Contact us now +61(0) 433 638 610

Articles

සිය වසකට පෙර නැගී ආ – සරත් සඳ

Posted in Art,ඉතිහාසය,සාහිත්‍ය by on June 8, 2014

sarachchandra1

- රංග ප්‍රසාද් පෙරේරා

මා මේ සටහන ලියනුයේ 2014 මැයි මස 26 වැනිදාය. අද මට මේ සටහන ලිවීමට සිදුව ඇත්තේ අදින් වසර සියයකට පෙරාතුව මෙලොවට පහලවූ පුද්ගලයකු නිසාය. නිතිපතා ලොව බොහෝ අය ඉපදෙත ි. මියයති. එසේ වුවද 1914 ජුනි මස තුන් වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ ගම්මානයේ දී උපන් මේ වෙසෙස් මිනිසා තවත් එක් මිනිසකු ලෙස ඉපිද මියයාම වෙනුවට ලෝකයට බොහෝ දේ ඉතිරි කර නික්ම ගියේය. ඔහුගේ පියා චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වාය. හේ තැපැල් ස්ථානාධිපතිවරයෙකි. මව ලිසියා මොරගොඩය. ඔවුන් කලාවට සංගීතයට නැඹුරුවක් තිබූ පවුලක් වුවද තම පුත්‍රයා කලාව, ශාස්ත්‍රය ඔස්සේ ඒසා දුර ගමනක් යනු ඇතැයි ඔවුන් එදා නොසිතන්නට ඇත. එහෙත් එම පුත්‍රයා ගිය දුර කොතෙක්දයත්, මිනිස් සංහතිය නොනැසී පැවතුණහොත් වසර සියයකට නොව තව වසර දහසකට පසුව පවා ඔහු ගැන මෙවන් දේ ලිවීමට මතු පරම්පරාවන්ටද සිදුවනු නොඅනුමානය.

මහ ඇදුරු එදිරිවීර සරත්චන්ද්‍ර…… ඒ ප්‍රකට නාමය එතුමන්ට පොදුවේ ව්‍යවහාර වුවද එතුමා කෙසේවත් තනි සරල හැදින්වීමකට යටත් කළ හැකි පුද්ගලයකු නොවීය. නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, සිංහල නාට්‍ය කලාවට නව මානයක් විවර කළ විශි-ෂ්ඨ නාට්‍ය කරුවකු, පර්යේෂකයෙකු, කලා සාහිත්‍ය හා සමාජ විචාරකයකු, නිවහල් චින්තකයකු, සිංහල ඉංග්‍රීසි පාලි සංස්කෘත ආදී භාෂා මැනවින් දත් විද්‍යාර්ථීයකු, සංගීතය දර්ශනවාදය නාට්‍යකලාව ආදී විෂයයන් හදාල සරසවි ආචාර්යවරයකු, කාව්‍යාත්මකව බස හැසිරවීමට දන්නා විශිෂ්ඨ ලේඛකයකු ආදී වශයෙන් සරත්චන්ද්‍රයන්ගේ භූමිකාව ඛෙහෙවින් පුළුල් පරාසයක පැතිරෙයි. එහෙයින් මෙවන් ලිපියකින් නොව කෘති ගණනාවකින් පවා ඔහු ගැන විමසා බැලීම පහසු නොවේ. ඒ අනුව සරත්චන්ද්‍රයන්ගේ උප්පත්තියෙන් වසර සීයකට පසු ලියවෙන මේ සටහන ඔහු ගැන මූලික හැදින්වීමක් සහ ඔහුගේ මෙහෙවර වෙනුවෙන් කෙරෙන අල්පමාත්‍ර බුහුමන් දැක්වීමක් ලෙස පමණක් සැලකීම යෝග්‍ය යැයි සිතමි.

