Contact us now +61(0) 433 638 610

Articles

හෙට දවසට අපට කළ හැකි දෙයක් නැත

Posted in කාලීන by on August 4, 2014

දහනම වන සියවසේ මුල් කාලයේදී පමණ ලංකාවට ආනයනය කෙරුණු ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රය එකල ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ කතා කරන මැෂිම ලෙසයි. නාගරික ධනවත් සමාජයේ සුවිශේෂී ගෘහ භාණ්ඩයක් බවට පත්ව තිබුණු මෙම යන්ත‍්‍රය සිංහල ගීත ගායකයන්, සංගීතඥයන් සහ රසිකයන් අතර සම්බන්‍ධයක් ඇති කල මුල්ම අතරමැදියා විය.

නූර්ති හා නාඩගම් නරඹමින් දෘෂ්‍ය රසවින්දනයත් ශ‍්‍රව්‍ය රසවින්දනයත් ලබමින් සිටි රසිකයන් ග‍්‍රැමෆෝන් යන්ත‍්‍රයෙන් මෙම නූර්ති හා නාඩගම් ගී රස වින්දනයට පටන් ගන්නවාත් සමගම දෘශ්‍ය රසවින්දනයෙන් ඈත් වී ගියේය. මෙම ග‍්‍රැමෆෝන් තැටිවල ඉල්ලූම ඉහළ යෑම සිදුවුණ අතර නව වෙළඳපළක් බිහිවීමේ ප‍්‍රවණතාවයද ඇතිවිය.

වේදිකා නට්‍යයෙන් ඇරඹුණු නව සන්නිවේදන ක‍්‍රියාදාමයට ග‍්‍රැමෆෝනයද එකතු වී වැඩි කල් යන්නට මත්තෙන් 1924 ජූනි මස 27 වන දින ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි විසින් ලංකා ඉංජිනේරු සංගමය අමතා කළ කතාවක් ප‍්‍රචාරය කරමින් විදුලි සන්දේශ හා දුරකථන සේවා ප‍්‍රධාන ඉංජිනේරු ඊ. හොන්ටර් මහතා විසින් ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කරන ලදී. මේ සමගම ගුවන් විදුලි යන්ත‍්‍ර ආනයනය ආරම්භ වීමත් මෙතෙක් කල් සුවිශේෂී ගෘහ භාණ්ඩයක් වූ ග‍්‍රැමෆෝනය මුල්ලකට තල්ලූවී ගුවන් විදුලි යන්ත‍්‍රයට ඒ තැන ලැබීමත් සිදු විය.

උස ගස් දෙකක ඇද තිබුණු වයරයක් මැදින් සම්බන්‍ධ කළ තවත් වයරයක් ගුවන් විදුලි යන්ත‍්‍රයට සම්බන්‍ධ කර ගැනීමෙන් ගුවන් විදුලි තරංග ලබා ගත් අතර මෙම ඒරියලය ගුවන් විදුලියට සම්බන්‍ධ වීමට පෙර ස්විචයක් හරහා සම්බන්‍ධ වීමක් සිදු විය. හෙණ වදීවි යැයි බියෙන් යන්ත‍්‍රය ක‍්‍රියාත්මක නොකරන විට ස්විචය විසංධි කරන අතර යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කරන විට පමණක් මෙය සම්බන්ධ කරනු ලැබේ. මුල්ම ගුවන් විදුලි යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරනු ලැබුවේ බැටරියකින් ලබා ගත් බලයෙනි. මෙම යන්ත‍්‍ර සියල්ලක්ම කපාට හෙවත් වෑල්ව් යන්ත‍්‍ර විය.

