Contact us now +61(0) 433 638 610

Articles

සංවාද – ජයතිලක කම්මැල්ලවීර

Posted in සාහිත්‍ය by on July 10, 2014

kammellaweera

සංවාද සටහන – මාලන් බණ්ඩාර කපුවත්ත



නිර්මාණ දිවිය තම දිවියේ කේන්‍ද්‍රය කරගත් ජයතිලක කම්මැල්ලවීරයන් ලාංකේය සාහිත්‍ය පෝෂණයෙහිලා අපට ලැබුණු සුවිශේෂී ලේඛයෙකි. මානව දිවියේ ඉසියුම් සම්බන්ධතා හා චිත්තා්‍යභ්‍යන්තරික හැසිරීම් ඉතා සූක්‍ෂමාත්මතාවයෙන් යුතුව ඉදිරිපත් කිරීමේ මනා හැකියාව ඔහුගේ නිර්මාණ හරහා විශද කර පෙන්වයි.

බසේ සංක්‍ෂිප්ත ගුණය කෙරෙහි වැඩිමනත්ම අවධානය කරන කම්මැල්ලවීරයන් පාඨක පරිකල්පනය හරහා ඉතිරිය සපුරා ගැනීමට ඉඩ සලසමින් නිර්මාණකරයේ නියැලෙමින් සිටී. ‘සෝබා’ කෙටිකතා සංග‍්‍රහය එය මනාව සපත කර පෙන්වයි. සංකේත බාහුල්‍යයෙන් ‘චුම්බන කන්ද’ නම් නවකතාව සම්මාන ගණනාවකට පාත‍්‍ර විය. ඔහුගේ අලූත්ම නවකතාව ‘ප‍්‍රින්ස්’ වන අතර ‘ඇස්’ කෙටිකතා සංග‍්‍රහය වේ.

දැනට ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර වෙසෙන කම්මැල්ලවීරයන් සමග සාහිත්‍ය හා බැඳි අධ්‍යයන තත්වයන් පිළිබඳ කැඩපත හා කෙරෙන සංලාපයකි මේ.

කෙටිකතා කරුවෙකු ලෙස, නවකතාකරුවෙකු ලෙස ඔබ කොහොම ද නිර්මාණය සහ නිර්මා- ණකරුවා යන ද්වය දකින්නේ ?
සමාජයේ අනෙක් අය සමග සන්සන්දනය කරන විට නිර්මාණකරුවා කියන්නේ සුවිශේෂී කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔහු සතු සුවිශේෂීතාව තමයි සමාජයේ ජීවත්වන අනෙක් අයගේ පියවි ඇසට නොපෙනෙන දෑ පෙනීම. ඒ වගේම ඒ දකින දේ භාෂාව උපයෝගීකරගෙන වඩා හොඳින් පැහැදිලි කිරීමේ හැකියාව. ඒ ඔහු සතු නිරීක්‍ෂණ ශක්තිය, පරිකල්පනය සහ නිර්මාණාත්මක හැකියාවයි. මේ දේ තමයි නිර්මාණකරුවා සතුව ඇති සුවිශේෂීතාව.

තමන්ගේම ජීවිතයේ තමන්ට නොපෙනෙන පැති විධාරණය කිරීම තමා නිර්මාණකරුවන් විදියට කරන්නේ. මගේ ජීවිතයේ දී මා නොදුටු පැති නිර්මාණකරණයේ දී දැකගන්නට ලැබෙනවා. පරිකල්පනය තුළින් ඒවා වඩාත් සාහිත්‍යමය ගුණයන් ඇතුළත්කර නිර්මාණකරණයේ දී යොදා ගන්නවා.

