Contact us now +61(0) 433 638 610

Articles

අනුබුදු දකිමි

Posted in ආකල්ප,ආගමික by on June 7, 2013

mihinthala

ඉපදීම සහ මරණය අතර අප ගතකරන ජීවිතයේ දිශානතිය නීර්ණය කරන ප‍්‍රධාන සාධක දෙකක් වන්නේ ඉගෙනීම සහ ඇදහීම ය. ළමා කාලය යනු අනාගතයේ ජීවත්වීම අරඹයා වැදගත් වන කරුණු ඉගෙනීම වෙනුවෙන් පුහුණුව ලබන අවධිය ය. ක‍්‍රම ක‍්‍රමයෙන් වයස්ගත වන විට නිවැරදි යැයි අප විසින් හඳුනාගනු ලබන යම් යම් කරුණු කාරණා ඇදහීම් බවට පත් කරගන්නේ ය. ලොව පුරා විහිදී ඇති නොයෙක් ඇදහීම් වලිනුත් ඊට අමතරව එක් එක් පුද්ගලයා තම තමන් විසින් ගොඩ නගා ගන්නා ඇදහීම් වලත් නිර්මාණ බවට තමන්වම පත්කර ගන්නේ ය. ඉතිහාසගත රාමුවෙන් පිටතට පැමිණ මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සහ ඒ නිසා ලංකාවේ සිදු වූ සමාජීය සහ අධ්‍යාත්මික පරිවර්තනය විමසා බලන කළ ඒ තුළැම සිට එය විමසා බලනවාට වඩා වපසරියක් පෙනෙන්නට පටන් ගනිතැයි අපි අදහස් කරමු.

නා චින්ත යන්තෝ පුරිසෝ
විසේස මදි ගච්ඡුති

මෙහි තේරුම නම් යමක් දෙස විමසා නොබලන කෙනෙකුට විශේෂත්වයට පත් විය නොහැකිය යන්න ය. අනෙක් අතට විශේෂත්වයට පත් වන්නට නම් විමර්ශන ඥානයකින් යුක්ත විය යුතුය. අඹ ප‍්‍රශ්නය සහ නෑයෝ නොනෑයෝ ප‍්‍රශ්නය හරහා මිහිදු හිමියන් මුළින්ම සැක හැර ගත්තේ දේවානම්පියතිස්ස රජු එබඳු හැකියාවකින් යුතු වූ අයෙකුද යන කරුණය. නිදසුනක් ලෙස ‘‘රජතුමනි, නෑයොත් නොනෑයොත් හැර තවත් කිසිවෙක් හෝ සිටීද ?’’ යන ප‍්‍රශ්නය ඇසූ කල්හි රජු ‘‘එසේය ස්වාමීනි, ඒ මම වෙමියි’’ කියා දුන් පිළිතුර අපට අද සිතෙන තරමට ලඝු පිළිතුරක් නම් නොවන්නේ ය. එබඳු ප‍්‍රශ්න ඉදිරියේ තමා රටේ රජු වූ නිසාවෙන් රාජ උණුසුම සිතට ගත් අයෙක් හෝ විමසුම් නුවණක් නැති අයෙකු හෝ වී නම් හේ කෙබඳු ප‍්‍රතිචාරයක් දක්වනු ඇත්ද ? කෙබඳු පිළිතුරක් දෙනු ඇත් ද ? බලයෙන්, ධනයෙන් සහ දැන උගත්කම් වලින් අන්ධ නොවීම කොතරම් ආශ්චර්්‍යයක්ද ? ඒ නයින් ගත් කළ මිහිදු හිමියන් ගැන අප සිත්හි කිසියම් ගෞරවයක්, භක්තියක් සහ පී‍්‍රතියක් ඇතිවන්නේද ඒ හා සමාන හැගීමක් දේවානම්පියතිස්ස රජු කෙරෙහිද ඇතිවීම සධාරණ නොවන්නේ ද?

