Contact us now +61(0) 433 638 610

Articles

කොළඹ කාක්කෝ සහ මෙල්බෝර්න් කාක්කෝ

Posted in කාලීන,ජීවිතය by on June 4, 2014

kakko

- මුනිදාස වංශපුර

නරියන්ගේ චාටු බස් වලට රැවටුනු කපුටන් ගැනත්, කපටිකම් වලට හසු නොවන කොළඹ කාක්කන් ගැනත්, අහිංසකයින් ගසා කන මිනී කාක්කන් ගැනත් අපි නොයෙක්විට අසා ඇත්තෙමු. ඒ අතර “වැලගෙඩියක් දැක්කම කොයි කපුටත් එකයි” කියාද කතාවක් ඇත. එහෙත් ඕස්‍‍ට්‍රේලියාවේ කපුටන් ගැන නම් ඒ කතාව සත්‍යයක් නොවේ. බැලු බැල්මට එක වගේ පෙනුනත් මෙහි සිටින ‘කපුටන්’ එකිනෙකාට වෙනස්ය.

අප සාමාන්‍යයෙන් කපුටන් ලෙස හඳුන්වන්නේ කෝවිඩේ (Corvidae) පවුලට අයත්, ලොකු හොටක් සහිත කලූ පැහැති කුරුල්ලන්ය. කෝකිලයාටද කපුටාට තරමක් සමානවූ හැඩරුවක් ඇතත් ඔවුහු එකිනෙකට වෙනස්වූ පවුල් දෙකක සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාවේ සිටින්නේ කපුටු විශේෂ දෙකකි. ඒ නගරබදව සිටින නගරබද කපුටා හෙවත් කොළඹ කාක්කා හා ගම්බදව දකින්නට ලැඛෙන කැලෑ කාක්කා හෙවත් ගමේ කපුටාය. කොළඹ කාක්කා හෙවත් නගරබද කපුටා හඳුන්වන්නේ Corvus splendens යන සත්ත්ව විද්යාවත්මක නාමයෙනි. උගේ සිරුර ගමේ කාක්කාට සාපේක්ෂිතව සිහින්ය. පපු ප්රකදේශය හා ගෙල පිටුපස දුඹුරු පැහැයට හුරු අලූ පාටය. හිස, නළල, පියාපත්, හොට පාද ආදී අන් සියලූ කොටස් කලූපාටය. මුල් අවදියේ ලංකාවේ වෙරළබඩ ප්රුදේශ වලට සීමාවී සිටි ඔවුහු දැන් දැන් ගමේ කපුටන් සිටින රට මැද නගර වලටද සංක්රුමණය වී සිටිති. එහෙත් කොළඹ කාක්කා හා ගමේ කාක්කා අතර හිර ගනුදෙනුවක් නම් නැත. ඒ ඔවුන් එකම පවුලේ වුවත් එකිනෙකට වෙනස් වූ විශේෂ දෙකකට අයත් කුරුල්ලන් වන බැවිනි.

ලංකාවේ ගම්බද ප්රිදේශවල දකින්නට ලැඛෙන කැලෑ කාක්කා හෙවත් ගමේ කපුටා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ Corvus macrorhynchos ලෙසය. ඌ නගරබද කපුටාට වඩා තරමක් ලොකුය. හොට විශාලය. ‘විශාල හොට’ යන අරුත ඇති Macro rhynchos යන විශේෂ නාමය ඌට ලැබී ඇත්තේද ඒ නිසාය. ශරීරය සම්පූර්ණයෙන්ම තද කලූ පැහැයෙන්යුක්තය. එහි දම් පාටට හුරු දිළිසුමක් ඇත.

ගම්බද කපුටාගේ කටහඬ නගරබද කපුටාගේ හඬ වඩා බරය.ඕස්‍‍ට්‍රේලියාවේදී දුටු විගස අපට කපුටන්යයි එකවරම සිතෙන පක්ෂි ආකාර තුනක් ඇත.එයින් එක් ආකාරයක් නියම කපුටන් වන අතර තවත් අකාරයක්, කපුටන්ට හැම අතින්ම වාගේ සමාන, කපුටු පවුලටම අයත් රෙවන් (Raven) පක්ෂීන්ය. අනෙක් ආකාරය වන්නේ කපුටන්ට කිසිදු නෑකමක් නොදක්වන පවුලකට අයත් ඕස්‍‍ට්‍රේලියානු මැග්පයි (Australian Magpie) කුරුල්ලන්ය.

