Contact us now +61(0) 433 638 610

Articles

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Posted in සාහිත්‍ය by on December 18, 2012

img2

පේ‍්‍රමය යනු මානව ජීවිතය හා බැඳී පවතින ප‍්‍රබල ලාලසාවකි. ලාලසාව යනු යම් මානවයකු ස්වකීය සමස්ත කයින් හා අධ්‍යාත්මයෙන් කිසියම් නිශ්චිත වස්තුවක් තිරසරව අරා සිටීමයි. පන්ති සමාජයෙහි පේ‍්‍රමය කෙතරම් තීව්රකර ප‍්‍රකාශනයකට භාජනය කොට තිබේද යතහොත් එය තත්කාලීන සීමාවලින් විනිර්මුක්තව එතෙක් මෙතෙක් පැවති යුග පවුරු පදනම් විනිවිද අපගේ අධ්‍යාත්්මය අමතා එය පුබුදුවයි. දවයි. තවයි. කුලූණින් ළතෙත් කරයි. එමගින් පුද්ගල මනෝභාව පද්ධතිය සියුම්ද, ගැඹුරුද,පෘථුලද වෙයි. ජීවන ධාරිතාව පුළුල් වෙයි. මෙසේ විකසිත වන්නාවූ ජීවන ධාරිතාව වඩාත් පරිපූර්ණවුද, වඩාත් සුසංවාදීවූද, සුපුෂ්පිතවූද ජීවිතයක් වින්දනය කිරීමට මිනිසාට හරස්ව සිටිනා සතුරු කොන්දේසි පෙරළා දැමීමට පොළඹවයි. ඉතිහාසය එබඳු මියුරු පෙම් පුවත් පිරිවරාගෙන සිටී. වත්මනෙහි සේම අනාගතයේද එසේමය.

මෙවර ගී කැණිමඩල තිරසර කරනුයේ ද එබඳු සරල එහෙත් විචිත‍්‍රවූ ගීතයකිනි. මෙයට අඩ සියවසකට පමණ පෙරාතුව නිර්මාණය වුවද මෙම ගීතය අදටත් නැවුම්ය. එසේම පෙම් සිත් නිවා සනසන සඳරැස් දහරක් වැන්න. මෙම අත්දැකීම උත්කර්ෂයට පත් කරවන ගීත සංකල්පනය නිර්මාණය කරන ලද්දේ අපගේ සාහිත්‍ය මාර්ගෝපදේශකයාණන් මෙන්ම යොවුන් පහන් වැට නිර්මාතෘ වූ ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි. මදනළින් පවා සැසලෙන, කම්පිත වන සියුම් අධ්‍යාත්මයක් සහිත අතිශය සංවේදී කවියකු වූ ගමගේ කලාකරුවාණන් නන් අරුත් මතු වන පරිදි සරල පද තෝරා ගී මුතු මිණෙක අමුණා ඇත්තේ අපූර්වාකාරයෙනි.

සූළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ

හෙමින් හමා යන සුළඟ මඳනල බව අපි දනිමු. කවියා මෙහිදී මඳ නල දක්වනුයේ සුළං නමැති කුරුල්ලා යන අපූර්ව රූපකයෙනි. මෙහිදී සෙමෙන් පියාසලා යන විහඟකුගේ විලාසය ශ‍්‍රාවක මනසෙහි සිතුවම් මවයි. මෙම මඳ පවන නම් වූ කුරුල්ලා පියා සලන්නේ හද විකසිත කරවන මල් සුවඳක්ද රැගෙනය. ඒ සුවඳ හමා යන්නේ හදවත නැමැති ආදර උයනටය. හද උයනෙහි ඇත්තේ මල් සුවඳ මුසු මඳ නලින්ම විවර වන මඳ මුදු දොරටුය. හද දොරටු විවර කර ගත් සුළං කුරුල්ලෝ ඔච්චං කරමින් පියා සලති. එසැණින් හද උයනෙහි ආදරය විකසිත වන්නට පටන් ගනී.

සිහින පොතේ පිටුවක් පෙරළී ඇත
මොනවද එහි ලියවී ඇත්තේ
ආදරේ…. ආදරේ….

