Contact us now +61(0) 433 638 610

Articles

නෙත් අඳ මුත්

Posted in ජීවිතය,සාහිත්‍ය by on June 7, 2013

anda-sira

මට හදිසියෙන්ම වගේ සිරිසේනව මතක් වුනා. සිරිසේන පිළියන්දල ප‍්‍රධාන බස්නැවතුම් පොලේ අනුන්ට අතපාලා කීයක් හරි හොයාගත්තු අන්ධ මනුස්සයෙක්. පිළියන්දල හරහා මොන පැත්තකට යන බස් එකක වුනත් නැංග ඕනම කෙනෙකුට සිරිසේනව අමතක වෙන්න විදියක් නෑ.

සිරිසේන , එහෙම නැත්නම් ගමේ කවුරුත් කතා කරන ‘‘අන්ධ සිරා’’ නිතරම ඇන්දේ සුදුපාට අත්කොට බැනියමක් හා සරමක්. බැනියම සුදුපාට අනාට ඒක කළුපාටයි බස් නැවතුම හරහා යන බස්වල දුම වැදිලම ඒක කළුපාට වෙලා. ඉදලා හිටලා අත්කොට කාකි කමීසයක් අදිනවා. බස්නැවතුම් පොලෙන් ඒ මේ අත යන බස්වල නගින අයට සිරිසේන කලේ අපූරු සේවයක්.

‘‘අනේ මේ ඇස් දෙක පේන්නෙ නැති අසරණයට පිනට යමක් දෙන්න’’ එහෙම කියලා මිනිසුන්ට අතපානවා වගේම‘‘ දැන් වෙලාව හතරට ළගයි’’ කියලා කියනවා. ඇත්තටම පිළියන්දල ඔරලෝසු කණුවේ හතර වදින්නේ ඒ වචනත් එක්කම. සිරිසේන හරියටම වෙලාව කියන බව දන්නා සමහරු ‘‘කීයද සිරිසේන වෙලාව’’ කියලා අහනවා. ඇයි දෙයියනේ ඇස් දෙක පේන්නේ නැති මගෙන් වෙලාව අහන්නේ. අර තියෙන්නේ ඔරලෝසු කණුව, එබිලා බලනවකෝ. වෙලාව නම් දෙකට දහයයි.’’ එහෙම තරහ ගියත් සිරිසේන වෙලාව නම් කියනවා.

බස් එකක නැග ගන්න දුවගෙන යන අය සිරිසේනගේ ඇ‍ඟේ හැප්පෙනවා ‘‘යකාගේ වැඩක්නේ මේක හොඳට ඇස් පේන මිනිස්සු අන්ධ මගේ ඇ‍ඟේ හැප්පෙනවනේ. ආ අන්න මඩපාත බස් එක ආවා. තුනහාමාරට යන්න තියන මොරටුව බස්එක තවම නෑ. මොකද දන්නේ නෑ.’’ බස් රථවල සද්දෙන් සිරිසේන බස් එක යන පැත්ත කියනවා. බස් නැවතුම් පොලේ වෙලාව තබන්නාට වඩා සිරිසේන බස් යන එන වෙලාව දන්නවා.

ඉස්කෝලේ යන කාලේ කොල්ලූපිටියේ නෝනිස් මහත්තයගේ සත්ත්ව විද්‍යාව පන්තියට මම ගියේ ගාලූපාර හරහා යන බස් රථයක. සතියකට දවසක් සිරිසේනත් මේ බස් එකේ යනවා. හරියටම මැලිබන් හන්දියෙන් සිරිසේන බහින්නේ කොහොමද ? මේක මට ප‍්‍රශ්නාර්ථයක් වෙලා තිබුණා. දවසක් මම සිරිසේනව මුණ ගැහුනා. ‘‘සිරිසේන කොහොමද හරියටම මැලිබන් හන්දියෙන් බහින්නේ’’, ‘‘ඇයි දෙයියනේ බිස්කට් සුවඳ….. බිස්කට් සුවඳ’’ සිරිසේන උත්තර දුන්නා. පස්සෙ කාලෙක මැලිබන් ආයතනයේ සංගීත ප‍්‍රසංගයක් තිබුණා. ඒ දවස්වල එහි මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් හිටියේ මගේ ගෝලයෙක්. එම ප‍්‍රසංගයේ නිවේදන කටයුතු කරන්නට එන්නැයි ඔහු මට ආරාධනා කලා. ‘‘සර් ඔක්කොම ලොක්කො ටික එදාට එනවා. සර් මැලිබන් ගැන මොනවා හරි කියන්න’’ ඔහු මගෙන් ඉල්ලා හිටියා.

