Contact us now +61(0) 433 638 610

Articles

සුබ උපන් දිනක් වේවා

Posted in සාහිත්‍ය by on February 11, 2013

1947 ජනවාරි මාසය සිංහල සිනමාවට අතිශයින් වැදගත් දවසකි. ජනවාරි 07 හෝ 21 වනදා (මේ ඉතිහාසය පොත් දෙකක සඳහන් වී ඇත්තේ දෙවිදියකට) ශ‍්‍රී ලංකාවේ තිරගත වූ මුල්ම සිංහල චිත‍්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වුණා. ඉතින් අපේ සිනමා රාජිනියගේ 66 වන උපන්දිනය සමරන්නේ 2013 ජනවාරි මාසයේ.

කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා තිරගත වූ චිත‍්‍රපට සියල්ලම පිළිබඳව කතා කරන්නට අසීරු වුවත්, සිනමාවේ වැදගත් මං සලකුණු සනිටුහන් කළ විත‍්‍රපටි කීපයක් ගැනවත් මතක් කරන්නට හොඳම වෙලාවයි මේ.

මට මුලින්ම චිත්තර පටියක් පෙන්වූයේ අම්මා. කළුතර නගර ශාලාවේ තිරගත වූ ‘‘මදර් ඉන්දියා’’ චිත‍්‍රපටය බලන්නට අම්මා මා කැටුව ගියේ එවකට අම්මා උගැන්වූ පයාගල පොතුවිල මහා විද්‍යාලයේ දරුවන් එක්ක. සිනමා කර්මාන්තයට සම්බන්ධ වූ මහා පුරුෂයකු නොවූවත් බොහොම අමාරුවෙන් ශත 55 ක් හොයාගෙන පිළියන්දල ‘‘ සීදේවී’’ සිනමා ශාලාවේ ගැලරියේ බංකුවක වාඩි වී මදුරුවන් අප ඉහළට ඔසවන්නට තැත් කරන විට, බංකුවල සිටි මකුණන් එය වළකන්නට පහළට අදිද්දී විසිල් පහර ගසමින් බයිස්කෝප් නැරඹූ කෙනෙකු ලෙසත්, පසුකාලයක හැන්දෑ වරුවේ සීදේවී සිනමාහලේ ප‍්‍රක්‍ෂේපණ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවූ සයිමන් අයියාට උදව් කරන්නට සීදේවි කැබින් එකේ සිට ධාවනය කොට අවසන් කළ සිනමා පටි නැවත ඔතන්නටත්, දැල්වෙන කාබන් කූරු නැවත ළං කරන්නටත් පුරුදු වූ කෙනෙකු ලෙසත්, මරදානේ ගාමිණී සිනමා හලේ ‘‘චණ්ඩියා’’ තිරගත වන විට උදේ 10.30 දර්ශනය නරඹා නැවත 2.30 පෝලිමට එක් වී එයද නරඹා නැවත 6.30 පෝලිමට එක් වී එයද නරඹා එකම දවසේ එකම චිත‍්‍රපටය තුන් වතාවක් එකම සිනමාහලේ නැරඹීමේ වාර්තාවක්ද පිහිටුවා මරදානේ සිට පිළියන්දලට පයින් පැමිණි සිනමා රසිකයකු ලෙසත්, ‘‘මිහිදුම් සිහින’’, ‘‘මේජර් සර්’’, ‘‘පරසතුරෝ’’, ‘‘මධු සිහින’’,‘‘දෙව්දුව’’ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්‍ෂවරයෙකු සහ සහය සංස්කාරක ශිල්පියකු ලෙස කටයුතු කොට පසුබිම් ගීත රචකයකු ලෙසද, දෙව්දුව චිත‍්‍රපටයේ විජේ, මාලනී, අනෝජා, ජෝ මහත්තයා සමග රඟපාමින් නළුවෙකු ලෙසද සිනමාවේ සුළු මිනිසකු වූ මම 66 වන උපන්දිනය සමරන්නේ මහත් ආඩම්බරයෙනි.

දෙවන ලෝක යුද්ධයේ භීෂණය සමග බියෙන් මුසපත්ව සිටි ජනතාව මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම රඟ දැක්වූ ‘‘කඩවුණු පොරොන්දුව’’ නාට්‍යය බලන්නට පොදිකමින් එක්රැස් වූයේ යුද්ධයේ භීෂණය අමතක කර දමන්නටය. එහෙත් කඩවුණු පොරොන්දුව නාට්‍යයක් වීම නිසා එකම දවසේ එකම දවසේ එය නරඹන්නට හැකි වූයේ එකම ප‍්‍රදේශයක ජනතාවට පමණයි.

