Contact us now +61(0) 433 638 610

Articles

මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමූ පුද්ගලයෙක්

Posted in ආගමික by on March 15, 2013

pic-1303-08

-හසිත ගුණසිංහ | ඡායාරූප – සාමන්ත

මිනිස් සිරුරේ තිබෙන නව ද්වාරයකින් වැගිරෙන ද්‍රව්‍යයන්ගෙන් දුගඳ හමන මිනිස් සිරුරේ දුගඳ වසාගන්නට බොහෝ දෙනා විවිධ අයුරෙන් වෑයම් කරති. විශේෂයෙන්ම මුඛයෙන් දුගඳක් වහනය වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුවට පත් වන අතර රෝගී තත්වයක් මත හෝ වෙනයම් හේතූන් මත එවැන්නක් සිදුවිය හැකිය. එසේ වුවත් උපන් මොහොතේ පටන් තමන්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමූ පුද්ගලයෙක් පිළිබඳ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ හමුවෙයි.

බුද්ධ කාලීන කොසොල් ජනපදයේ සැවැත් නුවර හතළිස් කෙළක් පමණ ධනය තිබුණු සිටුතුමෙක්ට දාව සිටු දේවියට පුත් කුමරෙක් උපන් අතර මේ සිටු කුමරා මුඛය විවර කරන වාරයක් පාසාම සිටු මැදුර පුරාම මහනෙල් මල් සුවඳ පැතිරෙන්නට වුණි. මේ හේතුව කරණ කොටගෙන පුත් කුමරාට දෙමාපියන් විසින් ‘උත්පලගන්ධ’ ලෙස නම් තබන ලදී.

තරුණ වියට එළඹුණු උත්පලගන්ධ සිටු කුමරාට දෙමාපියන් විසින් සිටු කුමරියක් සරණ පාවා දුන් අතර මෙලෙස කල් ගත කරන උත්පලගන්ධ සිටු කුමරාට බුදුන් වහන්සේ මුණ ගැසුණි. තථාගත ධර්මය ශ‍්‍රවණය කළ උත්පලගන්ධ සිටුතුමා ගිහිගෙය පිළිබඳ කළකිරී තමන්ගේ හතළිස් කෙළක් ධනය සමග සිටු තනතුරත් ගිහි සැපතත් අත් හැර පැවිදි බිමට පිවිසුණේය.

මහණ දම් පුරමින් විදර්ශනා භාවනාව වැඩූ උත්පලගන්ධ තෙරුන් වහන්සේ අරහත්වයට පත්වූ අතර උත්පලගන්ධ රහතන් වහන්සේ නමින් ප‍්‍රසිද්ධියට පත්වූහ.

උත්පලගන්ධ සිටුතුමා සියලූ සැප සම්පත් අත් හැර දමා පැවිදි වූ බව ඇසූ කොසොල් ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා හිමියෙක් නැති භාණ්ඩයක් වේ නම් ඒවා රජු සන්තක වේ යැයි පැවසා උත්පලගන්ධ සිටුතුමාගේ වස්තුව තමන් සතු කරගත් අතර උත්පලගන්ධ සිටු දේවියවද අන්තඃපුර බිසවක් බවට පත් කරගන්නා ලදී.

රජුට මල් රැගෙන එන මාලාකාරයෝ දිනක් රජතුමාට මහනෙල් මල් ගෙනවිත් දුන් අතර රජතුමා ඒ මල් තම අන්තඃපුර බිසෝවරු 500 ක් අතරේ බෙදා දුන්නේය.

ඒ මහනෙල් මල් සුවඳ ආඝ‍්‍රණය කළ සිටු දේවියට තමන්ගේ පෙර ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමාගේ මුඛයෙන්ද මේ ආකාරයෙන්ම මහනෙල් මල් සුවඳ පිටවූ බව සිහිපත් වුණි. එය සිහිපත් වීම නිසා සතුටට පත්වුණු සිටු දේවිය සිනාසුණු අතර එවැනි ස්වාමියෙක්ගෙන් වෙන් වීමට සිදුවීම පිළිබඳව සිහිපත්ව කඳුළු සළන්නටද විය.

