Contact us now +61(0) 433 638 610

Articles

“I Think. Therefore I am.” ද ?

Posted in ආකල්ප,කාලීන by on August 13, 2015

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

සිංහල භාෂාවේ “ම”යන්න යනු හරි අපූරු අකුරකි. ඒ එය “මම” කියා ලිවීමට භාවිතා කළ යුතු නිසාම නොවේ. ‘ම’යන්න ලිවීමේදී එහි මුල් අර්ධය දක්ෂිණාවර්තවත් දෙවෙනි අර්ධය වාමාවර්තවත් හරි හරියට කැරකැවිය යුතු ය. එහි අවසාන ප්‍රතිඵලය මයන්න වුවද යමක් දක්ෂිණාවර්තවත් ඊට සමානවම වාමාවර්තවත් භ්‍රමණය වූ කල්හි අවසන් සම්ප්‍රයුක්තය ද්‍රව්‍යයක මතු නොව ක්‍රියාකාරිත්වයක පවා ශුන්‍යත්වය ගැන කෙරෙන ඉගියක් නොවේ ද ?

“මම සිතමි. එබැවින් මම ඇත්තෙමි.”

“I Think. Therefore I am.”

බටහිර දර්ශනය ගොඩනැගීමට මූලික වූ අත්තිවාරම හැටියට සැළකිය හැකි ඉහත කියමන 1637 දී රෙනේ ඩෙකාර්ට්ස් (Rene Descartes) ගේ Discourse on the Method නැමති කෘතියේ දක්වා ඇත. ඔහුගේ කෘතියේ දක්වා ඇති කරුණු තවදුරටත් සරලව දක්වතොත්, “මම සිතමි. එහෙත් මම නොසිටිමි” කියා කීමටද නොහැකි ය. මක්නිසාද යත් “එයද මා සිතා ඇති හෙයිනි.” එසේම “නිදාගත් විට මම නොසිතුවෙමි. එබැවින් මම නොසිටියෙමි.” කියා කීමටද හැකියාවක් නැත්තේ නින්දෙන් අවදි වූ කල්හි නින්ද ගැන සිතිය හැකි නිසා ය.
René_Descartes

පසුකාලීනව ඩෙකාර්ට්ගේ ඉහත මූලධර්මය නානාප්‍රකාර අර්ථකතන සහ විවේචනයන්ට ලක් වූ අතර ෆෙඩ්රිචි නිට්ෂේගේ ප්‍රකාශය ඒ අතරන් ඉතා වැදගත් එකකි. නිට්ෂේට අනුව ඩේකාර්ට්ට “I Think” යන්න ඔප්පු කළ නොහැකිය. ඒ වෙනුවට ඔහු කිව යුතුව තිබුණේ “There are thoughts” යනුවෙන් බව නිට්ෂේගේ අදහස ය. අපගේ වැටහීමට අනුව ඩෙකාර්ට් නිවැරදි නම් සිතත්, කයත් දෙකක් නොව එකක් විය යුතු ය. පෙරදිග දර්ශනයන්ට (බුදු දහමට) අනුව සිතත්, කයත් පමණක් නොව සිත (චිත්ත) හා සිතුවිලි (චෛතසික) යනුවෙන්ද දෙකොට්ඨාසයක් ඇත. ඒ අනුව ගත් කළ දාර්ශනිකව ඩෙකාර්ට්ට වඩා නිට්ෂේ අපට සමීප ය. එසේම බොහෝ කාලයක් අපට අසන්නට ලැබුණු නිසාත් ඒ අනුව සිතන්නට වූ නිසාත් “මම, මගේ, මගේ ආත්මය” යනුවෙන් ගත හැකි දෙයක් නැති බව (අනාත්මය ගැන) සිතීම අපට පහසු ය. එමෙන්ම සමීප ය. එහෙත් අපට ඒ සංකල්පය තවමත් දැනීම් මාත්‍රයක් පමණ ය. එමෙන්ම හැගීම් මාත්‍රයක් ද පමණ ය. කෙසේ වෙතත් මමද අනාත්මය වෙනුවෙන් පෙනී සිටින්නට කැමති වෙමි. “මම” කියා කෙනෙක් නැති බව තර්ක කර ඔප්පු කර පෙන්වන්නට ද පසුබට නොවෙමි. කලක්, ඩෙකාර්ට් යනුවෙන් කෙනෙක් නොසිටියා නම් මැනවැයි කියා සිතන්නට තරම් කලක් අප නරුමවාදී වූ බවද මෙහිදී නොකියාම බැරිය.