දකුණු ඉන්දියානු සිනමාකරුවන්ට මෙය හොඳ අවස්ථාවක් වුණා. මදුරාසියේ බොම්බායේ, තමිල්නාඩුවේ,කොම්බතුරයේ හැදුණු හින්දි හා දමිළ චිත‍්‍රපටි නිසා සිංහල කතා කරන චිත‍්‍රපටියක් නිපදවීමේ අරමුණ ශ‍්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයින් තුන්දෙනෙකුට පහළ උනා.

මේ අනුව කණ්ඩායම් තුනක් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගියා. එයින් තුරෙයිසිංහම් නම් ව්‍යාපාරිකයා ප‍්‍රමුඛ මුල්ම කණ්ඩායම මදුරාසියේ නැප්චූන් චිත‍්‍රාගාරයට ගොස් ‘‘දිව්‍යමය පේ‍්‍රමය’’ නිපදවීම ආරම්භ කළා. චිත්තම්පලම් ගාඞ්නර් යටතේ ශාන්ති කුමාර් ඇතුළු කණ්ඩායම කොයිම්බතූර් සෙන්ට‍්‍රල් චිත‍්‍රාගාරයට ගොස් ‘‘අසෝකමාලා’’ නිපදවීම ආරම්භ කළා.

එස්.එම්. නායගම්ගේ නායකත්වය යටතේ බී.එම්.ඩබ්. ජයමාන්න ප‍්‍රමුඛ කණ්ඩායම මදුරෙයි චිත‍්‍රකලා මුම්ටෝස් චිත‍්‍රාගාරයට ගොස් ‘‘කඩවුණු පොරොන්දුව’’ නිපදවීම ආරම්භ කළා. මේ සඳහා නාට්‍යයේ පසුතල වේදිකා සැරසිලි සියල්ලක් සමග නාට්‍ය කණ්ඩායම නැව් නංවාගෙන ඉන්දියාවට රැගෙන ගියා.

මේ වන විට ‘‘අසෝකමාලා’’ චිත‍්‍රපටයේ වැඩ අවසන් වී තිබුණත් කවුරුත් නොදන්නා හේතුවක් නිසා මුලින්ම තිරගත වුණේ ‘‘කඩවුණු පොරොන්දුව’’ චිත‍්‍රපටයයි. මේ අනුව මුල්ම ගිනිපෙට්ටි නිෂ්පාදනය, මුල්ම සබන් නිෂ්පාදනය, මුල්ම වීදුරු නිෂ්පාදනය ආරම්භ කළ එස්. එම්. නායගම්ට මුල්ම චිත‍්‍රපටිය වූ කඩවුණු පොරොන්දුවද නිපදවන්නට හැකි වුණා.

මේ විදියට ආරම්භ වුණු අපේ සිනමාවේ උපන්දිනය සමරන මාසයේ දර්ශන, පසුතලවලට තේ රැගෙන ගිය ටී බෝයිගේ සිට අධ්‍යක්‍ෂවරයා දක්වා සියලූම ශිල්පීන්, නළුනිළියන්, කාර්මික ශිල්පීන් හෙලූ දහදිය කඳුළු ඇතැම් විට ලේද එකතු කළා නම් කොතරම් වේදැයි මට සිතේ.

මුල්ම කාලයේ වුවද මෙම චිත‍්‍රපටිවලින් ස්වතන්ත‍්‍ර ගී නිර්මාණ බිහිවුණේ ‘‘අසෝකමාලා’’ චිත‍්‍රපටියෙනි. සංගීත අධ්‍යක්‍ෂණය කළේ මොහොමඞ් ගවුස් හෙවත් ගවුස් මාස්ටර්. පණ්ඩිත් අමරදේවයන් තාපස චරිතයක් රඟපාමින් ගීත ගායනා කළේද මෙම චිත‍්‍රපටියේය. අමරදේවයන් මේ සඳහා ඉන්දියාවට ගොස් ඇත්තේ සංගීත කණ්ඩායමේ වයලින් වාදකයකු ලෙයසි. එතුමා මෙම චිත‍්‍රපටියේ සහාය සංගීත අධ්‍යක්‍ෂවරයාද වුණා.

