Contact us now +61(0) 433 638 610

Articles

මාර්ටින් වික‍්‍රමසිංහ අවුරුදු දහතුනේදී කළ වික‍්‍රමය

Posted in සාහිත්‍ය by on August 17, 2013

martin wickramasinghe

– නුවරඑළියේ හේමපාල
හෙළයේ මහා ලේඛකයා වූ මාර්ටින් වික‍්‍රමසිංහ විසින් ලියන ලද ග‍්‍රන්ථ පෙළගැස් වූ කල මුලටම ඇත්තේ ‘බාලෝපදේශය’ ග‍්‍රන්ථයය. ‘බාලොපදේශය’ ලියැවුණේ, 1903 දීය. ‘බාලොපදේශය’ නම් ග‍්‍රන්ථයක් මාර්ටින් වික‍්‍රමසිංහ ලියා ඇතැයි දන්නා වැඩි දෙනෙක්, එය ලියවුණේ ලේඛකයාගේ ජීවිත කාලය අතරතුර එළැඹි කිනම් වකවානුවකදැයි නොදනිති.
‘බාලොපදේශය’ ලියවුණේ 1903 අවුරුද්ද වෙද්දී, මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛනයට පය නොතැබූවෙකි. එය ඔහු මහා ලේඛකයකු තබා ලේඛකයකු ලෙසින්වත් හැදින්වීමක් නොලද, කාලයක එය ලියා තිබුණේය. ‘බාලොපදේශය’ ලියවුණු 1903 වර්ෂය වෙද්දී, මාර්ටින් වික‍්‍රමසිංහ ගෙවමින් තිබුණේ වයස අවුරුදු දහතුනක් තරම් ළාබාල වයසකි.

එතරම් ළාබාල වයසකදී කවි අසූ තුනක් පබදා මාර්ටින් වික‍්‍රමසිංහ කළ වික‍්‍රමය, නිසි ඇගයීමකට ලක්ව නැත. මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් හත් වතාවටත් ‘බාලොපදේශය’ මුද්‍රණයෙන් පළකර තිබුණද, එයට මේ දක්වාම නිසි අවධානයක් ලැබී ඇත්තේ ද නැත.

එයට හේතුව වී ඇත්තේ ‘බාලොපදේශය’ පිළිබදව මේ මහා ලේඛකයා දක්වා ඇති සැලකිල්ලේ තරමය. අවුරුදු දහතුනේදී තමන් අතින් ලියවුණු ‘බාලොපදේශය’ වැදගැම්මකට ඇති ලියවිල්ලකැයි ඔහු සලකා තිබුණේ ද නැත.

මාර්ටින් වික‍්‍රමසිංහ උපන් දා සිටම පෙළ ගැසුණු ජීවන සිදුවීම් අළලා ‘උපන්දා සිට’ නමින් සිය ජීවිත කතාව ලිවීය.

‘උපන් දා සිට’ පොතේ ඔහු ලියූ පොත් සියල්ලකම පාහේ වතගොත ඇතුළත්ය. එසේ වුවත්, උපන් දායින් වසර දහතුනකට පසු මුල්වරට ලියන ලද ග‍්‍රන්ථය වන ‘බාලොපදේශය’ පිළිබ`දව ස`දහන් එකදු වැකියක් ‘උපන් දා සිට’ පොතේ නැත.

බාලෝපදේශය සැබැවින්ම මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛකයා විසින් ලියන ලද්දක්ද ? මේ පැනයට මහා ලේඛකයා ජීවතුන් අතර සිටියේ නම් ඔහු දෙනු ඇත්තේද ‘නැත’ යන පිළිතුරය. ඔහුගේ ජීවිත කතාව සදහන් ‘උපන් දා සිට’ පොතේ ‘බාලොපදේශය’ ගැන සදහන් නොවීමට හේතුවද, බාලෝපදේශය මාර්ටින් වික‍්‍රමසිංහ ඔහුගේ ස්වාධීන නිර්මාණයක් ලෙස පිළි නොගැනීම ය.

