Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන [ Editorial 2014-08 ]

Posted in කාලීන by on August 4, 2014

සිංහ හමුදාවක නායකයා බැටළුවෙක් වීම ගැන මම බිය නොවෙමි. මා බිය වන්නේ බැටළු හමුදාවක නායකයා සිංහයෙකු වූවොත් ය – මහා ඇලෙක්සැන්ඩර් රජු

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ඉහත කියමන උපුටා දක්වමින් අප සළකා බලන්නේ දිග්විජය තම ජීවිතය කරගත් මහා ඇලෙක්සැන්ඩර් රජුට සුදු හුණු ගෑම නොවන බව කරුණාවෙන් සළකන්න. අප මෙහිදී සළකා බලන්නේ මේ කියමන තුළ ගැබ්වැ ඇති දාර්ශනික සත්‍යතාව ගැන ය.

ඉතිහාසය පුරාම කෙරුණු තරමක් යුද්ධ, කෝලහාල, සමූහ ඝාතන දෙස විමසිලිමත්ව බැලූ විට අපට පැහැදිළිව පෙනෙන දෙයකි ‘නායකත්වය’ නැමති සාධකය. එහෙත් සැබෑ නායකයා තමා අතින් සිදුවූ වැරදි පවා නිවැරදි කර ගනිමින් වඩාත් සුභවාදී ඉළක්කයක් වෙත සිය අනුගාමිකයින් කෙමෙන් කෙමෙන් ගෙන යන නියමුවෙක් විය යුතුය. ඔබත් මාත් මේ මොහොතේ ඉහළ අහසේ ගමන් ගන්නා ගුවන්යානාවක හෝ ගැඹුරු දියඹේ ඉදිරියට ඇදෙන නෞකාවක් තුළ සිටින බව මොහොතකට සිතමු. එසේ නම් දැන් අපේ ජීවිත රැදී දැන් ඇත්තේ ගුවන්යානයේ නියමුවා හෝ නැවේ කපිතාන් මත නොවේ ද ? අපි ඉතා සතුටින් සහ විනෝදයෙන් අපේ චාරිකාවේ නිරතවෙමු. එහෙත් ගමනාන්තයට එළැඹෙන තෙක්ම ගතවන හැම තත්පරයක්ම ගුවන් නියමුවාට හෝ නැවේ කපිතාන්ට අභියෝගයකි. ඔහු යානාව හෝ යාත‍්‍රාව බාධක මැදින් නිරූපද්‍රිතව පැද යා යුතුය. තමන්ගේ බාරයේ සිටින සියළු මගීන් ගැනත් සේවකයෝ ගැනත් තීක්ෂණ අවධානයෙන් සිටිය යුතුය. දැන් අපි වැදගත්ම ප‍්‍රශ්නය අසමු. එසේ නම් නායකයා තමන් ගැනත් සිතිය යුතු නොවේ ද ?

