Contact us now +61(0) 433 638 610

Articles

දරුවෝ නැති අම්මාලා

Posted in කාලීන by on February 10, 2013

නිරන්තරයෙන්ම ‘‘අම්මා – අම්මා’’ කියමින් මා පසුපස ඒම මගේ කුඩා දැරියන් දෙදෙනාගේ සිරිතකි. කියන්නට යමක් ඇතිවත් නැතුවත්, ඔවුහු අම්මා කියමින් ඇ‍ඟේ දැවටෙති. වැඩක් පළක් කරගන්නට තියා මට තනියම යමක් හිතන්නටවත් ඉස්පාසුවක් නැත. ‘‘ඒක එහෙම වුනේ කොහොමද ?, මේක මෙහෙම වෙන්නේ කොහොමද ?’’ වැනි දහසක් ප‍්‍රශ්න ඔවුන්ට ඇත.

හැන්දෑවට වැඩ ඉවර වී ගෙදර එන මට එක තැනක ඉඳගෙන තේ කෝප්පයක් බොන්නට ඇති ආසාව කවදාවත් ඉටු නොවන්නකි. උයන්නට, දරුවන්ට කවන්නට, නාවන්නට, රෙදි සෝදා දමන්නට මෙන්ම පසුවදාට ගෙන යන කෑම බීම ඇඳුම් කලින් සූදානම් කරන්නටද තිබේ. උදේ පාන්දර පහට ගෙදරින් පිටවන මම, මට පසුව අවදි වන සැමියාට පහසු වීම සඳහා සියල්ල සකස් කර යා යුතුය. සේරමත් හරිය, පසුවදා පාන්දර හතර හමාරට අවදි වීමට මහ රෑ වනතුරු නොසිට නින්දට යා යුතුය. ඉතිං මේ සියලූ වගකීම් මැද ඇ‍‍ඟේ වෙලෙන මගේ දරුවන් බොළඳ සුරතල් හඬින් ‘‘අම්මා’’ යැයි කියමින් තෝරතෝංචියක් නැතිව කරන ඇවටිලි විටෙක මට කරච්චලයකි. එවිට මම නපුරු මුහුණෙන් ඔවුන් දෙස බලන්නෙමි. මගේ අමාරුකම් ඔවුන්ට නොතේරෙන බව ඒ හා සමඟම මට සිහිපත් වෙයි.

මේ කිරි සප්පයන්ට දැනෙන එකම හැඟීම නම් මුළු දවසම අපෙන් වෙන්වී සිටීමේ පාලූව පමණි. අතට ගෙන මදක් සිඹ සනසා බිම තැබූ විට ඔවුහු යළිත් ඔවුන්ගේ ලෝකවලය. මට සැනසුම් සුසුමක් නැගෙයි.

නොකඩවා අම්මා කියන කුණු කුණුව මට කරදරයක් වී ඇත්තේ දැන්ය. එහෙත් දහ අවුරුද්දක්ම අපි ඒ මිහිරි වචනය අහන්නට පෙරුම්පිරුවෝ වෙමු. දහ අවුරුද්දක් තිස්සේ අපි දරුපල පතා නොගිය බෝධියක්, විහාරයක් වෙද ගෙදරක් නැත. දස වසරක් යනු කෙනෙකුගේ ජීවිතයේ දීර්ඝ කාලයකි. අපි ඒ දීර්ඝ කාලයම ගත කළේ කියා ගත නොහැකි තරම් ලතැවුල් කන්දරාවක් මැදය. වතාවක් ගඳ ගහන පෙරුම්කායම් කොහොඹ කොළ ඉස්මෙන් කකාරා හිස් බඩ හත් දවසක් බොන්නට මට සිදුවුණේ සිංහල බෙහෙත් වට්ටෝරුවක් අනුවය. නාථ, පත්තිනි, සුමන සමන්, විශ්ණු යන දෙවිවරුන්ට අයත් හතරමහ දේවාලවලට ගොස් දෙවියන්ට පඬුරු බඳින විට මම ඉකි ගසමින් හඬා වැටුණෙමි. ඒ වෙනුවෙන් කැළණියටත්, නවගමුවට සහ අලූත්නුවරටත්, රත්නපුරයටත් ගොස් එම දේවාලවල බෝධිපූජා කළ යුතු විය. ඉතා දක්ෂ බටහිර වෛද්‍යවරුන් සේම පාරම්පරික හාස්කම් ඇතැයි පරසිඳු ආයුර්වේද වෛද්‍යවරුන් බොහෝදෙනාද පසුකරගෙන ආ අප, අවසානයේදී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වුයේ හෙම්බත් වූ මනසින්ය. එසේ පැමිණ පස් මසකින් කිසිදු වෛද්‍ය ප‍්‍රතිකාරයකින් තොරවම මා මවක වන ලකුණු පහළ විය.

අතිශයින් පුද්ගලික මේ කතාව කැඩපතට ලියන්නට සිතුණේ ළඟක සිට ‘ෆේස් බුක්’ හරහා එන නා නා ප‍්‍රකාර කතන්දර දුටු තැනදීය.