රත්ගම සරත්චන්ද්‍රයන්ගේ උපන් ගම වුවද පියාගේ රැකියාව හේතුවෙන් විවිධ පලාත්වල ට යමින් පාසැල් කිහිපයකින් අධ්‍යාපනය ලැබීමට සරත්චන්ද්‍රට සිදුවිය. අනතුරුව විද්‍යා විශයන් වලින් ජේ‍්‍යෂ්ඨ විභාගය සමත් වූ හෙතෙම ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගය සමත් වී කොළඹ යුනිවර්සිටි කොලීජිය යනුවෙන් හැදින්වූ එවකට ලංකාවේ එකම විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙර සිටම සරත්චන්ද්‍රයන් පාලි හා සංස්කෘත භාෂා තනිවම ප්‍රගුණ කළේය. උපාධිය ලැබ ගැනීමෙන් පසු ඔහු ස්ථාවර රැකියාවක් නොමැතිව ගතකළ කාලයක්ද තිබිණි. එකල හේ ගුරුවරයකු ලෙස කටයුතු කළ අතර ලේක්හවුස් ආයතනයේද සේවය කළේය. අනතුරුව සරත්චන්ද්‍රයන් තම පළමු බිරිද වූ අයිරාද සමග රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ කල්කටාවේ පිහිටි ශාන්ති නිකේතනය බලා පිටත්ව ගියේ සංගීතය, ලලිත කලා සහ දර්ශනවාදය හැදෑරීම සදහාය. එහිදී සරත්චන්ද්‍රයන්ට මහත්මා ගාන්ධිතුමන්ද මුණ ගැසිණි. මේ ආකාරයට ශාස්තී්‍රය ජීවිතයකට හැඩගැසෙමින් සිටි සරත්චන්ද්‍රයන් තම පළමු කෘතිය රචනා කළේ ඉංග්‍රීසියෙනි. ඵදා Modern Sinhala Fiction නමින් පළ කෙරුණු මේ ග්‍රන්ථයේ මුද්‍රණය කළ පිටපත් සංඛ්‍යාව 500ක් වුවද එය පවා විකුණා ගැනීම ඔහුට පහසු කටයුත්තක් නොවීය. තමන් දන්නා අදුනන අය හමුවී මේ පොත අලෙවි කිරීමට ගොස් ලැජ්ජාවට පත්වීමට සිදුවූ ආකාරය ගැන සරත්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානයේද ලියා ඇත. මේ පළමු පොතට හොද අලෙවියක් හෝ උගත් විචාරක ප්‍රතිචාර හෝ නොලැබුණද එය කිසියම් ආන්දෝලනයකට හේතු වී තිබිණි. සරත්චන්ද්‍රයන් පශ්චාත් උපාධිය සදහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බටහිර දර්ශණය හදාලේය. ඔහුට ආචාර්යවරයකු ලෙස පළමු පත්වීම ලැබු‍‍ණේ කොළඹ යුනිවර්සිටි කොලීජියටය. ඒ පේරාදෙණියේ සිංහල අධ්‍යයන අංශයට සම්බන්ධ වීමට පෙරාතුවය. සරත්චන්ද්‍රයන් තම ආචාර්ය උපාධිය සදහා බෞද්ධ දර්ශනය හදාල අතර Buddist Psychology Perception නමින් තම ආචාර්ය උපාධි නිබන්ධනය රචනා කළේය.

1956 වසර සරත්චන්ද්‍රයන්ගේ ජීවිතයට, සිංහල නාට්‍ය කලාවට පමණක් නොව ශී්‍ර ලංකාවේ සමාජ දේශපාලන පරිසරයටද අතිශය තීරණාත්මක වසරක් වෙයි. ලංකාවේ නාට්‍ය කලාවට නව මගක් හෙලි කල මනමේ නාටකය සරත්චන්ද්‍රයන් අතින් නිර්මාණය වූයේ දේශපාලන වශයෙන්ද ලාංකේය සමාජය මහා පෙරලියකට ලක්වූ 1956 වසරේදී වීම විශේෂත්වයකි.

