Contact us now +61(0) 433 638 610

Articles

අශෝක අධිරාජ්‍යයා

Posted in ඉතිහාසය,ජීවිතය by on June 12, 2014

ashoka

-පියුමි ප්‍රේමරත්න

එච්. ජී වේල්ස් මෙසේ කිය යි.

“ඉතිහාසය පුරාවට තමන්ව ‘උත්තමයාණන් වහන්සේ, නරෝත්තමයන් වහන්සේ, නරේන්ද්‍රයාණන් වහන්සේ’ ආදී ලෙස හඳුන්වා ගත් දහසකුත් රජවරු මෙන්ම අධිරාජ්‍යයෝද සිටිය හ. නමුත් ඔවුන්ගේ බැබලීම කෙටි කාල වකවානුවකට සීමා විය. නමුත් අශෝක අධිරාජ්‍යයා වර්තමානයේදීත්, අනාගතයේදීත් බැබලෙ න්නේ ප‍්‍රභාමත් තාරකාවක් පරිද්දෙනි.”

අශෝක, භාරතය එක්සේසත් කළ පළමු අධිරාජ්‍යයා යි. එමෙන්ම බුද්ධ ධර්මය වැළඳගැනීමෙන් අනතුරුව අවිහිංසාව සහ බෞද්ධ ප‍්‍රතිපත්ති සිය රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවට ඇතුළු කරගත් පළමුවැන්නාද ඔහු යි. ඉන්දියාවේ පහළ වූ විශිෂ්ටතම පාලකයෙකු ලෙස හඳුනා ගැනෙන අශෝක කි‍්‍ර. පූ 273 සිට කි‍්‍ර. පූ 232 දක්වා සිය පාලනය ගෙන ගියේ ය.

හමුදා නායකත්වය

කි‍්‍ර. පූ 304 දී උපන් අශෝක මෞර්ය වංශික බිංදුසාර රජතුමාගේ පුත‍්‍රයෙකු වූයේ ය. ඔහුට බාල සොයුරෙකුද වැඩිමහල් අර්ධ සොයුරෝ රැසක්ද ද වූහ. මුල පටන්ම සුවිශේෂී ලක්ෂණ විදහා දැක්වූ අශෝකගේ හමුදා නායකත්ව හැකියාව දුටු වැඩිමල් සොයුරෝ ඔහුගෙන් දිනෙක සිහසුනට අභියෝගයක් ඇතිවන බව හඳුනා ගත්හ.
තක්ෂිලාවේ කැරැල්ලක් ඇති වූ අවස්ථාවෙක අශෝකගේ වැඩිමල් සොයුරු සුසීම සිය පියාට දන්වා සිටියේ කැරැල්ල මර්දනයට සුදුසුම පුද්ගලයා අශෝක බව යි. කැරැල්ල මඬින්නට අශෝක එනු බව ඇසූ පමණින්ම කැරැල්ල අවසන් විය. මුළින් කැරළි ගැසූ මහජන හමුදාව ඔහුව ආදරයෙන් පිළිගත් හ.
මේ ජයග‍්‍රහණයත් සමඟම සුසීම සිය බාල සොයුරු පිළිබඳ වඩාත් අවධානයෙන් සිටින්නට වූයේ ය. ඔහු අශෝක බලයට කෑදර, අහංකාර පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් සිය සොයුරා කාලිංග දේශයට පිටුවහල් කළ යුතු බවට සිය පියාව පෙළඹවා ගත්තේ ය.

පිටුවහල

කාලිංගයේදී අශෝක ධීවර කුලයේ තරුණියක වූ කෞර්වකී හා පෙමින් බැඳුණේ ය. පසුකාලීනව ඇය ඔහුගේ අන්තඃපුර බිසොවක වූවා ය. ඔහුගේ පිටුවහල අවසන් කෙරුණේ උජ්ජයිනියේ ඇති වූ කැරැල්ලක් සමඟිනි. බිංදුසාර රජු සිය පුත‍්‍රයා පිටුවහලෙන් කැඳවා එම කැරැල්ල මර්දනයට පිටත් කළේ ය. උජ්ජයිනියේදී බිහිසුණු සටනකට මුහුණ දුන් අශෝක දරුණු ප‍්‍රහාර වලට මුහුණ දුන්නේ ය. ලද තුවාල වලින් ඔහු සුවය ලබාගත්තේ බෞද්ධ භික්ෂු භික්ෂුන්ගේ ආවතේව මගිනි. අශෝක බුදුදහම පිළිබඳ අවධානය යොමු කළේත්, උගත්තේත් මේ කාලයේදී ය. එහිදී ඔහුගේ සාත්තු සේවිකාව වූ දේවී හා පෙමින් බැඳී පසුකාලීනව ඇයවද සිය අන්තඃපුරයට කැඳවා ගත්තේ ය.