ඉහත කරුණු සියල්ලම දැක්වූයේ “මම” ගැනම කියන්නට ය. නැතිනම් අදටත් මට වරදින දෙයක් ගැන කියන්නට ය. මෙහි වඩාත් හාස්‍යජනක කාරණය වන්නේ හෙටත් මෙහිදී මට වැරදෙන්නට තිඛෙන අවකාශය වැඩි වීමය.
වැටුප්, තනතුරු, වරප්‍රසාද, වරදාන, යාන වාහන, ගෙවල් දොරවල් යනාදී එකී නොකී සියල්ල මට අවැසි ය. ළදරු වයසේ සිට නව යොවුන් විය දක්වාම අන් අයට වඩා රසවත් කෑම, බීම සහ ආදරය යනාදිය ද මට අවැසි විය. අදටත් විභාගයකදී හෝ ක්‍රීඩාවකදී අන් අයට වඩා ලකුණු ගන්නට මට අවශ්‍ය ය. එසේම අන් අයට වඩා සුදුසුකම් ද මට අවැසි විය. මේ දැක් වූ කරුණු සියල්ල ඒබ්‍රහම් මාස්ලෝගේ “ධුරාවලි අවශ්‍යතා න්‍යාය” යේ (Hierarchy Needs Theory) පහළින්ම දක්වා ඇති ශාරීරික, ආරක්ෂක සහ සාමාජීය අවශතා (Physiologocal Needs, Safety/ Security Needs, Social/ Love/ Belonging Needs) වලට අදාලය.

කුසගින්නේ සිටින අයෙකුට දාර්ශනික න්‍යායන් ගැන දේසනා කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. ඒ නිසා එකිනෙකා අනෙකා පරයා (මාද ඇතුළුව) මෙම අවශ්‍යතාවන් සාක්ෂාත් කර ගැනීමට දරන්නා වූ උත්සාහය දෙස සානුකම්පිතව බැලීමට බැරිකමක් අපට නැත. එහෙත් බරපතල වැරදි සිදුවන්නේ මෙතැනින් ඉදිරියට යාමේදී ය.

ඉහත දැක්වූ ප්‍රාථමික අවශ්‍යතාවන් සම්පූර්ණ වූ කල්හි කෙනෙකුට ඊළගට අවශ්‍ය වන්නේ ද්විතීයික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම ය. මාෂ්ලෝ ඒවා සම්මානනීය සහ ආත්මපූරක අවශ්‍යතා ලෙස හදුන්වයි. “මම” යන හැගීම ඉතා බරපතල ලෙස කරළියට එන්නේද මෙකී ද්විතීයික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී ය. එනම් මාත් “පොරක්” වීමට යාමේදී ය. ලොකු ලොකු වැඩ කරන මිනිසුන් ගැන මදක් විමසා බලන්න. ඔවුහු කවර හෝ දෙයකින් පොහොසත් අය වෙති. එක්කෝ ඔවුන්ට මුදල් ඇත. නැත්තම් බලය ඇත. එසේත් නැත්තම් නටන්න, ගයන්න, ලියන්න, කියන්න, අදින්න ආදී වූ කවර හෝ දක්ෂතාවයකින් පොහොසත්හු වෙති. ධනය සහ බලය යන මූලික අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගත් පසු ඇතැම් මිනිස්සු සිය ද්විතීයික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට “පිස්සු කෙළින” ආකාරය බොහෝ දෙනාට රහසක් නොවේ.
එයාකාරයෙන්ම කිිසියම් දක්ෂතාවයකින් පොහොසත් වන විටද එබඳු බොහෝ අය ධන බල ඇති අයට නොදෙවෙනි ආකාරයෙන්ම “පිස්සු කෙළින” බව බොරුවක් ද ? අතීතයට හොරෙන් එබිකම් කර බලන කල්හි සම්මානනීය “පොරක්” වෙන්න අප ද නොගිය මගක් නැති තරම් ය. දේශපාලනය, ක්‍රීඩාව, ආගම-ධර්මය, තනතුරු තානාන්තර, කලාව ඉන් ධාරා කිහිපයකි. “මම, මගේ, මගේ ආත්මය” කියා දෙයක් නැතැයි අපි න්‍යායිකව අදහමු. එහෙත් ප්‍රායෝගික තළයේදී මගේ කෙරුවාව යම්තාක් දුරකට හෝ ඊට ඉඳුරාම ප්‍රතිපක්ෂ නොවූ බව කාගෙන් වසං කළද මගේම හෘද සාක්ෂියෙන් කෙසේ නම් වසං කරගනිම් ද ?