ඕස්‍‍ට්‍රේලියාවේ නියම කපුටන් ලෙස හඳුන්වන විශේෂ දෙකක් දකින්නට ඇත. ඒ කුඩා කපුටා (Little Crow) හා ටොරේසියානු කපුටාය (Torresian Crow). කුඩා කපුටා, Corvus bennetti සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර විශාලත්වයෙන් ටොරේසියානු කපුටාට වඩා කුඩාය. ඌ වැඩිවශයෙන් දකින්නට ලැඛෙන්නේ කාන්තාර ආශ්‍රිත කැලෑබද හා ගම්බද ප්‍රදේශ වලය. කුඩා කපුටා අනෙකුත් කපුටන් මෙන් මළකුණු හා කසළ බුදින්නෙකු නොවේ. ඌ වඩාත් ප්‍රිය කරන්නේ ගෙවතු හා වනරොදවල හමුවන කෘමීන්, ධාන්‍ය හා වෙනත් ඇට වර්ග කෑමටය.

කුඩා කපුටාගේ තවත් විශේෂත්වයක් නම් කෝටු කැබලි යොදා තනන කූඩුවේ පතුල මැටිඅතුරා තිබීමයි. ටොරේසියානු කපුටා සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ Corvus orru hk යන නමිනි. කුඩා කපුටාට වඩා විශාලවූ උගේ ශරීරය තරය. හොටමහතින් වැඩිය. පාද දිගුය. ඔවුහු කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ හැර ගෙවතු, ගොවිබිම්, වෙරළ හා නගර ආදී සෑම තැනකම වාගේ දක්නට පුළුවන. මළකුණු මෙන්ම පලතුරු, ධාන්‍යද ආදිය ආහාරයට ගන්නා ටොරේසියානු කපුටා ගොවීන්ට කරදරකාරී සතෙකු බවට පත්ව ඇත.ඉහතකී ඕස්‍‍ට්‍රේලියානු කපුටන් ලංකාවේදී අප දකින කපුටන්ට හැඩරුවින් සමාන වුවත් ඔවුන්ගේ කාක නාදය අපේ කපුටන්ට වඩා නාසික ස්වරූපයක් ගනී. ඊටත් වඩා කැපී පෙනෙන වෙනසක් වන්නේ ඇසේ වර්ණයයි. අපේ කපුටන්ගේ ඇසෙහි කලූ ඉංගිරියාව වටාවූ ප්‍රදේශය කලූ පාටය.නමුත් ඕස්‍‍ට්‍රේලියායානු කපුටන්ගේ කලූ ඉංගිරියාව වටාවූ ප්‍රදේශය සුදුපැහැති වලල්ලක් ලෙස පෙනේ.

කපුටන්ට ඛෙහෙවින්ම සමානවූ මෙහි සිටින අනෙක් පක්ෂි විශේෂය වන්නේ රෙවන්ය. ඕස්‍‍ට්‍රේලියාවේ ප්‍රධාන රෙවන් විශේෂ තුනක් ඇත. ඒ Corvus coronoides (Australian
Rewan), Corvus tasmenicus (Forest Rewan) සහ Corvus mellori (Little Rewan)ය. සාමාන්‍යයෙන් රෙවන් කුරුල්ලන් තම පවුලේ සමාජිකයින් වන කපුටන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය. බැලූ බැල්මට කපුටන්ගෙන් වෙන්කර හඳුනාගතහැකි ලක්ශණයක් නම් රෙවන් කුරුල්ලන්ගේ හොටට යටින් ගෙල ප්‍රදේශයේ රවුළක් මෙන් වැඩී ඇති කුඩා පිහාටු සමූහයයි.ඔවුන් නාද කරනවිට එම පිහාටු පිටතට විහිදෙනු පැහැදිලිව දැකිය හැකිය. තවද රෙවන්ගේ පිහාටු කපුටන්ගේ පිහාටුවලට වඩා දිළිසෙන තද පැහැයක් ගනී. හො-ටද විශාල වන අතර කපුටන්ගේ මෙන් නොව අග්‍රය තුඩක් මෙන් නැමී පවතී. පියෑඹීමේදීද මෙම දෙවර්ගය වෙන්කර හඳුනාගත හැක. පියාඹනවිට කපුටන්ගේ වලිග පියාපත වානක් මෙන් විහිදේ.නමුත් රෙවන්ගෙ එය කූඤ්ඤාකාර හැඩයක් ගනී.

