Contact us now +61(0) 433 638 610

Articles

භාවනා සක්මනයි මේ

Posted in සාහිත්‍ය by on August 10, 2013

bhawana-sakmana

පෙරහැරේ සිරි වඩන තෙද වන්ත පා ගමන

සද්දන්ත කුල මෙමට අභිමනක් නොවන්නේ
දෙතිස් වද දුන්නෙ මට මිනිසුන්ට මෙත් වඩන
භාවනා සක්මනයි මේ පෙරහැරේ කරන්නේ

බඹදත්ට බිසවුන්ගෙ දොළට දළ දන් දුන්න
සද්දන්ත පරපුරට උපන් බිම කළ අහිමි
සංසාර දුර වඩන පවු කරන මිනිසුන්ට
පෙරහැරේ මම ගයමි කුංඡුනද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ

වන පියස වැව් දියට නිදහසට පෙම් බැන්ද
මා පියඹ  පුතුට වහල් පොළ කළ උරුම
වෙන්දේසි කළ අයට ලංසු තැබු ඇත්තන්ට
පෙරහැරේ මම ගයමි කුංඡු නද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ
ගායනය : සුනිල් එදිරිසිංහ
ගේය පද : උපාලි ජයමාන්න
සංගීතය : රෝහණ වීරසිංහ

අද තරම් මිනිසා සත්ත්ව අවිහිංසාව ගැන කතා කරන කාලයක් ලෝක ඉතිහාසයේ අන් කවරදාකවත් තිබෙන්නට නැත. එමෙන්ම අද තරම් මිනිසුන් විසින් සතුන් වද හිංසනයට ලක් කරන කාලයක්ද ලෝක ඉතිහාසයේ අන් කවරදාකවත් තිබෙන්නට නැත. ගොවිතැනට හානි කරන ඉතා කුඩා කෘමියාගේ පටන් මහ විසාල අලි ඇතුන් දක්වා සියලූම සතුන් මේ ගොඩට අයත් වේ. එපමණක් නොව හාල්මැස්සාගේ පටන් තල්මසා දක්වා සියල්ලෝම ද මීටම අයත් ය.

පෙර නොවූ විරූ තරම් පිරිසක් වර්තමානයේ ශාක භක්ෂණය කරා යොමු වනු පෙනේ. ඒ හුදෙක් ආගමික බලපෑමක් නිසා නොවන බව පැහැදිළිය. ඒ සමගම ආගමික සහ සංස්කෘතික බලපෑම් නිසා තෝරා ගත් සතුන් වෙනුවෙන් පමණක් හඬ නගන්නෝද බොහෝ වෙති. මේ සියලූ දෙනා ගැන ගැඹුරෙන් විමසා බලන විට තවත් කාරණයක් පෙනෙන්නට පටන් ගනී. ඒ ඇතැම් සත්ත්ව අවිහිංසා වාදීන් තුළ දක්නට ලැබෙන සත්ව කරුණාව බොහෝ විට සහෝදර මිනිසුන් කෙරෙහි නොපැවතීමය. මිනිසුන් අරභයා ඇතැම් අය තුළ සත්ත්ව කරුණාව පහළ වන්නේ තෝරා ගත් පිරිසක් කෙරෙහි පමණය. නමුත් මේ බව ඔවූහු නොදකිති. ඒ ගැන පෙන්වන්නට කෙනෙක්ද නැති ගානය. තර්ක විතර්ක වලින් පමණක් විසඳා ගත නොහැකි මේ කරුණ ගැන බුදු දහමට අනුව කල්පනා කළ හොත් ‘දුක’ යන සංසිද්ධිය ගැන තනිව මෙනෙහි කර තම තම නැණ පමණින් දැන අවබෝධ කර ගැනීම ප‍්‍රයෝජනවත් වීම ගල් පැළෙන තර්ක අතර අතරමං වනවාට වඩා අර්ථවත් ය.