ප‍්‍රසංගයේදී මම සිරිසේන ගැන කිව්වා. මැලිබන් සුවඳ ගැනත් කිව්වා. ‘‘අන්ධ මනුස්සයෙකුට මැලිබන් බිස්කට් හදුනා ගන්න පුළුවන්නම් ඇස් පේන අපිට මැලිබන් හඳුනා ගන්න බැරි වෙන්නේ නෑනේ’’ මම කතාව ඉවර කළේ එහෙමයි. සේවක සේවිකාවන් මහ හඩින් ඔල්වරසන් දුන්නා.

පහුවදා මම වැඩ නිමකරලා ගෙදර එනකොට සාලේ පුරාම විවිධ වර්ගයේ මැලිබන් බිස්කට් වහළ උසට ගොඩ ගහලා.

‘‘මොකද මේ …….?’’ මම අම්මාගෙන් ඇහුවා

‘‘ඊයේ Show එකේදී පුතා කරපු කතාවට සතුටු වෙලා මැලිබන් එකෙන් එවලා තියෙන්නේ.’’

අම්මටත් හරියට ගමන් බිමන් වැඩිවුනා. මේ බිස්කට් මට ලැබුණේ සිරිසේන හින්දා. සිරිසේනගේ කොටහා එයාට දුන්නා. සිරිසේන හන්දියේ ක‍්‍රීඩා පිට්ටනියේ සංගීත ප‍්‍රසංග බලන්න එනවා. දවසක් මම එතනට යනකොට සංවිධායක වරයෙකු මගේ ළඟට ආවා.

‘‘අයියේ සිරා මාර කතාවක්නේ කිව්වේ. රුපියල් දහයේ ටිකට් එකක් අරගෙන රුපියල් පහයි දුන්නේ. අපි ඇහුවා මේ මොකද කියලා. ඇයි ඕයි මම අන්ධයා. මට සංගීතේ බලන්න බෑනේ. මට පුළුවන් අහන්න විතරයි. ඉතින් ඒකට පහක් ඇති.’’

කතාව ඇත්තනේ. කොහොම උනත් එදායින් පස්සේ පිළියන්දල සංගීත ප‍්‍රසංගවලට සිරිසේනට නොමිළයේ ඇතුළු වෙන්න මම ඉඩ අරගෙන දුන්නා.

කාගේ හෝ කටහඩින් සිරිසේන ඒ පුද්ගලයාව අඳුරනවා කියන්නේ ඔහු ඒ පැත්තේ ජනප‍්‍රිය කෙනෙකු කියලා මතයක් පිළියන්දල පැත්තේ සමහරුන්ගේ සිත්වල තිබුණා. මේ නිසාම බස් නැවතුම්පොළේ සෙනඟ බහුලව ගැවසෙන වෙලාවට බොහෝ අය සිරිසේනට කතා කරනවා.

‘‘ආ…… මේ පේ‍්‍රමසිරි මහත්තයානේ’’

‘‘ආ …… ප‍්‍රනාන්දු මහත්තයා කොහොමද සැප සනීප.’’

‘‘ආ….. දේවසිරි අයියා බැරක් යනවද ?’’

සිරිසේන මෙහෙම කතාකළොත් ඒ අයට ලොකු ආඩම්බරයක්. මොකද අන්ධ මනුස්සයාත් කටහඩින් අඳුරන එක මොනතරම් ජනප‍්‍රිය කමක්ද ?

සිරිසේන මගේ කටහඬ අඳුරනවා. ඒ පිලියන්දල පැත්තේ සංගීත ප‍්‍රසංග වල නිවේදන කටයුතු කළ නිසා. ඒත් සිරිසේන මගෙන් හැමදාම අහන දෙයක් තිබුණා. ‘‘ප‍්‍රියානන්ද අයියා ළඟදී සංගීතයක් එහෙම නැද්ද ? මේ ටිකේ ඔඪ එකේ නිව්ස් කිව්වේ නෑ … වික්ටර් රත්නායකගේ අළුත් කැසට් එකක් ඇවිත් තියෙනවා නේද ? ළගදී මොකක්ද ලිව්ව සිංදුව’’ යන්න විධියේ දේවල් තමයි මගෙන් අහන්නේ.

