Contact us now +61(0) 433 638 610

Articles

දරුවන් ඔබ බඳු කරන්න නොසිතන්.

Posted in ආකල්ප by on June 8, 2013

දරුවන් ඔබ හා සිටියත්
ඔබට අයිති නැත.
ඔබ ගෙන් උපන්නත්
ඔබෙන් ඉපිද නැත.
ඔබගේ සිතිවිලි කෙසේ
ඔවුනට දෙන්න ද ?
නිජ වූ සිතිවිලි
ඔවුනට ඇති කල.
හැකිනම් දෙනු මැන
සෙනෙහස ඔබගේ
කළමැන දරුවන් අනුකරණය
දරුවන් ඔබ බඳු
කරන්න නොසිතන්
(ඛලීල් ජිබ්රාන්)

දැනට වසර 140 කට පෙර පර්සියාවේ උපන් දාර්ශනිකයකු හා කවියෙකු වූ ඛලීල් ජිබ්රාන් විසින් ලියන ලද හැම යුගයකටම නිවැරදි මඟ පෙන්වීමක් ලබා දෙන අපූරු පණිවුඩයක්, මෙම කවි පන්තියේ ඇත. එය ඔබටත් මටත් හැම කල්හිම ඉමහත් වටිනාකමක් ලබා දෙයි.

`මෙම කවිය අපට කුමක් සිහිපත් කරදෙයි ද? හැම කල්හිම, ඉතිහාසය පුරාම පරපුරෙන් පරපුරට ජන සමාජය ගලා යනුයේ දෙමවුපියන් විසින් දරුවන් මෙලොවට බිහිකර හදා වඩා ගන්නා හෙයිනි. ලිංගික ආශ්‍රය සතුන්ටත්, මිනිසාටත් උපතින්ම උරුමවන සහජ ආශයකි. (INSTINCT) කුසගින්න, පිපාසය හා ලිංගික ආශය යන සාධක තුන, මූලික පර සහබල අවශ්‍යතාවන් තුන බව මනෝ විද්‍යාඥයෝ හඳුන්වති. මේ තුන මූලික අවශ්‍යතාවන් වූවේ කුමක් නිසාද ? කුසගින්න හා පිපාසය ඇති වූ විට අපි ආහාර ගනිමු. ජලය පානය කරමු. ඒවා නොමැති නම් අපගේ පැවැත්ම නවතිනු ඇත. එහෙත් ලිංගික ආශාව කුමක් සඳහා ද ? එය සපුරාලූයේ නැතිනම් අපගේ පුද්ගලික පැවැත්මට කිසි ගැටලූවක් සිදු නො වේ. එහෙත් එයද අවශයතාවක් බවට ස්වාභාවිකවම එක් කර ඇත්තේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීමට ය. ඒ නිසා අපි ගැහැනු පිරිමි දෙපාර්ශවය එක්ව පවුල් ජීවිත ගත කරමින් දරුවන් බිහි කරමු. එය ස්වාභාවික ධර්මතාවකි.

මේ අයුරින් අප දරුවන් බිහි කළත් අප වරදවා වටහා ගත යුතු නැත. අප සිහියේ තබා ගත යුත්තේ ඒ ‘‘දරුවන් අප හා සිටියත් අපට අයිති නැති බවයි. අපගෙන් උපන්නත් අපෙන් ඉපිද නැති බවයි’’. ඉන් අදහස් කරනුයේ දරුවන් අප මඟින්, අප හරහා, අපගේ උත්සාහයෙන් මෙලොවට පැමිණියත්, ඔවුන් අපේම දිගුවක් හෝ අපගේම කෑල්ලක් නොවන බවයි. ‘‘ඔවුන් අපෙන් ඉපිද නැත’’. යන්නෙන් අදහස් කරන්නේ එයයි.