එසේ වුවද මනමේ නාටකයට පෙර මුදලිගෙ පෙරලිය (1943), කපුවා කපෝති(1946), හැංගි හොරා(1949), මගුල් ප්‍රස්තාව(1950), බහින කලාව(1951), පබාවතී (1952), වෙද හටන(1953), රත්තරන් (1954), ආදී නාට්‍ය 16ක් පමණ සරත්චන්ද්‍රයන් අතින් නිර්මාණය වී තිබිණි. ඒ බොහොමයක් පරිවර්තන හා අනුවර්තන මිස ස්වතන්ත්‍ර නිර්මාණ නොවීය. වූ අතර ඊට අමතරව මෙකල සරත්චන්ද්‍රයන් දේශීය නාට්‍ය කලාව ගැනද ගැඹුරු අධ්‍යයනයක නිරත වෙමින් හුන්නේය. The folk drama of Ceylon යනුවෙන් මුලින් ඉංග්‍රීසියෙන් රචනා වී පසුව සිංහල ගැමි නාටකය බවට පත්වූ අගනා පර්යේෂණ නිබන්ධනය ඒ අධ්‍යයනයේ ප්‍රතිපලයකි. මෙය සැලකිය හැක්කේ නාඩගම්, සොකරි හා තොවිල් පවිල් ආශ්‍රයෙන් බිහිව තිබූ සිංහල ගැමි නාට්‍ය කලාව පිළිබද විශිෂ්ඨ පර්යේෂණ ග්‍රන්ථයක් ලෙසය. සරත්චන්ද්‍ර අතින් 1956දී බිහිවූ මනමේ නාටකයට මේ පර්යේෂණ නිබන්ධනය ඇතුළු බොහෝ දේ බලපෑවේය. නාට්‍ය කලාව හැදෑරීම සදහා රොකපෙලර් ශිෂ්‍යත්වයක් ලැබ රට රටවල සංවාරය කළ සරත්චන්ද්‍රයන් ජපානයේ කබුකි හා චීනයේ නෝ නාට්‍ය වැනි ලෝක සම්ප්‍රදායන්ගෙන්ද ආභාසය ලැබුවේය. තවද මනමේ නාටකය ජාතක කතාවක් ඇසුරු කළ නිර්මාණයක් වුවද මතවාදීමය වශයෙන් ජාතක කතාකරුගේ දෘෂ්ටියට අනුගත නොවු සරත්චන්ද්‍රයන් ස්ත්‍රිය පිළිබද ලිබරල් මානවවාදී චින්තනයේ බලපෑමට නතුවිය. ඒ අනුව හෙන්රික් ඉබ්සන්ගේ සෙල්ලම් ගෙදර නාට්‍යයේ ලෝරාගේ චරිතයත් මනමේ කුමරියගේ චරිතයත් ස්ත්‍රිය පිලිබද නූතනවාදී සංකල්ප ප්‍රකට කරන සාහිත්‍යමය සහෝදරියන් ලෙස සැලකීම නිවැරදිය.

නාට්‍ය නිර්මාණය කෙරේ පමණක් නොව සරත්චන්ද්‍රයන්ගේ ඇතැම් විචාර කෘති කෙරේද බටහිර නූතනත්වයේ බලපෑම සුළුපටු නොවීය. ඔහුගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය කෘතිය හැදින්විය හැක්කේ බටහිර යථාර්තවාදය සිංහල ප්‍රබන්ධ කතාව තුළ ස්ථාපිත කිරීමේ ලා ඉවහල් වූ න්‍යායික ප්‍රයත්නයක් ලෙසය. එහිදී සරත්චන්ද්‍රයන් යථාර්තවාදී රීතියට අදාල නිර්ණායක මත පිහිටමින් ඩබ්. ඒ සිල්වා, පියදාස සිරිසේන වැනි ලේඛකයන්ගේ කෘති විවේචනයට ලක් කළේය. ඒ යටතේ පියදාස සිරිසේනගේ නවකතාව සරත්චන්ද්‍ර විසින් බැහැර කළද ජාතික නිදහස් සටනේ නියමුවෙකු ලෙස සිරිසේනයන්ගේ කාර්යය-භාරය අවතක්සේරු නොකළේය.

