Contact us now +61(0) 433 638 610

Articles

මට වැරදුනු තැන් – එළකිරි

Posted in ආකල්ප,ජීවිතය by on September 9, 2013

කලකට පෙර ලංකාවේ එළකිරි යනුවෙන් හැදින් වූයේ එළකිරි ය. එකල ලංකාවේ ගම් සහ වතු වල පිහිටි බොහෝ නිවෙස් වල එළ හරකෙක් සිටියා මට මතක ය. ඉන්පසු ලක්ස්ප්‍රේ හෝ ලැක්ටෝජන් වැනි පිටි කිරි මෙන්ම කල් කිරි ද විය. ඒ සියල්ලද එළ කිරි ගණයටම අයත් විය. ඒ සමගම අසූව දශකයේ මුල් භාගය වන විට ගම්වල සිටි එළ හරක් පට්ටි වලින් දොට්ට බසින්නට විය. ඊට සමගාමීව කුඹුරු වල සිටි මී හරක් යකඩ හරකුන්ගෙන් ප්‍රතිස්ථාපනය වන්නට පටන් ගත්තේ ය. එකල ගොයම් ගස් අතරින් මාළුන් පිහිනා යාම සුලබ දසුනක් වීය. ඔයවල් වල ආදා මාලූවෝ ඇති පදන් සිටිය හ. නියර වල කක්කුට්ටෝ ත් සිටියහ. අද වන විට ලංකාවේ ගවපට්ටි ගවයන්ගෙන් සිස් ය. කුඹුරු මී හරකුගෙන් සිස්ය. නියර කක්කුට්ටන්ගෙන් සිස් ය. ඔයවල් ආදා මාලූන්ගෙනුත් සිස් ය. එසේ වුවද අදටත් එළ හරක්, මී හරක්, කක්කුට්ටන් සහ ආදා මාලූන්ගෙන් එරටද නො සිස් ය. එපමණක් නොව අද එළකිරි කියා කියන්නේ අඩු තරමින් කිරිවලටවත් නොවන්නේ ය. වෙනම දේකට ය. කිරි කෑල්ලද හැළී ගොසින් ය. දැන් ඉතිරිව ඇත්තේ එළ එළ පමණය.
ඉහත කාරණා ගැන කියන්නට සිදුවූයේ “ටී” ගැන යමක් කියන්නට ය. දිනක් අප මිතුරෙකුගේ නිවසට ආ ජපන් ජාතිකයෙකු හට ඔහුගේ ඉල්ලීම පරිදි තේ කෝප්පයක් පිළිගන්වා තිබේ. තේ කෝප්පය දෙස බොහෝ වෙලාවක් බලා සිටි ජපන් ජාතිකයා “මට කිරි එපා. කරුණාකර තේ කෝප්පයක් දෙන්නැ”යි නැවත ඉල්ලා තිබේ. ලාංකිකයෝ තේ වලට කියන්නේ ප්ලේන්-ටී ය. සිංහලෙන් කියනවා නම් කහට ය. ලාංකිකයා තේ යනුවෙන් හඳුන්වන්නේ පිටි කිරි හෝ එළ කිරි වැඩිපුරත් කහට අඩුවෙනුත් යොදා සැදූ පානයකට ය.
යටත් පිරිසෙයින් අසූව දශකයේ දෙවෙනි භාගය වනතුරු ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ ය. එහෙත් ලාංකිකයා බොහෝ විට තේ යැයි සිතා සිටියේ සුවීපින් ය. නැතිනම් තේ කම්හලේ අතු ගා ඉවත දමන කසළ ය. ඒ කසල තේ වලට මුලින්ම පිටි හැන්දක් දමා අපි තේ හැදුවෙමු. මුලින්ම සීනි කෑවේ අල්ලට ය. හ‍ඳෙන් හාල් එනතුරු බලා සිටි එකල අපි පුංචි එවුන් ය. ක්‍රම ක්‍රමයෙන් අල්ලට සීනි කෑම අපෝ විය. ඉන් අනතුරුව කසල තේ එළෙසම තිබියදී පිටි සහ සීනි හැදි ගාන වැඩි වන්නට විය. ස්ට්‍රෝන් ටී වල උපත සිදුවන්නට ඇත්තේ එසේ විය හැකිය.

