Contact us now +61(0) 433 638 610

Articles

භාවනාව

Posted in සාහිත්‍ය by on August 17, 2013

Bawanawa_Dilini eeriyawala

- දිලිනි ඊරියවල

‘‘අද බබාල දවසම ගෙදරද නංගි ?’’

‘‘අනේ නෑ යසෝමක්කෙ, අදත් අමරෙ ගෙදර ඉඳල බබාලව ටියුෂන් පන්ති ගෙනියන්නම් කිව්ව.’’

පි‍්‍රයංගනී දකුණතින් උතුරු සළුව සකසා ගත්ත. පත්කඬේ එලාගෙන බෝ මැඩ සිලි සිලිය විඳිමින් සතුටු සාමීචියක යෙදුන පි‍්‍රයංගනීගෙ උකුළ මත පිරුවාණා පොත් වහන්න්සෙ උදාසීනව පෙරළිලා ඉන්නව. යසෝමගෙ වම් අතේ ඇගිලි අතරින් නව ගුණ වැල ඔහේ ඈනුම් අරිනව.

ටාං ටාං ටාං

‘‘ඔන්න භාවනා කරන්න වෙලාව ඇවිත්. ඇපි යමු නේද විහාර ගේ පැත්තට ? ඉක්මණින් නොගියොත් බිත්තියක් අල්ල ගන්න බැරිවෙයි.’’ යසෝමක්ක යෝජනා කළා.

‘‘අද නම් අඩුම තරමෙ පැය බාගයක්වත් හරියට භාවනා කරන්න ඕනෙ’’ පි‍්‍රයංගනී තරයේ අදිෂ්ඨාන කරගත්ත.

සියලූ සත්වයෝ නිදුක් වෙත්වා……නීරෝග්..හ්.. මම ගෑස් ලිප නිව්වද ? අන්තිමට තේ හදල ආයෙත් කේතලේ තිබ්බෙ පොඩි එකීව හෝදන්න කියල. එන ගමන් මම අමරෙට කිව්වනෙ කෙල්ලගෙ ඇග හෝදන්න කියල….. ඒත් මම ලිප නිව්වද ? නිවන්න ඇති. සියලූ සත්වයෝ.. එළියට ගිහින් කෝල් එකක් දීල බලන්නත් හිතෙනව.. සියලූ සත්වයෝ.. අමරෙ මට දැන් ගෙදර ගිහාම හොඳටම බනීද දන්නෙ නෑ….. මොනව කියන්නද ? නිදුක් වෙත්වා….. මං හිතන්නෙ ලිප නිවන්න ඇති මං….. සුවපත් වෙත්වා..

මොනවද මේ මම හිතන්නෙ ? මේ වැඬේ හරියන්නෙ නෑ, මෛතී‍්‍ර භාවනාව හිතාගෙන හිතාගෙන යන්න දිග වැඩියි. හුස්ම ගැන හිතනව. ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගෙ පොතකත් තිබුන ‘‘ආලෝ-කෝ ආලෝ-කෝ කියල හුස්ම ගැන හිතන්නය, එතකොට හිත එක අරමුණකට ගන්න ලේසිය කියල..’’

ආලෝ-කෝ ආලෝ-කෝ..ආල්… ලොකු පුතාව අමරෙ වෙලාවට පන්තියට ඇරලූවද දන්නෙ නෑ… කොහෙද, අමරෙ ගෙදර ඉඳිද්දි හැමදාම ළමයි පන්ති යන්නෙ පරක්කු වෙලානෙ… අපේ පිරිමි කවදා වෙලාවට වැඩක් කරන්න ඉගෙන ගනීද දන්නෙ නෑ.. ආලෝ-කෝ ආලෝ- මේක මෛතී‍්‍ර භාවනාවට වඩා ටිකක් ලේසියි වගේ ආලෝ-කෝ ආලෝ-කෝ යසෝමක්ක නම් හැලහොල්මනක් නෑ වගේ… එකත් එකටම බිත්තියට හේත්තු වෙලා මර නින්දෙ වෙන්න ඇති..ආලෝ-කෝ ආලෝ-
..ඔබෙ රාගී මන කැළඹේදෝ…

