Contact us now +61(0) 433 638 610

Articles

නැකත යනු කුමක්ද ?

Posted in ජ්‍යොතිශය by on February 11, 2013

- සෝම කළුපහන

ජ්‍යොතිශ්ශාස්ත‍්‍රයට අනුව උදය යනු ඉර උදාවයි. සූර්ය උදාවට අනුව වේලාව බලා ගැනීම හෝ ඔර්ලෝසු වේලාව සූර්ය වේලාවට සමාන කර ගැනීම නැකත් වේලාවන් සෑදීමේ මුල්ම කටයුත්තයි. ඒ ඒ ප‍්‍රදේශයන්ට අනුව සූර්ය උදාවේ වෙනස්කම් පවතී. ඒ අනුව ප‍්‍රදේශයට අනුව වේලාව ගැනීම කටයුතුය.

ජ්‍යොතිශ්ශාස්ත‍්‍රය කිසියම් ආගමකට හෝ ජාතියකට සම්බන්ධයක් නැත. එහෙත් අතීතයේ සිට ආගමික භක්තිය අනුව ජ්‍යෝතිශයද ආගම්වලට එකතු කර ගැනීමක් සිදු වී ඇත. කර්මයට මුල් තැන දෙන හින්දුන් මෙම ශාස්ත‍්‍රය උපයෝගී කර ගත්තත් සියල්ල කර්මය අනුව සිදු වේ යැයි විශ්වාසය තහවුරු කර ගත් අතර එයින් මිදීම ගැන තැකීමක් කළේ නැත.

නමුත් ශාස්ත‍්‍රානුකූලව කටයුතු කිරීමෙන් ඵලාඵල වෙනස් කර ගත් අවස්ථාවන් ඉතිහාසයේ කියැවෙන අතර මෙකලද අත්දැක ඇත. නක්‍ෂත‍්‍රය මනුෂ්‍යයා මුලින්ම පාවිච්චියට ගත්තේ ගොවිතැන (කෘෂිකර්මය) සඳහාය. වැසි වැසීම පිළිබඳව ඉර හඳ බලපෑම මිනිසා විසින් සොයා ගැණිනි. අතීත මිනිසා තවත් කල් යාමේ දී ගව මහීෂාදීන් බෝවීම පිළිබඳවත් පිහිට සොයා ගෙන ඇත. මිනිස් වර්ගයා මේ ග‍්‍රහ තරුවලට යටත් බැව් ම්නිසාටම වැටහිණ. ඒ අනුව මිනිසාගේ යහපත උදෙසා මේ ශාස්ත‍්‍රය උපයෝගී කර ගැනීමට මිනිසා පෙළඹිම නැකැත් සෑදීමේ ආරම්භය විය. අද අපත් මේ පාවිච්චි කරන්නේ අතීත මිනිසා සොයා ගත් දේවල්ය.

අතිපුරාණ මේ ශාස්ත‍්‍රය ඒ ඒ කාලවලට අවශ්‍ය පරිදි භාවිතයට ගත යුතු වෙයි. වෛද්‍ය ශාස්ත‍්‍රය අතිපැරණි ශාස්ත‍්‍රයකි. අද ලෝකයා විසින් එය වැඩි දියුණු කර ගනිමින් භාවිතයට ගනී.

ජ්‍යොතිශය අනුව පැහැදිලි කරන්නේ නැකත්, වේලා, හෝරා අනුව ඵලාඵල සිදු වන බවයි. නක්‍ෂත‍්‍ර ඉතිහාසය බලන විට උදාහරණ ලෙස එකල පැල සිටුවීම ආදි කෘෂිකාර්මික කටයුතු සඳහා නැකත් සාදා ඇත. උදාහරණ ලෙස පොල් ගසක් මාස 3 කින් ඵලදැරීම, ගෙඩි තුන බැගින් ඇති වන පොකුරු හට ගැනීම, වැට කඩුළු නැතිව භෝගයන් වනසතුන්ගෙන් බේරා ගැනීමට යෝග ඇත. දෙයක් ආරම්භ කර අවසන් කිරීමට හෝ මග නතර වන නැකත් තිබේ.