නිර්මාණකරුවා සහ නිර්මාණය අතර ඇත්තේ සුවිශේෂී සම්බන්ධතාවක්. ඒක හරියට ගහට පොත්ත වගේ. හැබැයි මේ දේ ඇතැම් නිර්මාණ තුළින් ගිලිහී ගිහින් කියලා මට හිතෙ නවා. නිර්මාණය සහ ලේඛකයා අතර ඇති සම්බන්ධය ඔබ කොහොම ද විග‍්‍රහ කරන්නේ ?
නිර්මාණකරුවා කියන්නේ, ඔහුත් සාමාන්‍ය දිවි පැවැත්මක් ඇති අයෙක්ට. අනෙක් අයට සාපේක්‍ෂව ඔහුගේ දිවියෙත් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් නිර්මාණයේ දී අත්දැකීම් උපයෝගීකර ගන්නවා කියන්නේ අප ලබන අත්දැකීම් ඔස්සේ කරනු ලබන පරිකල්පනය. ඒක මේ විදියට හඳුන්වන්න පුළුවන්. ‘එය එසේ නොවී, මෙසේ උනොත්, කෙසේ වෙයි ද ? යම් අත්දැකීමක් අප ලබනවා. ඒ අත්දැකීම පිළිබඳ දිගින් දිගටම සිතන විට, සිතාගෙන සිතාගෙන යනවිට සිදුවූ ආකාරයට නෙමේ මේ විදියට සිදුවුණා නම් කොහොම වෙයි ද කියන එක තමා පරිකල්පනය කියන්නේ.

එහිදී නිර්මාණකරුවාගේ සමාජ දැක්ම, ලෝකය පිළිබඳ ඔහු තුළ ඇති අවබෝධය, දාර්ශනික වැටහීම ආදී මේ සියල්ල එකතු වෙලා තමයි පරිකල්පනය නමැති යාන්ත‍්‍රණය හරහා නිර්මාණය ගොඩනැගෙන්නේ.

අත්දැකීම නොවෙයි නිර්මාණයක් බවට පත්වන්නේ ඒ නිසා නිර්මාණයක් තුළ අත්දැකීම තියෙනවා වගේම වැඩි වශයෙන් පරිකල්පනය තියෙනවා. ඒ නිසා අපට කියන්න බෑ නිර්මාණකරුවාව නිර්මාණය තුළින් පාඨකයාට දකින්නට පුළුවන් කියලා. පරිපල්පනයෙන් එකතු- වන අඩු වැඩිවීම තුළින් තමයි එය තීරණය වෙන්නේ.

සමහර අත්දැකීම් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ කුමක් සඳහා ද කියන දේ පිළිබඳව අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන්ම අප ලබන අත්දැකීම් යම් සංස්කරණයකට ලක් වෙලා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ සංස්කරණය සිදුවන්නේ කිසියම් ඉලක්කයක් ඇතිව. ඒක තමයි සාහිත්‍යමය වටිනාකමක් නිර්මාණය තුළට ගෙන ඒම. නිර්මාණය තුළින් අලූත් එළියක්, දැක්මක් පාඨකයාට ලැබෙන්න ඕන. මොකද තමාව දැන ගැනීමේ හැකියාවක් නිර්මාණය තුළට ඇතුළු වෙන්න ඕන.

ඒ නිසා නිර්මාණයක් කියන්නේ ලේඛකයාව නොවෙයි. හැබැයි අත්දැකීමම නොවන්නේමත් නොවෙයි.

නිර්මාණකරුවා තම අනුභූතිය ප‍්‍රක්ෂේපණය කරන්නේ පාඨකයාට. පාඨකයාගෙන් තොර නිර්මාණයක් කොයින් ද ? නිර්මාණකරුවාත්, පාඨකයාත් අතර ඇති සම්බන්ධතාව කවරාකාර වූවක් ද ? නිර්මාණයේ සැබෑ අයිතිකරුවා පාඨකයා ද ?
අප නිර්මාණයක් ඉදිරිපත් කරන්නේ කිසියම් පාඨක පිරිසකට. ලෝකය සහ තමාව හැඳින ගැනීම සඳහා. ඒක අයිති වෙන්නේ සමාජයට, පාඨකයාට තමයි. පාඨකයා නිර්මාණය කියවිම තුළින් ඔහුගේ පරිකල්පන ශක්තිය නිර්මාණය තුළට එකතු වෙනවා. ලේඛකයා සිතුනු දේ නොවන්න පුළුවන්. මම අවිඥානිකව නිර්මාණය තුළින් ඉදිරියටත් කරපු දෙයක් ඔහු සවිඥානිකව බාර ගන්න පුළුවන්. හැබැයි ඔහු දියුණු පාඨකයෙක් නම් ලෝක ඥානය පිළිබඳ පරිකල්පන ශක්තිය ඇත්තෙක් නම් පමණයි. ඒ නිසා ඔහු මගේ නිර්මාණය තුළින් දකින මවාගත් ලෝකය මම විසින් දෙන ලද්දක් නොවෙයි. ඒක හරියට දියුණු කවියක් වගේ. මොකද කවිය කියන්නේ අර්ථය සඟවලා ඉදිරිපත් කරන්නක් නේ. ආරියවංශ රණවීරගේ ඉතා කුඩා කවියක් තියෙනවා, ‘සිල්’ කියලා වචන හයයි.