තේ ගැන මා දැනගත්තේ නොතේරෙන කාලයේ සිටම ය. ඒ මා උපන්නේත් හැදී වැඩුනේත් තේවත්තක නිසා ය. එච්චර දැන ගත්තත් ජන්මෙට වඩා පුරුද්දේ ලොකු කම නිසා මා අතින් සිදු වූ වරදක් ගැන කියන්නටය, මෙවැනි වට වන්දනාවක යාමට අපට සිදු වූයේ. කසළ තේ වුවද, සීනි පිටි දැමූ පමණින් කසළ තේ නිකසළ නොවන්නේ යම් සේද, කරුණු කාරණා දත් පමණින්ම මා අතින් සිදු වූ වෘෂභ වැඩද නිවැරදි නොවන්නේ ය.

ලංකාවේ අප සේවය කළ හැම ආයතනයකදීම අප වෙනුවෙන් තේ සාදා දීමට කවුරු හෝ සිටියේ ය. එහෙත් ලංකාවෙන් පිටත ආපන ශාලාවකින් හැරුනු කොට අපේ තේ කෝප්පය අපිම සාදා ගතිමු. ඕස්ට්‍රේලියාවේදී අප සේවය කළ ආයතන ගණනාවකදී අපේ ප්‍රධානීන් අප වෙනුවෙන් තේ හෝ කෝපි කෝප්පයක් හදා දීමට ඉදිරිපත් වූ මුල් අවස්ථාවන්හිදී මට මගේ දෙනෙත් අදහා ගැනීමට අසීරු විය. ලංකාවේදී සුළු සේවකයෙක් ලවා තේ කෝප්පයක් හදා ගැනීමේදී අප තුළ වූයේ කෙබඳු මනෝ භාවයක්ද ? එය බොහෝ විට අධිපති මානසිකත්වයට ළංවූ අතර හිතෛශී භාවයට දුරස් වූවා යැයි අපට සිතේ. ඕස්ට්‍රේලියාවේදී සිදු වූයේ එහි අනෙක් පැත්තය.

දැනට කාලයකට පෙර එක්තරා සේවා ස්ථානයක සේවයට ගිය මුල්ම දින කීපයේදී එම ආයතනයේ ඕස්ටේ්‍රලියානු ජාතික කළමනාකාරු මුල්ම දින කිහිපයේදීම තේ වේලාවේදී අප වෙනුවෙන්ද තේ හෝ කෝපි කෝප්පයක් සදා දීමට ඉදිරිපත් වුණි. මුල් දින කීපයේදී ඒ ගැන කිසියම් නොසන්සුන් කමක් ඇති වුවද පසුව තේ හැදීම බොස්ගේ රාජකාරියකැයි සිතන තරමට අපේ ඔළු පවා නරක් වෙමින් පැවතිණ. මේ අතර දිනක් එම ආයතනයේම සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයෙක් කිරි පිටි පැකට්ටුවක් රැගෙන ආවේ ය. එදින තේ හැදීම මා විසින් බාර ගන්නා ලදි. ඒ අපි සියලූ දෙනාම ඛෙහෙවින් වෙහෙස වූ දිනයකි. ආයතනයේ ප්‍රධානියා වෙනුවෙන් මා සැකසූ තේ කෝප්පයේ වට්ටෝරුව පහත දැක්වෙන ලැයිස්තුවේ දැක්වේ.

