Contact us now +61(0) 433 638 610

Articles

ගරිල්ලා මාර්කටින්

Posted in ආකල්ප,කාලීන,ජීවිතය,සාහිත්‍ය by on June 10, 2014

g-marketing

- රන්දික විජේසිංහ

විකිණෙම්වා රැකෙම්වා…….

විකිණෙම්වා මියෙම්වා………

මේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාකටිං’ සිනමා පටයෙහි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංධ්වනිය හා සංගතවූ තේමා ගීතයයි. එයම මෙම නිර්මාණයෙහි ඇති ගැඹුර පිළිබඳ පේ‍්‍රක්ශකයාට ඉගි කරන බව අපට සිතේ. මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ සමාජ දේශපාලනික භූමිකාව පිළිබඳ විචාරයක් නොවේ. එය වෙනම සංවාදයට බඳුන් කළ යුත්තකි. එම නිසා මෙය නිර්මා-ණකරුවාගෙන් වියුක්තව නිර්මාණය ගැන කරන විචාරයක් බව පළමුව සඳහන් කරනු කැමැත්තෙමු. මනුෂ්‍ය සබඳතා, මනුෂ්‍ය ස්වභාවය හා මනෝ රෝග වැනි තලයන්හි සිට ගෝලීය ධනවාදය සමාජ ව්‍යූහයන් හා මිනිස් දේශපාලන සබඳතා කෙරෙහි ඇති කොට ඇති බලපෑම වැනි අතිශය ගැඹුරු තල දක්වා විහිදෙන මෙම නිර්මාණය කියවීමෙහි ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන මඳක් සොයා බලමු.

බාටා දෙක, සන්ලයිට් කෑල්ල, සිග්නල් එක, රින්සෝ යනු ශ‍්‍රී ලාංකීය සමාජය තුළ සෙරෙප්පු, රෙදි සෝදන සබන්, දන්තාලේප හා රෙදි හෝදන කුඩු වෙනුවට ආදේශ වී ඇති වචන කිහිපයකි. මෙවන් පද තවත් සියගණනක් ඇති අතර මේවා නිකම් අහසින් පාත් වූ වචන නොවන බව පැහැදිලිය. සාමාන්‍ය වචන වෙනුවට වෙළඳ නාම සම්මුතිගත වීම අහඹු ක‍්‍රියාවක් නොවේ. මේවා වෙළෙන්දන්ගේ නිර්මා-ණශීලී උපක‍්‍රමයන්හි ප‍්‍රතිඵලයි. යමක් මිලට ගන්නා අවස්ථාවක තෝරා ගැනීමේ අයිතිය තමාට ඇතැයි පාරිභෝගිකයා සිතයි. එහෙත් මෙය මතුපිටින් පෙනෙන මායාවක් පමණි. මෙම මායාවට යටින් ඇත්තේ වෙළෙන්දාගේ අදිසි හස්තය හා බලහත්කාරයෙන් අධිස්ථාපනය කොට ඇති වෙළඳ අධිකාරයයි. රෙදි සෝදන සබන් කැටයක් මිලදී ගැනීමට යන පාරිභෝගිකයා සන්ලයිට් කෑල්ලක් ඉල්ලීම මෙයට කදිම උදාහරණයකි. එතැනට පාරිභෝගිකයාගේ මනස අවිඤ්ඤාණිකව ගෙන යෑම මාකටිං හෙවත් අලෙවිකරණ කලාවේ අග‍්‍ර ඵලයයි. මහා පරිමාණයේ මාකටිං ව්‍යාපාර විසින් මනෝ විද්‍යාත්මක එනම් මිනිස් මනස වැඩ කරන ආකාරය පිලිබඳ පර්යේෂණයන්ට නොමසුරුව මුදල් වියදම් කරන්නේ සමාජය පිළිබඳ පතල වූ මහා කරුණාවෙන් නොවේ. බහුතරයක් වෙළඳ දැන්වීම්වල ‘නමින්ම ඉල්ලන්න’, ‘නම බලලයි ගන්න ඕන’, ‘නම නැත්තං වැඩක් නෑ’ වැනි වැකි පුන පුනා අපට ඇස්සවීම, යටි සිතට (ෆ්‍රොයිඞ්ගේ ආකෘතියට අනුව) යමක් කාවැද්දීමේ එක් ක‍්‍රමයකි. නමුත් පශ්චාත් නූතන මාකටිං කරුගේ මල්ලෙහි ඇති සූත්තර හා මෙවලම් මීටත් වඩා බොහෝ දියුණු එමෙන්ම සියුම් ඒවාය.