අවුරුදු දහතුනේ දී කළ වික‍්‍රමය කළේ තමන් යැයි මාර්ටින් වික‍්‍රමසිංහ පිළිගැනීමට මැලි වූ කාරණය, ඔහුගේ පුත් රංග වික‍්‍රමසිංහ ‘බාලොපදේශය’ හත්වැනි මුද්‍රණයට කළ පෙරවදනෙන් වටහා ගත හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් බාලෝපදේශය හත්වැනි වරට මුද්‍රණයෙන් නිකුත්ව තිබුණේ 2008 වසරේදීය.

රංග වික‍්‍රමසිංහ ඊට එක් කළ පෙරවදනෙහි මෙසේ සදහන් වේ.

”බාලෝපදේශය මගේ පියා විසින් රචනා කරන ලද පළමුවන පොත ලෙස ප‍්‍රකටය. මේ කුඩා කවි පොත ලිවීමේ පසුබිම් පුවත, බෙහෙවින් සිත් ගන්නා සුලූ බව මගේ හැගීමයි. තාත්තා බාල වියෙහිදී දගකම්වලින් මුරණ්ඩු වූ ගැමි දරුවකු විය. ගමේ වන රොද තුළ දුව පැන යමින්ද කෙළි පිටියෙහි දවස පුරා කෑ මොර ගසමින්ද ගෙවූ කාලය තාත්තාගේ මවගේ සිතට මහත් කනස්සල්ලක් ගෙන දුන් කරුණක් වූ බව පසු කලෙක තාත්තා මා සමග පැවැසීය.

තාත්තාගේ පියා මියගොස් සිටි හෙයින් තම එකම පුතාගේ මුරණ්ඩුකම් මග හරවනු පිණිස ආච්චි, තාත්තාගේ වැඩිමහල් ඥාති සහෝදරයකු වූ ඇම්. ඞී. වික‍්‍රමසිංහ මහතා වෙත ඔහු යොමු කරවූවාය. කොග්ගල ධීරානන්ද නමින් කලක් පැවිදිව සිටි විද්වතකු වූ ඇම්. ඞී. වික‍්‍රමසිංහ මහතා සියලූ ගුරු හරුකම් හා කවි බැදුම් පිළිබද රචනා ක‍්‍රම ද පහදා දී දහතුන් හැවිරිදි කුඩා වික‍්‍රමසිංහ ලවාම දරුවකු හිමවන උපදෙස් සහිත කවි පොතක් රචනා කරවීම අපූරු උපාය මාර්ගයකි. බාලෝපදේශය නම් වූ එම කාව්‍යය තමාගේ ස්වාධීන නිර්මාණයකැයි පැවසීමට තාත්තා මැලි වූයේ වැඩිහිටි ඥාතියාගේ උපදෙස් ලබා එය ලියූ නිසා යයි සිතමි.”

අවුරුදු දහතුනේ දී කවි අසූ තුනකින් සමන්විත කාව්‍යයකින් පෙළහර පෑ මාර්ටින් වික‍්‍රමසිංහ, පසු කලෙක මහා ලේඛකයකු ලෙස බිහිවන්නට ‘බාලොපදේශය’ අංකුර නිර්මාණය බලනොපන්නාට ඇතැයි කාට නම් කිව හැකිද?

කවි අසූ තුනකින් සමන්විත බාලෝපදේශයෙහි ඇතුළත් කවි කිහිපයක් පහත පළ වේ.

උතුම් ගුණැති එක පුතුම ත්
මෝඩ පුතුන් සියයකට ත්
තරිදු අදුර නසනු සම ත්
තරු රැසකුත් එලෙස නොවෙ ත්

උගත්කමද හික්මීම ද
නැති පුතුගෙන් කවර පල ද
නොපෙනෙන ඇස් දෙකින් නිබ ද
පීඩා මිස කවර පල ද

සොද සුවදැති මලක සිටි න
පණුවෙක් මුත් නගියි යෙහෙ න
උතුමන් සිරසට නිදුකි න
එයින් ඇසුරු කරනු සුද න

මහත් රුකක් ඇසුරු කර න
අයහට ගෙඩි නැතත් එයි න
ලැබේ සෙවන සැකයක් නොව න
එලෙසය උතුමන් සේ ව න

පැමිණි කලට හදිසි විප ත්
දුකින් තැවෙනු නොව යහප ත්
ඒ ගැන කටයුතු ඇත හො ත්
නුවණින් කරනුය යහප ත්

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>