දිරායන
සරුංගලය
බෝ අත්තක
සිල් අරගෙන

කොළඹ යුගයේ කවි කියවලා තියෙන අපට හිතෙනවා මේකත් කවියක් ද කියලා. නමුත් මේ කවිය පරිකල්පන ශක්තිය, භාෂා ඥානය, සමාජ අවබෝධය ඇති පාඨකයෙකුට දැනෙන දේ නෙමෙයි සාමාන්‍ය පාඨකයෙකුට හැඟෙන්නේ.

ඉතාම සරල සිදුවීමක් වචන හයකින් චිත‍්‍රණය කරනවා කියන්නේ ලොකු දෙයක්නේ. කොළඹ යුගයේ කවියේ තිබුණේ චිත‍්‍රණය කිරීමනේ. ඉන් එහාට ගිය ගැඹුරක් තිබුණේ නෑ. නමුත් දැණුවත් පාඨකයෙක් රණවීරගේ මේ කවිය කියවන්නේ වචනවලට එහා ගිය අරුත වචන සමග ඔට්ටු වෙලා සොයා පාදාගෙන.

දිරා යනවා කියන වචනය නිකම්ම නිකම් දිරායාමක් නොවෙයි. එය ජීවිතයට සම්බන්ධ කර ගත්තොත් වයසට යාම ඉඟි කරනවා. පාඨකයා වාචාර්තය ඉක්මවා ගිය වෙනත් අරුත් මතු කරගන්නවා. සරුංගලය කියන වචනයට ඔබ්බෙන් ඇති ධ්වනිතාර්ථ සොයා යනවා. ඒ දේ අවබෝධකර ගැනීමට පාඨකයාට භාෂා ඥානයත්, පරිකල්පනයත්, ලෝකාවබෝධයත් තියෙන්න ඕන. ඒ හරහා පාඨකයා අවබෝධ කර ගන්නවා නිකම්ම නිකම් බෝ අත්තක පැටලූන සරුංගලයක් ගැන නෙමේ මේ කියන්නේ කියන කාරණය. ඒ විඳගැනීමේ සතුට ලබන්නේ තමන් ගැන තමන්ගේ හැකියාව ගැන. මට හැකි වුනා නේද ඒ අරුත වටහා ගන්නට. ඔහුට ඔහු ගැනම ආඩම්බරයක් ඇතිවෙනවා. එවිට සම්පුර්ණයෙන්ම නිර්මාණකරුවා පැත්තක. පාඨකයා විසින් නිර්මාණය සම්පූර්ණකර ගන්නවා. හොඳ කෙටි කතාවක වුණත්, හොඳ නව කතාවක වුණත් මේ ගුණය තියෙනවා.

නිර්මාණකරුවා නිර්මාණයට අවංක විය යුතු ද ? නිර්මාණ දිවිය සහ සැබෑ දිවිය අතර ඇති දුර ඔබ කොහොම ද දකින්නේ ?
එහෙම වෙන්න අවශ්‍ය නෑ. එහෙම ඉන්න අයත් ඉන්නවා. ලෝක සාහිත්‍ය ගත්තොත් ඉතා විශිෂ්ඨ නිර්මාණ කරපු ඇතැම් නිර්මාණකරුවන්ගේ ජීවිත බංකොලොත්.

‘ඩොස්ටොව්ස්කි’ සූදු අන්තුවෙක්, මිනිස්සුන්ට ණය වෙවී හැංගි හැංගි හිටපු මිනිසෙක්. අත්තිමේ දී ලෙඩරෝග හැදිලා මිය ගියා. ජිවිතය අවුල් කරගත්ත අයෙක්. ‘‘හෙමින් වේ’’ සමාජ රෝග හැදිලා මියගිය පුද්ගලයෙක්. අපි දකින සුචරිතය ඔහුගේ ජීවිතයට ගලප්පා ගත්තොත් ඔහු ඉතා අසාර්ථක චරිතයක්. හැබැයි ඔහුගේ නිර්මාණ ගත්තහම ඔහු කවුද කියන එක නෙමේ වැදගත් වෙන්නේ.