ලංකාවේ සංගීතය සමාජ අත්දැකීමක් කරන්නට දායක වූ මුල්ම ආයතනය වූයේ ගුවන් විදුලිය යි. ග‍්‍රැමෆෝන් තැටිය කාට කාටත් ලබාගත නොහැකි දෙයක් වන විට සංගීතයේ මුල්ම ආඥාදායකයා වූ ගුවන් විදුලි Valve යන්ත‍්‍ර වලින් සිදුකෙරුණේ විද්‍යුත් ධාරාව නියතව තබාගෙන වෝල්ටීයතාවය විචල්‍ය කිරිමය. මේ නිසාම මෙම යන්ත‍්‍ර වලින් ප‍්‍රතිනිෂ්පාදනය වූ සංගීතය Bass හඬකින් යුක්ත විය. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ද හුරුවූයේ Bass කටහඬවල් වලටය. ගායිකාවන්ගේ කටහඬවල් අභිබවමින් ගායකයන් ගේ කටහඬවල් මතුවූයේත් ගායකයන් ජනප‍්‍රිය වුයේත් මේ නිසාවෙනි.

මේ තත්වය යටතේ තුන් කේන්ද්‍රීය බලවේග කට්ටලයක් නිර්මාණය කිරීම සිදුවුනා.

  • රේඩියෝව
  • ගුවන් විදුලි ආයතනය
  • ගායකයා /ගායිකාව

මෙයින් රේඩියෝව යන්ත‍්‍රයක් වීම නිසා එය මොහොතකට පැත්තකින් තියමු. දෙවැනි කේන්ද්‍රය වන ගුවන් විදුලි ආයතනය ගැන සිතූ විට එහි තීරණ ගන්නා නිලධාරීන් ඉංග‍්‍රීසි යටත් විජිත අධ්‍යාපනයෙන් ශික්‍ෂණය ලැබූ අය. මොවුන් යටතේ සංගීත පාලනය කරන්නට පත්වූයේ උත්තර භාරතීය හෝ දක්‍ෂිණ භාරතීය සංගීතයෙන් ශික්‍ෂණය ලැබූ සංගීතවේදීන් නිසා අපේ ගුවන් විදුලියේ මුල් යුගය උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ලක්‍ෂණ අනුගත වූ එකක් වීම සිදුවුණා. මෙයින් සිදුවුණේ තුන්වන කේන්ද්‍රය වන ගායක ගායිකාවන් ද උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ගී තනු වලට ගීත ගායනා කිරීම ය. ඉන් ද කටහඬ පුහුණු කිරීම බුද්ධිමය ඵලයක් ලෙස තීරණය කිරීමත් සමගම දැනුමක් ඇති ගායක ගායිකාවන් සහ දැනුමක් නැති ගායක ගායිකාවන් ලෙස වර්ගීකරණයක් ඇති වුණා.

ගුවන් විදුලි ආයතනයේ ශ‍්‍රම දායකයන් වූයේ අපේ ගායක ගායිකාවන් ය.

ගායිකාවන්ගේ කටහඬ නම් ශ‍්‍රමය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වුයේ ගුවන් විදුලියේ වෙළඳ සේවය ආරම්භ වීමත් සමගම ය.

භාණ්ඩ හා සේවා ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන ගුවන් විදුලියේ වෙළඳ සේවා දායකයන් බවට පත්වීමත් සමගම වෙළඳ ගුවන් විදුලියේ ආධිපත්‍ය වක‍්‍ර ලෙස පාලනය කරනු ලැබුවේ මෙම සේවාදායකයින් විසිනි. මෙතෙක් නිහඬව පැවති ගායක ගායිකා ශ‍්‍රමය තුළ ජෝතිපාල / මිල්ටන් යුගයක් බිහි වූයේ මේ තත්වය මතය.

උත්තර භාරතීය ශික්ෂණය ලැබූ කටහඬවල් පරදා උත්තර හෝ දක්‍ෂිණ භාරතීය ගී තනුම ගායනා කරමින් ඉන්දු ආභාශය නොලැබූ ජෝති – මිල්ටන් ගීත ශ‍්‍රාවකයන් තුළට ගෙන ගියේ ගුවන් විදුලි ආධිපත්‍යය තුළට රිංගා ගත් සේවාදායක අනු ආධිපත්‍යය මගිනි. ප‍්‍රබුද්ධ හා අප‍්‍රබුද්ධ ලෙස ගායක ගායිකාවන් වෙන් කරන අප කවුරුත් තාමත් නොදන්නා මායිමක් නිර්මාණය කරන ලද්දේ මේ යටතේ ය.

