Contact us now +61(0) 433 638 610

Articles

ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ

Posted in සාහිත්‍ය by on September 14, 2014

ala-hithak

- ගීතදේව

අස්වනු නෙළා ගත් පසුව එහි අග‍්‍ර ඵලය ලෙස අලූත් සහල් මිටක් ශී‍්‍ර මහා බෝධියට හෝ දළදා වහන්සේට පිදීම පුරාණයේ පටන් අද දක්වාම නුවර කලාවියේ ගොවි ජනයා විසින් ඉටු කරනු ලබන චාරිත‍්‍රය කි. එකල ලාංකික ගැමියාත්, කෘෂිකාර්මික දිවි පෙවෙතත් එකිනෙකින් වෙන් කළ නොහැකි විය. මඩ සෝදගත් කළ ගොවියා රජකමටත් සුදුසු බව කීවේ රොබර්ට් නොක්ස් ය. ඒ පාලකයෙකු සතු බුද්ධිය, අවස්ථානෝචිත ප‍්‍රඥාව, නොසැලෙ නබව ආදී වූ ගුණාංග වලින් එකල ගොවියාද පොහොසත්ව සිටින්නට ඇති නිසා වන්නට පුළුවන.

එකල තතු එසේ වුවද ගොවිතැන සිය ජීවනෝපාය කරගත් වත්මන් තරුණ ගොවියෙකුගේ අහිංසකත්වය සහ අසරණකම ඉදිරියේ අප හදවත් විටෙක දැඩි කම්පනයට පත් කරවන ගීතයකි, රෝහණ වීරසිංහගේ සංගීතයට, සුනිල් එදිරිසිංහගේ ගායනය මුසු වූ ‘‘දළදා හාමුදුරුවනේ’’. මෙම අපූරු ගීතයේ ගේය පද රචනාව සමූද්‍ර වෙත්තසිංහ ගෙනි.

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අලූත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනිනොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ

ගොවිතැන තම මූලික ජීවනෝපාය කරගැනීමට කැමති ශී‍්‍ර ලාංකික තරුණයෙකු සොයා ගැනීම අද දවසේ ඉතා දුෂ්කර ය. කලාතුරෙකින් හෝ එවැනි අයෙකු සොයාගත්තද ඔහුගේ අත ගැනීමට කැමති තරුණියක සොයා ගැනීම ඊටත් වඩා සදුෂ්කර ය. මේ ගීතයේ දැක්වෙන තරුණ ගොවි මහතා තමා අත්විඳින හුදෙකලාව ගැන දළදා හාමුදුරුවන් ඉදිරියේ පවසා සිටින්නේ සංවේදී ස්වරයකිනි. අලූත් සහල් මංගල්ලය දා ඔහුගේ තනි නොතනියට එන්නට කෙනෙක් තවමත් මුණගැසී නැත. ඔහු දළදා හාමුදුරුවන් ඉදිරියේ අහිංසක ප‍්‍රාර්ථනයක් කරයි. ඒ ලබන වාරයේ අලූත් සහල් මංගල්ලයට එන විට ඔහුගේ තනිනොතනියට ආල හිතක් ලබා දෙන ලෙසට ය. එදා රජකමට පවා සුදුසු වූ ගොවියාගේ අද තත්ත්වය කෙතරම් ශෝචනීය ද ? විවාහය නැමති ගෘහය ඉදිකිරීමට ආදරය හෝ ගරුත්වය යන අත්තිවාරම තවදුරටත් අත්‍යාවශයම නොවේ. පුහු නම්බුව හෝ ආටෝපයට මිස දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගෙන අල්පේච්ඡු ජීවිතයක් ගතකරන ගොවි තරුණයෙකුට කැමති තරුණියක අද කොහෙන් සොයා ගන්න ද ?

තවමත් ශී‍්‍ර ලාංකික ගැමියා සිතන්නේ විවාහ බන්ධනය යනු සාංසාරික බැදීමක් ලෙසය. එය මේ ආත්මයේ ආරම්භ වී මේ ආත්මයේම කෙළවර වන්නක් නොව ඈත ආත්මභාවයක පටන් පැවත එමින් අනාගත ආත්මභාවයන් කරාද දිවෙන සාංසාරික බැඳීමකි. නන්නාදුනන අයෙකු හා එක්ව ජීවන ගමන යාම පහසු නැත. සංසාරයේ දැන හඳුනාගත් අයෙක් සමග ජීවිත ගමන යාමට ලැබේ නම් ඒ ගමන හැල්මේ යා හැකි ය. අපේ අතීත ගැමියාට විවාහය ජීවිතය රන් දෙවොළක් වූයේ ඒ පරිද්දෙන් නොවිය හැකි ද ?