බහුතර ශී‍්‍ර ලාංකිකයාගේ සත්ත්ව කරුණාව ගවයා කේන්ද්‍රගතව ඇතිවී තිබේ. ඕස්ටේ‍්‍රලියාව ඇතුළු බොහෝ බටහිර රටවල එය බල්ලා හෝ බළළා කේන්ද්‍රීයව පවතී. මෙහිදී පැහැදිළි වන තවත් එක් කාරණයක් වන්නේ නිර්මාංශී වීම හෝ නොවීම යන කාරණා ඔස්සේ පමණක් සත්ව අවිහිංසාව වටහා ගැනීමට ඇති අසීරුතාවය ය.
සුනිල් එදිරිසිංහ ගායනා කරන පෙරහැරේ සිරි වඩන ගීතය වෙනත් කිසි ගේය පද රචකයෙකුට ගෝචර නොවූ අපූරු ඉසව්වක් කරා ශ‍්‍රාවකයා ගෙන යනු ලබන්නේ ශ‍්‍රාවක සිත් තුළට සංයමයත් හික්මීමත් ගෙන එමිනි. එපමණක් නොව ගීතය හරහා පද රචකයා මිනිස් වර්ගයා දෙස සානුකම්පිත බැල්මක් හෙළයි. ඒ සඳහා ඔහු උපයෝගී කර ගන්නේ පෙරහැරේ ගමන් ගන්නා ඇතෙකුගේ සිතිවිලිය. තත්‍ය ලෝකයේදී ඇතෙකුට මෙබඳු සිතිවිලි සමුදායක් පහළ නොවන බව සැබෑ ය. එහෙත් අප විමසිය යුත්තේ මේ හරහා පදරචකයා පෙන්වා දෙනු ලබන මිනිසාගේ කෘරත්වය කොතරම්ද යන කාරණාව ගැනය.

පෙරහැරේ සිරි වඩන තෙද වන්ත පා ගමන
සද්දන්ත කුල මෙමට අභිමනක් නොවන්නේ
දෙතිස් වද දුන්නෙ මට මිනිසුන්ට මෙත් වඩන
භාවනා සක්මනයි මේ පෙරහැරේ කරන්නේ

අන් කවර නැටුම් වැයුම් තිබුණද, අලි ඇතුන් නැති පෙරහැරක කවර නම් සිරියක් ද ? කවර නම් තේජසක් ද ? මේ ගීතයේ කතා නායකයා එබඳු පෙරහැරක ගමන් කරන සද්දන්ත කුලයේ හස්තියෙකි. එහෙත් ඔහුට පෙරහැරේ ගමන් කිරීම තම තේජස් පෙන්වීමට තරම් කාරණාවක්ද නොවේ. අද ඔහු පෙරහැරේ ගමන් කරන්නේ මිනිසුන්ගේ දෙතිස් වදයට ලක්වීමෙන් පසුවය. කිසිදු ඇතෙක් නිකම්ම හීලෑ බවට පත් නොවේ. ඔහු හීලෑ වන්නේ නොවිදිය යුතු දුක් වේදනා විඳි පසුවය. ඇතා යනු ඉතා තියුණු ස්මරණ ශක්තියක් ඇති සත්ත්වයෙක් ලෙසද සැලකේ. මහ විසාල සිරුරකට උරුම කීවද ඔහු පෙරහැරේ ගමන් කරන්නේ ඉතා ශාන්ත දාන්ත ලෙසිනි. කවියා පවසන පරිදි ඒ පෙරහැරේ යන අභිමානවත් ගමනක් නොවේ. තමන්ට වද දුන් මිනිසුන්ට මෙත් වඩමින් කරන සක්මන් භාවනාවකි, ඒ. මේ නම් ළගන්නා සුළු අපූරු චිත්ත රූප පෙළක් ශ‍්‍රාවක සිත් සතන් තුළ දළු ළා වැඩෙන රමණීය පද පෙළකි. වර්තමාන ලෝකයේ අප කාගේත් කි‍්‍රයාකාරකම් ගැන සියුම්ව විමසා බැලීමේදී අප කවුරු කවුරුත් පෙරහැරක ගමන් ගන්නා අලි ඇතුන් හා සමානය. එහෙත් මේ ගීතයේ දැක්වෙන ඇතාත් අපත් අතර වෙනස අහසට පොළව මෙනි. ගීතයේ දැක්වෙන ඇතා සසර දුක් වටහා ගෙන තමන් අපමණ පීඩාවට පත් කළ පරම සතුරාට පවා මෙත් වඩයි. ගීතයේ යටි පෙළ අරුත අපෙන් විමසා සිටින්නේ අප තුළත් එබඳු දයා කරුණාවක් ඇත්දැයි විමසා බැලීමට නොවේ ද ?