දැන් අපි මුළින් කතා කළ ඇදහීම් කරා නැවතත් සිත යොදවමු. ඇදහීම් දෘෂ්ඨි බවටත්, දෘෂ්ඨීන් ඇදහීම් බවටත් පත්ව අප සිත්හි පැළපදියම් වෙන්නේ අපටත් නොදැනීම ය. දෘෂ්ඨිය යනු පෙනීමය. එහෙත් කිසියම් දෘෂ්ඨියකට එළැඹි කල්හි මුලින්ම සිදු වන්නේ පෙනීම නැති වීම ය. එනම් හරි වැරද්ද නොපෙනී යාමය. ලෝක ඉතිහාසය පුරාවට ලියවී ඇති සකළවිධ කෲර මුග්ධ කි‍්‍රයාවන් පසුපස ඇත්තේද මෙකී ඊනියා දෘෂ්ඨීගත අදහස්ම නොවන්නේ ද ? වර්තමාන තුළත්, අනාගතය තුළත් දිගින් දිගටම අතීතය පුනරාගමනය වනු ඇත. මෙහි අනර්ථකාරී බලපෑම අවම කළ හැකි වන්නේ දැනුම් තේරුම් ඇති අය කටයුතු කරන අකාරය අනුව විය හැකිය.

බුදුරජාණන් වහන්සේ හෙළා දුටු දෘෂ්ඨීන් අතර උච්ෙඡ්ද දෘෂ්ඨිය ප‍්‍රධානය. එය එතරම්ම භයානක දෘෂ්ඨියකි. එනම් ‘කිසිවක් නැත’ යන දෘෂ්ඨිය ය. අප දන්නා පරිදි සත්‍ය, සම්මුති සහ පරමාර්ථ වශයෙන් කොටස් දෙකකි. ‘මේසය’ යනු සම්මුති සත්‍ය තුළ පවතින්නකි. එහෙත් පරමාර්ථ සත්‍ය තුළ ‘මේසය’ ප‍්‍රධාන වශයෙන් ‘පඨවි ධාතුව’ බවට පත්වන්නේ ය. උච්ෙඡ්ද දෘෂ්ඨියේදී පරමාර්ථ සත්‍ය මතු නොව සම්මුති සත්‍යයටද පැවැත්මක් නැතිව යන්නේය. මේ හරහා නිර්මාණය වන පුද්ගලයා වූ කලී තමන්ටත් අනුන්ටත් හානිදායක අයෙකි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මෙම දෘෂ්ඨිය, එනම් නැත යන අන්තය ඉඳුරාම බැහැර කළ සේක.

බුදුන් වහන්සේ ප‍්‍රතික්ෂේප කළ තවත් දෘෂ්ඨියකි, සාස්වත දෘෂ්ඨිය. එනම් ‘ඇත’ යන දෘෂ්ඨිය. මෙහිදී පරමාර්ථ සත්‍යයට ඉඩක් නොතිබුණද, සම්මුති සත්‍යයට ඉඩක් ඇත. එබැවින් මෙම දෘෂ්ඨිය උච්ෙඡ්ද දෘෂ්ඨිය තරමටම භයානක නොවන්නේ ය. අනික් අතට පරමාර්ථය කරා යාමට මෙම දෘෂ්ඨිය උපයෝගි කරගත හැකි වීමය. සත්ත්වයා, පුද්ගලයා, දෙවියා, මම යනාදියට සාස්වත දෘෂ්ඨිය තුළ පැවැත්මක් ඇති හෙයිනි.

සක්කාය දෘෂ්ඨිය යනු ‘මම කියා කෙනෙක් ඇත’ යන දෘෂ්ඨිය ය. මෙයද බුදුරජාණන් වහන්සේ විසින් ප‍්‍රතික්ෂේප කළ මිත්‍යා දෘෂ්ඨියක් වුවද කිසියම් කෙනෙක් භයානක සසරින් මිදෙන්නට උත්සාහ දරන්නේ ‘මම මිදෙමි’ යන තැනින් පටන් ගෙනය. ඒ නිසා මෙබඳු දෘෂ්ඨියකින් යුතු අයෙකුට ලෞකික සහ ලෝකෝත්තර සැප පිණිස කර්ම රැුස් කර ගැනීමට බාධාවක් නොමැති බව පෙනී යයි. එනම් දුකින් නිදහස් වීම පිණිස උපකාරීවන සියලූ ශීලාදී ප‍්‍රතිපදාවන් ඇරඹෙන්නේත්, සසරින් ගැළවෙන්න අවශ්‍යයැයි යන හැගීම ඇති වන්නේත් ‘මම’ යන තැනින් පටන් ගත් කල්හිය. එහෙත් අවසානයේ ‘මම’ යනුද දෘෂ්ඨියක් බව වටහා ගැනීමට පවා ‘මම’ යන තැනින් ඇරඹීමේ වරදක් තිබිය නොහැකිය.