“තමා සිතන බව දැනගත් පළමු ප්‍රංශ ජාතිකයා ඩෙකාට් විය හැකි ද ?” යන්න ඩෙකාර්ට්ට විරුද්ධව බටහිරින්ම නැගෙන තවත් එක් චෝදනාවකි. ඩෙකාර්ට්ට වසර දෙදහසකට පෙර බුදුන් වහන්සේ අනාත්මය අර්ථදක්වන්නට යෙදුනේ ආත්මය අර්ථ දැක්වීමෙන් අනතුරුව ය. ඒ අනුව ඩෙකාට්ගේ දෘෂ්ඨිය සක්කාය දිට්ඨිය ය (එනම්ල පංච උපාදානස්කන්ධ – රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ – මම මගේ මගේ ආත්මය වශයෙන් ගැනීමයි). එසේ වූ පමණින් බුදු දහම අදහන අපිදු සක්කාය දිට්ඨියෙන් මිදුනු අය නොවෙමු. මක්නිසාද යත් සොවාන් වන තෙක් මේ දෘෂ්ඨියෙන් මිදෙන්නට නොහැකි බවට එහිම කරුණු සහිතව දක්වන නිසාය. අනෙක් අතට සෝවාන් වන “කෙනෙකු” වේ නම්, පෘතග්ජනයෝද සිටිය යුත්තා හ. බුදු දහමට අනුව සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් කියා ගත හැකි කිසිවක් නැත. ඇත්තේ ක්‍රියාකාරිත්වයක් පමණි. අප කළ යුතුව ඇත්තේ මේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම ය. එහෙත් පිහියකින් එම පිහියම කැපිය හැකි ද ? එසේනම් අපිට අපිව තේරුම් ගත හැකි බව පැවසීම කොතෙක් දුරට යුක්ති යුක්ත ද ?

කොතරම් රසවත් වුවද තර්කය චුයින්ගම් හා සමානය. කොහාට හැපුවත්, කොච්චර හැපුවත් එක තැන ය. තාවකාලික ස්ව්‍යංවින්දනයක් හැර ඉන් ලැඛෙන අවබෝධයක් නම් නැත. චුයිංගම් න්‍යාය අද අපට නොදිරවන්නේ ඒ නිසා වන්නට බැරි නැත. එබැවින් පිහියකින් එම පිහියම කැපිය නොහැකි මුත් සිතකට තවත් සිතක් දැකිය හැකි ය. මම “පොරක්” වෙන්නට දගලන දැගලිල්ල දැකගත හැක්කේද ඒ අයුරින් මා මා ගැනම විමසා බලන කල්හි ය.