කිරිපිටි පුරවා හැදි 4 යි
ටී බෑග් 2 යි
සීනි හැදි 3 යි
මයිලෝ හැදි 2 යි

සීනි, කිරිපිටි සහ මයිලෝ කෝප්පයට දමා වතුර ස්වල්පයක් එක්කොට පළමුව හොදින් මිශ්‍රකර ගන්නා ලදි. වෙනත් කෝප්පයකට ටී බෑග් දෙක දමා උතුරන වතුර දමා විනා-ඩියක් පමණ තැම්ඛෙන්නට හැරියෙමි. ඉන් පසු කලින් කළවම් කරන ලද මිශ්‍රණයට තේ කහට ක්‍රමයෙන් මිශ්‍ර කෙරුවෙමි. මෙසේ සාදා ගත් තේ කෝප්පය මම මගේ ප්‍රධානියාට පිළිගැන්වුවෙමි. හොඳම දේ සිදුවූයේ ඉන් පසුවය. තේ උගුරක් තොළ ගෑ ලොක්කා කෙළින්ම ගියේ සෝදන බේසමට ය. ඔහු මට මෙසේ කීය. “උඹේ තේ එක ඇත්තටම හොඳටම හොඳයි. ඒත් මම කැමති මෙහෙම” කියා කෝප්පයකට තේ බෑගයක් දමා උතුරණ වතුර එක් කර සීනි නොදමා දියර කිරි ඉතා ස්වල්පයක් ඊට එක් කර සිය පානය සකස් කර ගත්තේය. ඒ සමග පැමිණි ඉන්දියානු සේවිකාව කළේ වීදුරුවක් පිරෙන්නම කිරි පමණක් දමා සීනි හැදි දෙක තුනක් ඊට එක්කර ඇගේ පානය සකස් කර ගැනීමය. තමන් අකමැති දෙයකට වුවත් නොගරහා ඒ අයගේ සිත් නොරිදවා තම අභිප්‍රායන් සාක්ෂාත් කර ගන්නා ආකා-රය මම බොහෝ ඕස්ටේ්‍රලියානුවන් කෙරෙන් දැක ඇති උසස් ගුණයක් බවත් මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.

සිය තරුණ කාලය තේ වතු සහ තේ කම්හල් වල ගත කළ මගේ පියා තේ කෝප්පයක් රසවිඳීමේ නියම ක්‍රමය දැන සිටි අයෙකි. ඔහු බොහෝ විට පානය කළේ සීනි නොදැමූ තේ කහට ය. තේ කෝප්පයකින් නැගෙන සුවඳින් තේ වල ගුණාගුණ කීමට තරම් හැකියාවක් ඔහුට තිබුණි. සැබවින්ම ඔහු තේ කෝප්පයක නියම රස නියමාකාරයෙන් විඳි අයෙකි. ජපන් තේ උත්සවයකට සහභාගී වන්නට ලැබුණා නම් තේ කෝප්පයක් රස විඳින අයුරුත්, තේ කෝප්පයක් රස විඳින කලාවත් අවබෝධ කර ගැනීමට ඔබට හැකි වනු නොඅනුමානය.

ඕස්ට්‍රෙලියාවේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ගේ ස්ඵූලතාව ඉහළ ආදායම්ලාභී පවුල්වල දරුවන්ට වඩා වැඩි බව පසුගි-යදා ඒබීසී ගුවන් විදුලියේ වැඩසටහනකට සවන් දීමේදී අපට අසන්නට ලැබුණි. ඒ ගැන තවදුරටත් විස්තර කළ විශේෂඥවරිය පැවසූවේ වැඩි ආදායම් ලබන අයගේ දැනුවත්භාවය නිසා යහපත් ආහාර පුරුදු, ක්‍රීඩා සහ ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් වලට දරුවන්ව යොමුකිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව ය.

මෙල්බර්න් නුවර අමු සළාද කෝප්පයක මිළ චීස් බටර් හැම් බේකන් දමා හැදූ බර්ගර් එකකට වඩා මිළෙන් වැඩි වන්නේ ඒ නිසා ද ?

මෙහිදී මා දැක්වූ කරුණු අනුව මට වැරදුණේ අපට වැරදී තිබුණු නිසා නොවේ ද ? ලොව දියුණු මිනිසුන් (රටවල් නොවේ) ඉගෙන ගැනීමට වෙහෙසෙන්නේ රසවිඳීමේ කලාව ය. නොදියුණු අය වෙහෙසෙන්නේ වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමේ කලාව ප්‍රගුණ කිරීමට ය.