මහා ඇලෙක්සැන්ඩර් රජු පවසන බැටළු නායකයා යනු තම හමුදාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබන අයෙකි. නැවක කපිතාන් හෝ ගුවන් නියමුවා තම ජීවිතය ගැන අවධානය යොමු කරන්නේ සෙසු සියලූ දෙනාගේම ජීවිත සුරක්ෂිත නම් නොවේ ද ? රටක නායකත්වයේ සිට බස්රථයක රියදුරු දක්වාම නායකත්වයට පත්වෙන හැම දෙනාම සිය වගකීම් ගැන විමසිලිමත් විය යුත්තා හ. අපි අපේ අඹුදරුවෝ වෙනුවෙන් වගකීම් කරට ගැනීමටත්, යුතුකම් ඉටුකිරීමටත් දෙවරක් සිතමු ද ? ඒ මන් ද ? එය අප පැදයන ජීවන නෞකාව නිසා ය. සමාජ ජීවිතය තුළ අපිදු විටෙක නියමුවෝ වෙමු. බොහෝ විට මගීහු වෙමු. දැන් අපි මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සිංහයා දෙසට හැරෙමු. සිංහයා යනු ‘වනන්තරේ’ නායකයා ය. ඒ ඌ යකාටවත් බය නැති නිසා ද ? ප‍්‍රශ්නය ඇත්තේ ද මෙතැන ය. මේ සිංහ භූමිකාව මනාව තේරුම් ගැනීමට අපි මදක් ඉන්දියන් සාගරය දෙසට හැරෙමු. එහි තැනෙක බස්රථවල රියැදුරෝ මෙන්ම කොන්දොස්තරවරුද සිංහයෝ මෙනි. රෝහල්වල වෛද්‍යවරුත්, හෙදියෝත්, ඇටෙන්ඩෙන්ලාත් සිංහයෝ මෙනි. පාලකයෝත් මීළගට පාලනයට එන්නට ඉන්නෝත් සිංහයෝ මෙනි. ගුරුවරු ඇතුළු එකී මෙකී නොකී සියල්ලෝම සිංහයෝ මෙනි. කලාතුරකින් හෝ සමහර පන්සල්වලත් පල්ලිවලත් උන් වැඩ සිටිති. එකල්හි අවසේස බැටළු සමූහයාට ගස්ගල් වල පිහිට හැර අන් කවර සරණක් ද ? හොදින් විමසා බැලූ විට එදා අලෙක්සැන්ඩර් පවා බය වන්නට ඇත්තේ මෙබඳු සිංහයන් ගැන නොවේ ද ? අනුගාමික බැටළු හමුදාවක නායකත්වයේ සිටින්නේ මෙබඳු සිංහයෙක් නම් සියළු බැටළුවන්ට දෙයින්ගේම පිහිට ය! ඉතිහාසය පුරාවටම කිරුළු පළන් මෙබඳු නායකයෝ තම අනුගාමිකයෝ ගැන හිතනවාට වඩා හිතුවේ තමන් ගැනම ය. අනුගාමිකයන්ට නොතේරෙන මේ සත්‍ය තේරුම් ගත් එම නායකයෝ ඔවුන්ගේ සිතැගි ඉටුකරගන්නට එදත් අදත් ලෝකය ලෙයින් තෙත්කරති.

ඇලෙක්සැන්ඩර් නායකත්වයට සිංහයා වෙනුවට බැටළුවෙක් සිටීම ගැන බිය නොවන්නේ ඌ බිය විය යුතු තැන බිය වන නිසා නොවේ ද ? සිංහ වෙස්ගත් නායකයෝ දක්ෂිණාංශික හෝ වාමාංශික දේශපාලනයේ සිටියද, ශාසනේ සිටියද, පල්ලිවල සිටියද වෙනත් කවර හෝ තැනක සිටියද අප තේරුම්ගත යුතු දෙයක් ඇත. ඒ උන්ට බඩගිනි දැනෙන විට ඌ අපේම එකෙක්ව වුව පාතරාසයට ගන්නට දෙවරක් නොසිතන බව ය. එකල්හි සෙසූ අනුගාමිකයෝ සිය නායකයාගේ ‘පාතරාසයට’,‘වීරයා’, ‘විප්ලවවාදියා’ යනාදී වූ අපූරු නම්ද දෙති. පෙරමුණු, සංවිධාන, උරුම, බලවේග, බලසේනා, බලකා යනු මෙබඳු සිංහයෝ ජීවත් වන ගල්ගුහා නොවේ ද ? මේ තැන්වල ගැවසීමෙන් අප වැනි බැටළුවන්ගේ පවා ලොම් හැලී, මොල්ලියත්, අඃ යුගළත් හොඳින් වැඩෙනවා හැර වැඩෙන අන් තැනක් නැත.

අවසාන වශයෙන් කිවයුත්තේ පක්ෂල විපක්ෂල ආගමිකල අනාගමික නායකයාගේ පටන් ජනාධිපති දක්වා වූ සියළුම නායකයෝ තමන් පැද යන යාත‍්‍රාවට සිදුවිය හැකි අතුරු ආන්තරාවන් ගැන බිය විය යුත්තා හ. නායකයෝ ඒ යාත‍්‍රාව තුළ සිටින මගීන් ගැන බිය විය යුත්තා හ. නායකයෝ දිවිහිමියෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකළ යුත්තා හ. ඔවූහු අනිවාර්යයෙන්ම කාට නැතත් සිය හෘද සාක්ෂියට බිය විය යුත්තා හ. නායකයෝ යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙබඳු උතුම් මනුෂ්‍යයෝ ය. මෙවර අපේ ප‍්‍රධාන ලිපියේ දැක්වෙන දැනට වසර 22 කට කලින් අපෙන් සමුගත් ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අයත් වන්නේද ඒ උත්තම පුරුෂයන්ගේ කැලෑසියට ය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>