අපේ කතාවක්, අපේ රටේ සිදුවීමක් වුවද චිත‍්‍රපටිය නිර්මාණය කළේ දකුණු ඉන්දියානු දැවැන්ත චිත‍්‍රාගාරයක් තුළය. කොළඹ නගරය කියල අපි දැක්කේ – නුවර මල්වත්ත කියල අපි දැක්කෙ, ගමේ කුඹුර කියල අපි රැවටුණේ ඉන්දියාවේ චිත‍්‍රාගාරවල ඉදිවුණු දැවැන්ත ව්‍යාජ පසුතලවලටය. කිසිම චිත‍්‍රපටියක එළිමහන් දර්ශන තිබුණේ නැහැ.

ශ‍්‍රී ලංකා ජාතික ගීයේ සහ සිංහල ස්වතන්ත‍්‍ර තනු කලාවේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරින් සිංහල චිත‍්‍රපටියකට තනු නිර්මාණය කළ මුල්ම සිංහල සංගීත අධ්‍යක්‍ෂවරයායි. ඒ 1953 දී නිර්මාණය වූ ‘‘යමුනා’’ චිත‍්‍රපටියට. ඒත් මෙම චිත‍්‍රපටියට කොපි ගීත 10 ක් ඇතුළත් වී තිබුණා. ‘‘සුජාතා’’ චිත‍්‍රපටියේ ‘‘මනරංජන දර්ශනීය ලංකා’’ ගීතය ලියුවේත්, එහි තනුව හා සංගීතය නිර්මාණය කළේත් ආනන්ද සමරකෝන් ශූරීන්. සමරකෝන් ශූරීන්ගේ ග‍්‍රැමෆෝන් ගීතයක් වූ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ප‍්‍රකාශ කළේ 1952 මාර්තු 12 දා. සුජාතා තිරගත වුණේ 1953 මාර්තු 12 දා. සමරකෝන් ශූරීන් සැඩසුළං චිත‍්‍රපටිය සඳහාද ‘‘ශ‍්‍රී ලංකා මා ප‍්‍රීයාදර ජයභූමී’’ ගීතය රචනා කොට සංගීතයද නිර්මාණය කළා. උත්තර භාරතීය ගීත කෝකිලාවිය ගැයූ එකම සිංහල ගීතය වන මෙහි ලතා මංගේෂ්කාර්ට වචන උච්චාරණය පුුහුණු කළේද සමරකෝන් ශූරීන් විසිනි. ලතා මංගේෂ්කාර්ගෙන් දෙඅත් එක් කොට වැඳුම් ලබා ගත් එකම ශ‍්‍රී ලාංකිකයාද ආනන්ද සමරකෝන් ශූරීන්. භාෂාවේ පරතරය නොවන්නට මෙම ගීතය සඳහා ද්‍රවිඩ වාදක මණ්ඩලය මෙහෙයවනු ලබනු ඇත්නේද සමරකෝන් ශූරීන් විසිනි. එසේ වූවා නම් ආනන්ද සමරකෝන් ශූරීන්ට සිංහල චිත‍්‍රපට උපන් රටේ විදේශීය වාදක මණ්ඩලයක් මෙහෙය වූ මුල්ම ශ‍්‍රී ලාංකිකයා විය හැකිව තිබුණි. පසුකලෙක කේමදාසයන්ද සරත් දසනායකයන්ද මේ දේ කළා.

මුල් යුගයේ සිටම රුක්මණීදේවි රඟපෑමත්, ගීත ගායනයත් කළා. පසුකලෙක මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ජී.එස්.බී.රාණි පෙරේරා ආදීන් ගීත ගායනට එක් වුණා. ලතා මංගේෂ්කාර්, පී. සුසිලා, යමුනාරාණි, ජික්කි වැනි විදේශ ගායිකාවන් අපේ චිත‍්‍රපටිවල ගීත ගායනය කළා. ගවුස් මාස්ටර්, බී.එස්. පෙරේරා, එස් ජුනියර්, සුදර්ශනම්, එස්.එස්. වේදා, ආර්. මුත්තුසාමි, මොහොමඞ්සාලි වැනි අය අපේ චිත‍්‍රපටිවලට සංගීත නිර්මාණය කළා.

ආනන්ද සමරකෝන්, ඞී.ටී. ප‍්‍රනාන්දු, හියුගෝ ප‍්‍රනාන්දු ආදීන් මුල් යුගයේ ගීත රචනා කළා. රුක්මණීදේවි, එඞී ජයමාන්න, ශේෂා පලිහක්කාර, බී.ඒ.ඩබ්. ජයමාන්න, පේ‍්‍රම් ජයන්ත්, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, ශාන්ති ලේඛා, ක්ලැරිස්ද සිල්වා ආදීන් මුල් යුගයේ චිත‍්‍රපටිවල රඟ පෑ නලූ නිලියන් වුණා.