මගේ ප්‍රධානියාගේ තේ කෝප්පයට මා දැමූ පිටි, සීනි සහ මයිලෝ යන සියල්ලම අපතේ ගියේ ය. තේ කෝප්පයක් යනු බඩ පුරවන කෑමක් නොව කිසියම් ආකාරයක අත්දැකීමක් යන කාරණය ඔහු නිසා මම තහවුරු කර ගතිමි. ආහාර වේලකට සැප යයි කියා එකතු කර ගන්නා අනවශය දේවලට අමතරව තව කොපමණ දේවල් පසුපස අපි හඹා යන්නෙමු ද ? ඒවා ඇත්තටම අපට අවශයම ද ? කිසියම් හේතුවක් නිසා අනවශ්‍ය දේ අවශය බවට මනසේ පටිගත වූ කල්හි ඒවා මකා දැමීමට හැක්කේ එක්කෝ ලෙඩ රෝගයක් වැනි ව්‍යසනයකට ය. නැතිනම් බුද්ධිමත්ව කරුණු තේරුම් ගැනීමෙනි.

සරල ලිපියකින් පාඨකයාට ලැඛෙන වින්දනය අපභ්‍රංස නිබන්ධනයකින් නොලැඛෙන්නේ ය. අනෙක් අතින් සරලකම යනු බොළඳත්වයද නොවන්නේ ය. තේ කෝ-ප්පයකට වුවද මෙය සත්‍යයක් නොවන්නේ ද ?

නෝබූ යනු ලෝකප්‍රසිද්ධ ජපන් සූෂී කෝකියෙකි. ඔහුගේ ජනප්‍රියත්වය පසු පස ඇති රහස වන්නේ ඔහුගේ ආහාර වට්ටෝරු වල ඇති සරලත්වය ය. අනෙක් කෝකීන් ආහාර වලට කුළු බඩු එකතු කරන විට නෝබූ කරන්නේ අනවශ්‍ය කුළු බඩු ඉවත් කිරීම ය.

පූජ්‍ය තිච් නැන් හැන් හිමියෝ මෙසේ පවසති.
“ඔබ පානය කරන තේ උගුර, අනාගතය කරා ඉතා සෙමින් සහ කළබලයකින් තොරව භ්‍රමණය වන ලෝකයේ අක්ෂය යැයි සිතා දැඩි භක්තියෙන් සහ සංයමයෙන් එය පානය කරන්න.”

ලෝකයේ හොඳම තේ ගස් සෙවනේ සිට අපි ලෝකයේ මහාපරිමාණයෙන් පිටිකිරි නිපදවන රටවල් පවා අවම වශයෙන් පරි-භෝජනය කරන පිටිකිරි රසවිඳින්නේ ඇයි ? අද අප හඹා යන දේවල් සියල්ලම ජීවත් වීම පිණිස ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය ද ? වර්තමානයේ අපට සම්මුඛ වන හැම්, බේකන්, චීස් බටර් මානසිකත්වයේ අයට වඩා ගොටුකොළ සම්බෝලයත්, ඛෙලි මල් කෝප්පයත් රසවිඳින්නට පුරුදුව සිටි පැරණි ශ්‍රී ලාංකික ගැමියා බුද්ධිමත් නොවූයේ ද ? එකල මිනිසුන් ලෙඩ ඇඳට වැටුණේ රෝග වලට ඛෙහෙත් නැතිව ය. අද බොහෝ මිනි-සුන් ලෙඩ වන්නේ කෑම වැඩිකමටය.

මගේ ප්‍රධානියා විසින් එදින සෝදන බේසමට හැලු තේ ගලා ගියේ ජන්මයට පවා අවතන නොවූ පුරුදුත් සමග නොවේදැයි දැන් අපගේ කල්පනාවට එන දෙයකි.

මා දැන් කල්පනා කරන්නේ අනිත් කාරණා සම්බන්ධවත් මගේ හැසිරීමත් අවබෝධයත් එසේ නොවීමට කිසියම්ම හෝ ඉඩක් ඇත්දැයි යන්න ගැනය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>