ඔන්න ඒ ගමන විමලෙගෙ කඬේ ස්පීකරේ කෑ ගහන්න ගත්ත… අම්මපා මේකට පෝය දවසකටවත් බෑනෙ ඔය සින්දු දැමිල්ල නවත්තන්න… බුදු ගුණ ගී වුනත් වෙලාවකට මොනතරම් බාදාවක්ද භාවනාවකට ? ඔබෙ රා .. වැරදුනා… ආලෝ-කෝ ආලෝ-කෝ.. සියලූ සත්වයෝ නි.. ආලෝ-කෝ. ඇත්තට මොහිදීන් බෙග් අන්‍ය ආගමිකයෙක් වෙලත් බුදුගුණ ගැයුවනෙ.. මොන තරම් ඇත්තක්ද ඒ සින්දුවෙන් කියන්නෙ ? මට මතකයි ඉස්කෝලෙ කාලෙ මාව මුණ ගැහෙන්න ඇවිත් සුනිමල් ඔය සින්දුව මුමුණනව.. එයා දැන් කොහෙ ඇත්ද… ? දරුවොත් ලොකු ඇති… මම මේ මොනවද හිතන්නෙ.. සිල් අරගෙනත් මගෙ කැත හිතට හිතෙන දේවල්… ආලෝ-කෝ ආලෝ-කෝ අමරේ-කෝ ආදරේ -කෝ ආදරේ-කෝ සුනිමල්-කෝ ආලෝ-කෝ ආ

නහය උඩ මොකෙද්ද වැහුව…මැස්සෙක්ද ? ඔන්න ඒ ගමන එහා මෙහා නළියනව වගේ… කෙස් රොදක් වෙන්න ඇත්ද ?.. එහෙම වුනොත් හුස්ම ගනිද්දි නහය ඇතුලට ඇදිල ගිහින් හචිමක්වත් යයිද දන්නෙ නෑ. සීරුවෙන් හුස්ම ගන්න ඕනෙ…ආලෝ- …මේ බිත්තිය මුල්ලෙ කණ මී මැස්සො ඉටි බැඳලත් තිබුණ වගේ මතකයි… කණ මී මැස්සෙක්වත්ද ? ඇස් ඇරල බැලූවොත් ලොකු ස්වාමින්වහන්සෙ හිතන්න පුලූවන් මං හොර ගල් ඇහිඳිනව කියල. අතින් ගසල දාන්නත් බයයි.. කණ මී මැස්සෙක් නම් විදින්නත් ඉඩ තියනව.. උං විදිනවද ? කව්ද දන්නෙ…? ආලෝ – එක අතකට නහයෙ වහන එක හොඳයි කණේ රිංගන්නෙ නැතුව…එහෙම වුනා නම් මට එලෝ මෙලෝ නැතුව යන්නත් තිබුණ. ආලෝ-කෝ මං මෙතන උඩ පැනල උපාසකම්මලට තරහ ගිහින් කෙහෙවළුත් පටලගන්න බැරි නෑ… කොහොමට හිටීද උතුරු සළුත් දාගෙන පන්සලේ සිල් අම්මල ගුටි ඇණගත්තොත් ?…. මොකෝ ගෑණු හටං සිවුරෙ ඉන්න ලොකු ස්වාමින්වහන්සෙ අත දාල නවත්තන්නයැ…

පි‍්‍රයංගනීට චිත්ත රූප මැවෙන්න ගත්ත. හීන් හිනාවක් පි‍්‍රයංගනීගෙ මූණෙ ඇදෙනව ලොකු හාමුදුරුවොත් නොදැක්ක නොවේ.

ආලෝ-කෝ අල හොද්දක් හදල, බෝන්චි කිරට හින්දල, කරෝල තෙල් දානව… ඔව් එහෙම හොඳයි ?ට. අල හොදි තිබුණොත් පොඩි එකී හොඳට බත් ටිකක් කනව. නැත්නම් මොන සටනක් කරන්න ඕනෙද ? අමරෙ ගේ අස් කරල තිබුණොත් හොඳයි..

ආලෝ-කෝ ආලෝ-කෝ ආලෝ-කෝ ආලෝ- කාට මහපු බ්ලව්ස් එක ගෙනියන්න එනව කිව්වෙ අදනෙ….. හත් දෙයියනේ….. ඒක එළියෙන් තියල රුපියල් එකසිය පනහක් ගන්න කියල අමරෙට කියන්න බැරි වුනානෙ.. ආලෝකාව අමරෙ ආපහු හරවල යවයිද දන්නෙ නෑ. මහල ඉවර කරපු බ්ලව්ස් ටික පෙන්නල එයාගෙ එක තෝර ගන්න කියල කිව්වොත් හොඳයි. ඒත් එයා ගාන දන්නෙ නෑනෙ.. රුපියල් පනහක් විතර අරගෙන යවයිද දන්නෙත් නෑ… එළියට ගිහින් කෝල් කරන්නද ? ඒත් බෑ… යසෝමක්ක වැරදියට හිතයි.. එයා හිතාවි මට හරියකට භාවනාවක්වත් කරන්න බෑ කියල… ඇත්තටම මට බෑ නේන්නම්… මේ මොනවද මම ඇස් පියාගෙන හිතන්නෙ…? මේ මං කරන්නෙ භාවනාවක්යැ ?… ඔන්න ඔහෙ ඉන්නව… ආලෝ-කෝ ආලෝ-කෝ ආලෝ-කා ආලෝ-කා පනහක් දීල බ්ලව්ස් එක අරන් ගියොත් මට සීයක් පාඩුයි ආලෝකා එන්න එපා ආලෝකා ආලෝකා එන්න එපා ආලෝකා හෙට එන්නකො ආලෝ-කා ආලෝ-කෝ ආලෝ-කෝ…..

