Contact us now +61(0) 433 638 610

Articles

ගී කැණි මඬළ – මරණයේ භාවනාව

Posted in Art,සාහිත්‍ය by on June 8, 2013

maranaye-bhawanawa

(සිත්තම – සාමන්ත තැන්නගේ)

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
මේ පාලූ යාමයේ
පරඬැලා පත් මත
සර සර හඬින්
මරණයේ පා සලන
ස්වරයේ නද අසමි

ආරාධනා නොකර
අනවසරයෙන් පැමිණ
පාන පෙළහරෙහි සැටි දකිම්
නිදි වැරූ ඇස් අතර
හිඳ වියලි දෙතෙල් මත
තබා මුමුනන මරණයේ
සීතල පහස මා විඳිම්

රන් හුයෙන් ඔප දැමූ
මරණයේ සොඳුරු වූ
සිත්තමක් දැක ගතිමි
උකටලී නොවන්නේ
අතැඹුලක් සේ විඳිම්
ගෙන මනා සිහියෙන්

පද රචනය : ලක්ෂ්මන් වැලිවිටිය
ගායනය හා සංගීත සංයෝජනය : වික්ටර් රත්නායක

සෞන්දර්යය පවතිනුයේ මිනිස් මනසෙහිය. පංචේන්දියයන්ගෙන් ග‍්‍රහණය කර ගන්නා දෑ මනස මගින් ධ්‍යානනය කර ගැනීමේදී සෞන්දර්යය ජනනය වේ. සෟන්දර්යය වස්තුව සංවේදනයෙන් මනසෙහි ඇති වන මෙම ධ්‍යානාත්මක ප‍්‍රමෝදයෙහි මූලය උත්කෘෂ්ඨතාවයි. ගීතයක්, සංගීත ඛණ්ඩයක්, සිතුවමක් බඳු කවර සාහිත්‍යාංගයක් වුව වින්දනය කිරීමේදී හෝ සිහිපත් කිරීමේදී හෝ වදනින් පැවසිය නොහැකි සුඛාස්වාදයන් මනසෙහි ජනිත වේ. එවන් සුඛාස්වාදයන් ආත්මය විශ්මයට පත් කොට ජීවිතය සොඳුරුතර නිම්නයන් වෙත කැඳවා ගෙන යයි.
මරණයද එබඳු සෞන්දර්යයෙන් සපිරි අත්දැකීමක් යැයි හැඟ්. ඒ බොහෝ කලාකරුවන් මරණයට පෙම් බැඳ සිටි හෙයිනි. මහගම ශූරීහු සිය ‘‘නොමියෙමි’’ කාව්‍යයෙහිලා දැක් වූයේ ‘මරණය ජයග‍්‍රහණයෙකැ’යි යනුවෙනි. ජීවිතය හා මරණය එකිනෙකින් වෙන් කළ නොහැක්කේ යැයි ඛලීල් ජිබ්රාන් දැක් වූයේ ය. ඔවුහු මරණය ගුප්ත ආස්වාදයකැයිද, සෞන්දර්යයෙන් යුතු අත්දැකීමක් යැයි ද සිතූ හ.

එහෙත් එම ආස්වාදජනක මරණය එළැඹීමට පෙර ජීවිතය ඇතුළතම තවත් මරණයක් ඇත. එනම් අධ්‍යාත්මික මරණයයි. දේශපාලනයට හසු වී එහි බියකරු කමින් ද, වාණිජකරණයට හසු වී එහි කූඩ බවින් ද, සිත් දූෂණය වීමෙන් ද, දරිද්‍රතාවයෙන් ද, අපේක්ෂා කඩ වීමෙන්ද මෙම අධ්‍යාත්මික මරණය සිදු වේ. මෙසේ සැබෑ මරණය එළධීමට පෙර මිනිස්සු ජීවිතය ඇතුළත කීප වරක්ම මිය යති. එහෙත් සතනඹුවන්ගෙන්, පේ‍්‍රමයෙන් හා කලා නිර්මාණ ඇසුරින් අධ්‍යාත්මික මරණය පළවා හැරීමෙන් ඔවූහු විමුක්තියක් ලබති. එම විමුක්තිය, ජීවිත රටාව ඔප ගන්වන පරුෂාර්ථ ඇගයීම් හා යුතුකම් ලෙස හඳුනා ගත හැකිය.