මේ රටේදී සුදු කපුටන් යයි අපේ ඇස් රවටන පක්ෂී වර්ගය වන්නේ ඕස්‍‍ට්‍රේලියානු මැග්පයි (Australian Magpie) කුරුල්ලන්ය. ඔවුහු මංමාවත් අවටත් පිට්ටනි හා තණබිම්වලත් ආහාර සොයමින් සිටිනු නිතර දැකිය හැකිය. කපුටෙකුගේ හැඩරුව ඇතත් කපුටන් මෙන් කළහකාරී හෝ ඝෝෂාකාරී නොවන මැග්පයි කුරුල්ලෝ කුඩා පැලෑටි අතර සිටින පළඟැටියන්, කුරුමිණියන්, පණුවන්, දළඹුවන් ආදී සතුන් අහාරයට ගනිති. අතැම්විට නිවසක පියස්සක, පහන් කනුවක හෝ අත්තක ළැග සිටියද ඔවුහු බිම සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වති.

කපුටන්ට කිසිදු සමීප නෑදෑකමක් නැති මැග්පයි කුරුල්ලන් අයත් වන්නේ Craticidae පවුලටය. මෙහි සිටින මෙම කුරුලූ විශේෂය සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ Craticus tibicen ලෙසය. tibicen යනු ‘නලා වයන්නා’ යන් අරුත ගෙන දෙන්නකි. මක් නිසාදයත් ඔවුන්ගේ කට හඬ බට නලා හඬට නෑකම් කියන බැවිනි. පොළව මත ආහාර සොයා ඇවිදිනවිටත් අතුපතරක විවේකීව සිටින විටත් මැග්පයි කුරුල්ලන් නිරන්තරයෙන් නගන මේ මිහිරි නාදය නිසා ඈත සිටින්නෙකුට වුවද ඔවුන් අවට සැරිසරන බව දැනගත හැකිය.

මැග්පයි කුරුල්ලන්ගේ ශරීරය කපුටෙකුගේ හැඩය ගත්තත් ඔවුන්ගේ ගෙල පිටුපස, අත් ඇඳිවල පාර්ශ්වික පැති හා පෙඳයේ යටි පැත්ත සුදු පැහැති පිහාටු වලින් යුක්තය. හොට කපුටු හොටකට සමානවුවත් එහි මුල් කොටස සුදු පැහැති අලූ පාටය. අගට වන්නට කලූ පැහැයට හැරී තිබේ. රෙවන් හා ඕස්ටේ්‍රලියානු කපුටන්ගේ මෙන් නොව ඔවුන්ගෙ ඇස් රතු පාටට හුරු දුඹුරු පැහැයක් ගනී. ඕස්‍‍ට්‍රේලියානු මැග්පීන් එකම විශේෂයකට අයත් පක්ෂීන් නිසා ඔවුන් අතර අන්තර් අබිජනනයෙන් විවිධ කලූසුදු වර්ණ සන්කලනයන්ගෙන් යුත් මැග්පයි කුරුළු ප්‍රබේද ගනණාවක් ඇතිවී තිබේ. මෙසේ ඇතිවූ මැග්පයි උප විශේෂ නවයක් පමණ දැනට ඕස්‍‍ට්‍රේලියාව පුරා විසිරී සිටිති.