මේ කරුණ තේරුම් ගැනීමට දැන් අපි නැවතත් මිහිඳු හිමියන්ගේ නෑයෝ සහ නොනෑයෝ ප‍්‍රශ්නයට හැරෙමු.

‘‘රජතුමනි, නෑයොත් නොනෑයොත් හැර තවත් කිසිවෙක් හෝ සිටීද ?’’

‘‘එසේය ස්වාමීනි, ඒ මම වෙමි’’

ඉහත දැක්වූ කාරණා විමසා බැලූ විට මිහිදු හිමියන් රජුගෙන් විමසූ ප‍්‍රශ්න හුදෙක් තවත් එක් බුද්ධි පරීක්ෂණයක් පමණක්ම නොවන බව පෙනේ. එකතකින් බලයෙන් උමතු නොවූ විචාර බුද්ධියකින් හෙබි දේවානම්පියතිස්ස රජුය. අනෙක් අතින් චිරාත් කාලයක් පවතිනු පිණිස අවිහිංසාවාදීව දහම් බිජු වැපිරීමට තරම් සංයමයකින් හා සැලැස්මකින් හෙබි මිහිඳු මහ රහතන් වහන්සේ ය.

බුදුරජණානන් වහන්සේට තවත් කෙනෙකුගේ ධර්මාවබෝධය ලබා ගැනීමේ හැකියාව ගැන සර්වඥතා නුවණින් දැනගැනීමට හැකියාවක් තිබුණද, මිහිදු හිමියන්ට ඒ බව දැන ගත යුතුව තිබුණේ කිසියම් ක‍්‍රමවේදයක් භාවිතයෙනි. මිහිඳු හිමියන් ලංකාවේදී දේශනා කළ මුල්ම සූත‍්‍ර දේසනාව වන චූල්ල හස්ථි පදෝපම සූත‍්‍රය දක්වා උන් වහන්සේගේ කි‍්‍රයාකලාපය අප දැනට කොටු වී සිටින භක්ති කේන්ද්‍රීය ෙඓතිහාසික රාමුවෙන් පිටතට පැමිණ විමසා බැලීමෙන් ධර්ම ප‍්‍රචාරයේ යෙදෙන්නන්ට පවා ලද හැකි ඵල විපුලය. ඒ තුළ සිදුවූයේ ගස් ගල් වදිමින් සිටි ජනතාව හෙළා දැකීමක් නොව, නිවැරදි චින්තනයක් කරා යොමු කරවීමකි. මහා කරුණාව යනු තමන් පසුපස හඹා එන අනුගාමිකයන් මතු නොව සියලූ සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් කටයුතු කිරීම ම වන හෙයිනි.