සිංහල සිනමාවේ මුල්ම විහිළුකාරයා විකටයා විදියට නම ලබා ගත්තේ එඞී. ජයමාන්නය. ජොසී බබා, මනප්පුවා යන යුවල සිංහල සිනමා රසිකයින්ට කවදාවත් අමතක වෙන එකක් නෑ.

හියුගෝ මාස්ටර් අපේ සිනමාවේ යුග පුරුෂයෙක්. දකුණු ඉන්දියානු සිනමා අධ්‍යක්‍ෂවරුන් යටතේ රඟපාමින් දකුණු ඉන්දියානු ආධිපත්‍යයට එරෙහිව ස්වාධීන නිර්මාණ බිහි කළ, ස්වාධීනව තම චරිත නිරූපණය කළ මහා පුරුෂයා ලෙස මම හඳුන්වන්නේ හියුගෝ මාස්ටර්වයි. ‘‘මාතලන්’’ චිත‍්‍රපටිය යනු ඔහු දෙබස් රචනා කළ, ගීත රචනා කරමින් රඟපෑ ජනප‍්‍රිය චිත‍්‍රපටියකි.

ඇලොයි ජයමාන්න අධ්‍යක්‍ෂණ්‍ය කළ ‘‘පෙරකදෝරු බෑණා’’ චිත‍්‍රපටියේ ගී ගැයීමේ කටහඬ පරීක්‍ෂණයට මරදානේ සිට පැමිණ සිටි හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඞ් ජෝතිපාල පෙරේරා නම් තරුණයා ගීත ගායනා කිරීමේදී පටිගත කරන යන්ත‍්‍ර දෙදරුම් කනවා යැයි කීවේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සුදර්ශනම් නම් සංගීත අධ්‍යක්‍සවරයා. එම තරුණයා කටහඬ පරීක්‍ෂණයෙන් අසමත් වුණා. ඒත් දකුණු ඉන්දියාවේ වාහිනී චිත‍්‍රාගාරයේදී සිරිල් පී අබේරත්න මහතාගේ ‘‘සුරතලී’’ චිත‍්‍රපටියේ ඩබ්. විල්ෆ‍්‍රඞ් ද සිල්වාගේ පද රචනයකට ටී. ආර්. මාපා සංගීතය සැපයූ ආනන්ද ජයරත්න රූප රාමුවල පෙනී සිටි ‘‘සිරියමෙ සාරා’’ ගීතය ගයන්නට මෙම තරුණයාට අවස්ථාව උදා වුණා. මේ හෙළ සිනමා ක්‍ෂේත‍්‍රයේ සෑම තරාතිරමකම නළුවෙකුට උචිත කටහඬක් ඇතිල ආන්නද ජයරත්නගේ සිට තමා මිය ගියාට පසුව උපන්නාවූ අද හෙළ සිනමාවේ ජනප‍්‍රියම නළුවාටද ගී ගයන එච්. ආර්. ජෝතිපාලය.

අපේ සිනමාවේ වැදගත්ම පරිවර්තනය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් තරුණයකු ‘‘රේඛාව’’ චිත‍්‍රපටිය නිරිමාණය කිරීමත් සමගය. මුළුමනින්ම දකුණු ඉන්දියානු චිත‍්‍රාගාර ඇතුළේ ව්‍යාජ දර්ශන පසුතලවල රූපගත කිරීම් සිදු වන අතරතුරදී ලෙස්ටර් තරුණයා තම කැමරා ආම්පන්න සමග එළිමහනට ආවා.
‘‘ලෙස්ටර් මේ කරන්නේ පිස්සු වැඩක්. මේ වියදම් කරන සල්ලිවලින් කපුටන්ට ආප්ප අරගෙන දුන්නා නම් හොඳයැ’’යි කියමින් චිත‍්‍රාගාර තුළට කොටු වී සිටි දකුණු ඉන්දියානු අධ්‍යක්‍ෂවරුන් සිනාසුණා. ඒත් ලෙස්ටර් ජයගත්තා. අර හිනාවුණු උදවියත් ලෙස්ටර් පීරිස් මහත්තයාව අනුගමනය කරමින් චිත‍්‍රාගාරවලින් එළියට ආවා.

මුල් යුගයේදී චිත‍්‍රපටිවල දෙබස් පටිගත කළේ දර්ශන ගත කරන වේලාවටමයි. මෙම පටිගත කිරීම ඉතාම වෙහෙසකර වුත්, කාලය ගත වන ආකාරයේ දෙයක්. පරිසරයේ ශබ්ද, කපුටන්ගේ හා වෙනත් කුරුල්ලන්ගේ ශබ්ද හරිම කරදරයි. දර්ශන ගතකිරීම් නරඹන්නට එන සාමාන්‍ය ජනතාවගෙන් ඊටත් වඩා කරදරයි. පසුකාලයක දර්ශනගත කිරීමෙන් පසුව චිත‍්‍රාගාරවල දෙබස් කැවීම ආරම්භ උණා.

