෙන් ඔහු තමාගේ සාර්ථක විවාහ ජීවිතය ගැන ඇයට ඉගිකරයි. එසේ සුදිලෙන සාර්ථක විවාහ ජීවිතයක් කඩා බිඳ දැමීම පාපයකි. එය පාපයක් බව දැන ගැනීමට ළඳක් වශයෙන් අඩුතරමින් ඔබ පන්සිල් පද ගැනවත් දත යුතුව තිබුණා නොවේ ද ? එපමණකින් නොනැවතී ඔහුත් පෙරළා චෝදනාවක ස්වරයෙන් ඇයට ‘‘යොවුන් මලවි ලදුනේ’’ යනුවෙන් අන්වර්ථ නාමයක්ද පටබඳියි. ‘‘මලවි යෝගය’’ යනු ජ්‍යොතිෂයේ දැක්වෙන පංච මහා යෝගයන්ගෙන් එකකි. මලවි යෝගය යෙදුනු විට සිදුවන්නේ සිකුරාගේ ආභාෂය ලැබීම ය. සිකුරා ඔබව අසම්මත ඇසුරු කරා යොමු කරන බව ඔබ නොදන්නේ සිල් පද නොදන්නා නිසාම නොව ඔබ තවමත් භද්‍ර යොවුන් වියේ පසුවන නිසාය. නොහොත් අත්දැකීම් අඩු නිසා ය. ‘‘සිල් පද නූගත් යොවුන් මලවි ළදුනේ’’ යන්න අති ප‍්‍රබල වාග් ප‍්‍රහාරයකි. මෙවැනි වාග් ප‍්‍රහාරයකට මුහුණ දෙන්නා එක්කෝ කිපෙයි. නැතිනම් තමාගේ කල්කි‍්‍රයාව ගැන නැවත නැවතත් සිතීමට පෙළඹෙයි. එහෙත් ඔහු එය පවසන්නේ නිවුනු තැන්පත් ස්වරයකිනි. ඒ නිසා ඇය කෙසේ නම් කෝප ගන්නද තම වරද නිවැරදි කර ගන්නවා හැර.

හිතක් කයක් නැති ලියතඹරා මල
අවදි කරයි නම් තවුසා දැහැනින්
බිඳුමට මුනිවත ඔහු රකිනා
ඔබට නොහැකි කිමදෝ
විසිවැනි සියවස උපන් පබාවතියේ

මිනිසුන්ගේ සිතුවිලි කි‍්‍රයාත්මක වන්නේ පුදුම සහගත ලෙසය. සොබාදහම පවා විටෙක මිනිස් සිත් රාගයෙන් මුසපත් කරවයි. දැඩි සීලව‍්‍රත රකින තවුසන්ගේ දැහැන් පවා බිඳ දැමීමට ලියතඹරා මලකට හැකි වූ බව අපේ පැරණි පොත පතේ දැක්වේ. ඒ තරම් දුර ඈත අතීතයේ හිතක් කයක් නැති හැඩකාර මලකට තවුසන්ගේ දැහැන බිඳීමට හැකි වූවා නම් විසි වෙනි ශතවර්ශයේ උපන් පබාවතියක් බඳු රූපශී‍්‍රයක් ඇති ඔබට ඔබේ සැමියාගේ මුනිවත බිඳින්න තරම් හැකියාවක් නැති ද ? ඒ නිසාවෙන්ම ඔබ කෙතරම් දුර්වල තැනැත්තියක් ද ? ඔහු ඇයට උපහාසය මුසු අභියෝගයක් එල්ල කරන අයුරු කෙතරම් අපූරු ද ? එනම් සහශ‍්‍ර ගණනකට පෙර හිත් පිත් නැති මලකට දැඩි සිල් ඇති තවුසෙකුගේ චිත්ත සන්තානය තුළ කළ හැකි වූ වෙනස සිත් පිත් ඇති ඔබට එබඳු ශීලයක් නොරකින ඔබේ සැමියා අරභයා කළ නොහැකිද යන කාරණය ය. ඒ මතු නොව මේ පදපෙළට යටින් නැගෙන දෙවෙනි පෙළ අරුත වන්නේ ‘‘ඔබගේ සැමියාගේ කි‍්‍රයාපිළිවෙත සාධාරණ යැයි කීමට නොහැකි මුත් ඔබ ඔබේ සැමියා කෙරෙහි මීට වඩා සැළකිලිමත් වීම සුදුසු නොවේ ද ? ඔබ නිසා මා, මගේ සාර්ථක විවාහ ජීවිතය අවුල් කරගැනීමට හෝ මගේ පි‍්‍රයම්බිකාවට ද්‍රෝහිවීමට කොහෙත්ම සූදානම් නැත’’ යන්න ය. මේ ගීතය ගැන සිතන්නට සිතන්නට අප තුළ ඇති වන්නේ නිරාමිස පී‍්‍රතියකි – අසම්මත බැඳීම් වලින් විවාහ ජීවිතය නම් දෙවොල බිඳ නොගැනීමට ය – අඩු තරමින් පන්සිල් පද ගැනවත් හිතන්නට ය – දැනුම් තේරුම් ඇති අයෙකු මෙන් සමාජයේ ජීවත් වන්නට ය. අතිශය සුන්දර නදියක් මෙන් ලයාන්විත හඬකින් මේ ගීතය අපේ ජීවිත හරහා ගලා යන්නේ ආදරය හා විශ්වාසය යන ඉවුරු තවතවත් සරුසාරවත් කරමින් නොවේ ද ? ගීතය ලියවී දශක හතරක් ගත වුවද මේ ගීතය අදටත් අප තුළ නැවුම් හැගුමන් ජනිත කරවන්නේත් ඒ නිසාම නොවේ ද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>