Contact us now +61(0) 433 638 610

Articles

ලෙන්ටිල් ඈස් එනිතිං

Posted in ආකල්ප,කාලීන,ජීවිතය by on July 18, 2013

shanaka

ලෙන්ටිල් ඈස් එනිතිං අවන්හල ගැන දැන ගන්නට ලැබුණේ චරිත දිසානායක මිතුරාගෙනි. ඒ නම අපූරු වැඩක් බව තේරුම් ගියේ එතැනට ගිය පසුවයි.

සෙන්ට් හිල්ඩා හි පිහිටි මේ අවන්හල හිමිකරු ශානක ෆනෑන්ඩු ශී‍්‍ර ලාංකිකයෙකි. මේසයක් පුරා ඇති බත් මාළු පිණිවලින් කැමති පමණ බෙදාගෙන කා බී සතුටු තරමේ මුදලක් ගෙවීමට හැකි වීමයි මෙහි ඇති විශේෂත්වය. නිර්මාංශ ආහාර පමණක් ඉදෙන මේ අවන්හලේ ශී‍්‍ර ලාංකික කෑම බීම මෙන්ම ඉන්දියානු හෝ දකුණු අපි‍්‍රකානු වෑංජනත් පිසෙයි.
අත ඇති පමණට මුදල් ගෙවා යා හැකි වුවත් මෙය සමාජ සේවා ආයතනයක් නොවේ. වැඩපළ කරන කෝකියන්ට, අවන්හල් සේවකයන්ට වැටුප් ගෙවන්නටත්, හාල් එළවළු මිලට ගන්නටත්, ගොඩනැගිලි කුලී සහ ජල විදුලි බිල්පත් ගෙවන්නටත් ආදායමෙන් වැඩි කොටසක් වියදම් වෙයි. ශානක ඒ සියලූ වියදම් පියවා ගන්නේ ’සල්ලි පෙට්ටියේ’ උදව්වෙනි.

’සල්ලි පෙට්ටියේ’ සංකල්පයත් ඉතා අපූරුය. මුදල් අයකර ගන්නට අයකැමියෙක් නැති ආපන ශාලාවේ ඒ සඳහා තබා ඇත්තේ ලෑලි පෙට්ටියකි. බඩ කට පුරා කෑමෙන් බීමෙන් සප්පායම් වන උදවිය, කැමති පමණට අතේ ඇති තරමට සල්ලි පෙට්ටියට මුදල් දමති. අද වැඩිපුර මුදලක් දමා හෙට අඩුවෙන් මුදල් ගෙවන්නෝද, මුදල් නැතිකමින් සොච්චමක් ගෙවන දුප්පතුන්ද වෙති. වැඩිපුර මුදල් දෙන්නෝ මෙන්ම මුදල් නොදී යන්නෝද ඇතිවා විය යුතුය. එහෙත් ඒ ගැන සොයන බලන කෙනෙක් නැත.

’ඇති නැති කවුරු වුණත්, මෙතනට එන කාටත් රජෙකුට වගේ සලකන්න’ ශානක තම කාර්ය මණ්ඩලයට උපදෙස් දෙන්නේ එහෙමය.

’ඔබට වැඩිපුර මුදල් ඇත්නම් මුදල් අත නැති කෙනෙකු වෙනුවෙන් ගෙවිය හැක. ලොව උපන් හැම මිනිහෙකුටම කෑම බීම ලබා ගැනීමේ සාධාරණ අයිතියක් තිබේ. එබැවින් මුදල් අත නැතත් පැමිණ කෑම කන්න. ඇති දවසක ගෙවන්න’

උවන්හල් බිත්තියේ එසේ සටහන් කර ඇත්තේ ශානකගේ අදහස්ය. දවසකට හත් අට සීයකට කෑම සපයන මෙම අවන්හලේ ශාඛාවන් හතරක් වික්ටෝරියාවේ තැන් තැන්වල තිබේ.
මෙය ලේසි පහසු වැඩක් නොවෙ. මිනිසුන් සැක නොකිරීමේ ප‍්‍රතිපත්තිය මත පිහිටා ශානක දහතුන් වසරක් තිස්සේ මේ අසීරු ගනුදෙනුව කරගෙන යන්නේ මෙරට රජයෙන් කිසිදු වරප‍්‍රසාදයක් නොලබාමය.