නවකතාකරුවකු ලෙස නවකතා රචනා කිරීමේදී සරත්චන්ද්‍රයන් එවකට පේරාදෙණි ගුරුකුලය ලෙස ප්‍රකටව තිබූ සම්ප්‍රදායේ බලපෑමට නතුවිය. එම නවකතා ලංකාවේ ආගමික සංස්කෘතික පරිසරය සෝපාහාසයට ලක්කළේය. සරත්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, වල්මත් වී හසරක් නුදුටිමි, වැනි කෘති කියවීමේදී කොතෙක් රසාලිප්ත වුවද විචාරයේදී මේ කෘති අගය කිරීම්වලට පමණක් නොව බලවත් විවේචනයන්ටද ලක්විය. මාර්ටින් වික්‍රමසිංහයන් 1969දී සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවනැල්ල රචනා කරමින් පේරාදෙණි ගුරුකුළයට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ඒ යටතේ වික්‍රමසිංහයන් යළි උපන්නෙමි, කරුමක්කාරයෝ, අප්‍රසන්න කතාවක්, පරාජිතයෝ, හෙවනැලි ඇද මිනිස්සු, හෙවනැල්ල වැනි නවකතා සහ සරත්චන්ද්‍රගේ ඇතැම් කෘති විවේචනයට ලක්කළේය. එපමණක් නොව මුලදී මේ ගුරුකුලයට අනුගතව කරුමක්කාරයෝ, යළි උපන්නෙමි වැනි කෘති රචනා කළ අමරසේකර පවා පසුකලෙක එම කෘති බැහැර කළේ ඒ කතාවල චරිත මනස් පුතුන් ලෙස හදුන්වමිනි. සරත්චන්ද්‍ර ඉතා සමීපව ඇසුරු කළ අමරසේකරට සරත්චන්ද්‍රගේ නවකතා ගැන බොහෝ විවේචන තිබුණද. එකදු කවි පොතක් හෝ ලියා පල නොකළ සරත්චන්ද්‍රව අමරසේකරට පෙනුනේ හොදම සිංහල කවියන් තිදෙනාගෙන් එක් අයෙක් ලෙසය. සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය හා පොදු ලේඛණ පුරාම උතුරා හැලෙන කවිත්වය මේ හැදින්වීමට හේතුවක් වන්නට ඇත. එතැනින්ද නොනැවතී තම ජීවිතයට විශාල බලපෑමක් කළ අයෙකු ලෙස සරත්චන්ද්‍රව අගයමින් අමරසේකර වරෙක පුවත්පතකට අදහස් පල කර තිබුණේ මෙසේය.

“ඔහු මගේ ජීවිතයට විශාල බලපෑමක් සිදුකළා. අපේ ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ අධිරාජ්‍ය ගැති වීම නොවෙයි මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අපට පුළුවන්ය කියන අවධානය අප වෙත යොමු කළ පරමාදර්ශි චරිතයක් සරත්චන්ද්‍ර…. අපේ පරමාර්ථය ඉගෙන ගෙන ලොකු පවුල්වලින් කසාද බැදගෙන වැජඹෙන එක නොවේය ඊට වඩා උසස් පරමාර්ථ අපට තියෙනවය කියන එක අපේ මනසට වැටුණේ ඔහු නිසා”

විචාරකයෙකු ලෙස සරත්චන්ද්‍රගේ භූමිකාව විමසා බලන්නේ නම් එහිදී ඔහු සතු අතිශය වැදගත් ගුණාංගක් ලෙස ස්වාධීන චින්තන ශක්තිය යන්න සැලකිය හැකිය. ඔහු කිසිදු පූර්ව නිශ්චිත මතවාදයක අනුකාරකයෙකු නොවීය. අන් සියල්ලන් සේම ඔහුද බාහිර ලෝකයේ මතවාදවල බලපෑමෙන් මිදුණු අයකු නොවුනද ඔහු කිසිදු නිල මතවාදයක නියෝජිතයකු නොවීය. එක් එක් නම්වලින් හැදින්වෙන කිසිදු වාදයක තිරව එල්බ නොගත් ඔහු බොහෝ විට හරි හෝ වැරදි වේවා තමා දකින දේ අවංකව ප්‍රකාශ කිරීමට උත්සාහ කළේය. මේ තත්ත්වය නිසාම චිචිධ විවිධ වාද ගුරුකුලවලට අයත් පුද්ගලයන්ට සරත්චන්ද්‍රගේ කෘති තුළින් තමන්ට වාසි සහගත කොටස් උපුටා දැක්විය හැකිවූවා සේම මේ තත්ත්වය නිසා සරත්චන්ද්‍රයන් ඒ බොහෝ පාර්ශවයන්ගේ විවේචනයටද ලක්විය. මාක්ස්වාදීන්ගේ සතුටට හේතුවන දේවල් මෙන්ම ජාතිකවා දීන්ගේ හා ලිබරල්වාදීන්ගේ සතුටට හේතුවන දේවල්ද සරත්චන්ද්‍රගේ පොත් තුළ තිබිණි. එහෙත් මාක්ස්වාදීන් මෙන්ම ජාතිකවා දීන්ද සරත්චන්ද්‍ර විවේචනය කළ අතර ලිබරල්වාදී පාලකයන් එතුමාට භෞතික වශයෙන්ද පහර එල්ල කළේය. එසේ වුවද මතවාද සම්බන්ධව සරත්චන්ද්‍රයන්ගේ නොඇලූනු හා විවෘත පිළිවෙත නිසාම ජීවන අත්දැකීම්වලට සාපේක්ෂව සරත්චන්ද්‍රගේ මතවාදද කාලානුරූපව වෙනස් විය. මුල් කාලයේදී පේරාදෙණි බලපෑමට යටත්ව හේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙලා දුටුවද පසු කළෙක ඒ අදහස් වෙනස් වූ බවට ධර්මිෂ්ඨ සමාජය හා අසම්පූර්ණ චාරිකා සටහන් වැනි කෘති දෙස් දෙයි. අසම්පූර්ණ චාරිකා සටහන් කෘතිය හරහා ඇමරිකානු පාරිභෝජනවාදී ජීවන ක්‍රමයත් ඊට පිටුදුන් චින්තනයත් දැඩිව විවේචනය කරන සරත්චද්‍රයන් ඊට ප්‍රතිපක්ෂව සිංහල බෞද්ධ පුරුෂාර්ථ අගයයි. ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහි වියට්නාම් ජාතික විමුක්ති අරගලය ගැන සොම්නසින් සදහන් කරයි. සරත්චන්ද්‍ර කෙතරම් නූතනවාදී අදහස් හෙබවූ විද්වතකු වුවද ශ්‍රී ලංකාව වැනි රටවලට පොහොසත් ජාතික මතවාදයක වැදගත්කම ගැන සරත්චන්ද්‍රගේ අගනා අදහස් රැසක් මේ කෘති තුළ දක්නට ලැබේ.