ඒ නිසා නිර්මාණකරුවා සහ නිර්මාණය එකම දෘෂ්ටිය අනුගමනය කරන්න ඕන, ඒ විදියටම හැසිරෙන්න ඕන කියන එක ජනතාවාදී දැක්මක්. ජනතාවාදය තුළ තමා ඕක ආවේ. ඒ නිසා නිතරම අහනවා ඔය ලියනදේට අනුව ද හැසිරෙන්නේ. හැබැයි ඒක සම්පූර්ණ වැරදි ප‍්‍රශ්නයක්.

ඔබ කියන්නේ නිර්මාණකරුවෙකුට සමාජ කාර්ය භාරයක් කළ නොහැකි බව ද ?
සාහිත්‍ය කලා නිර්මාණයකින් සමාජය වෙනස් කරන්න බෑ. සමාජය වටහා ගැනීමට, තමාව වටහා ගැනීමට, තමන්ගේ ජීවිතයේ අභ්‍යන්ත රය වටහා ගැනීමට මිනිස් සිත තරම් සංකීර්ණ දෙයක් ලෝකයේ තවත් නෑ. මිනිස් සිරස සංකීර්ණත්වය විග‍්‍රහ කර අවසන් කරන්න බෑ. ඒ නිසාම කොයිතරම් විද්‍යාව, තාක්‍ෂණය දියුණු වුවත් කලාව පවතිනවා.

ඒ නිසා සමාජය යහපත් මාර්ගයට ගන්න, සමාජය ඉස්සරයට ගන්න, දුප්පත්කම නැති කරන්න, සමාජය අවදි කරන්න නිර්මාණ කාර්යයේ යෙදෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නෑ. කලා නිර්මාණයකින් ඒ තරම් දෙයක් කරන්න බෑ. සමාජය වෙනස් කරන්න ඕන නම් කලාකරුවාට උනත් පුළුවන් වෙනම ක‍්‍රියාකාරීත්වයකට යන්න.

සාහිත්‍ය නිර්මාණයකින් කරන්න පුළුවන් පියවි ඇසට නොපෙනෙන දේ පෙන්වා දෙන්න. මිනිසෙකු පරිපූර්ණත්වයට පත්වන්න නම් ඔහුගේ අධ්‍යාත්මික පක්‍ෂය දියුණු වෙන්න ඕන. සංස්කෘතිකමය වශයෙන් මිනිසා පූර්ණ මනුෂ්‍යයෙකු බවට පත්වන්න ඕන. ඔහුගේ රස වින්දනය දියුණු වෙන්න ඕන. ඔහු හොඳ රස විදින්නෙක් නම් ඔහු හොඳ මනුෂ්‍යයෙක් වෙනවා. දුක, වේදනාව, පේ‍්‍රමය, සන්තාපය හඳුනන්න පුළුවන් හොඳ රස විඳින්නෙකුට. ඒ අරුතින් පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමට කලා නිර්මාණ අත්‍යවශ්‍යයි.

ඔබ කියූ පරිදි පියවි ඇසට නොපෙනෙන දේ පෙන්වාදීම සාහිත්‍ය නිර්මාණයකින් සිදුවනවා. පාඨකයා ඉන් දැණුවත් භාවයක් ලබනවා. චින්තන විප්ලවය නේද සමාජ විප්ලවයක් දක්වා ගෙන යන්නේ ?

වැරදි වැටහීමක් තියෙනවා ලෙනින් කිව්වයි කියල රුසියන් විප්ලවයේ කැඩපත ටෝල්ස්ටෝයි කියලා. ඇත්තටම ලෙනින් කියලා තියෙන්නේ රුසියන් වැඩවසම් සමාජය ටෝල්ස්ටෝයි ඉතාම හොඳින් නිරූපණය කරා කියන එක. නමුත් ඔහු කවදාවත් විප්ලවවාදියෙක් වුණේ නෑ. ඔහු ඒ දේ කළේ මිනිසුන් අවදි කරන්න නෙමේ. ඔහු ජීවත් වන සමාජය ඇතුලේ කුණුවන හැටි නිර්මාණ තුළින් ඉදිරිපත් කළා. අද පවතින සමාජය මේ වගේය කියන එක නිර්මාණ කියවපු පාඨකයා අවබෝධකර ගත්තා.

