Contact us now +61(0) 433 638 610

Articles

සිඟිති සුරංගනාවිගෙ දින පොතෙන් පිටුවක්…

Posted in ජීවිතය by on August 17, 2013

සිඟිති සුරංගනාවිටත් නානාප‍්‍රකාර මව්වරු, පියවරු දකින්න ලැබෙනවා. ඒ මව්පියන්ගෙ දරුවනුත් එක එක ආකාරයි. දරුවන් හැදීම වැඞීමත් විවිධයි. විටෙක සුන්දරයි. විටෙක අමුතුයි. විටෙක කටුකයි. සිඟිති සුරංගනාවි දන්න එක අප්පච්චි කෙනෙක් ඉන්නවා වාමාංශික දේශපාලන ව්‍යාපාරයක බල කණුවක්. අම්ම නම් බොහොම තැන්පත් සාම්ප‍්‍රදායික අම්ම කෙනෙක්. මේ විප්ලවීය අප්පච්චි දරුවන් සම්බන්ධව ක‍්‍රියා කරන්නෙත් අමුතුම තාලෙට. නිදහස උපරිම දීල තියෙනවා. වැරදි පෙන්නල දෙනවා මිස හරි වැරුද්ද තෝර ගන්න උදව් කරනවා මිස අණපණත් පනවන්නෙ නැහැ. සැරවැරත් නැහැ. දඬුවමුත් නැහැ.

ඒ ගැන අම්මගෙන් බැනුම් අහන වාර නම් අනන්තයි. පුංචි පුතා පහ වසර වෙද්දිත් කියවන්නෙ බරපතළ පොත්. එයා වැඩියම කැමති ඉතිහාස පොත් කියවන්න. අවුරුදු දහයෙදි අහන්නෙ ‘‘මොකක්ද මේ ජීවිතේ තේරුම?, ඇයි අපි ජීවත් වෙන්නෙ?, ඇයි අපි ඉගෙන ගන්න ඕනෙ?’’ ඔන්න ඔය වගේ ප‍්‍රශ්න.

විප්ලවීය අප්පච්චිගේ පුත‍්‍ර ස්නේහය…

ඔන්න එයාලගෙ ගමේ පල්ලියෙ මංගල්ලෙ. පල්ලියෙ මංගල්ලයක් වුණාම කඩ වීදි තියෙනවා. මේවයෙ පුංචි ළමයින්ව පිස්සු වට්ටන සෙල්ලම් බඩු, අරුමෝසම් බඩු, රසකැවිලි, … පිරිලා. සමහරු මේ කඩවීදිවලට පල්ලි පොල කියලත් කියනවා. පුතා කොහොම හරි සීයට කන්කෙඳිරි ගාල ලොකු ගාණකට තුවක්කුවක් අරගෙන. අප්පච්චිගෙ හිතට හරි අමාරුයි. අප්පච්චි විප්ලවකාරයෙක් වුණාට කවදාවත් දරුවන්ට තුවක්කු අරන් දීල නැහැ. අනික විප්ලවය කියන්නෙ අවිආයුධවලින්ම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. අප්පච්චි විශ්වාස කරන්නෙ මනුස්සකම ගැන මිස අවි ආයුධ ගැන නෙවෙයි. තුවක්කු අරන් දුන්න කියල සීයට මොනවත් කියන්නත් බැහැ. හිතේ අමාරුව ගැන අම්ම එක්ක කතා බහ කරල අප්පච්චි නිහඬවම උන්නා. අප්පච්චිගෙ නිහඬබව ගුටියකට වඩා දරුණුයි. පුතාට තේරුණා තමන් කළේ වැරැද්දක් බව.

‘‘ අපි ඔයාට කවදාවත් තුවක්කු අරන් දීල නැහැනෙ පුතා. තුවක්කුවක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. අප්පචි කොයි තරම් මිනිස්සුන්ට ආදරේද, මිනිස්සුන්ගෙ ජීවිතවලට ගරු කරනවද කියල ඔයා දන්නවනේ. යහපත් මනුස්සයෙක් ගහකොල සතා සීපාවන්ටවත් හිරිහැරයක් කරන්නෙ නැහැනේ. ඔයා අප්පච්චිගෙන් සමාව ඉල්ලන්න. ’’ අම්ම පහදල දුන්නා.

‘‘ අප්පචිච් මට සමාවෙන්න. මං ආයෙ මේ වගේ දේවල් ඉල්ලන්නෙ නැහැ.’’ අප්පච්චි තනියෙන් ඉන්න වෙලාවක් බලල පුතා ළං වෙලා කිව්වා.

‘‘ඔයා හිතනවද ඔයා කළේ වැරැද්දක් කියල. තුවක්කුවක් ඔයාට අවශ්‍ය නැහැ කියල.’’ අප්පච්චි ඇහුවා.

‘‘ඔව් අප්පච්චි, දැන් මං මොකද මේ තුවක්කුවට කරන්නෙ?’’ පුතා අප්පච්චිගෙන් ඇහුවා.

‘‘ඔයාට කැමති දෙයක් කරන්න. ඇයි අපිට තුවක්කු ඕන නැත්තෙ කියන එක ඔයා තේරුම් ගත්ත නං මට ඒ ඇති.’’ අප්පච්චි කිව්වා.

දවස් කීපෙකට පස්සෙ අප්පච්චි දකිනවා පුතා තුවක්කුව කෑලි කෑලි වලට ගළවලා. ඒ තුවක්කුවේ තිබුණු නිවි නිවි දැල්වෙන ආලෝක බුබුළ සහිත කොටස විදුලි පරිපථයකට සම්බන්ධ කරල අමුතුම සෙල්ලම් බඩුවක් හදාගෙන. එයා තුවක්කුව විසි කරලත් නැහැ. කාටවත් දීලත් නැහැ. නිර්මාණශීලී හැකියාවයි, නැවුම් අදහසුයි එකට එකතු කරල ජීවිත නසන තුවක්කුව ආදරය, සතුට ගෙන දෙන ජීවිතය අලූත් කරන නිර්මාණයක් බවට පත් කරලා…

සිඟිති සුරංගනාවිටත් හරි සතුටුයි. දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන් කටයුතු කරන ආකාරයත් එක්ක දරුවන්ගෙ ක‍්‍රියා කලාපයන්, සිතුමි පැතුම් කොයි තරම් නම් වෙනස් වෙනවද? අර්ථවත් වෙනවද? ලස්සන වෙනවද? අනික් දෙමව්පියනුත් දරුවන් ගැන මේ විදියට අවබෝධයෙන් කටයුතු කරනවනම් කොයි තරම් හොඳඳ? සිඟිති සුරංගනාවිට හිතුණා.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>