මා කලින් සඳහන් කළ තුන් කේන්ද්‍රීය බලවේගයෙන් ගුවන් විදුලි ආයතනයත් ගුවන් විදුලි යන්ත‍්‍රයත් ඈත් වීමට හේතු වූයේ ට‍්‍රාන්සිස්ටරය සොයාගැනීමත් සමගය. මේ නිසා නිර්මාණය වු කැසට් රෙකෝඩරය ගුවන් විදුලියේ අධිපත්‍යය බිඳීමට හේතු වූ ප‍්‍රධාන බලවේගය විය. 70 දශකයේදී ගීතයේ ආධිපත්‍යයත් ගායක ගායිකාවන්ගේ කටහඬ නැමති ශ‍්‍රමයත් පාළනය කළ ප‍්‍රධාන සාධකය වන්නේ කැසට් පටි නිශ්පාදන ආයතන ය. ප‍්‍රබුද්ධ අප‍්‍රබුද්ධ ලේබලය යටතේ ගුවන් විදුලියෙන් එළවා දැමූ ජෝතිපාල – මිල්ටන් – ප්‍රෙඞී – ඇතුළු බොහෝ ගායක ගායිකාවන්ගේ කටහඬ ශ‍්‍රමය කැසට් පට නිශ්පාදකයන් විසින් උදුරා ගැනීම සිදුවන්නේ 70 දශකය තුළ ය. මේ තත්වය යටතේ ගුවන් විදුලියට සිදු වන්නේ කැසට් පට නිශ්පාදන ආයතනවල Master පටය ගුවන් විදුලියට රැගෙන එන ලෙස ගායක ගායිකාවන්ට වක‍්‍ර ලෙස ආරාධනා කිරීමයි. මේ ආරාධනාව යටතේ පවා ගුවන් විදුලි නිලධාරීන් මෙම Master පටය අසා ගීත අනුමත කිරීමේ බලය තමන් ළගම තබා ගන්නා ලදි.

Stereo යන්ත‍්‍ර පැමිණීමත් සමගම තාක්‍ෂණයේ තවත් පැත්තක් නිර්මාණය වුණත් අපේ පටිගත කිරීමේ මැදිරි වල නියම Stereo පටිගත කිරීම් සිදුවුණේ නැහැ. අපේ ශබ්ද පටිගත කිරීමේ ශිල්පීන් ශබ්දයේ දිශාව මිසක් ගැඹුර ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ලංකාවේ ගීතයක සියළුම සංගීත භාණ්ඩ අභිබවමින් කටහඬ ප‍්‍රමුඛ වීම් සිදුවුණා. මෙය ගායක ගායිකාවන්ගේ පුද්ගලික ජනප‍්‍රියත්වයට හොඳ දෙයක් වුවත් නාද සංකලනයට හොඳ දෙයක් නොවෙයි.

ගුවන් විදලියේ ආධිපත්‍යයත් කැසට්පට වල ආධිපත්‍යයන් බිඳීමට හේතු වූ තවත් දෙයක් නම් 80 දශකයේ අපට ලැබුණු රූපවාහිනිය යි. ගායක ගායිකාවන්ට රූපය වැදගත් වූයේ මෙතැන් සිටයි. සංගීතයට කණ පමණක් නොව ඇස ද අවශ්‍යවන්නට පටන් ගත්තා. ප‍්‍රසාංගික කලාවක ආරම්භයත් ඒ සමගම සිදුවුණා.