‘පශ්චාත් නූතනවාදය’ මැජික් වචනයක් ලෙස ශ‍්‍රී ලාංකීය සංදර්භය තුළ භාවිතා වනු අප දැක ඇත්තෙමු. මෙහි අර්ථය පිළිබඳව නිමක් නැති වාද විවාදත් ගුටි ඇන ගැනීමුත් නොඅඩුව ඇති අතර කැඩපත පාඨකයා වෙත වඩා සාකල්‍ය විවරණයක් සැපයීමට අප තීරණය කලෙමු. පශ්චාත් නූතන සමාජයක් හා නූතන සමාජයක් අතර මූලික වෙනස වන්නේ, නූතන ක‍්‍රමය තුළ ධනවාදී තර්කනයට එනම් වානිජකරණය නොවූ ප‍්‍රපංචයන් පවා පශ්චාත් නූතනවාදී ක‍්‍රමය තුළදී වානිජකරණය වීමයි. උදාහරණ ලෙස දැනුම, ආගම්, සංකල්ප, කලාව හා මේ සියල්ලටම වඩා වැදගත් පුද්ගල ප‍්‍රතිරූප වැනි දෑ ගත හැක. පශ්චාත් නූතන සමාජය තුළ සෑම දෙයකටම මිලක් ඇත. නූතන සමාජ ක‍්‍රමය තුළ මිලට ගත නොහැකි, මිල කළ නොහැකි හා මිල කිරීමට අවකාශයක් නොමැති බොහෝ ප‍්‍රපංචයන් පශ්චාත් නූතන ක‍්‍රමය තුළ මිලට ගත හැකි, මිල කළ හැකි හා මිල කිරීමට අවකාශයක් ඇති දෑ බවට පත්වේ.

විෂයන්හි දුර්වල සිසුන් පාසල නිම වූ පසු නවත්වාගෙන පාඩම් කියා දුන් ගුරුවරයා සතු මිල කිරීමට අවකාශයක් නොතිබූ දැනුම දැන් මිල කළ හැකි භාණ්ඩයකි. සිසුන්ට එම දැනුමට අත පෙවිය හැක්කේ ටියුෂන් කඩයට මුදල් ගෙවූ පසුය. සැදැහැත් සිතින් පන්සල් භූමිය තුලදී හාමුදුරුවන් දේශනා කළ මිල කළ නොහැකි බණ පද දැන් මිල කළ හැකි සංයුක්ත තැටි හරහා පාරිභෝගිකයාට ලැබේ. ඒවා මිලදී ගෙන ආඩම්බරයෙන් එකතු කිරීමටත් අන් අයට පෙන්වා සතුටු වීමටත් පාරිභෝගිකයාට හැකිය. ජංගම දුරකථන හරහා රුපියල් පහක් ගෙවා විනාඩි දෙකක බණ පදයක් ඇසීම වැනි සේවා ශ‍්‍රී ලාංකීය දුරකථන සේවා ආයතන තුළ ස්ථාපිත වී ඇත්තේ මෙම සංදර්භය තුළය. සංස්කෘතික හා ආධ්‍යාත්මික හරයන් පමණක් තිබූ කලා නිර්මාණ මත දැන් මිලක් ඇත. මෙහි ඵලයක් ලෙස කලාකරුවන් අතින් නිර්මාණ වෙනුවට යන්ත‍්‍රානුසාරී නිශ්පාදනයන් බිහි වේ. මේ සියල්ලටම වඩා පුද්ගල ප‍්‍රතිරූප මිලදී ගැනීමට මෙම ක‍්‍රමය තුළ ඉඩ සලසයි. ඔබට ගායකයෙකු , නළුවෙකු, ආචාර්යවරයෙකු, රොකට් ඉංජිනේරුවෙකු, දේශපා- ලඥයෙකු, සැදැහැවත් බෞද්ධයෙකු හෝ ඔබ කැමති ඕනෑම ප‍්‍රතිරූපයක් බවට පත් විය හැක. අවශ්‍යවන්නේ එයට නියමිත මිළ ගෙවීම පමණි. විශාලම ගැටළුව වන්නේ මේ අයිසිං කිරීමක් පමණක් වීමය. ලොව වෙනස් කිරීමත් සාමයත් ගැන ගයන ගායකයා පාරේ සිටින හි`ගන්නන් යට කරගෙන වාහන පැදවීම, සැදැහැවත් බෞද්ධ උපාසකයා දැරිවියන් දූෂණය කිරීම, රොකට් ඉංජිනේරුවන්ට දෙකයි දෙකයි එකතු කිරීමට නොහැකි වීම වැනී සමාජය මවිත කරවන සිදුවීම් සිදුවන්නේ බොහෝ විට අයිසිං තලයට යටින් කේක් ගෙඩි වෙනුවට පුස් කෑ වේළුණු පාන් බාග ඇති නිසාය.