ආලෝ- වෙලාවකට මට මාත් එක්කම තරහත් යනව.. මම මේ කරන්නෙ මොන බොරුවක්ද ? රැවටීමක්ද ? මම මාවම රවට්ට ගන්නව නේද ? ආලෝ-කෝ ආලෝ- ඇයි මට උත්සාහ කරන්න බැරි ? ආලෝ-කෝ ආලෝ-කෝ ආලෝ-කෝ

මේ ජීවන මග…අපි යනවා..ආ..ආ.. ඒ ගමනේ..දුක් දාහෙ නිවාලන..

ආයෙත් විමලෙගෙ කඬේ ස්පීකරේ නේද ? ඒ සින්දුව නම් හරිම ලස්සනයි. විමලෙට හොඳ රසඥතාවයක් තියනව… ඇත්තටම අමරදේව මහත්තය වගේ අය බිහි වෙන්නෙ රටකට එක්කෙනා ගානෙ වෙන්න ඇති… ඇත්ත තමයි. ඇමරිකාවට මයිකල් ජැක්සන්. එංගලන්තෙට එල්ටන් ජෝන්. ලංකාවට අමරදේව. ආලෝ-කෝ ආලෝ-කෝ ආලෝ-කෝ සියලූ සත්වයෝ නිදුක් අ.. ආලෝ-කෝ ආලෝ-කෝ ආ..හ්

බඩගිනියි… මං හදාගෙන ආව කජු කරියෙන් මට අදවත් චුට්ටක් කන්න ලැබෙයිද දන්නෙ නෑ.. ගිය පෝයට නිදි මරාගෙන හදාගෙන ආව පොළොස් එකත් දොරකඩින්ම වාශ්ප වුනානෙ. ලබන පෝයට ශාලාවෙ දානෙ පිළිගන්නන තැනට කිට්ටුවෙන් ඉඳගමුයි කියල යසෝමක්කට කියන්න ඕනෙ… නෑ…නෑ… නොදැනිම වගේ ඒ හරියෙන් ගිහින් ඉඳ ගන්න ඕනෙ… එතකොට යසෝමක්කත් ඇවිත් ඉඳ ගන්නෙ නැතෑ… නැත්නම් එයා හිතයි මගෙ බඩජාරිකම කියල…ඇත්තටම ඒ මගෙ පෙරේත කම නෙමේ නම් වෙන මොකද්ද ?… මම ගෙනාව දානෙ එකම මංම කන්න හිතන එකම මොනතරම් වැරදිද ?.. මෙච්චර බණ අහන, පොත් කියවන මට, ඇයි මගෙ හිත හදාගන්න බැරි ? අනේ මන්ද … මටම මා ගැන වෙලාවකට පිළිකුල් හිතෙනව… ඒත් ඉතින් මට හිතෙන දේවල් අනිත් අයට පෙනෙන්නෙ නැති නිසා තත්වෙයි, නම්බුවයි රැකගෙන ඉන්න පුළුවන්…
පි‍්‍රයංගනීගෙ මූණ ඇඹුල් වෙලා ආයෙත් එළිය වැටුණට කවුරුත් ඒ වගක් දැක්කෙත් නෑ… හැමෝම පි‍්‍රයංගනී වගේම හෝ ඊට වෙනස් විදියකට.. භාවනාවෙ යෙදිල.

අ.. ආලෝ-කෝ ආලෝ-කෝ ආ..හ්

‘‘ටිං’’

භාවනාව නිමවන්න හාමුදුරුවො පුන්චි සීනුවක් නාද කළා.

‘‘භාවනාවෙන් පස්සෙ හිතට හරිම සැපක් දැනෙනව නේද යසෝමක්කෙ ?

‘‘අනේ නංගි මට නම් හොඳටම නින්ද ගියා. අද පන්සල් එන නිසා ගෙදර කට්ටියට කෑම බීම හදල ඊයෙ ? නිදියද්දි ? දොළහත් පහු වුනානෙ. ඔයා නම් හොඳට හිත අරමුණක තියාගන්න ඇති නේද ? එහෙම වුනාම නම් ඔය කියන සනීපෙ දැනෙනවලූනෙ.

‘‘හ්ම්’’

පි‍්‍රයංගනී බිම බලාගත්ත.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>