අනිත්‍යය යනු විශ්වව්‍යාපී පරම සත්‍යයයි. විශ්වයේ අනිත්‍යයට හෙවත් වෙනස්වීමට බඳුන් නොවන එකම ධර්මතාව ‘‘අනිත්‍යයම’’ පමණකි. අනෙක් සියලූ දේ වෙනස් වීමට බඳුන් වේ. එබැවින් මිනිස් දිවිය හා සම්බන්ධව නියත වශයෙන්ම සිදුවන දෙයක් ලෙස දැක්විය හැක්කේ මරණයට පමණි. එසේ වුවත් අප කිසිවකු නොදන්නේද මරණය පිළිබඳවමය. ඒ පිළිබඳව අප තුළ ඇත්තේ ද අසුභවාදී, ශෝකී හැගුම් පමණි.

මරණයට හා ඉන් පසු අපට සිදුවන දෑ විස්තර කෙරෙන මහායාන සම්ප‍්‍රදායේ ‘‘තිබ්බත මළ පොත’’ (බර්ඩෝ තොදොල්) මගින් මිය යන අවස්ථාවේදී මහා සිහියක් ඇතිව සිටිය හැකි කවරකුව වුවද, නිර්වාණ ධාතුව වූ ශුද්ධාලෝකය පහළ වන විට ඒ හා එක් වී නිර්වාණය සාක්ෂාත් කළ හැක්කේය යන ගුප්ත විවරණය ඉදිරිපත් කෙරේ.
මරණය පිළිබඳව ගැඹුරු වූ ද, සුවිශේෂ වූ ද නව මානයකින් විවරණය කෙරෙන අපූර්ව ගීතයක් මෙවර ගී කැණිමඬලට තේමා වූයේය. ඒ ප‍්‍රවීණ ලේඛ ලක්ෂ්මන් වැලිවිටියගේ ගී පද රචනා රැගත් ‘‘උඩු ගං බලා’’ ගී සමුච්දයෙහි අන්තර්ගත විශාරද වික්ටර් රත්නායකයන්ගේ සංගීත සංයෝජනයෙන් හා ගායනයෙන් පරිපූර්ණත්වයට පත් ‘‘නෙත් කෙවෙනි අග පිපුණු’’ ගීතයයි.

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
මේ පාලූ යාමයේ
පරඬැලා පත් මත
සර සර හඬින්
මරණයේ පා සලන
ස්වරයේ නද අසමි

හුදෙකලාව, ඔත්පළව යහන මත වැතිරී සිටින ජරා ව්‍යාධී තත්වයට පත් වියපත් පුද්ගලයෙකුගේ චෛතසිකය මෙසේ විවරණය වේ. දෑසෙහි නැගි කඳුළින් දෘෂ්ටිය බොඳ වී ගොසිනි. කඳුළු බිඳු පිසලන්න යැයි සිත සංඥා කළ ද, එයට දෑත් වලංගු නොවේ. උවටැනට කිසිවකුදු නැත. නිහඬ, අඳුරු රාතී‍්‍ර යාමයේ ඇසෙන්නේ රැහැයි නද පමණි. ඒ අතරින් පරඬැලා පත් මත ‘සර සර’ හඬින් පා තබා සෙමෙන් පැමිණෙන මරණයේ ස්වරය අසා හිඳිමි’යි මරණාසන්න පුද්ගලයා දක්වයි.