මීළගට සරත්චන්ද්‍රයන්ගේ බස ගැන යමක් සදහන් කරන්නේ නම් කුමන සංකීර්ණ ගැඹුරු අදහසක් වුවද ඉතා සරල හා නිරවුල් ලෙස ලිවිමේ හැකියාවක් ඔහුට තිබිණි. ඔහු අනවශ්‍ය පාඨ, උපුටා ගැනීම් ආදී බර බද්දල් තම රචනාවලට එක් කළේ ඉතා අඩුවෙනි. අනුන්ගේ තර්ක මත යැපීම වෙනුවට තමන් දන්නා දේ නිරවුල්ව කීම සරත්චන්ද්‍රයන්ගේ ක්‍රමය වූ අතර කෙතරම් පලල් භාෂා දැනුමක් තිබුණද භාෂා හරඹ ඔස්සේ පාණ්ඩිත්‍ය විදහා පෑමේ පුරුද්දක් ඔහු තුළ නොතිබිණි. තේරුම් ගත නොහැකි ආකාරයට වචන හරඹ පාමින් ලිපි ලිවීම තමන්ගේ දැන උගත්කම පෙන්වීමේ ක්‍රමයක් ලෙස සිතා සිටින වත්මන් බොහෝ අල්පශ්‍රැත විචාරක වීරයන්ට සරත්චන්ද්‍ර වැනි බහුශ්‍රැතයකුගේ මෙම භාෂා භාවිතය කදිම සරදමක් වැන්නකි. සරත්චන්ද්‍රගේ මතවාදීමය අදීනත්වයත්, භාෂා භාවිතයේ මේ විශේෂත්වයත් ඔහුගේ කල්පනා ලෝකය, සාහිත්‍ය විද්‍යාව, වෙස් මුහුණද සැබෑ මුහුණද, නාට්‍ය ගවේශණ වැනි ග්‍රන්ථ තුළින් මනාව හෙලි වෙයි. ඔහුගේ ස්වයං චරිතාපදානය වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියද සැලකිය හැක්කේ ලංකාවේ ලියැවී ඇති චරිතාපදාන අතරේ උස් තැනක තැබිය හැකි වඩා අව්‍යාජ රචනාවක් වශයෙනි. ඒ අව්‍යාජ බවත්, තුනී කළ මමත්වය ඇත්තකුගේ උපේක්ෂාවත්, පැසුනු බුද්ධියක හා ලතෙත් හදවතක සංකලනයෙන් හැඩවූ සාංදෘෂ්ටිකවාදී ඇතුළු හඩත් සරත්චන්ද්‍රගේ සියලූ ලේඛන පුරා පැතිරී ඇත්තේ අපූර්ව ලෙසය.