මෙම අයිසිං කිරීමේ භාරදූර කාර්යත් මාකටිං කරුවාගේ ගිණුමට බැරවේ. ගරිල්ලා මාකටිං සිනමා පටය වෙළඳ දැන්වීම් ආයතනයක සේවය කරන තිසර, ජනාධිපති අපේක්ෂක ග්‍රෙගරි මහ අධිකාරම් ගේ ඡන්ද ව්‍යාපාරයට උරදීමේ සිද්ධි මාලාවක් වටා ගෙතී ඇත. වෙනත් විදියකින් කිවහොත්, තිසරගේ වගකීම වන්නේ ග්‍රෙගරිව ‘මාකට්’ කර විකිණීමයි. මේ සඳහා තිසර ගරිල්ලා මාකටිං යන ක‍්‍රමවේදය යොදා ගනී. ගරිල්ලා මාකටිං පළමුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තම භාණ්ඩ මාකට් කිරීම සඳහා යොදා ගත් ක‍්‍රමයකි. අඩු වියදමකින් වඩා නිර්මා-ණශීලී ලෙස භාණ්ඩය පිළිබඳ කුතුහලය ඇතිවන අයුරින් මේවා නිර්මාණය වූ අතර එය පාරිභෝගිකයාට නවමු අත්දැකීමක් විය. නමුත් පසු කලෙක එම ක‍්‍රමය දැවැන්ත ව්‍යාපාර විසින් වැලඳගන්නා ලද අතර එනයින් එහි විශාල පරිණාමයක් සිදුවිය. තිසර යොදා ගන්නේ මෙසේ පසුව එකතු වූ ක‍්‍රමයි. ඔහු ග්‍රෙගරි මහ අධිකාරම් ගැන කට කතා මෙහෙයුමක් දියත් කරයි. ග්‍රෙගරි ගැන සෑදූ කටකතා සියයක් තම මාකටිං හමුදාව හරහා පතුරුවා හරී. මේවා ග්‍රෙගරි ගැන මානුෂීය කථා පණහකිනුත් වීර කථා විස්සකිනුත්, දැහැමි කථා විස්සකිනුත්, විහිළු කථා දහයකිනුත් සමන්විත වේ.

චිත‍්‍රපටයේ ග්‍රෙගරි මහ අධිකාරම්, තිසර හට පවසන පහත දෙබස් වෙත අපගේ අවධානය යොමු කරමු.

‘ඔය මහජන මතය කියන එක තියෙනව නේද ? ඒක හරියට පරණ බංගලාවක තිබුණාය කියලා කියන අවතාරයක් වගේ. කවුරුත් ඕක දැකපු කෙනෙක් නෑ, හැබැයි හැමෝම ඕකට බයයි. හැබැයි මම නං ඕකට දැන් බය නෑ. මොකද මහජන මතය කියන අවතාර හදන්න ඇඞ්වටයිසින් ෆර්ම්ස් වලටත් පුළුවන් නිසා.’’
‘‘මට වෙලාවකට අපි දෙන්නා ගැනම දුකයි අයිසේ තමුසේ නැට්ටුවෙක් වෙන්න හීන මවපු කෙනෙක්. මම ඩාන්ස(ර්) කෙනෙක් වෙන්න හීන මවපු කෙනෙක් නොවුනත් මම ඩාන්ස(ර්) කෙනෙක්. අන්තිමට තමුසේ වෙළෙන්දෙක් උනා. මම ලොකු කඩයක් උනා.’’

ශ‍්‍රී ලාංකීය පශ්චාත් නූතන සමාජ ව්‍යුහය, මෙතරම් තියුණු ලෙස විනිවිදි දෙබස් ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් බව අප විශ්වාස කරමු. මේ විකුණන, විකිණෙන සමාජයක යථාර්තයයි. මහජන මතය යනු ජනමාධ්‍ය හා වෙළඳ දැන්වීම් ආයතන හරහා මිළදී ගත හැකි භාණ්ඩයකි. මාධ්‍ය ආයතන වලට රිසි විට රිසි අයුරින් මහජන මතය නිර්මාණය කිරීමත්, විනාශ කිරීමත්, කළ හැකි බවට තරු වැඩසටහන් හොඳ උදාහරණයකි. සාමාන්‍ය වැසියන් එක් රැයින් ජන ගග කළඹන තරු බවට පත් කළ ආකාරය ඔබට මතක ඇතුවා නිසැකය. නිරීක්ෂණයට බඳුන් කළ යුතු වන්නේ, තම වෙළඳාම කරගත් පසු මෙම මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරයත්, ක්ෂණික තාරකාවන්ගේ ගමන් මාර්ගයත්, මහජන මතයත්ය. එවන් බොහෝ තරු අද වැලේ වැල් නැති ජීවිත ගත කරන බව නොරහසකි.