‘‘ඔබගේ සිතිවිලි කෙසේ ඔවුනට දෙන්න ද – නිජ වූ සිතිවිලි ඔවුනට ඇතිකල’’ යන්නෙහි අර්ථය කුමක්ද? දරුවන් අපගේ ආශාවන්ගේ ප්‍රතිඵල පමණි. ඔවුන් සංසාරික ගමන්මගක සැරිසරන, සහජයෙන්ම ගෙන එන, නිජ වූ සිතිවිලි ඇති වෙන වෙන ම පෞරුෂයන්ය. ඒ නිසා හැම ළමයකු ම සුවි‍ශේෂය. නිජ වූ සිතිවිලි ඇතිව අපගේ උදවුවෙන් අප හරහා මෙලොවට බිහි වූ හැම දරුවෙකුටම අදාල ව සහජ කුසලතා ඇත. සහජයෙන්ම ගෙන එනු ලබන විභව්යරතා (Potentialities) රැසක් ද ඇත.
අප කළ යුත්තේ හැකිතරම් සෙනෙහස ආදරය ලබා දී ඔවුන් හදාවඩා ගැනීමයි. ඒ ඒ දරුවන් ගෙනවිත් තිබෙන කුසලතා ඔවුන් ඉබේම විද්‍යමාන කරනවා ඇත. ක්‍රීඩා කරන විට, ඉගෙන ගන්නා විට, විවිධ අවස්ථා වල ඔවුන් තුල ඇති සුවිශේෂී දක්ෂතා, හැකියාවන් හදුනාගත හැකි වනු ඇත. අපි බුද්ධිමත්ව මේ දෙස බලා සිටිය යුතු වෙමු. ඔවුන්ගේ දක්ෂතා අනුකරණය කරමින්, එම දක්ෂතා දියුණු කර ගැනීමට අවශ්යස උදව්ව හා පහසුකම් ලබා දිය යුතු වෙමු.

‘‘දරුවන් ඔබ බඳු – කරන්න නොසිතන්.’’

මෙයින් අදහස් කරනුයේ කුමක්ද? අපගේ ආශාවන්, අවශ්‍යතාවන් ඉටුකිරීමට දරුවන් යෙදවීම නොකළ යුතුය යන්නයි. දරුවන් මෙලොවට බිහි වන්නේ අපගේ ආශා ඉටුකර දීමට නො වේ. සංසාරික ගමන් මගේ මේ තවත් නවාතැන්පොලක් පමණි. ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන් කළ පවු පින් රැගෙන ය. ඔවුන්ටම සුවිශේෂ වූ බලාපොරොත්තු ඇතිවය. අප ඒ බව හඳුනාගෙන, තේරුම් ගෙන දරුවන්ට උදවුවන අතර ඔවුන් හොදින් ආදරයෙන් රැකබලා ගත යුතුය. යහ මඟ යැවීමට අවශ්‍ය වන ඉගැන්වීම කළ යුතු ය. යහපත්, ගුණගරුක මිතුරු මිතුරියන් හඳුන්වා දිය යුතු ය. අප දරුවන් හැදිය යුත්තේ උයන්පල්ලකු මල්වත්තක් හදන පරිදි ය. උයන්පල්ලා කරනුයේ මල් පැල හිටවා ඒ ඒ පැලවලට අවශ්‍ය වතුර, පොහොර උචිත ප්‍රමාණයෙන් දමා,අවශ්‍ය අයුරින් ආරක්ෂාව සපයා ප්‍රවේශමෙන් රැකබලා ගැනීමයි. උචිත පරිසරය ලද කල්හි මල් පැල හොදින් වැඞී මෝරා නිසි කල්හි මල් පිපී ගෙඩි හැදෙනු ඇත. උයන්පල්ලාගේ කාර්ය භාරය එපමණය. ගස් වැඞී මල් පැල හටගනුයේ ඒ ඒ ගස්වල බීජයන් උරුම කරගෙන පැමිණි විභව්‍යතා වලට අනුවය. රෝස පැලයකින් රෝස මලක් ලැබේ. ඬේලියා පැලයකින් ඬේලියා මලක් ලැබේ. ඒ මල් අතර ද කහ, රතු, රෝස, සුදු ආදී විවිධ පාට පවා ඒ මල් උරුම කරගෙන ඇත. මල් වඩාත් අලංකාර වන්නේ මේ විවිධත්වය නිසාමය.

දරුවන් ද එසේමය. සහජයෙන්ම තම තමන්ට හිමි බුද්ධි වර්ගයෙන් 70% ක් පමණ උරුම කරගෙන ඔවුන් මෙලොවට පැමිණ ඇත. දෙමාපියන්, වැඩිහිටියන් හා ගුරුවරුන්ගේ යුතුකම හා සැබෑ භූමිකාව වන්නේ මේ සහජ බුද්ධිය හා සහජ ශක්තිය මතුකර දීමට අවශ්‍ය පසුතල සකසා දීමයි. ප්‍රශංසා කිරීම, දිරිමත් කිරීම මඟින් වතුර පොහොර දැමීමය. ඒ පසුතලය නිසි පරිදි ලද පසු ඒ ඒ දරුවා උපතින්ම සහජයෙන්ම ගෙනවිත් ඇති විභව්‍යතා විකසිත කරගන්නවා ඇත.