පුද්ගලික ගුවන් විදුලි සේවාවන් ආරම්භ වීමත් සමගම ගුවන් විදුලි සමාගම්වල ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටීම සිදුවුණා. ශ‍්‍රවණය තම මූලික වෙළඳපොල කර ගනිමින් සීමා මායිම් වැටකොටු බිඳ දමමින් අළුත්ම ගායක ගායිකා පරපුරක් බිහිකිරීම සිදුවනුනේ මෙම පෞද්ගලික ගුවන් විදුලි ආයතන හා රූපවාහිනී ආයතන මගිනි.

Karaoke ශෛලියත් DJ හා Remix ශෛලියත් බිහිවීම සමගම ගායක ගායිකාවන්ගේ කටහඬ ශ‍්‍රමය තුට්ටු දෙකේ නිශ්පාදන භාණ්ඩයක් බවට පත්වුණා.

ආනන්දයෙන් ආරම්භ වී ප‍්‍රඥාවෙන් කෙලවර විය යුතු කලාව තාක්‍ෂණය නිසා ප‍්‍රමෝදයෙන් ආරම්භ වී පිස්සුවෙන් කෙළවර වන තත්වයට පත් වන්නේ මේ සමගයි. දැන් ගායක ගායිකාවන් ලෙස ස්ථාන ගත වූ ප‍්‍රවීණ උගත් ශිල්පීන් අපට අවශ්‍ය වන්නේ නැහැ. වාදක මණ්ඩලයට ප‍්‍රවීණ දක්‍ෂ ශිල්පීන්ද අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙකු අතරත් ගායක ගායිකාවක හෝ වාදක ශිල්පීන් අතරත් කිසිම වෙනසක් අනාගතයේදී අපට දකින්නට වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් තව වසර 10ක් ඇතුළත Music කියල දෙයක් ගැන කිසිවෙකුත් කතා කරන එකක් නෑ. කතා කරන්නේ Sound ගැන Sound Equipment ගැන EQ ගැන. ීSound Processor, Sound Gate ගැන DJ ගැන Remix ගැන Sound Tracks ගැන.

වාදක මණ්ඩලය නැතුව සංගීතය පටිගත කරන්නට පුළුවනි. හඬ පරිපාලන ශිල්පීන් නැතුව – Sound Track හදන්න පුළුවනි. කොටින්ම කියනවා නම් ගීතයක අයිතිකාරයෙක් – රචකයෙක් – ගායකයෙක් ගැන හිතන්නට අවශ්‍ය නැහැ. ගීත සාහිත්‍යය i phone එකක විහිලූවක් පමණයි. අවශ්‍ය වන්නේ Sound Menu එක විතරයි.

i phone එක tablet එක වගේ නූතන තාක්‍ෂණය යටතේ පරිගණකය මගින් නිර්මාණය වන්නේ Techno Music. කටහඬවල් පවා මේ මගින් නිර්මාණය වේවි.

ගුවන් විදුලිය තුළත් කැසට් පටි වලත් CD තැටි වලත් මහා යෝධයන් වු පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායකයන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලනියන් ඇතුළු අපේ ප‍්‍රවීණයන් රූප මාධයය තුළ යෝධයන් වූයේ නැත. වර්තමාන සුපිරි තරු සංස්කෘතිය තුළ දෘශ්‍ය මාධ්‍යයේ යෝධයන් වන්නේ වසරක් පාසා බිහිවන හිස් සුපිරි තරු ය. i phone වල Sound Menu වල වීරයන් වන්නේද ඔවුන් ය. අද වීඩියෝ පටයක් නැතිව ගීතයක් ජනප‍්‍රිය වන්නේ ද නැත.

හෙට දවසේ සංගීතයක් – ගීතයක් – ගීතයේ අන්තර්ගතයක් ගැන කිසිවෙකුත් අසන්නේ නැත. ඔවුන් අසන්නේ සංගීතය නොව ශබ්දයයි. මේ ශබ්දය තුළ කලකරුවෝ අවතැන් වනු ඇති.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>