Contact us now +61(0) 433 638 610

Articles

දළදා මාලිගාවේ පත්තිරිප්පුව

Posted in ආගමික,ඉතිහාසය by on September 3, 2013

paththirippuwa

- නුවරඑළියේ හේමපාල | Photo by M. Milanga

කන්ද උඩරට සෙන්කඩගල පුරවරය නයනාභිරමණීය ලෙස සකස් කිරීමේ ගෞරවය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සතු වේ. ලංකේශ්වර ශ්‍රීමත් හෙන්රි විලියම් ග්‍රෙගරි සදහන් කරන අන්දමට මහනුවර දැකුම්කළු නගරයක් බවට පත් කිරීමට රජතුමා පෙළඹී ඇත්තේ එතුමාට ස්වභාවධර්මයාගේ රස විදීමේ තියුණු රසකාමී නැණැසක් තිබූ හෙයිනි.

දකුණු ඉන්දියාවේ තන්ජෝරයේ නායක්කාර්වංශික රජතුමා සිරගත වී සිටියදී පවා සිය අන්තේවාසික කලාකරුවන්ගේ නිපැයුම් අගය කරමින් හා සංගීතය රස විදිමින් කාලය ගත කළ බැව් එතුමාගේ සුවදුක් විමසූ දොස්තර හෙන්රි මාර්ෂල් පවසා ඇත. මෙබදු කලා කුසලතාවයකින් පිරිපුන් රජතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙහි හා වාස්තු විද්යාවෙහි ද දස්කම් විදහා පාමින් පත්තිරිප්පුව, නුවර වැව හා නුවර වැව මැද පිහිටි කුණ්ඩශාලාව යනාදිය තැනීමෙහිලා ශිල්පීන් මෙහෙයවූහ.

ඓතිහාසික මහනුවර නගරය පිළිබද සුවිශේෂී ලාංඡනයක් ලෙස ලෝපතළ පත්තිරිප්පුවට එම නම තැබුණේ —දකින මණ්ඩපය යන අරුත් ඇති —පාර්තු ඉරිප්පු යන දෙමළ වදන් අනුසාරයෙනැයි සදහන් වේ.

පැරණි දළදා මාලිගයට අයත් වූ මුළුතැන් ගෙය කඩා මෙය තනා ඇත්තේ රජතුමා විසින් මහජනතාවට දළදා වහන්සේ ප්‍රදර්ශනය කරවීමටය. ඉන්පසු දළදා මාලිග සංකීර්ණයට එය යාකොට ආරක්ෂාව හා අලංකාරය පිණිස දිය අගලක් සාදවා ඒ වටා දියරුළි බැමිද ඊට උඩින් වලාකුළු බැමි ද බන්දවා ප්‍රතාපවත්කම ආරෝපණය කරවීය. දළදා පෙරහැර කරන විට ඊට උඩින් සිට එය නැරඹීම නුසුදුසු හෙයින් රජතුමා මහමළුවේ අටවන ලද පත්තිරිප්පුවක් පිහිටුවාගෙන ඇත.

මේ පිළිබද පුරාවෘත්තය හැදෑරීමේදී පැරණි වතාවත්වලට අනුව පත්තිරිප්පුව තිබිය යුතු බිම්කඩ සොයාගනු ලැබුවේ දෙහිගම දියවඩන නිලමේ විසිනි. එය සෑදීමට පෙර රජතුමා රඹ කදන් ඉරා පතුරුවලින් එහි ආකෘතියක් සාදවා සිය ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගත්හ. නමුත් එය ගොඩනැංවීමට යාමේදී ඇමති මණ්ඩලයේ හටගත් හබයක් නිසා එම කාර්යය පැවරුණේ දෙහිගම දියවඩන නිලමේ වෙත නොව උනාමළුවේ නිලමේ වෙතය. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව සැලසුම් කළ මේ නව නිර්මාණය උනාමළුවේ නිලමේතුමාගේ මෙහෙයවීමෙන් වසර දෙකකින් නිම විය. ඉන් ඉමහත් ප්‍රසාදයට පත් වූ රජතුමා නිලමේතුමා වෙත රන් මාලයක් හා ඌව ප්‍රදේශයෙන් ගම්වරයක් ප්‍රදානය කෙරෙන සන්නසක්ද පිරිනැමූහ. පත්තිරිප්පුව ගොඩනැගීම සදහා දිවා රෑ වෙහෙස වෙමින් කටයුතු මෙහෙය වූ උනාමළුවේ මහ නිලමේ පක්ෂගාත රෝගීව සිට 1813 දී පමණ පරලෝ සැපත් විය. මහනුවර නගරාලංකාරණය පිණිස වූ ඉදිකිරීම් රජතුමාගේ අනුග්‍රහයෙන් නිලමේවරුන් විසින් මෙහෙයවනු ලැබූවත් ඒවායේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ අති දක්ෂ වාස්තු විද්යා ශිල්පියෙකු වූ අලකේශ්වර ඩිංගිත්තප්පු හෙවත් දේවේන්ද්ර මූලාචාරීහු යැයි කියනු ලැබේ. නුවර මගුල් මඩුව හා නුවර වැව ඇතුළු නිර්මාණ කිහිපයක් මොහු අතින් නිම වී තිබේ.