මිහිඳු හිමියෝ ගස් ගල් ඉර හඳ වන්දනා කරමින් සිටි ජනතාවට දෙස් දෙවුල් තබමින් සිටියා නම් අද දවසේ තත්ත්වය කෙබඳු විය හැකිව තිබිණි ද ? උන් වහන්සේගේ ඒකායන අරමුණ වන්නට ඇත්තේ අසරණ ජනතාව කෙරෙහි පතළ මහා කරුණාවෙන් සරණ වීම විය යුතුය. මිහිඳු හිමියන්ගේ ව්‍යායාමය ආධිපත්‍ය පැතිරවීමක් හෝ හෙළා දැකීමකින් තොර වූයේ එසේය. බුදු දහම ජනතාව අතරට ගෙන යාමට වෙර දැරීමට පෙර තිරයෙන් පසුපස රඟ දැක්විය යුතු මේ සුන්දර දර්ශනය සහ කි‍්‍රයාමාර්ග ගැන මෙනෙහි කිරීම අද දවසේ කාලීන අවශ්‍යතාවයක් වන්නේද ඒ නිසාම නොවේද ? අනෙක් අතට සාධනීය වෙනසක් කිසියම් සමාජයක් තුළ ස්ථාපිත කරවීමට දහම් දැනුම පමණක්ම ප‍්‍රමාණවත් වෙතැයි සිතීම කොතරම් නිවැරදි ද? ඊට අමතරව කිසියම් ජන සමාජයක සහ එහි වෙසෙන මිනිසුන් ගැන පෙනෙන සහ නොපෙනෙන පැතිකඩ විනිවිද දැකීමට තරම් හැකියාවක් තිබීම හෝ ලබාගැනීමද වැදගත් නොවන්නේ ද ?

චුල්ල හස්ති පදෝපම සූත‍්‍රයේ මෙසේ කියවෙයි.

‘‘ඇත්වන වාසියෙක් ඇත් වනයට පිවිසෙයි. ඔහු ඇත්වනයෙහි දිගින් දික් වූ, හරහට පළල් වූ මහ ඇත් අඩියක් දකී. ඔහු එපමණකින් මේ ‘මහ ඇත්’ අඩියකැයි තීරණය නොකරයි. ඇයි ? ඇත් වනයෙහි ‘වාමනිකා’ නම් මහ අඩි ඇති ‘ඇතින්නෝ’ සිටිති. මේ ඔවුන්ගේ අඩියකැයි සිතන හෙයිනි. ඔහු ඒ අනුව යයි. ඔහු ඇත්වනයෙහි දිගින් දික් වූ හරහට පළල් වූ මහ ඇත් අඩිත්, පිට ඉලූ උසතැනුත් දකී. එපමණකින් මේ මහ ඇත් අඩියකැයි තීරණය නොකරයි. ඇයි ? ඇත් වනයෙහි ‘උච්චාකාළාරිකා’ නම් ‘ඇතින්නෝත්’ සිටිති. මේ ඔවුන්ගේ අඩියකැයි සිතන හෙයිනි. ඔහු ඒ අනුව යයි. ඔහු ඇත්වනයෙහි දිගින් දික් වූ හරහට පළල් වූ මහ ඇත් අඩිත්, පිට ඉලූ උසතැනුත්, දළවලින් සිඳි උස්තැනුත් දකී. එපමණකින් මේ මහ ඇත් අඩියකැයි තීරණය නොකරයි. ඇයි ? ඇත් වනයෙහි ‘උච්චාකණෙරුකා’ නම් ‘ඇතින්නෝත්’ සිටිති. මේ ඔවුන්ගේ අඩියකැයි සිතන හෙයිනි. ඔහු ඒ අනුව යයි. ඔහු ඇත්වනයෙහි දිගින් දික් වූ හරහට පළල් වූ මහ ඇත් අඩිත්, පිට ඉලූ උසතැනුත්, දළවලින් සිඳි උස්තැනුත්, උස තැනින් කැඩූ අතුද දකී. ගසක් මුල හෝ එළිමහනට ගිය හෝ ඇවිදින, සිටින, හුන්, නිදන හෝ ඇතුද දකී. මේ ඒ මහ ඇතාම යයි ඔහු තීරණය කරයි. – සිංහල මජ්ඣිම නිකාය-දෙවන මුද්‍රණය (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)

මෙහි අදහස යමක් පිළිගැනීමට නම් ඇසින් දැකිය යුතුම බව නොවේ. යම් දෙයක් පිළිගැනීමට තරම් සාධාරණ හේතු කාරණා තිබේදැයි විමසා බැලිය යුතු බව ය. බුදුහු වදාළ දහමටද ඒ කරුණ එලෙසම අදාළ ය. මිහිදු හිමියන්ගේ ලංකාද්වීපයෙහිදී විවෘත කළ දහම අදටත් බබළන්නේ ඒ හේතුව නිසාම ය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>