01-

’රජයෙන් සහයෝගයක් නැතත් මිනිස්සු අපට හරියට උදව් කරනවා. වතාවක් මෙ ගොඩනැගිල්ලේ කුලිය ගෙවාගන්න බැරිව අපට අවන්හල වහන්න වෙන තත්ත්වයක් ආවා. අත්සන් දාස් ගණනක් පෙත්සමක් පාර්ලිමේන්තුවට යවලා මිනිස්සු ඒ තීරණය වෙනස් කෙරෙව්වා.’

ශානකට අනුව නම් ඔහු තමන් හරි හම්බ කරන්නේ ධනය නොව මිනිසුන්ය. කොළඹ හතේ පාසලක ඉගෙන ගත් ධනවත් ශ්‍රී ලාංකික තරුණයකු වන ශානකට ඒ කාලයේ පටන්ම තිබුණේ අමුතු අදහස්ය. ඔහු ගෙදරදීත්, වැඩිපුර කිට්ටු වුණේ දුප්පත් සේවකයන්ටය. සොයා බැලූවේ ඔවුන්ගේ අඩුපාඩුය. ජීවත් වීමට කෙලවරක් නැති තරම් දේ උවමනා නැති බව ශානකගේ දර්ශනයයි. ලොව සුපිරි සංවර්ධිත රටක ජීවත් වුවත් අවම පහසුකම් යටතේ සරළව ජීවත් විය යුතු බව ශානක සිතයි. මෝටර් රථයක් වෙනුවට බයිසිකලයකින් ගමන් යන්නටත් උණුවතුර වෙනුවට ශීත කාලයට පවා ඇල්වතුර නාන්නටත් ඔහු කැමතිය.

රූපවාහිනී, සැප පහසු සෝපා, රන් අභරණ හෝ එක්රැස් කරන ලද වටිනා බඩුමුට්ටු නැති බැවින් ඔහුගේ ගෙදර දොර අගුල් දමන්නේ නැත. අවන් හල් දොරවලටද අගුළු නැත.
පසුගිය දවසක අවන්හලේ අගුලූ ගලවා ඇතුල් වූ අයෙක් හිස් සල්ලි පෙට්ටිය ගෙන ගොස් තිබුණි. ඒ පිළිබඳ බොහෝ ගණගාටු වූ ශානක තම ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහන් තැබුවේ ය. ‘‘අපේ අවන්හල් දොරවලට අගුළු නොමැත. ජනේලයේ විදුලිබුල ගලවන්නට උත්සාහ කළ අය නිරපරාදේ මහන්සි වී ඇත. මට ඒ පුද්ගලයා ගැන කණගාටු සිතේ.’’ ශානක අපූරු මිනිසෙකැයි අපට සිතෙන්නේ ඒ නිසාය. යාරා ගඟ අසබඩ විදුලි බලය රහිතව සොබා දහමට සමීපව ජීවත් විය හැකි කුඩා නිවසක් ඉදිකිරීම ඔහුගේ ඊළඟ සිහිනයයි.

‘‘අද ඔස්ටේ‍්‍රලියාවේ හැම පාසලකම පාහේ අපේ අවන්හල ගැනත්, එහි සංකල්පය ගැනත් උගන්වනවා. ඒත් මම මෙ සංකල්පය ඉගෙන ගත්තේ ලංකාවේ දන්සැල්වලින්.’’
ශානක කියන්නේ තම ලාංකේය අනන්‍යතාවය ගැන ආඩම්බරයෙනි. 2007 වසරේ Australian of the year සම්මානයකින් පිදුම් ලැබූ ශානක ෆනෑන්ඩු ගැන ආඩම්බර වීමට ලංකාවේ අපටද ඕනෑ තරම් කරුණු තිබේ.

 

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>