ඒක හරියට අපට දෙයක් කඩන්න බිඳින්න බෑ හැදිලා තියෙන්නේ කොහොම ද කියලා නොදැන. විප්ලව කරන්න බෑ සමාජය කොයිවගේ එකක් ද කියලා නොදැන. සමාජය ප‍්‍රතිබිම්බයක් වශයෙන් දැක ගන්න පුළුවන් නිර්මාණ හරහා. ඒක තමා රුසියන් සාහිත්‍ය තුළින් සිදුවුණේ. එහෙම නැතිව ඒ ලේඛකයෝ සමාජය වෙනස් කරන්න බලාගෙන ලීවා නෙමෙයි. පුෂ්කින්, ගොගොල්, චෙකෝෆ්, ගෝර්කි මේ හැම ලේඛකයන්ම නිර්මාණ කළේ සමාජය වෙනස් කරන්න ඕන කියන අදහසින් නෙමේ.

එහෙනම් ඇයි ගෝර්කිගේ ඇතැම් නිර්මාණ රුසියාව විසින් තහනම් කළේ ?
රුසියන් සමාජයේ පීඩිත ජනයා විඳින දුක වේදනාව ගෝර්කිගේ නිර්මාණ තුළින් දැකිය හැකියි. ඉහළ රදල පන්තිය ඇතුලේ කුණු වූ සමාජය මානව සම්බන්ධතාව ටෝල්ස්ටෝයිගේ නිර්මාණ තුළින් පෙනෙනවා. චෙකෝෆ් ඊටත් වඩා වෙනස්. මානව සම්බන්ධතාවන්ගේ සෞන්දර්යය පක්‍ෂය තමා වැඩි හරියක් චෙකෝෆ නිරූපණය කළේ. ඒ එක නිර්මාණයක්වත් රුසියන් විප්ලවයේ හැඟීම් උද්දීපනය වෙන දේවල් නෙමේ.

හැබැයි රුසියන් විප්ලවයෙන් පසුව ස්ටාලින් යටතේ බිහිවන සාහිත්‍ය නිර්මාණ කලාව පිළිබඳ වෙනම නිර්වචනයක් ඉදිිපත් වුනේ නිර්ධන පන්ති කලාවක් තියෙන්න ඕන කියන එක. ඒ යටතේ තමයි ‘පෙරලූ නැවුම් පස’ වැනි බොහොමයක් රුසියන් නිර්මාණ සමාජය වෙනස් කළ යුතුයි යන ආකල්පයෙන් යුතුව නිර්මාණය වුණේ. අදත් අපි රුසියන් සාහිත්‍යයයේ අගය කරන්නේ විප්ලවයට පෙර ලියැවුණු ටෝල්ස්ටෝයිගේ, ගෝර්කිගේ, පුෂ්කින්ගේ, චෙකෝෆ්ගේ නිර්මාණ.

හැබැයි ඉන් නොකියවෙන්නේ නෑ නේද රුසියන් විප්ලවයට නිර්මාණ අනුබලයක් වුණේ නෑ කියලා ?
අනිවාර්යයෙන්ම නිර්මාණකරුවා හොඳ සමාජ දෘෂ්ටියක් සහිත අයෙක් නම් සමාජය නිරීක්‍ෂණය කිරීමේ ශක්තිය ඔහුට තියෙනවා. ඒ නිර්මාණ සමාජයේම පිළිබිඹුවක්. සමාජය වෙනස් කරන්න ඕන බලවේගවලට, සමාජය අවබෝධකර ගැනීමට එම නිර්මාණ උදව් වෙනවා. ඒ දේ තමයි සාහිත්‍යකරුවාට, නිර්මාණකරුවාට කළ හැකි දේ.

නිර්මාණ කියන්නේ සමාජයේ පිළිඹිබුවක්ම තමයි. විශේෂයෙන්ම ලංකාවේ සාහිත්‍ය නිර්මාණ ගැන කතා කළොත් මේ තත්වය අද්‍යතන නිර්මාණ තුළින් කතා කෙරෙන්නේ කොයි ආකාරයෙන් ද ?
නිර්මාණකරුවා සමාජයේ පරිහානිගත තත්වයක් නිර්මාණ තුළින් ඉදිරිපත් කරනවා. ඇතැම් සංසිද්ධින් ජනතාවට පෙනෙන්නේ නෑ. නමුත් ඒ දේ පෙන්වා දෙන්නේ නිර්මාණකරුවා තම නිර්මාණ හරහා.