බස් නැවතුම් පොළේ සෙනග කන්දරාවක් මැද්දේ ජනප‍්‍රිය බව පෙන්නන්න ගිහින් අපේ මිතුරෙකුට හොඳ වැඩක් උනා. ඔහු නමින් විජේසිරි. විජේසිරිම මේ කතාව කිව්ව හින්දා ඇත්ත නම ලිව්වට කමක් නෑ. විජේසිරි වැඩකළේ ගුවන් විදුලියේ වයලින් වාදකයෙකු හැටියට. අත් වැළමිට ළඟට නැමූ කමිසයක් ඇඳගෙන දිග කලිසමකින් සැරසිලා තමයි විජේසිරි වැඩට යන්නේ. සෙරෙප්පු මිසක් සපත්තු දාන්නේ නෑ. එක දවසක් ගුවන් විදුලියේ විශේෂ වැඩසටහනකට සම්පූර්ණ යුරෝපීය ඇඳුම අඳින්න විජේසිරිට සිදුවුනා. ටයි කෝට් ඇඳලා ඔහු බස් නැවතුමට ආවා. සෙනඟ පිරිලා. ‘‘සිරිසේනට කතා කරන්න හොඳම වෙලාව’’ විජේසිරිට හිතුණා. වෙනදා විජේසිරි සිරිසේනට කතා කළාම ‘‘ආ … විජේසිරි අයියා …….’’ කියලා සිරිසේන කියනවා.
‘‘සිරිසේන ……’’ විජේසිරි කතා කළා.

එදානම් සිරිසේනට වැරදුනා.

‘‘ආ …… ජේමිස් බාසුන්නැහේ.’’ විජේසිරිට තරු පෙනුනා. මේ උදේ සෙනගත් මැද්දේ විජේසිරිට උනේ මහ අකරතැබ්බයක්.

‘‘සිරිසේන මම ජේමිස් බාස් නෙමෙයි. විජේසිරි – විජේසිරි’’

‘‘මොන විකාරද මම විජේසිරිවයි, ජේමිස් බාස්වයි අ`දුනන්නේ නැද්ද?’’

‘‘නෑ සිරිසේන – මම විජේසිරි’’

‘‘කෝ බලන්න’’ සිරිසේන විජේසිරි ළඟට ඇවිත් අත ගාලා බැලූවා.

‘‘අප්පට සිරි බාසුන්නැහේ අද ටයිකෝට් දාලා කරේ දාන අමුඩ ලේන්සුව වෙනුවට ටයි එකකුත් දාලා. හොඳයි හොඳයි. ’’
විජේසිරි වැටුණේ හරිම අමාරු තැනකට. මොකද මේ වෙලාවේ මෙතන ඉන්න බොහෝ දෙනෙකු විජේසිරිව අ`දුරනවා. විජේසිරිට පිහිට වුනේ ළඟ හිටපු කෙනෙක්.

‘‘සිරිසේන – මේ විජේසිරි තමයි. ජේමිස් බාසුන්නැහේ නෙවෙයි.’’

‘‘ආනේ ඇත්තද – මටයි වැරදුනේ. කවදාවත් නැතුව විජේසිරි අයියා මේ ටයිකෝට් දාලා මොකද?’’

විජේසිරි ආපහු වැටුණේ අමාරුවක. එකෙන් අනිත් අය දැන ගත්තේ විජේසිරි ජීවිතේ මුල්වරටයි ටයිකෝට් ඇන්දේ කියලා.

සිරිසේන හරියටම වෙලාව කිව්වා. මොන බස් නැවතුමට ආවත් බස් එක ගමන් කරන දිශාව ගමනාන්තය කිව්වා. මැලිබන් සුවඳට මැලිබන් හන්දියෙන් බැස්සා. සංගීතය රසවින්දා.

අත්කොට සුදු කළු බැනියම හරි කාකි කෝට් එක හරි ඇඳගෙන සරමත් කොටට ඇඳගෙන එක අතකින් දූලි වැදී කිළිටු වුණු කව්බෝයි තොප්පියත්, අනිත් අතින් මිට නැමුනු ලී බස්තමත් අරගෙන කැරකි කැරකී මිනිසුන්ට අත දිගුකොට යමක් ඉල්ලාගෙන බස් නැවතුම් පොලේ ටයිම් කීපර් වැඬේ හරියටම කළේ සිරිසේන කියලයි මට හිතෙන්නේ.

පි‍්‍රයානන්ද විජේසුන්දර
සිතුවම – සාමන්ත තැන්නගේ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>