මේ ශාස්ත‍්‍රයෙන් වැඩ ගත් පුරාතණයෝ දරු උපත් පිළිසිඳගැනීම් පවා වෙලාවන් අනුව කර ගත් බැව් සඳහන් වෙයි. අදද මේ ශාස්ත‍්‍රයට ගරු කරන අය දරු උපත් ශල්‍යකර්ම සඳහා නැකැත් ක‍්‍රම භාවිත කිරීම ලංකාව, ඉන්දියාව වැනි රටවල බහුලව සිදු වේ. දරුවකු උපදින්ට පෙර කේන්ද්‍රය සෑදීම පැරණි නැකැත්කරුවාට සුළු සෙල්ලමකි. ඒ පිළිබඳව ලියූ පොත් පත්ද ඇත. ඉන්ද්‍රගුරුළුව, පංච පක්ෂිය වැනි තාක්‍ෂණ ක‍්‍රම භාවිත කොට සාදන නැකතක ඉදිරියට හමුවන ලකුණු පවා කීමට හැකියාවද අත් කර ගෙන ඇත. මේ අතීත සටහන් කළේ ඔබට දැනුම ලබා ගැනීම සඳහාය.

උපන් කේන්ද්‍රයට අනුව සිදු වන දේ ක‍්‍රියාවලින් වෙනස් කළ හැකි බැව් දත යුතුයි. ග‍්‍රහයන් සිටි අයුරින් උපන් කේන්ද්‍රයේ ඵල විපාක දෙයි. එසේ නම් ග‍්‍රහයින් ශුභව ගමන් ගන්නා කාලවල වැඩ ආරම්භ කිරීමෙන් යහපත් ඵල නෙලා ගත හැකි වේ. එය ශාස්ත‍්‍රීය වෙයි. පැරණි නැකැත්කරුවන් ගභ–දානය පවා ශුභ වේලාවන් අනුව කිරීමෙන් ඵලදායී දරු උපත් ලබා ඇති බැව් ඉතිහාසය අපට කියයි. අද මෙන් යන්ත‍්‍ර සූත‍්‍ර නැති කාලයක මේ ශාස්ත‍්‍රයෙන් නොමද වැඩ ගත් බැව් පෙනේ.

සාරාංශ ලෙස සඳහන් කළොත් ශුභ වේලාවන්ට ‘‘නැකැත් ’’ යයි කියමු. ‘නැකත’ යනුවෙන් පෙන්වා දෙන්නේ චන්ද්‍රයා සිටින ප‍්‍රදේශයටයි. ඒ අනුව ශුභ වේලාවන් දක්වන්නේ චන්ද්‍රයා මුල් කරගෙනය. චන්ද්‍රයාගේ ආලෝකය සූර්යා නිසාම බැව් නොදන්නා කෙනෙකු නැත. ඒ නිසා රවී චන්ද්‍ර ග‍්‍රහයින් නැකත් සෑදීමේදී මුල් ස්ථානය ගනු ලබයි.

චන්ද්‍රයා සූර්යයාගෙන් සිටින දුර ප‍්‍රමාණය අනුව තිථිය සෑදෙයි. නැකත් ප‍්‍රකාශ කිරිමේ දී ප‍්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ දහමග දෝෂයි. (රික්තා, වින්ෂති, දග්ධ, කෘණ, මර, විෂ, අග්නි, ශකට, භුමිශුක‍්‍ර, ශුල)

නක්‍ෂත‍්‍රයේ ඉතාම ගැඹුරු එමෙන්ම ඉතාම වැදගත් කොටස නැකත් සාදා ගැනීමයි. ශුභ හෝ අශුභ ඕනෑම කටයුත්තකට නැකැත් සාදා ගත හැකි වේ. කෘෂිකාර්මික අංශ මෙන්ම මිනිසාගේ සියලූ කටයුතු නැකැත් අනුව කිරීමෙන් ඵල ලබයි.

ඉහත කරුණ සඳහන් කළේ නැකැත් පිළිබඳ පාඨක ඔබගේ දැනුම තරමක් හෝ දියුණු කර ගැනීම සඳහාය. අපි ‘‘හොඳ දවසක් ’’ බලන්නේ කුමටදැයි යන ප‍්‍රශ්නයට සුළුවෙන් හෝ පිළිතුරු සැපයීමකි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>