අධිරාජ්‍යයාගේ මරණය

උජ්ජයිනියේ කැරැල්ලෙන් වසරක් ගතවද්දී බිංදුසාර රජු තදබල ලෙස රෝගී වූයේ ය. ළඟඳීම රජුගේ මරණය සිදුවන බව ඉතාම පැහැදිලි විය. සිහසුන උදෙසා රජුගේ පුතුන් අතර සටන් ඇරඹියේ එහෙයිනි. සටන් මාලාවකට පසුව අශෝක සිය සොයුරන් බොහෝ ප‍්‍රමාණයක් මරණයට පත් කරමින් කි‍්‍ර පූ 274 දී සිහසුන උරුම කර ගත්තේය. රාජ්‍යත්වයෙන් පළමු අටවසර තුළදී සාහසිකත්වය පිළිබඳව කුප‍්‍රකට වූ අශෝක මෞර්යය බලය පැතිරවීමට ඔහු තුළ තිබූ ඉමහත් ආශාව විදහා දැක්වූ කැඩපතක් විය. එහෙයින්ම අශෝක ”චණ්ඩාශෝක” නම් විරුදය ලද්දේය.

බුදුදහම වැළඳගත් පළමු රජු

අශෝකගේ පාලනයේ මුල් අටවසර තුළදී ඔහුගේ බිසව දේවී නිවුන් දරුවන් දෙදෙනෙකු ට උපත දුන්නාය. ඒ මහින්ද කුමරු සහ සංඝමිත්තා කුමරිය යි.
එමෙන්ම සිය එක් සොහොයුරෙකු කාලිංගයේ සැඟවී සිටින බවට අශෝක දැනගන්නේද මේ කාලය තුළදී යි. සිය සොයුරාට රැකවරණය දෙන ස්ථානය විනාශ කිරීමේ අරමුණින් අශෝක කාලිංගය වෙත හමුදාව පිටත් කළේය. මේ සටනේදී අතිවිශාල ජන සංහාරයක් සිදු වූ අතර අක්කර සිය දහස් ගණන් වූ ප‍්‍රදේශ වලට අලාභහානි සිදුකෙරිණි.
සටනින් ඉක්බිති සිදුවූ විනාශය පිළිබඳව ඔහු නැවත විමසා බැලීය. වරෙක සිය පිටුවහල් ප‍්‍රදේශය වූ කාලිංගය දැන් දැවී ගිය ගොඩනැගිලි සහ දහසකුත් ප‍්‍රාණ නිරුද්ධ සිරුරු වලින් පිරී ගොස් ඇති අයුරු ඔහු දුටුවේ ය. ඉතිහාස කථාවේ කියවෙන්නේ යුද්ධයේ විනාශය අශෝකට පැහැදිලි වූ පළමු අවස්ථාව මෙය වූ බව යි.
මේ බිහිසුණු විනාශය දැකීමෙන් පසුව තමන් විසින් සිදු කළ අපරාධය ගැන සිතා කම්පාවට පත් ව ජීවිත කාලය පුරාවටම එදින දුටු බිහිසුණු දර්ශනය අමතක කිරීමෙහි අසමත් වූ බව ඉතිහාසයෙහි එයි. කාලිංග සටන සඳහා අශෝක සමඟ කාලිංගයට එන දේවී බිසොව සිය ස්වාමියා විසින් සිදු කරන දරුණු අපරාධය දැක ඔහු අතැර පලාගිය අතර යළි කිසි දිනෙක නැවත නොපැමිණි බවද එහි සඳහන් වෙයි.
අශෝක රජු බුද්ධධර්මය වැළඳගන්නේ මේ අවස්ථාවේදී ය. සිය පාලනයේ ඉතිරි කාලය පුරා බෞද්ධ ප‍්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමට ඔහු තීරණය කළේ ය. සිය පාලන ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අශෝක අධිරාජ්‍යයා සිය සිර කඳ-වුරු වල සිටි රැඳවියන් නිදහස් කර ඔවුන්ගේ දේපළ යළි ඔවුන් වෙත භාර දුන්නේ ය. ඔහුගේ සොයුරෙකුගේ ගැබිණි බිරියක් ප‍්‍රහාර නිසා පලා ගොස් බෞද්ධ භික්ෂුන්ගේ ආරක්ෂාව ලැබ සිය දරුවා එහිදී ප‍්‍රසූත කළ බව පුරාවෘතයෙහි සඳහන් වෙයි. මෙම දරුවාට වයස දහතුනක් වෙද්දී අශෝක අධිරාජ්‍යයා විසින් ඔහු හඳුනා ගැනෙන අතර තමන් පිළිබඳ ඉමහත් ලැජ්ජාවට පත්වන ඔහු දරුවා සහ මව යළි සිය මැඳුරට කැඳවා ගත්තේ ය.
මෙහෙයින් චණ්ඩාශෝක ”ධර්මාශෝක” යන විරුදය ලද්දේ ය.