එතෙක් ඉදි නොවූ ස්වීය නිර්මාණයක් ලෙසින් අභිමානවත් පත්තිරිප්පුව දැක ජනතාව අතර පැතිර ගිය තේරවිලි කවක්ද බිහි වී ඇත.

තේරවිල්ල

අටත් බිමස් – අතුන් බිටස්

අළත් පටස්- අතක් කොටස්

උත්තරය :

බිමත් අටස් – බිතුත් අටස්

පළත් අටස් – කොතත් අටස්

ඒ කව තවදුරටත් සකස් කොට මෙසේ පැවසේ

බිමත් අටස් – බිතුත් අටස්

පළත් අටස් – කොතත් අටස්

කණුත් අටස් – ගැබත් අටස්

උඩත් අටස් – යටත් අටස්

මහජනතාවට මහරජතුමා දැක ගත හැකි වූයේ රජසුන් අරා මගුල් මඩුවේ සිටින විට හෝ විවේක සුවයෙන් පත්තිරිප්පුවේ සිටින විට පමණි. එතුමා පත්තිරිප්පුවේ සිට කඩු සරඹ, මල්ලව පොර හා නැටුම් ද නැරඹූ බව කියනු ලබන අතර අල්ලාගෙන ආ වල් අලින් මෙල්ල කරනුද බලා සිට ඇත. තවද සිංහලේ කම්පා කළ මහා ඛේදවාචකය වූ ඇහැලේපොළ දරු පවුල් ඝාතනයද රජතුමා මෙහි සිට නරඹා ඇති බව කියවේ. ඒ බව සුප්‍රකට වැලිගල්ලේ කවියා මෙසේ පවසයි.

එ පත්තිරිප්පුවේ උඩ මාලය ඇතුළේ

සැපත් එරද දකිමින් සොද ඇහැලෙපොළේ

ළදක් වෙහෙස කරවා දරු නොව ලීලේ

හිසත් ගසා දමමින් වනෙ කෙටුව කළේ

මහනුවර තානාපති ජෝන් ඩොයිල් සිය දිනපොතේ සදහන් කර ඇති අන්දමට මෙය තනා ඇත්තේ 1805 ත් 1812 ත් අතර කාලයේදීය. 1815 ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු පැමිණි හමුදාවට පරසතුරු උවදුරු වැලැක්වීමේ අටියෙන් දළදා මාලිගාවත් පත්තිරිප්පුවත් වටලා ආරක්ෂිත පවුරක් තනා තිඛෙනු දැක ගත හැකි විය. නගරය අල්ලා ගත් පසු ඔවුන් දළදා මාලිගයට හා පත්තිරිප්පුවට දැඩි මුරකාවල් යෙදූහ. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් පත්තිරිප්පුවේ ලැගුම් ගත්තේය. එවක එය සුසැදි අන්දම ගැන ලූතිනන් ලිට්ල්ටන් කෙටි විස්තරයක් කරයි. එහි ගරාදි වැට පිත්තලෙන් සාදා තිබිණි. සිවිලිම දැකුම්කළු චිත්රවලින් ගහණය. වහල පිත්තලෙන් සෙවිලි වී තිබුණු අතර කොත් කැරැල්ල රන් ආලේපිත විය.

උඩරට ගිවිසුමේ 29 වැනි වගන්තිය ප්‍රකාර බුදු සසුන සුරැකීමට ප්‍රතිඥා දී ආණ්ඩුකා-රයා පත්තිරිප්පුවේ ලැගුම් ගෙන සිටීම ජනතා අප්‍රසාදයට හේතු වී ඇති බව ඩොයිලිට දැනගන්නට ලැබුණි. ඔහු මේ පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඉන් බැහැර කිරීමට කටයුතු සැලැස්වීය. ඊට පසු මහා සංඝයා හා ජනතාව දිනාගනු වස් පත්තිරිප්පුව දළදා සමිදුන්ට ප්‍රදානය කොට කොබ්බෑකඩුව යතිදු ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත මහ දනක් පිරිනමාලුයේය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>