පරඬැලා පත් යනු මිය ගොස් වියලූනු පත‍්‍රයන්ය. පරඬලා පත් පෑගෙන විට නැගෙන සර සර නද ශ‍්‍රාවක මනස තුළ ශ‍්‍රව්‍යගෝචර සංකල්පනා මතු කරයි. මෙමගින් මරණය පිළිබඳ බිය ජනක බව ධ්වනිත කිරීමට ගීත රචකයා සමත් වේ. පරපුරක් ගොඩ නැගූ, එහෙත් මේ අවසඟව වැතිර සිටින පුද්ගලයාගේ සරණට කිසිවකුදු නොවේ. ඔහු තුළ ඇත්තේ ජරා, ව්‍යාධී, මරණ පමණක්මය. එහෙත් ඔහුගේ අපේක්ෂාව ජීවිතයයි. සිතින් යදින්නේ දීර්ඝායුෂයි. දුක, සැපයක් සේ සිතන ඔහු සැබෑ සැපයට බිය වෙයි. සැබෑ සැපයට බිය ඇති කරන්නේ අකුසලයයි.

නෙත් කෙවෙනි අග පිපිණු
ආරාධනා නොකර
අනවසරයෙන් පැමිණ
පාන පෙළහරෙහි සැටි දකිම්
නිදි වැරූ ඇස් අතර
හිඳ වියලි දෙතෙල් මත
තබා මුමුනන මරණයේ
සීතල පහස මා විඳිම්

මෙම අන්තරා කොටසින් පුද්ගලයාගේ මරණාසන්න මොහොත විවරණය වේ. අනාරාධිතව, අනවසරයෙන් පැමිණෙන මරණය දක්වන ප‍්‍රාතිහාර්යයන්ගේ සැටි දැක ඇත්තෙමි. ඔත්පළව සිටින්නාට නින්ද නොයයි. නිදි වරා සිටින ඔහුගේ නෙතු පිය අතර මරණය සැරි සරයි. මරණ බිය දැනෙන කල්හි දෙතොල ද වියැලී යයි. එවිට වියැලි දෙතොල් මත හිඳ සිහින් සරින් කොඳුරන මරණයේ පහස ඔහුට දැනේ.

ආරාධනා කොට මාරයා පැමිණියේ බුදුරදුන් වෙත පමණි. බුදු සමයෙහි මාරයා යනු මරණය සංකේතවත් කරන යෙදුමකි. මාරයා පවට අධිගෘහිත වූවෙකි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම වැළැක්වීම සඳහා බාධා කළ මාරයා සහ දූවරුන් විවිධ අයුරින් උන් වහන්සේ වසඟ කර ගැනීමට ගත් උත්සාහයන් නිශ්ඵල වූ අයුරු බුදු සිරිත ඇසුරින් ප‍්‍රකට වේ. අවසන බුදුන් වහන්සේට ආරාධනා කිරීමට මාරයාට සිදුවේ. චාපාල චෛත්‍යය අබිමුව දී මාරාධනය පිළි ගෙන ආයු සංස්කාරය අත් හැරීමට බුදුන් වහන්සේ තීරණය කළහ.

එහෙත් පුහුදුන් පුද්ගලයන් වෙත මරණය පැමිණෙන්නේ අනාරාධිතව කුණාටුවක් මෙනි. අස්මිමානය ප‍්‍රබල වන තරමට මරණය පිළිබඳව ඇති බියද ප‍්‍රබල වන්නේය. බුදු දහම මෙම අස්මිමානයෙන් මිදෙන මගක් නිර්දේශ කොට ඇත. ඒ භාවනාවයි. යම් පුද්ගලයෙකුට අස්මිමානයෙන් හෙවත් මමය, මාගේය යන සාවද්‍ය පිළිගැනීමෙන් මිදිය හැකි වන විට සිත බිය පහව සාමය, සංහිඳියාව හට ගන්නේය. එවිට හැරයා නොහැකි දෙයක් නොමැත. සියල්ල අනිත්‍ය බවත්, කල් පවත්නා තෘප්තියක් නොමැති බවත් වටහා ගත් ක්ෂණයෙහි ප‍්‍රඥාව පහළ වන්නේය. එනයින් මරණය වූ කලී නිවී යාමකි.