සමාජ සේවා

අශෝක රජු දහස් ගණන් වූ බෞද්ධ ආගමික ස්ථාන ගොඩනංවමින් අති විශාල සමාජ සේවා ව්‍යාපෘති වල නියැළෙන්නට වූයේ ය. බෞද්ධ ස්ථූප සහ සංඝාවාස දහස් ගණනින් ගොඩනැංවිණි. සංචාරකයින් සඳහා නිදහස් නැවතුම් ස්ථාන ඉදිකෙරිණි. නිර්මාංශ බෝජනයට දිරි දී සත්ව ඝාතනය වළක්වමින් රාජඥා නිකුත් කළේ ය. විශ්වවිද්‍යාල, ජල සම්පාදන පද්ධති සහ රෝහල් ඉදිකිරීම ඇරඹිණි. ඔහුට ඉතා පහසුවෙන් යටත් කරගත හැකිව තිබූ අසල්වැසි රාජ්‍යයන් සමඟ සාම ගිවිසුම් වලට එළඹීමටද පෙළඹුණේ ය.

සමානාත්මතාව

ඉන්දියාවේ සුළු ජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අශෝක අධිරාජ්‍යයා නව ක‍්‍රම හඳුන්වා දුන්නේ ය. අවිහිංසා සංකල්පයට අනුබල දුන් ඔහු අන් ලබ්ධීන් වල අදහස් හා ආකල්ප වලට ගරු කළේය.
එක්තරා තැනෙක මෙසේ සඳහන් විය.
”ධර්මාශෝක ධර්මයෙහි ප‍්‍රධාන ප‍්‍රතිපත්ති ලෙස අවිහිංසාව, අන්‍ය මත ඉවසීම, දෙමාපියන්ට සහ ආගමික නායකයින්ට කීකරු වීම, ත්‍යාගශීලී භාවය, සේවකයින්ට කාරුණික බව සහ නිර්ලෝභී බව දක්වා ඇත.”

අශෝකගේ අධිරාජ්‍යයාගේ මරණය

වසර හතළිහකට වැඩි කාලයක් අශෝක අධිරාජ්‍යයා සිය රාජ්‍ය පාලනය ගෙන ගියේ ය. ඔහුගේ මරණින් වසර පණහක් ගත් වෙද්දී මෞර්ය අධිරාජ්‍යය අවසන් වූයේ ය. ඔහුට විශාල අන්තඃපුරයක් හිමි ව තිබූ අතර සිහසුනට උරුමකම් කියන්නන්ද බොහොමයක් වූ අතර ඔවුන්ගේ නම් සඳහන් වූ තැනක් සොයා ගත නොහැකි තරම් ය. බුද්ධ ධර්මය ඉන්දියාවේ රාජ්‍ය ආගම ලෙස රැඳී පැවතුණේ ද නැත. නමුත් අශෝක රජුගේ පාලනය පැවති සමයේ බුදුදහම ප‍්‍රචාරය කිරීම හේතුවෙන් බුදුදහම ඉන්දියාවෙන් පිටත ගිනිකොණදිග ආසියාවේ පැතිර ගියේ ය.
අද අශෝක චක‍්‍රය ඉන්දියාවේ ජාතික කොඩියේ අන්තර්ගත වී තිබේ. එම චක‍්‍රය අශෝක සිය බොහොමයක් ඉදිකිරීම් වලට එක් කර තිබේ. එහි ගරාදි විසිහතරක් දැක්වෙන අතර එමගින්, ආදරය ධෛර්යය ඉවසීම සාමකාමී බව කාරුණිකත්වය යහගුණය විශ්වාසී බව මෘදු බව ආත්ම දමනය පරාර්ථකාමීතවය ආත්ම පරිත්‍යාගය සත්‍යවාදීබව ධාර්මික බව යුක්තිගරුකබව අනුකම්පාව සිත්කළු බව නිහතමානී බව සහකම්පනය දයාව අවබෝධය ඥානය සදාචාරය දෙවියන්ට බය පක්ෂපාත වීම දෙවියන්ගේ යහපත් බව පිළිබඳ ඇදහීම අපේක්ෂාව සහ විශ්වාසය පෙන්නුම් කෙරේ.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>