බඹදත්ට බිසවුන්ගෙ දොළට දළ දන් දුන්න
සද්දන්ත පරපුරට උපන් බිම කළ අහිමි
සංසාර දුර වඩන පවු කරන මිනිසුන්ට
පෙරහැරේ මම ගයමි කුංජනද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ

බඹදත් රජුගේ සුභද්‍රා බිසවට ඡුද්දන්ත නම් හස්තියාගේ දළ යුගළ ලබනු වස් ව්‍යාජ දොළක් උපන්නේ පෙර ජාතියෙහිදී ඡුද්දන්ත හස්තියාට මෙහෙසියව සිටියදී ඔහුගෙන් සිදු වූ ඉතා සුළු වරදක් අල්ලා ගෙනය. බිසවගේ උපාය අනුව විස පෙවූ ඊතළයකින් පහර කා සිටියදී පවා ඡුද්දන්ත හස්ථියා තෙමේම සිය දළ යුගළ කඩා සෝනුත්තර නම් වැද්දාට දෙන්නේ දැඩි වේදනා විදිමින් නමුත් සසර පුරුදු කළ බෝසත් ගුණ පෙන්වමිනි. මෙහිදී කවියා උපයෝගි කර ගන්නේ ජාතක පොතෙන් මේ සඳහා ගත හැකි හොඳම නිදසුනය.
ජපන් ජාතිකයෝ විද්‍යාත්මක පරීක්ෂණ යන නාමයෙන් කාලයක් මුළුල්ලේ පටන් සයුරෙහි සද්දන්තයා වන තල්මසුන් දඩයම් කරති. එහෙත් සත්‍ය එය නොවන බව නොදන්නෝ කවරහු ද ? ශී‍්‍ර ලංකාව වැනි රටවලදී ගොඩබිම සද්දන්ත අලි ඇතුන් ඝාතනය කරන්නේ දළ ලබා ගැනීමට හෝ ගජමුතු ලබාගැනීමට ය. එසේත් නැත්නම් වගාවන් බේරා ගැනීමට ය. කොයි පැත්තෙන් ගත්තද මේ මහ පොළව අයිති මිනිසාට පමණක් නොවන බව නොදන්නා අයෙකු නැත. සද්දන්තයාගේ ඉඩම් ආක‍්‍රමණය කොට අවසානයේ තිරස්චීන ලෙස උන් මරා දැමීම කෙතරම් යුක්ති යුක්තද ? ප‍්‍රාණ ඝාතයත් සත්ත්ව හිංසාවත් ආයුෂ කෙටි කරන අකුසල් බව බෞද්ධ මතය වේ. එක් තප්පරයක් හෝ වැඩිපුර ජීවත් වීමට යත්න දැරීම සියලූ සතුන්ගේ අදිටනය. අන් සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගත් විට එහි ප‍්‍රතිඵලය ආයුෂ කෙටි වීම ය. ආයුෂ කෙටි වුවත් ඉන් සසර ගමන කෙටි නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ සසර ගමන දිගු වීමය. එසේ සංසාරයේ දුර වඩන්නේ පවු කරන ඇත්තෝය. මේ ගීතයේ දැක්වෙන පෙරහැරේ යන හස්තියා නගන්නේ කුංඡුනාද නොවේ. එය සෙත් කවියකි. ඔහු හොඳින් දන්නා ආයු බල නොවඩන පව් කරන මිනිසාට පවා ඔහු ආයු වැඬේවායි සෙත් පතයි. මෙහිදී කවියා පවසන්නේ තම සතුරාට පවා මෛතී‍්‍රය දක්වන ඡුද්දන්ත හස්තියාගේ බෝසත් ගුණ ගැන නොවේ ද ?

