Contact us now +61(0) 433 638 610

Articles

ආදරණීය තාත්තා

Posted in සාහිත්‍ය by on March 11, 2013

අපේ අම්මා නිදහස හිතේ නිදහස උපරිම වූ කල ගීතයක් මිමිණීම අපට නිතර ඇසෙන දෙයක්. ඒත් මගේ තාත්තා කිසිදිනෙක ගීත මුමුණනු අපි අසා නැත්තෙමු. එහෙත් තාත්තා සංගීතයට බොහෝ ප‍්‍රිය කල බව මම පැහැදිලිවම දනිමි. එක දවසක් ගුණදාස කපුගේ මහතාගේ ’දවසක් පැල නැති හේනේ’ ගීතය යද්දී මෙහෙම කීවා. ’’චූටි දුව ඒක නම් හැබෑම ගීතයක්.. මට අපේ අම්මා නැතිවුණේ පුංචිම කාලෙදී. ඒ හින්දාම මං දන්නවා අම්මා කෙනෙක් මොනතරම් වටිනවාද කියලා…. අම්මව හොඳින් බලාගන්න ඕනෑ තේරුණාද?…..’’

තාත්තා කවදාවත් තමන් ගැන හිතුවේ නෑ. හැම වෙලාවකම හිතුවේ පවුලේ අනෙක් අය ගැන. අපේ තාත්තා වර්ණවත් සුවඳවත් මනුස්සයෙක්ය කියලා මං හිතන්නේ ඒ හින්දා. මට මතකයි මං පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගෙට ගිය විදිහ. ඒ දවස්වල අපේ ගෙදර වාහනයක් තිබුණේ නෑ. තාත්තා යාළුවෙකුගෙන් ඉල්ලගත්ත පා පැදියක මාවත් තියාගෙන හැතැප්ම හයක් දුර පැද්දා. එතැන ඉදලා නාගලකන්ද විද්‍යාලයට තවත් දුරයි. බස් එකක් නෑ. වෙලාවත් ගෙවිලා යනවා. මං වගේම ශිෂ්‍යත්ව විභාගෙට යන්න තවත් ළමයි හතර දෙනෙක් එතැන හිටියා. තාත්තා ඒ ළමයි හතරදෙනයි මාවයි ඔක්කොම භාග ලොරියක නංගාගත්තා. අපි විභාගෙට ගියේ එහෙම.

අද මං වට කරගෙන වර්ණවත් ලෝකයක් තියෙනවනම් ඒ හැම පාටකම මගේ තාත්තගේ පාටත් තියෙනවා. මං වට කරගෙන බොහෝ සුවඳ තියෙනවා නම් ඒ හැම සුවඳකම මගේ තාත්තාගේ සුවඳත් තියෙනවා. මං නැංග ජීවිතේ හැම පියගැටපෙළක් ලඟදීම මට තාත්තගේ ශක්තිය ලැබුණා. මං ලබන සෑම සැප සම්පතකම අයිතිකාරයා මගේ තාත්තා. මං මුදල්වලින් මහා ලොකු පොහොසතෙක් නම් නොවෙයි. ඒත් මං දන්නවා මගේ හිත පොහොසත් කියලා. තාත්තා හිටියා නම් කියාවි මගෙ දුවේ ඔයා දිනුම්. භෞතිකව ලාභ ලබන එක නෙවී ආධ්‍යාත්මිකව දියුණු වෙන එක තමයි දියුණුව කියලා.

මගේ තාත්තා හැම වෙලාවෙම කිව්වේ මහා මොලයකට වඩා විසල් හදවතක් තමා වැඩිපුරම වටින්නේ කියලා. දුක් විදින මිනිස්සුන්ට නවතින්න පුළුවන් තරමට තමන්ගේ හදවත ලොකු කරගන්න කීවා මිසක මුළු ලෝකෙම පරද්දන තරමටම බුද්ධිය වැඩි කරගන්න කීවේ නෑ. ඒ කියන්නේ බුද්ධිමත් නොවෙන්න කියලා නම් නොවෙයි.