හද විකසිත කළ සිහිල් සුගන්ධිත මද නල සිහින පොත පෙරළා සිහිපත් කරනුයේ හද රැුඳි සිහිනමය පේ‍්‍රමයයි. හුදකලා කල්පනා ලොවක තනිව සිටින පේ‍්‍රමවන්තයාට මෙන්ම පේ‍්‍රමවන්තියටද මෙම පෙම් මද නල ඔස්සේ ඔවුනොවුන් වෙත මනසින් සමීප විය හැකි නොවේද? සුළං කුරුල්ලෝ පෙම් හද උයන් පුරා පියාසර කරන්නාහ. සිහින පොතේ පිටු පෙරළී තිබේ. එහි යම් දෙයක් ලියවී තිබේ. ඒ කුමක්ද? ආදරයයි. හද අරා නැගි අනුපමේය වූ ආදරයයි.

හදට දැනෙන, සිත කය නිවා සනහන ආදරය සිහින ලොවක දොරගුළු හැරදෙන්නකි. එහි සෝ දුක් සංකා, සන්තාප නැත. ඇත්තේ ප‍්‍රමෝදයෙන් උතුරා යන ආදරය පමණි.

මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි ලිය වී ඇත්තේ
ආදරේ…. ආදරේ….

පේ‍්‍රමය හා සිහින ලොව එකට බැඳී තිබුණද, පේ‍්‍රමය හා තථ්‍ය ලොව බොහෝ වීට ගැටලූකාරීය. පියවි ලොව ප‍්‍රචණ්ඩත්වය, පන්ති කුල ගෝත‍්‍ර ආදී විවිධ බලවේග පෙම් ලොව තලා සිඳ, සුන්බුන්කොට දමයි. පෙම් සිත අවදි වී සිහින ලොවෙහි පාවී යන්නේ එහෙයිනි. පේ‍්‍රමයේ සුමුදු සිහින එහි සුරම්‍ය ලෙස සුරැුකී පවතී. පෙම් ලොව ඇති බාධක ඉවත් කොට පේ‍්‍රමය සඵල කර ගැනීමට ඉඩ හළ මැනව යන ප‍්‍රාර්ථනයද ව්‍යංග්‍යාර්ථවත්ව මෙම වදන් තුළින් මතු වේ.

එගොඩ ගොඬේ ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ

පවත්නා බාධක දුක් පීඩා මැඩ එගොඩින් ඇති සිහින තොටුපළ වෙත, ජීවිතය නමැති කුඩා ඔරුවේ නැගී එතෙර වීමට ඉඩ දෙන්නැයි ආයාචනය කරන්නේ අකලංකවූ ද, අචල වූද පෙම් ලොව ජය ගනු රිසියෙනි.

1960 දශකයේ අග භාගයෙහි කේ.ඒ.ඩබ්. පෙරේරා නිර්මාණය කරන ලද ‘‘සැනසුම කොතැනද’’ චිත‍්‍රපටයෙහි ඔරුවක් පැද යන ජවනිකාවක් උදෙසා ධර්මසිරි ගමගේ ශූරීන් විසින් රචනා කරන ලද මෙම ගීතය චිත‍්‍රපට ගීතයකට වඩා සරල ගීතයක් ලෙසින් එදා මෙදාතුර ශ‍්‍රාවක සම්භාවනාවට පත් වෙමින් පවතී.

ගීත සංකල්පනය, සංගීත සංයෝජනය මෙන්ම ගායනය යන තුන් ඈඳුතු අංගයන්හි මනා සුසංයෝගය මෙම ගීතය විශිෂටත්වයට පත් වීමට හේතු වී තිබේ. හරූන් ලන්ත‍්‍රා සහ ඇන්ජලීන් ගුණතිලක යන විශිෂ්ට ගායනා ශිල්පීන්ගේ ළයාන්විත ගායනා ගීතයේ සමුදයාර්ථය කුළු ගැන්වීමට බෙහෙවින් ඉවහල් වී තිබේ. පේ‍්‍රමයෙහි මධුරභාව, හද පිරිමදින මියුරු අත්දැකීමක් බවට පත් වෙන්නේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ විස්මිත ස්වර ඥානය හා අපූර්ව වූ සංගීත සංයෝජනය හේතුවෙනි. මෙබඳු මියුරු ගීයක රුව ගුණ විමසා බැලීමද අපගේ ජීවිත පරිඥානය පෘථුල කෙරෙන අර්ථවාහී ව්‍යායාමයක් වන්නේය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>