සිංහල සිනමාවේ පරිවර්තනීය යුග පුරුෂයා ලෙස නම් කළ හැක්කේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාවයි. මේ මහා පුරුෂයාව මුල් කරගෙන අපේ අධ්‍යක්‍ෂවරුන් කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපට ගණනාවක්ම නිර්මාණය කළා. ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග, මාලනී – අනෝජා – ජීවරාණි – සන්ධ්‍යාකුමාරි – විජිත මල්ලිකා ඇතුළු තවත් බොහෝ නළු නිලියන් අපේ සිනමාව ආලෝකමත් කළා. මුල්ම අතිවිශාල පුළුල් තිර නිර්මාණය වූ ‘‘වැලිකතර’’ සිංහල සිනමා ඉතිහාසයේ තවත් මං සලකුණක්.

අපේ සිනමාව ඉදිරියට ගමන් කිරීම, ආපස්සට ගමන් කිරීම, දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු ග‍්‍රහණයන්ට අසුවීම වරින්වර සිදුවුණා. තවමත් සිදුවෙමින් පවතිනවා. ඉන්දියානු සංගීත අධ්‍යක්‍ෂවරුන්ගෙන් මෙන්ම ඉන්දියානු සංගීත ආභාෂයෙන් සිංහල සිනමාව මුදවා ගන්නට අපේ සංගීත අධ්‍යක්‍ෂවරුන් මහත් තරඟයන්ට මුහුණ දුන්නා. පී. එල්. ඒ. සෝමපාල තරම් ඉන්දියානු සංගීතය කොපි කරමින් අපේ සිංහල චිත‍්‍රපටිවලට සංගීතය අධ්‍යක්‍ෂණය කළ කෙනෙකු නම් කරන්න අපහසුයි. රොක්සාමි, මුත්තුසාමි, මොහොමඞ්සාලී ආදීන්ද ඒ දේම කළා. හොඳ ස්වතන්ත‍්‍ර නිර්මාණද බිහි කළා.

ඩබ්. ඩි. අමරදේව, ෂෙල්ටන් පේ‍්‍රමරත්න, පේ‍්‍රමසිරි කේමදාස, සරත් දසනායක, ගලගෙදර එම්.එම්.කේ. හක් වාණිජ චිත‍්‍රපටි සඳහා හින්දි තනු කොපි නොකර ජනප‍්‍රිය ගීත නිර්මාණය කළා. වසර 66 ක සිංහල සිනමා ඉතිහාසයේ බොහෝ දේ කියන්නට පුළුවනී. ඒත් මෙවන් ලිපියකින් එවැනි දෙයක් කිරිම පහසු නැත. වර්තමානය ගැන ඔබ දන්නවා. රෝහණ වීරසිංහ නව යුගයේ මධුර තනු නිර්මාණ ශිල්පියා බවට පත් වෙලා. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, එච්. එම්. ජයවර්ධන එක් යුගයක සංගීත අධ්‍යක්‍ෂවරුන් අතර මුල්තැන ගෙන තිබුණා.

වත්මන් සිංහල සිනමාවේ බොහෝ පරිවර්තන සිදුවෙමින් පවතිනවා. එදා යුගයේ සිටි කැමරා ශිල්පීන් වෙනුවට නව අත්හදා බැලීම් කරන කැමරා අධ්‍යක්‍ෂවරුන් බිහිවෙලා. නළුනිලියෝ බොහොමයි. ඒත් එදා යුගයේ ආනන්ද ජයරත්නලා, ගාමීණී ෆොන්සේකලා, මාලනී, රවීන්ද්‍ර, අනෝජා, ජෝ අබේවික‍්‍රම ආදීන් සිනමාවේ සිටි කාලය තරම් කාලයක් මේ අය රැඳී සිටින්නේ නැහැ.

කොහොම උනත් අපේ සිනමාව කියන්නේ දැන් අපේ සංස්කෘතියේම අංගයක් බවට පත්වෙලා. අබා, විජය කුවේණී, කුසපබාවතී ආදී නිර්මාණ බිහිවෙන්නේ මේ සංස්කෘතියේම අංගයක් ලෙසය.

හෙළ සිනමා රැජිණියට සුබ උපන් දිනයක් වේවා….

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>