මේ ආකාරයට ශාස්ත්‍රීය ලෝකයේ බෝ දුර ඇවිද ගියද සරත්චන්ද්‍රගේ පෞද්ගලික ජීවිතය තුළ නොයෙක් හැල හැප්පීම් තිබූ බව ප්‍රකටය. පෞද්ගලික සුඛ විහරණය අතහැර ශාස්ත්‍රීය සේවයට කැපවීමත් ඊට එක්තරා අන්දමක හේතුවක් වන්නට ඇත. කෙසේ හෝ වේවා ඔහු තම පළමු බිරිදගෙන් වෙන්ව 1964දී ලලිතා සරත්චන්ද්‍ර සමග විවාහ වූයේය. 1961දී බිහිවූ සරත්චන්ද්‍රගේ තවත් විශිෂඨතම නිර්මාණයක් වන සිංහබාහු නාටකය කෙරේ ඔහුගේ සැබෑ ජීවිතයේ හැල හැප්පීම් බලපෑ ආකාරය සරත්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානයේද සදහන් කර ඇත. ඒ කුමන ගැටුම් මැද වුවද ඔහු තම ජීවිත කාලය තුළ බොහෝ වටිනා දේ කළේය. නාට්‍ය නිර්මාණ විසිදෙකක්, නවකතා පහක්, කෙටිකතා සංග්‍රහ හතරක්, චම්පූ කාව්‍යයක්, විචාර හා පර්යේෂණ කෘති කීපයක් ඇතුළු කෘති ගණනාවක් රචනා කළේය. හුදු නාට්‍ය කරුවකු වීමෙන් නොනැවතී සිංහල නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් සටහන් කළේය. නොයෙක් සම්මාන හා ඇගයීම් වලට පාත්‍රවිය. රට රටවල සංචාරය කළේය. නව නිර්මාණකරුවන් රැසක් බිහිකළේය. දැවැන්ත වෘක්ෂයක් සේ නව පරම්පරාවකට සෙවන දුන්නේය. 1996 අගෝස්තු 16 වැනිදා මෙලොව හැර යන විට මේ අන්දමින් ඔහු කාලය ඉක්මවිය හැකි මිනිසකු බවට පත්වී තිබිණි.

සරත්චන්ද්‍රයන් ඉතිරි කර ගිය කලා ශාස්ත්‍රීය සිහිවටනවලට අමතරව ඔහු පේරාදෙණියට තවත් අගනා භෞතික සිහිවටනයක්ද ඉතිරි කළේය. සරසවි සිසුන් පමණක් නොව ලංකාවේ පොදු මහජනයා අතරද ප්‍රකට ස්ථානයක් වන පේරාදෙණියේ වල නොහොත් සරත්චන්ද්‍ර එලිමහන් රංග පීඨය නිර්මාණය වූයේද සරත්චන්ද්‍රයන්ගේ මැදිහත්වීමෙන් ඔහුගේ සිතැගියාවන්ට අනුව බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. එසේ වුවද සරත්චන්ද්‍රගේ හා එවකට පේරාදෙණියේ උපකුලපති වූ නිකලස් ආටිගල මහතාගේ මැදිහත් වීමෙන් නිර්මාණය වූ සරසවි වල තුළ 1958 වසරේ මුල හරියේ දවසක පළමු වතාවට මනමේ නාටකය වේදිකාගත කරනු ලැබීය. අදටත් මේ ස්ථානය බොහෝ දෙනා අතර ජනප්‍රියය. නාට්‍ය බැලීමට පමණක් නොව මනාල මනාලියන් තම මංගල ඡායාරූප ගැනීමට පවා සරසවි වලට පැමිණෙති. එසේ වුවද සරසවි සංස්කෘතිය තුළ අලයන් ලෙස නාමකරණය වූ අයට වලේ නාට්‍ය නැරඹීම තහනම්ය. අලයන් නොවන සියලූ දෙනාට සරසවියේ වල මහ`ගු සම්පතකි. සරත්චන්ද්‍රගේ ශාස්තී්‍රය සේවයෙන් පල නො- ලබන සරත්චන්ද්‍ර ගැන හරි හැටි නොදන්නා වර්තමාන සරසවි පරපුර සරත්චන්ද්‍ර වලේ පඩි පේලි අතර නිදහස් සුව විදින ආකාරය අද පේරාදෙණියට යන අයකුට දැක ගත හැකිය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>