ඔවුන්ගේ ගෙල පිටුපස හා කොඳු ප්‍රදේශයේ සුදු, කලූ පිහාටු පැතිරී ඇති ආකාරය අනුව ඒ සියල්ලන්ම Black-backed Magpie හා White-backed Magpie යන ප්‍රධාන කොටස් දෙකකට ඛෙදිය හැකිය. එයින් පිට කලූමැග්පිකුරුල්ලන්ගේ (Black-backed Magpie) ගෙල පිටුපස හා පිටකොඳු ප්‍රදේශය වැඩියෙන් වැසී ඇත්තේ කලු පැහැති පිහාටු වලිනි. පිට සුදු (White-backed Magpie) ආකාර වල එම ප්‍රදේශවල වැඩියෙන් ඇත්තේ සුදුපාට පිහාටුය.

ඉතා සිත්ගන්නා සුලු කුරුල්ලෙකු වන ඕස්‍‍ට්‍රේලියානු මැග්පයි, දකුණු ඕස්‍‍ට්‍රේලියාවේ නිල ලාංඡනය වන අතර දකුණු ඕස්‍‍ට්‍රේලියානු ධජයේ සටහන්ව ඇත්තේද මැග්පී කුරුල්ලාගේ රුව ය.ඉතා කෑදර හා කරදරකාරී සතෙකු ලෙස සැළකෙන කපුටා කතාන්දර වල පවා දැක්වෙන්නේ අවාසනාවේ, කෘෘරත්වයේ හෝ මරණයේ සංකේතයක් ලෙසය. සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන්නේද කපුටාය. උගේ කලූ පැහැති ශරීරය, තියුණු හොට, සතුන් මරා කෑමේ හා මළකුණු ආහාරයට ගැනීමේ පුරුද්ද ආදිය මෙම ආකල්පයන්ට හේතුවූවා වියහැකිය. එහෙත් උගේ එම හැඩරුව හා සියලූචරියා රටාවන් ජීවිත පැවැත්ම සඳහා කාලයත්සමග පරිණාමයෙන් උරුමවූ ඒවාය.

සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන්නේද කපුටාය. ඒනිසා සෙනසුරුගෙන් මිදීමට කපුටන්ට විශේෂ දානයක් දීමේ පුරුද්දක් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල දකින්නට ඇත. එහිදී කුල්ලක් මත තබා කපුටන්ට පුදන කැවුම් කිරිබත් අතර එළඟි තෙලින් දැල්වූ පහනක් මෙන්ම එළඟිතෙල් පෙඟවූ පහන් තිරද තැබීමට ඔවුහු අමතක නොකරති. කපුටා නිතර සාගින්නෙන් පෙලෙන්නෙකු නිසා ගිතෙල් තැවරුනු පහන් තිර ගිලදැමීමෙන් එය තුරන්වනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. කපුරෙදි භාවිතා කළ කාලයේදී නම් එයින් කපුටාට හානියක් සිදු නොවුනත් අද අප භාවිතා කරන්නේ කෘතිම රෙදි ය. මේ හේතුවෙන් සෙනසුරා ලබන්නේ අහිංසක කපුටාටම ය. මේ අතර කපුටු කරදරයෙන් මිදීමට ඇතැමුන් කරන්නේ මළ කපුටෙකුගේ තටුවක් ඈතට පෙනෙන සේ එල්ලා තබීමයි. අනතුරක සේයාවන් හඳුනා ගත හැකි නිසා කපුටුවෝ එවන් තැන් මගහැර යති. තවත් විටක කාක් ! කාක් !! යයි කියමින් අනෙකුත් අයට අනතුර ගැන දන්වති.

ඒ කෙසේ වෙතත් කපුටා අනෙකුත් පක්ෂීන්ට සහ බොහෝ ක්ෂීරපායි සතුන්ටත් වඩා බුද්ධිමත් සතෙකු බව කිවයුතුය. සාමාන්‍යයෙන් ආම්පන්න භාවිතය හා තර්කානුලෙස සිතීමේ හැකියාව ඇත්තේ වඳුරන්, වානරයන් හා මිනිසුන් අයත්වන ප්‍රමයිමේටා ගෝත්‍රිකයින්ට පමණි. එහෙත් කුරුල්ලෙකුවූ කපුටාට, සුදුසු උපකරණ තෝරාගනිමින් තර්කානුකූල ලෙස ගැටලු විසඳීමේ පුදුම හැකියාවක් ඇති බව පර්යේෂණ මගින් හෙලිවී ඇත.






no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>