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැල්පත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැද යන්ටයි
කාත්කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

‘‘මගේ ජීවිතය නැමති කුඹුර පාළු ය. එම කුඹුර අස්වැද්දිය හැක්කේ ඔබට ය. හැකිනම් ඔබ ඒ කුඹුර අස්වද්දන රන් බිජුවට වන්න. දිනෙක නිල් ගොයම් පීදී කිරිවැදී එනු ඇත.’’ ඔහු මේ කියන්නේ ඇයත් සමග ගත කළ හැකි අනාගත සරුසාර ජීවිතයක් ගැන නොවේ ද ? මේ පද පෙළ පුහු මානයෙන් හිස් උදුම්මවාගත් වත්මන් තරුණ පරපුරට ගසන අතුල් පහරකි. වත්මන් තරුණයා ගතානුගතිකත්වය දකින්නේ හණමිටි කර තබාගෙන යාමක් ලෙස ය. එහෙත් ඔවුන් ද, ‘‘නූතන ගතානුගතිකත්වය’’ කරතබාගෙන යන බව ඔවුන්ම නොදනිති. ඔවුන්ට අනුව රටකට හෝ පුද්ගලයෙකුට අධ්‍යාත්මික හෝ බාහිර දියුණුවක් කරා යාමට නොහැක්කේ පවත්නා ක‍්‍රමයේ ඇති වරදක් නිසා ය. එහෙත් කිසිවෙක් තියෙන තැනින් පටන් ගැනීමට නොසිතති. ඒ නිසා ඔවුහු මියෙන තුරාවට ගහපු පදයකුත් නැටූ නැටුමකුත් නැත. මේ ගීතයේ දැක්වෙන තරුණයාගේ ප‍්‍රාර්ථනා ලෝකය සරලය. ඔහු කෙරේ වත්මන් තරුණ තරුණියන්ගේ සිත් වික්ෂිපප්ත කරන සංකීර්ණ ප‍්‍රාර්ථනා නැත. එහෙත් ඔහු දැඩි අදිටන් ඇත්තෙකි. ඒ නිසා අනාගත සෞභාගය ගැන ඔහුට කිසි සැකයක් නැත. තතු එසේ වුවද ජැංඩියට ඇද පැළද ලද එකම ජීවිත කාලය නිම වීමට පෙරාතුව හැම කස්තිරමක්ම ඇල්ලීමට මාන බලන වත්මන් ළියතඹරාවන්ට මේ දේ තේරුම් ගැනීමට තරම් හැකියාවක් තිබේ ද ?

මල් සුවඳක් සේ මා වට සුවඳ දි දී ඉන්ටයි
ඇල් සුළගක් වී අවුදින් ගත සිත පුපුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැද යන්ටයි
කාත්කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

‘‘මා මලක් නම් එහි සුවඳ ඔබය. වෙහෙස නිවා මගේ ගත දැවටෙන සීත සුළගත් ඔබ ය. මල් සුවඳත්, සීත සුළගත් මගේ ගත සිත පුබුදුවයි. මේ ලෝකයේ මට ඔබ හැර අන් කෙනෙකුද නැත. ඉඳින් මගේ අඳුරු ජීවිතය ඒකාලෝක කරනු මැනවි. සසර සැරි සරන තෙක් අපි මේ ගමන එක්ව යමු.’’

ගේය පද රචකයා මෙහිදී ගැමි දිවිය හා බැඳුණු අතිරමණීය උපමා නොමසුරුව හසුරුවයි. ඔහු කීමට තතනන කාරණය හරහා සව_ාශුභවාදය ඉස්මතුව ඒමට ඉඩ දෙන බවක් නොපෙනෙයි. අවසානයේ රසිකයාට විවිධ කරුණු ඔස්සේ මේ නිමිත්ත ග‍්‍රහණය කරගන්නට අවකාශ සලසයි. මේ ගීතයේ දැක්වෙන තරුණයා හුදෙක් අහසේ මාළිගා තනන්නෙක් ද ? තත්‍ය ලෝකයේ දී ඔහු පතන ආකරයේ පෙම්වතියක මුණ ගැසෙන්නේ කාට ද ? මේ තවත් එක් යැදීමක් පමණ ද ? වත්මන් තරුණ ගොවියාගේ ඉරණම ද මේ ? බොහෝ උගත් ගුරු ඇදුරුතුමන්ලා පවා මේ ගීතය විචාරයේදී එබඳු නූතන ගතානුගතිකවාදී ආකෘතිවල සිරවී සිටිනු පෙනේ.

තතු එසේ මුත් ගීතයට අති සාධාරණයක් ඉටු කරන සුනිල් එදිරිසිංහගේ හඬත්, රෝහණ වීරසිංහගේ සංගීතයත් එකී වූ අදහස්වලට වඩා ගව් ගණනාවක් එපිට මානයකට රසික අපගේ චින්තනය ගෙන යනවා නොවේ ද ? මේ අතිරමණීය ගීතය විචාරකයන්ගේත්, උගතුන්ගේත් දැනීම් පද්ධතිවලට තවමත් හසු නොවන අදීන ලාංකික ගැමියාගේ සුපහන් චිත්ත සන්තානය දෙස හෙළුෑ දයාර්ද බැල්මකැයි අප කල්පනා කරන්නේ ඒ නිසාය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>