වන පියස වැව් දියට නිදහසට පෙම් බැන්ද
මා පියඹ  පුතුට වහල් පොළ කළ උරුම
වෙන්දේසි කළ අයට ලංසු තැබු ඇත්තන්ට
පෙරහැරේ මම ගයමි කුංජ නද සෙත් කවිය
ආයු බල වඞ්ඩන්තු මිනිසුනේ ඔබ සැමට
ආයුබල වඞ්ඩන්තු මිනිසුනේ

ජීවත් වීමේ නිදහස හා සැසදිය හැකි කිසිදු නිදහසක් නැත. සුතනඹුවන් සම`ග සාමකාමී තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට ලැබීම අන් කවර ගරුනම්බු තානාන්තර ලැබීමක් හෝ සැසඳිය හැකි ද ? වර්තමානයේ බොහෝ මිනිසුන් අත ළ`ග ඇති මේ සතුට ගැන නොසිතා දුර ඈත පෙනෙන මිරිගුවක් ලූහු බඳින්නේ තමා හැර අන් සියලූ දෙනාගේ නිදහස අහුරා දමමිනි. එසේ කිරීමේදී අන් අයගේ නිදහස සතුට ගැන තැකීමක් නැත. අන් අයගේ ජීවිත වෙන්දේසි කිරීමත්, ඒවාට ලංසු තැබීමත් මිනිස්කමට ගැළපෙන දෙයක් නොවේ. කවියා මෙහිදි ප‍්‍රශ්න කරන්නේ එබඳු මිනිසුන් තුළැති තිරිසන් ගති සොබාවය ගැනය. එපණකින් නොනැවතී මේ ගීතයේ දැක්වෙන හස්තියා මෙත් වඩයි. ඒ තම පරපුරේ ජීවත්වීමේ අයිතිය පවා උදුරා ගත් අයටය. මේ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන් බෝසත්ගුණ පෙන්වා දීමෙකි.

සුභද්‍රාව ඡුද්දන්ත හස්තියාගේ දළ යුගළ ඉල්ලා සිටින්නේ ඉතා සුළු තරහක් පිරිමසා ගැනීමට මිස අන් දෙයකට නොවේ. ඡුද්දන්ත හස්තියා සිය දළ දන්දෙන්නේ සුභද්‍රාවගෙන් පළි ගැනීමට නොව සර්වඥතා ඥානය නම් දළ ලබනු පිණිසම ය. දළ ලද සුභද්‍රාවට සිහි එළැඹෙන්නේ ඇගේ මනදොළ සංසිදවනු වස් ඡුද්දන්තයෝ තෙමේම දළ කඩා දුන් පුවත සෝනුත්තර වැද්දාගෙන් අසා දැන ගත් පසුවය. මේ පුවත දරා ගත නොහැකිව සුභද්‍රා ළය පැළී මිය යයි. මේ ගීතය තුළින් කවියා අපට සිතන්නට පොළඹවන්නේ මිනිසාගේ සුඛ විහරණය වෙනුවෙන් සිය ජීවිත දන්දෙන සියලූ සතුන් ගැන නොවේ ද ? ලොව පුරා දුක් විඳින අන්ත අසරණ මිනිසුන්ද මීටම අයත් නොවේ ද ? අවසානයේ කවියා අපව කඩයිම් ප‍්‍රශ්නයකට කොටු කරයි. ඔබ සුභද්‍රාවක් ද ? නැතිනම් ඡුද්දන්තයෙක් ද ?

උපාලි ජයමාන්න රචනා කළ මේ ගීතය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය හා මුසුව සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනීය හඬ පෙරහැරක අපට ඇසෙන සහ පෙනෙන සීමාවෙන් පිටත පිහිටි අපූරු දසුන් දකින්නට අප කැඳවා ගෙන යනු ලබන අර්ථපූර්ණ ගීතයකි. මෙබඳු ගීත තව තවත් විචාරයට බඳුන් වීම ශ‍්‍රාවකයාගේ විඳීමේ නිම් වළළු පුළුල් කිරීමට තුඩු දෙන කාලීන අවශ්‍යතාවයක් බව නොකියාම බැරි ය.


 

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>