සියල්ලෝ වෙළෙන්දෝය, සියල්ලෝ පාරිභෝගිකයෝය. සමාජයේ සියළු ඒකක වරින් වර භාණ්ඩ, වෙළෙන්දා හා පාරිභෝගිකයා යන චරිතයන්ට මාරුවේ. තරු වෙළඳ භාණ්ඩ වීය, මාධ්‍ය ආයතන වෙළෙන්දාගේ භූමිකාවට අවතීර්ණ වී තරු මාකට් කළෝය, අපි පාරිභෝගිකයන් වී ඒවා මිලදී ගතිමු. භාණ්ඩ වල ඉල්ලූම අඩුවන විට වෙළෙන්දෝ අළුත් භාණ්ඩ කඩයට ගෙන ආවෝය. ජනයා සතුටින් අධික මිලක් ගෙවා එස්.එම්.එස් යවමින් නැවත පාරිභෝගික භූමිකාව රගපා හිස් බඩම නින්දට ගියෝය. එසේම නැට්ටුවෙක් වීමට සිහින මැවූ තිසරට අන්තිමට සිදුවන්නේ වෙළෙන්දෙක් වීමටයි. සිත්තරෙකු වන්නට සිහින මවන්නාට වෙන්නේත් වෙළෙන්දෙක් වීමටයි, ලෙඩුන් සුවපත් කරන්නට, ලේඛකයෙකු වන්නට, කලා කරුවෙකු වන්නට, ලෝකයට යහපතක් කිරීමට සිහින මවන්නනුත් අවසානයේදී නවතින්නේ වෙළෙන්දන් බවට පත්ව ය. පිනට බෙහෙත් දුන් වෙද ගෙදර වැනි සංකල්පයක් ගැන පශ්චාත් නූතන සමාජයකට සිතා ගැනීමටවත් නොහැකි වී ඇත්තේ මේ නිසාය. ග්‍රෙගරිගේ පහත දෙබස බලන්න

‘‘අයිසේ තිසර අපි සංස්කෘතිය ආරක්ෂා කොර ගන්ට නම් අපි ඒක විකුණන හැටි දැන ගන්ට ඕනේ.’’

විකිණෙන දෙයකට පැවැත්මක් නැත. විකිණීමට බැරි දැනුම මිළදී ගැනීමට කිසිවෙකු කැමති නොවේ. තවත් අයුරකින් කිවහොත් විකිණීමට බැරි දෑ ඉගෙන ගැනීමට කිසිවෙකු කැමති නොවේ. ඉතිහාසය, කලාව, තර්ක ශාස්ත‍්‍රය, දේශීය වෙදකම ආදියට අත් වී ඇති ඉරණම මෙය යැයි අපට සිතේ. බඩවියත රැක ගැනීමට නම් තමා මිළ අධික භාණ්ඩයක් බවට පත්විය යුතුය. තමා මිළදී ගන්නා (රැකියාවට බඳවා ගන්නා) වෙළෙන්දාට නැවත වැඩි මිළකට විකිණිය හැකි භාණ්ඩයක් විය යුතුය. ග්‍රෙගරි ශරීර සුවතාවය සඳහා දුවන අතර තිසර මුණ ගැසීමට පැමිණේ.

තිසර ඃ මං මේ අහන්ඩ හැදුවේ ඔය දුවන එකේ තේරුම මොකද්ද කියලා ?
ග්‍රෙගරි ඃ කෙනෙක් දුවන්නේ කවුරු හරි එයාව ලූහුබඳින නිසා. එක්කෝ ඒ කොලෙ ස්ටරෝල් වෙන්න පුළුවන්, එහෙම නැත්තං ඒ වෙනත් හතුරෙක් වෙන්න පුළුවන්. හතුරා ප‍්‍රබල වෙන තරමටම අපි ධාවන ශූරයෝ වෙනවා.
තිසර ඃ හරියටම හරි සර් සිංහයන් විසින් ගොදුරු කරගන්නා තරමටම මුවන්ගේ ධාවන වේගය වැඩිවනවා වගේ.

පාඨකය,මේ ඔබත් අපත් දුවන දිවිල්ල නොවේද ? හුස්මක් කටක් නොගනිමින්, නැවතී බැලීමට අවකාශයක් නොලබමින්, සමාජ ක‍්‍රමය නැමැති අදෘෂ්‍යමාන ප‍්‍රබල සිංහයාට බිය වී මුවන් මෙන් වල්මත්ව දුවන්නේ මේ දිවිල්ලම නේද ? විකිණෙම්වා රැුකෙම්වා……. විකිණෙමු රැකෙමු. විකිණෙම්වා මියෙම්වා……… විකිණෙන විට හර පද්ධතීන්, සංවේදීතාවය, හෘද ශාක්ෂිය සහිත මිනිසා මිය යනු ඇත. දයාබර කැඩපත පාඨකය එය සිදුවීමට අප ඉඩ තැබිය යුතුද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>