නෙත් කෙවෙනි අග පිපිණු
කඳුළු බිඳු පිසලන්න
රැහැයියන් හඬන
රන් හුයෙන් ඔප දැමූ
මරණයේ සොඳුරු වූ
සිත්තමක් දැක ගතිමි
උකටලී නොවන්නේ
අතැඹුලක් සේ විඳිම්
ගෙන මනා සිහියෙන්

රන් නූලෙන් ඔප දමා නිම කළ සුන්දරතර සිතුවමක් සේ මරණය දැක ගතිමි. අලස නොවී, නොපසුබටව මනා සිහියෙන් මරණය අතැඹුලක් සේ විඳින්නෙම් යැයි මෙහිදී මරණයේ සෞන්දර්ය පක්ෂය සිහියට නංවයි.

බෞද්ධ සාහිත්‍යය තුළ, දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත‍්‍රය රමණීය භාව ගීතයකි. චමත්කාරජනක රසවාහිනියකි. වියපත් මානුෂවාදී සැබෑ බුදු රදුන් අප හදවත් තුළට සජීවීව වැඩම කරන්නේ මහා පරින්බ්බාන සූත‍්‍රය ඔස්සේය. එය බුදු සිරිත පිළිබඳ අසිරිමත් අධ්‍යාත්ම කාව්‍යය ද වන්නේය.

‘‘මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලාහ. නොපමායෙන් තුන් සිත සපයව්. නොබෝ කල්හි තථාගතයන් පිරිනිවෙන්නාහ.’’යි තමන් වහන්සේ බැහැ දැකීමට රැස් වූ — වදාළන්නාහ. අනතුරුව විසල් පුර පිඬු සිඟා වඬින අසූ වියැති බුදු රදුන් පසු දින මල්ල රජ දරුවන්ගේ සල් වනයට සම්ප‍්‍රාප්ත වන්නාහ.

ලොව සියලූ පදරුත් අතැඹුලක් සේ දැන දෙව්, මිනිස් සියල්ලන්ගේ අර්ථය පිණිස කැප වූ අසමසම දාර්ශනිකයාණන් ලෙසද, විමුක්තිදායකයාණන් ලෙසද තිලොවට අග‍්‍ර වූ බුදුන් වහන්සේගේ පිරිනිවන දුකට, ළතැවුලට නොව ජීවිතය පසක් කර ගත හැකි මංගල්‍යයක් වැන්න. පිරිනිවන් මංගල්‍යයක් යනු බුදුවරයෙකුට පමණක් හිමි වන උතුම් මංගල්‍යයකි.

මේ අනුපම මරණයට අගයක් ලබා දීම උදෙසාම, මරණින් මතු හේතු ඵල ධර්මයන්ගෙන් සකස් වන නව දිවියට අර්ථයක් ලබා දීම පිණිසම සාමාන්‍ය පුද්ගලයන්ද සුභවාදී ආකල්පයෙන් එළැඹ සිටි සිහියෙන් මරණයට මුහුණ දීමට දිරිමත් විය යුත්තේය යන්න ප‍්‍රබලව ධ්වනිත කිරීමට ගීත රචක ලක්ෂ්මන් වැලිවිටිය මෙහිදී සමත් වේ.

මරණයට ඇති බිය, එහි ගුඪභාවය මෙන්න මරණයේ සෞන්දර්යය දැන වීමට භාවිත කොට ඇති වදන් පමණක්ම වැලිවිටිය සතු ප‍්‍රතිභාව ප‍්‍රකට කරයි. වික්ටර් රත්නායකයන්ගේ තනු නිර්මාණය, සංගීත සංයෝජනය මෙන්ම ගායන කෞශල්‍යය ද ගීතයේ පරිසමාප්ත බවට ප‍්‍රබල ලෙස දායක වී තිබේ. සුභාවිත ගීත සාහිත්‍යය පොබයන පහන් ටැබක් සේ මෙම ගීතය අගය කළ යුත්තේමය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>