අඹ ගස් වල ද විවිධ වර්ග ඇත. මී අඹ, ගිරා අඹ, පොල් අඹ, ඇටඹ ආදී ලෙස අපි එ්වා නම් කරමු. ඒ ඒ අඹ ගස්වල ඇති අඹවල රසයද වෙනස්ය. අපට මී අඹ, ගිරා අඹ කළ නොහැක. එය කෘතිම බද්ධ කිරීමකි. මිනිසා සමහර අවස්ථාවල ගස් ලෝකයේ දී මේ අත්හදා බැලීම් කර ඇත. ගස් වර්ග කුඩා කාලයේ දී එකට බද්ධ කරන්නට පියවර ගෙන ඇත. නමුත් ඒ ගස් වල එන අඹ, මී අඹ ත් නොවේ, ගිරා අඹ ත් නොවේ. කලවම් රහකි. එම ගෙඩි වල ස්වාභාවික රසය මතු නො වේ. දරුවන් ද අපිට අවශ්‍ය රැකියා වලට, විෂයයන් වලට යොමු කර ‘බඞ්’ කරලීමට සමහරු පියවර ගනිති. ඉතා පරිස්සමින් බඞ් කර පැලය ලොකු මහත් කලත් සැබෑ සහජ ශක්තිය විනාශව ගොස් ය. නිතර නිතර රෝගවලට භාජනය වේ. අඩු වයසින් පීදී ඵලදරා අඩු වයසින් මියයයි.

තවත් සමහරු ගස් ‘‘බොන්සායි’’ (BONSAI) කර හදන්නට උත්සාහ කරති. ස්වභාවික වර්ධනයට ඉඩ නො දී බාධා කර, පාලනය කර, වද දී හදා ගනිති. එවිට මහත් වූ විසල් රුකක් වීමට තිබූ ගස ‘‘කුරුමිටි’’ ගසක් වේ. සමහර දෙමාපියන් දරුවන්ට දඬුවම් කරමින්, ගහමින්, චෝදනා කරමින්, කරනුයේ බොන්සායි වූ, කුරුමිටි වූ, දරුවන් හදා වඩා ගැනීමයි. මෙය අපරාධයකි. අප විසින් නොකළ යුතු දෙයකි. දරුවන්ට උදවු කරනවා යනු, ආදරය කරනවා යනු සහජ කුසලතා මතු කර ගැනීමට ඉඩ දී හදාවඩා ගැනීමයී.
ඉහත අයුරින් සලකා බලන කල්හි ඛලිල් ජිබ්රාන් ගේ කවි පන්තිය දෙමාපියන්ට දරුවන් හදාවඩා ගැනීමේ නිසි මග කවරක්දැයි හදුන්වා දෙන මහගු මග පෙන්වීමකි. දෙමාපියන්ටත් වඩා දියුණු විය හැකි, විවිධ දක්ෂතා දැක්විය හැකි, ලෝක පූජිත වූ දරුවෝ උපදිති. ඔවුන්ට යාහැකි දුර මහත්ය. අපට කළ නොහැකි හාස්කම්, නව නිපයුම්, ඔවුන්ට කළ හැකි වනු ඇත.

සුද්ධෝදන රජතුමාට හා මහාමායා දේවියට ලද සිද්ධාර්ථ කුමාරයා, සංසාරික ගමන් මඟක සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරා පැමිණි අයෙකි. පසු කාලයේ බුද්ධත්වයට පැමිණ එදා මෙදා තුර මෙලොව බිහි වු අගර ගැ වූ ජේෂ්ඨ වූ ශ්රේථෂඨ වූ උතුම් මිනිසා බවට පසුව පත්විය. පසු කලෙක සුද්ධෝදන රජතුමාට හා මහාමායා දේවියට දහම් දෙසා රහතුන් වහන්සේලා බවට පත් කරලීම සිදු කළේද ඒ උතුම් පුතාය.

මේ අයුරින් අප ද දරුවන් දෙස බැලිය යුතුය. ඔවුන් ගෙන වුත් ඇති දක්ෂතා මතු කර විකසිත කරලීමට සහාය විය යුතුය. මෙලොවට විශිෂ්ට දරුවෙකු, විශිෂ්ට පුද්ගලයෙකු බිහිකළ හැක්කේ එමගින් පමණි. අපි අපේ දරුවන්ට ආදරය කරන්නේ නම්, සැබැවින්ම ආදරය කරන්නේ නම්, ඔවුන් යහමඟ යැවීමට අදාල පරිසරය සකසා දී සහජ සිතිවිලි විකසිත කර ගැනීමට දිරිමත් කළ යුතු වෙමු. ඒ අපගේ වගකී ම මෙන්ම යුතුකම ද වන්නේය.

- මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල
කොළඹ විශ්ව විද්‍යාලය

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>