Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන – අගෝස්තු 15

Posted in කාලීන by on August 11, 2015

Nothing is enough for the man to whom enough is too little.
– Epicurus
දේශපාලනය කිරීමට හැමෝටම බැරිය. ඒ සඳහා හොද පෞරුෂයක් තිබීමට අවශ්‍ය වන්නේ ය. සාමාන්‍ය ජනයා පෞරුෂය හඳුන්වන්නේ “පිටකොන්ද” යන නමිනි. එකී පිටකොන්ද අවශය වන්නේ දිනන්නටම නොවේ ය. පැරදුනු විට ගෙදර යන්නට ය. වෙනත් වචන වලින් කියනවා නම් පැරදුනාම ගෙදර යන්නට හිත හදා ගන්නට පෞරුෂයක් නැතිනම් ඒ අය දේශපාලනයට සුදුසු නොවන්නේ ය. ඒ අනුව ගත් විට ලංකාවේ දේශපාලනය කරන්නේ පිටකොන්දක් නැති අය ය. අපට අද සිටින්නේ කොතරම් පැරදුනත් වෙනත් කෙනෙකුට නායකකම පවරන්නට තරම් පිට කොන්දක් නොතිබූ අගමැති කෙනෙකි. එපමණක්ද ? හිටපු ජනපතිටත් ගෙදර ගොස් “සැබෑ” සමාජ සේවා කටයුතු වල නිරත වෙමින් තම විශ්‍රාම ජීවිතය ගත කිරීමට තරම් පිට කොන්දක් නැත. දැන් අප එළඹ සිටින්නේ අඩු තරමින් ඡන්දදායකයාගේ පිටකොන්ද නොහොත් පෞරුෂය කෙබඳුද යන්න විමසා බලන තරගයකට ය.

අන්තර්ජාලය නිසා ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් විකාශනය කෙරෙන දේශපාලන කතා වලින් දැන් අපටත් ගැළවෙන්නට ඇති ඉඩකඩ ඉතා සීමා සහිත ය. එකිනෙකාට විරුද්ධව දෙපසට ගහ ගන්නා මඩ හැරුණු විට බුද්ධිමත් කතිකාවතක්, දෙබසක් අසන්නට ලැබීම කණ කස්බෑවා විය සිදුරෙන් අහස දැකගන්නවාටත් වඩා දුර්ලභය. පක්ෂ, විපක්ෂ, සෙසු පක්ෂ නායකයෝත්, අනුගාමිකයෝත් ඉතා අවිනීත ලෙස හැසිරෙන වීඩියෝ අපි දැන් නිතර නිතර අන්තර්ජාලයෙන් දකිමු. අශ්ශීල, නූගත් දේශපාලකයෝ පමණක් නොව සුපේශල සික්ෂාකාමී ආගමික නායකයෝ පවා මග තොට දොඩන, හැසිරෙන අයුරු අසන දකින විට ඒ දෙස නැවත බැලීම පවා පිළිකුල් සහගත බව නොකියාම බැරිය. ‘දෙවියෝ පය නොතබන තැන්වල මෝඩයෝ බල්ටි ගසති’ යි යන කියමන නම් මසුරං ය.

එකල මෙන් නොව මෙකල අපි යන එන මග තොටදී හැසිරිය යුත්තේ දැලි පිහියෙන් කිරිපැණි කනවාක් මෙනි. ඒ අප කියන කරන දෙයක පුංචි ඇදක් පළුද්දක් තිබුණොත් නැවත ගෙදර යන විට අපටත් කලින් ලෝකයාට ඒ දේවල් දැක ගැනීමට හැකි නිසාවෙනි. ඉස්සර නම් අපි ලැජ්ජා බය කියා දෙයක් දැන සිටියෙමු. ලජ්ජා බයට එදා අපි කීවේ දේවධර්ම කියා ය. අද දේව ධර්ම නැත. නොහොත් ලජ්ජා බයක් නැත. ඒ නිසා රටක් පාලනය කරන්නට එන නායකයෝ හා ගාල් කඩාගත් හරකුන් අතර කිසි වෙනසක් නැත.

එකල අපි හොරා කිව්වේ හොරාටය. දැන් අපි හොරා කියන්නේ හොදම රාජ්‍ය සේවකයාට ය. කලකට පෙර කුණුහරුප ලෙස හැඳින් වූ වචන වලට පවා නව අරුත් සැපයෙන කැකිල්ලේ රාජ සභාවක සිරි මැවෙන රටක විනය, හැදියාව ගැන මොනවා කියන්න ද ? කෙසේ වෙතත් පාලකයෝ පිස්සු කෙළින විට ඉන් වැඩිම වාසිය ලැඛෙන්නේ ජනමාධ්‍යකරුවාට ය. ජනමාධ්‍යකරුවා එක දෙක කරන විට නන්නත්තාර වන්නේ ජනතාවය. අද ජනමාධ්‍යකරුවා හා ජනතාව අතර වෙනසක් නැත. ඒ සෝෂල් මීඩියා නිසා ය. ඒ නිසා පිටකොඳු ඇති ජනතාව කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත වීම මාධ්‍යකරුවාගේ අද දවසේ වගකීමය. එහේ සිටියත්, මෙහේ සිටියත් ඔළු මොළ සහ පිටකොඳු නැති කවරෙකු හෝ වෙනුවෙන් “සෝෂල් මීඩියාවකින්” හෝ කඩේ යාම ඇදගෙන නෑමකැයි අප සිතන්නේ ඒ නිසාය. අනෙක් මීඩියා ගැන කවර කතා ද ?

සාමන්ත තැන්නගේ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>