කලකට පෙර ලංකාවේ පුවත්පතක පළ වූ අප ලියූ ලිපියක නම සඳහන්ව තිබුණේ වැරදියට ය. අප කළේ ඒ ගැන අප්‍රසාදය පළ කරමින් කර්තෘට ඉතා කර්කෂ ලිපියක් යැවීම ය. ආධුනික ලේඛකයෙක් වශයෙන් ලිපියක් පළ වූ විට ඒ ගැන ස්තූති පූර්වකව කර්තෘට ලිපියක් යැවිය යුතු බව අප ඉගෙන ගත්තේ ඊට වසර ගණනාවකට පසුව ය. තවත් අවස්ථාවකදී දිවා රෑ වෙහෙස වී විශේෂ උත්සවයක් සඳහා නාට්‍ය ගණනාවක් කුඩා දරුදැරියන්ට පුහුණු කළෙමි. නාට්‍ය උළෙල අවසානයේ හැමෝටම ස්තූතිය පුද කළ අතර නාට්‍ය ලියූ අප පැත්තක ය. ධර්මය පවා අධර්මය වන්නට පටන් ගත්තේ ඉන් පසුව ය. මෙබඳු සිදුවීම් සිය ගණනක් මතකයට නැගේ. මේ සිදුවීම් සිදුවන අතර වාරයේදී පවා අප පෙනී සිටියේ අනාත්මවාදී චින්තනය වෙනුවෙනි. එනම් “මා” කියා ගත හැකි කිසිවක් නැතිය යන චින්තනය වෙනුවෙනි. එසේ නම් මගේ නමේ අකුරක් අඩු වූ පමණින් හෝ මගේ නම නොකී පමණින් මට මෙච්චර “ඩෝං” යා යුතුව තිබුණි ද ? අනාත්මවාදයත් ආත්මවාදී වන තරමටම එකී “මම” ප්‍රබල ය. ධර්මය පවා අධර්මය වන්නේ මෙබඳු සන්දර්භයක් තුළ නොවේ ද ?

වටින් ගොඩින් එහෙන් මෙහෙන් කියන්නට තැතනූ කාරණයට දැන් අපි කෙළින්ම බසිමු. අපි කිසියම් දෙයක් (නිර්මාණයක්) කළා යැයි සිතමු. යමක් (නිර්මාණයක්) කර අවසානයේ සිදුවන්නේ කළ දේ යට කරගෙන ඒ දේ කළ කෙනා (නිර්මාණකරු) මතු වීම ය. අහම්ඛෙන් හෝ ඒ නිර්මාණකරු මම නම් ? නිර්මාණය ඇගයෙන්නට ඇගයෙන්නට මම “මං” මුළා නොවෙමි ද ? නිර්මාණය නිර්දය විවේචනයට ලක් වන විට මම කෝප නොවෙමි ද ? දැන් නිර්මාණය පැත්තක ය. “මා” නිර්මාණය යට කරගෙන ඉස්මතුව නැද් ද ? දැන් මගේ නිර්දය ගර්භාවට කලක් ලක් වූ බටහිර දර්ශනයට පදනම දැමූ ඩෙකාර්ට් හා මා අතර කවර නම් වෙනසක් ද ? කෙරුවාවෙන් ගත් කළ බටහිර දර්ශනයත්, වත්මන් පෙරදිග අපේ චර්යාවනුත් එකිනෙකට සමපාත නොවේ ද ?

“මම” කියා ලියන්නට නැතුවම බැරි සිංහල භාෂාවේ “ම” යන්න හරි අපූරු අකුරකැයි සිතෙන්නේ මෙකී “මම” ගැනම සිතන විට ය. දක්ෂිණාවර්තවත්, වාමාවර්තවත් හරි හරියට එක සමානව දෝලනය වන මෙයින් ශුන්‍යතාවය සංකේතාත්මකව නිරූපණය නොකරන්නේ ද ? අඩුතරමින් ලියනකොටවත් “මම”, “පොරක්” කර නොගැනීමට මට ‘ම’යන්න මහෝපකාරී කර ගත නොහැකි ද ? සියල්ල අවසානයේ “කළ දේ කුමක්ද” යන කාරණය “ඒ දේ කළේ කවුද” යන කාරණයට වඩා වැදගත් බව කවදා නම් “මා” හට වැටහෙනු ඇත් ද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>