ලියනගේ අමරකීර්තිගේ ‘අමුතු කතා’ කියන පොතේ තියෙනවා ඉතාලි ජාතික කැල්විනෝ ‘ප‍්‍රබන්ධ සාහිත්‍ය කියවිය යුත්තේ ඇයි’ කියන දේ ඉතාමත් අපූරුවට ඉදිරිපත් කරලා. එය මා කියවා ඇති මේ සම්බන්ධයෙන් වඩාත්ම හොඳ විග‍්‍රහය කියලයි මට හිතෙන්නේ. ඔහු කියන්නේ මොන සමාජයේ වුණත් මනුෂ්‍ය ජිවිතයේ කාල වපසරිය ලෝක පැවැත්ම සමග සසඳන කොට ඉතාම කුඩා කාලයක්. බොහෝ සංස්කෘතික සීමාවන්. ඇසුරු කරන්නේ සීමා සහිත සමාජයක්, පිරිසක්, වෙනත් සංස්කෘතීන් පිළිබඳ ඇති අවබෝධය ඉතාම අඩුයි. ගැහැණු, පිරිමි සම්බන්ධය ගත්තොත් ගැහැණියට බෑ පිරිමියාගේ හැඟීම් අවබෝධ කර ගන්නට. පිරිමියත් ඒ වගේමයි. ඒ අතින් සාපේක්‍ෂව යම් සීමාවන් තියෙනවා. කුලය, ජාතිය ආදී වශයෙන් බෙදිලා, පටු සීමාවක තමයි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. හැබැයි ඉන් ඔබ්බට ගිහින් මනුෂ්‍ය සිතුම් පැතුම් දුක වේදනාව හඳුනාග න්න ඕන නම් ඊට හොඳම මග ප‍්‍රබන්ධ සාහිත්‍යය කියවිය යුතුයි කියලයි ‘කැල්විනෝ’ කියන්නේ. ලෝකය සහ මිනිස් මතය තේරුම් ගැනීමට උදව් කිරීමක් තමයි ප‍්‍රබන්ධ සාහිත්‍යයෙන් කරන්නේ.

ලාංකේය සාහිත්‍ය ඇතුලේ මේ තත්වය ගැන අපට සෑහීමකට පත්වන්න බෑ. යුද්ධය සම්බන්ධ බොහෝමයක් නාට්‍ය පරිවර්තන, ස්වතන්ත‍්‍ර නිර්මාණ බොහොම අඩුයි. චිත‍්‍රපටත් එහෙමයි. ඔවුන්ගේ අරමුණ විදේශ චිත‍්‍රපට උළෙලවල්වලට ඉදිරිපත් කිරිම, දරිද්‍රතාව ඕනෑවටත් වඩා හුවා දැක්වීම.

හැබැයි සාහිත්‍ය ලෝකයේ අද තියෙන තත්වය මේකේ අනික් පැත්ත. යුද්ධය සාධාරණීයකරණය කිරීම තමයි ඉන් සිදුවන්නේ. අවුරුදු තිහක පමණ පැවති යුද්ධයේ නියම තත්වය පුළුල් ලෙස කතාබහ වෙනවා අඩුයි. හැබැයි හොඳ නිර්මාණ බිහිවෙලා තියෙනවා මද වශයෙන්.

නිර්මාණයක ආකෘතිය ගැනද අන්තර්ගතය ගැනද ඔබ වැඩි අවධානය යොමු කරන්නේ ?
මම ආකෘතිය ගැන ලොකු අවධානයක් යොමු කරපු කෙනෙක් නෙමේ. අන්තර්ගතයටයි මූලිකත්වය දුන්නේ. නමුත් පසුකාලීනව මට තේරුම් ගියා ආකෘතියත් අන්තර්ගතය වගේම වැදගත් කියලා නිවැරදි සන්නිවේදනයක් කරන්නට.

අනික මම දැන් ලියන්නේ දියුණු පාඨකයන්ට. මගේ මුල්කාලීන කෙටිකතා පොත් දෙක ඕන කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන්.

‘සෝබා’ කෙටිකතා සංග‍්‍රහයත් සමග මම යොදාගත්ත වචන ප‍්‍රමාණය ඉතාමත් කෙටි කරන්නට උත්සාහ ගන්නවා. වචන අඩුයි. කියවන්නා ඉතිරිය පුරවා ගත යුතුයි තම පරිකල්පන ශක්තියෙන්.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>