මේ දිනවල මුස්ලිම් විරෝධතා පාඨ ෆේස්බුක් වෙබ් අඩවි වල පළ කරන ඇතැම් උදවිය අරුම පුදුම යෝජනා කරති. ‘පුංචි පවුල රත්තරං කියමින් සිටියා ඇති සිංහලයිනි දැන් වැඩිපුර දරුවෝ හදාපල්ලා යනු එවන් එක් උපදේශයකි.

අපේ අයට වැඩිපුර දරුවන් හදන්නට මතක් වී ඇත්තේ වෙනත් ආගමක අය දරුවන් හැදීම නිසාය. එහෙත් දරුවන් නැතිකම යනු ලංකාවේ විවාහක අඹුසැමියන්ගෙන් සෑහෙන ප‍්‍රතිශතයක් පෙළෙන දැවන්ත සමාජ ගැටළුවක් බව අදටත් බොහෝ දෙනා නොදනිති. එවැනි ගැටළුවක් ඇති බව ගැටළු ඇත්තෝද එළිපිට කතා නොකිරීමද ඛේදවාචකයකි.
එහෙත් ලංකාවේ ප‍්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥවරුන් වෙත ඇදෙන දරුවන් නැති අඹු සැමියන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වන හැටි සොයා බලන්නට වටිනා තරම්ය. වැරදි කෑම බීම රටාව, අවිවේකිත්වය, මානසික ආතතිය වැනි බොහෝ හේතූන් මේ ගැටළුවට ඉනිමං බඳියි. බටහිර වෙදකමට මෙන්ම ආයුර්වේද වෙදකමටද දහස් ගණන් සෙන`ග ඇදෙති. ඒ අතරතුර අතමිට කාසි පනම් ඇත්තෝ නළ දරුවන් හදති. ඒ වෙනුවෙන්ම ඉදිවුණු පුද්ගලික රෝ්හල්ද ලංකාවේ ඇත. එම පහසුකම් තිබුණු ආණ්ඩුවේ එකම රෝහල වූ කරාපිටියේ නළදරු උපත් ඒකකය වසා දමා බොහෝ කල්ය. එබැවින් සියලූ දෙය අද සිදුවන්නේ පුද්ගලික රෝහල් මට්ටමෙනි. දරුවන් අහිමි අඹු සැමියන්ට ප‍්‍රතිකාර කරන ජාතික මට්ටමේ ව්‍යාපාරයක් අදටත් බිහිවී නැත. නළදරු උපතක් සඳහා එක් වතාවක වියදම් කළ යුතු ලක්ෂ ගණනක මුදල ගලා යන්නේ පුද්ගලික රෝහල් හිමි මුදලාලිලා අතටය. සාර්ථක දරු උපතක් සඳහා බාගදා කීප වතාවක් උත්සාහ කළ යුතුය. ලක්ෂ ගණනින් එසේ මුදල් වියදම් කරන්නට හැමදෙනක්ටම බැරිය.

මෙහි බරපතලම ඛේදවාචකය වන්නේ දරුවන් නැති උදවිය එක පැත්තකට වී දුක් විදින විට ගබ්සා කරගන්නා කාන්තාවන්ගේ ගැටළුවත් රටට බරක්ව තිබීමය. පාරේ අතහැර දමා යන දරුවන්, ගෙලමිරිකා උපන් ගමන්ම මරා දමන කිරිසප්පයන් සේම ළමා නිවාසවල දුක් විඳින දරුවන් ගැන අහන්නට ලැබීමය. දරුකමට හදාවඩාගන්නට ළමයෙක් ගන්නට යන කෙනෙකු දහසක් නීතිමය වැටකඩොළු පසු කර යා යුතුය.

මංජුසාවක බහා ඇති විසිරී ළිහුණු මුතු පොටක් සේ ගැටළුවත් විසඳුමත් එකම තැනක කවළම් වී ඇති සැටියකි. එය පිළිවෙළකට ගොනුකර ගත හැකි නම් මේ ගැටළුවලින් පෙළෙන්නන්ට යම් තරමක හෝ සහනයක් ලැබෙනු ඇත.

වැඩිපුර දරුවන් බිහිකරන මුස්ලිම්වරුන්ට අභියෝග කිරීමට වඩා සැබෑ දේශපේ‍්‍රමීන්ට කරන්නට වැඩ කොතෙක් ඇත්දැයි මට සිතේ.

2 comments.

2 thoughts on “දරුවෝ නැති අම්මාලා

Posted by thilak on

So happy to see your writtings and its nice wording ..i can remember your newspaper poems and they give some innerside warmth for the life.

thanks.

Thilak

Reply

Posted by Leel on

Glad to see you writing, having read your articles in Divaina. Also very pleased to know about you becoming a beloved mother. Of course children are a blessing and they are never a nuisance.
As for family planning in Sri Lanka. Family Planning Association was there for more than 60 years I believe. But vigorous campaigning started in 1970s. This resulted more than one generation believing it the absolute truth. It is natural that common people have to be educated the consequences. So no wonder that people realised what went on all this time.

Reply

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>