Contact us now +61(0) 433 638 610

Articles

සංස්කාරක සටහන Editorial [ Aug 2013 ]

Posted in ආකල්ප,ජීවිතය by on August 10, 2013

ඔබ සමගියෙන් යමක් හිතයිද, කියයිද එසේම කරයිද එතැන ඇත්තේ සතුටයි. මහත්මා ගාන්ධි
අද රටක හෝ පුද්ගලයෙකුගේ දියුණුව මනිනු ලබන්නේ බොහෝ විට රටක් හෝ පුද්ගලයෙකු ගොඩ ගසාගෙන ඇති ධනයෙනි. නැතිනම් ඔවුන් පතුරුවන ආධිපත්‍යයෙනි. ධනයත් බලයත් තමන් සන්තක කර ගැනීමට ඉතා කුඩා ව්‍යාපාරිකයාගේ සිට මහා විසාල ධන කුවේරයා දක්වා ඇතැම් විට අනුගමනය කරනු ලබන්නේ සාදාචාරාත්මක පිළිවෙතක් ද ? මේ ප‍්‍රශ්නය හුදී ජන යහපත වෙනුවෙන් ගොඩනැගුණු සමිති සමාගම් වල පටන් පුන්‍යාතන තුළින් පවා විද්‍යාමාන වීම කොතරම් ඛේදජනකද ? ජනතා සේවයත් ප‍්‍රතිරූප ගොඩ නගා ගැනීමත් එකක් නොව දෙකකි. එසේම ප‍්‍රතිරූප ගොඩ නගා ගැනීමට කරන ජනතා සේවයත්, කරන ජනතා සේවය නිසා නිරායාසයෙන් ගොඩ නැගෙන ප‍්‍රතිරූපයත් යනුද එකක් නොව දෙකකි. මේ බව වටහා ගැනීමට මහත්මා ගාන්ධි චරිතාපදානය ඉතා කදිම තෝතැන්නක් බැව් අපගේ වැටහීමය.


ඉන්දියාවට නිදහස දිනා ගැනීමට එතුමා ගත් අවිහිංසා මග ගැන ලොව කවර තැනක වුවද රට කරවන ඇත්තන්ගේ පටන් ගම කොටවන ඇත්තන් දක්වා ගැඹුරෙන් අධ්‍යයනය කිරීම අද දවසේ කාලීන අවශ්‍යතාවක් වන්නේ කරුණු ගණනාවක් නිසාය. අද ලොව ඇතිතාක් ප‍්‍රශ්න, ගැටළු හෝ අර්බුද හට ගෙන ඇත්තේ අසමගිය මුල් කරගෙන නොවේ ද ? සමගිය ඇති තැනක දියුණුව කරා යාමට පෙර නොවූ විරූ මංපෙත් විවර වනු ඇත. සමගියෙන් රැස්වී, සමගියෙන් කටයුතු කර, සමගියෙන් විසිර යෑම නිසා මිනිස් චිත්ත සංතානයේ ඇති වන්නේ සතුට හෙවත් චිත්තපී‍්‍රතිය නොවේ ද ? අප මුලින් දැක් වූ පරිදි ධනය හෝ බලය වෙනුවට අද දවසේ දියුණුව අර්ථදැක්වීම පිණිස ‘‘සමගිය’’ යන වචනය ඇතුළත් කළ යුතුම බැව් අප කල්පනා කරන්නේද ඒ නිසාය.
අපගේ ගෞරවයට භාජනය වන රටක, ආගමක හෝ සංවිධානයක සමාජ ප‍්‍රතිරූප ගැන ඔබත් මාත් බුද්ධිමත්ව විනිශ්චය කළ යුතුව ඇත්තේ ය. මක් නිසාද යත් ප‍්‍රභාකරන්ගේ පටන් ඔසාමා (ඔබ කැමති ඕනෑම නමක් මෙතැනට ආදේශ කර බලන්න) දක්වා ගොඩනැගුනු හැම ප‍්‍රතිරූපයක්ම සිය අභිමතාර්තයන් ඉටු කර ගැනීම පිණිස උපයෝගී කර ගත්තේ ඕබේත් මගේත් හදවතේ ඉතා සංවේදීම තැනක් වීම නිසා ය. එතැන සෙළවූ විට තමන්ගේ දෙමාපියන් පවා සතුරෙකු හෝ මිත්‍යා දෘෂ්ඨියෙක් බවට පත් කළ හැකිය. අන් අය ගැන කවර කතාද ? එවැනි සංදර්භයකදී මා සිතන, කරන, කියන හැම දේම සමගියට හානියක් නම් ඒ ගැන විමසා බැලිය යුතුයැයි මහත්මා ගාන්ධි පවසන දෙය කොතරම් අර්ථ සම්පන්න ද – එමෙන්ම ප‍්‍රායෝගිකද ?
එතුමා මෙසේද කියයි. ‘‘සතුන්ට සළකන ආකාරයෙන් රටක ජනතාවගේ උසස්කම ගැන විනිශ්චයකට එළැඹිය හැකිය.’’ එය ඉතා වැදගත් කියමනක් වන්නේ මිනිසාද සත්ත්වයෙක් බව මිනිසාට නිතර නිතර අමතක වන නිසාය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>