අපේ තාත්තා ගමේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා. ගමේ මිනිස්සු තාත්තා පාරේ යනවිට දෙපැත්තට වෙලා කහට පිරුණ දත් පෙන්නලා හිනාවෙනවා. තාත්තට ඒ හැම මනුස්සයෙකුගෙම නම මතකයි. හැම කෙනෙක් එක්කම කතා කරන්න තාත්තා අමතක කරන්නේ නෑ. මං ගමේදී දැක්ක ඒ මිනිස්සුන්ට ඉගිල්ලෙන්න කාර් යාන වාහන තිබුණේ නෑ. ඒත් ඒ හැම මනුස්සයෙක් ඇතුලෙම සතුට තිබුණා. බුලත් කහට පිරුණ දත් පෙන්නලා හිනාවුන ඒ හිනාව හරි අව්‍යාජයි. ඒ අව්‍යාජ හිනාව ආයේ කවදාක කොහෙන් මං ලබන්නද තාත්තේ.

දැන් ජීවිතේ ඉස්සර වගේ නෙවෙයි. සරුව පිත්තල ලෝකයක් මේක. මනුස්සකම පිරුණ මනුස්සයෙක් හොයාගන්න එක බෙහෙතකට කළුනික හොයනවා වගේ. ජීවිතේ මේ තරම් සංකීර්ණ වුණේ ඇයි තාත්තේ. ඒ දවස්වල වෙසක් එකට එල්ලන්න කෘත‍්‍රිම බල්බ් වැල් තිබුණේ නෑ. අපි පත්තු කලේ පැපොල් ගෙඩිය දෙකට පලලා හදපු පහන්. වෙසක් කූඩු සල්ලි දීලා කඩෙන් ගත්තෙත් නෑ. වෙසක් එන්න මාසයකට කලින් ඉදලාම අපි කූඩු හදන්න පටන් ගන්නවා. ඒ කූඩු හදන්න මුලසුන ගත්තෙත් තාත්තා. මහ කූඩුවේ පැටව් වගේ අපිත් තාත්තාගේ එල්ලිලා කූඩු හදනවා. ඒ කූඩු වලට සව් කොළ අලවන්න සව් කොල ගන්න අපි අපේ කැටේ කඩනවා. බල්බ් නොදැම්මට ඉටිපන්දම් එළියෙන් ඒ කූඩු ලස්සනයි තාත්තේ. අපි ඔයාට ආදරේ කලේ අපිට ඔයාගෙන් තොර ලෝකයක් නොතිබුණ හින්දා. ඒත් දැන් දරුවන්ට වෙසක් කූඩු හදන්න තාත්තා ඕන නෑ. තාත්තා ඕනේ සාක්කුවෙන් මුදල් ගන්න විතරයි. කොම්පියුටර්, සී. ඞී. තැටි රූපවාහිනිය , අන්තර්ජාලය දරුවන් හා දෙමාපියන් අතර වූ බැදීම ලිහිල් කරලා. ඒත් මට තාමත් ඔබව ඕනෑ තාත්තේ. ඒ උණුහුමට මං ලෝබයි.

මං තාමත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට කැමතියි. ඒ මං ඒ නගරයේ උප්පත්තිය ලබපු නිසා නොවෙයි. ඔයාගේ ජීවිතේ වැඩි කාලයක් ගත කලේ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ විවිධ නගරවල නිසා. ඔයාගේ සුවඳ ඔයාගේ උණුහුම තාමත් මට පොළොන්නරුවට ගියාම දැනෙනවා. ඔයා එදා පොළොන්නරුව තුල මහා දැවැන්තයෙක් වුණා තාත්තේ. ඔයාගේ දහදිය පොළොවට දුන්න ඔයා ජීවත්වුණ ඒ මහපොළොවට මං ආදරෙයි තාත්තේ.

අපේ මනරම් පුංචි කාලය ගෙවා දාපු බිමට අපි ආදරය නොකර කොහොමද?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>