මෙය දුටු කොසොල් රජතුමා සිටු දේවිය මේ ආකාරයෙන් සිනාසෙන්නටත්, කඳුළු සළන්නටත් හේතුව විමසුවේය.

මහනෙල් මල් සුවඳ ආඝ‍්‍රණය කිරීමත් සමග තමන්ගේ පෙර ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමා සිහිවුණු බවත් ඔහුගේ මුඛය විවර කරන විට මහනෙල් මල් සුවඳ හැමූ බවත් එනිසා සතුටු වුණු බවත් ඔහුගෙන් වියෝවන්නට සිදුවුණු නිසා දුක් වුණු බවත් සිටු දේවිය කීවාය.

නමුත් මිනිසෙක්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමූ බව කොසොල් රජතුමා විශ්වාස නොකළේය.

මෙනිසා සිටු දේවිය ‘‘ඔබතුමාට මා කී දෙය විශ්වාස නොකරන්නේ නම් දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන උත්ලගන්ධ රහතන් වහන්සේගෙන් ධර්මය ශ‍්‍රවණය කරන්න. එවිට මම කී දේ සැබෑයැයි වැටහෙයි. එසේ නොවේ නම් ඔබතුමා කැමති දඬුවමකට යටත් වන්න මා කැමතියි කීවාය’’.

කරුණු කාරණා සත්‍යයදැයි සොයා බලන්න තීරණය කළ කොසොල් රජතුමා පසුවදා උදෑසන දානය සඳහා බුදුන් වහන්සේ ප‍්‍රමුඛ උත්පලගන්ධ තෙරුන් වහන්සේද භික්ෂූන් වහන්සේලා 500 නමකට ආරාධනා කළේය.

දානය සඳහා මාළිගාව පිළියෙල කිරීමේදී මාළිගාවේ තිබුණු සුවඳ භාණ්ඩ සියල්ලම මාළිගාවෙන් බැහැර කරවන්නට මෙන්ම දානය සඳහා සහභාගී වන පිරිසටත් සුවඳ මල් නොපැළඳ, සුවඳ නොගල්වා පැමිණි යුතු බවටද රජතුමා අණක් නිකුත් කළේය. එසේම රජතුමාද ස්නානය කොට සුවඳ නොගල්වා සුවඳ මල් නොපැළඳ දානය සඳහා සම්බන්ධ විය.

දානයට වැඩම කළ බුදුන් වහන්සේට කොසොල් රජතුමාගේ අදහස පෙනුණු හෙයින් රජතුමාගේ සැක දුරු කරවිය යුතු බව සිතා දානයෙන් පසුව සිදු කෙරෙන භුක්තානුමෝදනාව සිදු කිරීමට උත්පලගන්ධ රහතන් වහන්සේට නියම කළ සේක.

බුදුන් වහන්සේට වැඳ නමස්කාර කොට අවසර ගත් උත්පලගන්ධ රහතන් වහන්සේ ධර්ම දේශනාව සිදු කරන්නට මුඛය විවර කළ සැණින් රජ මාළිගාවේ සෑම තැනම උන්වහන්සේගේ මුඛයෙන් විහිදුණු මහනෙල් මල් සුගන්ධයෙන් සුවඳවත් විය.

තමන්ගේ සැකය දුරු කරගත් කොසොල් රජතුමා ධර්ම දේශනාව අවසානෙය්දී බුදුන් වහන්සේ සමීපයට ගොස් මේ ආකාරයෙන් උත්පලගන්ධ රහතන් වහන්සේගෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්නට හේතුව විමසුවේය. මේ අවස්ථාවේදී බුදුන් වහන්සේගේ උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයක කළ කුසල කර්මයක් පිළිබඳ දේශනා කළ සේක.

මීට කල්ප ලක්ෂයකට පමණ පෙර ලොව පහළ වුණු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී ඉතා දුප්පත් අයෙක් සෑම දිනකම ශ‍්‍රද්ධාවෙන් ධර්මය ශ‍්‍රවණය කළ බවත් ධර්මය ශ‍්‍රවණය කරන විට ධර්මාලම්භන පී‍්‍රතියෙන් අන් අයට පළමුව සාදුකාර දෙමින් ධර්මය ශ‍්‍රවණය කළ බවත් ඒ කළා වූ කුසල කර්මය හේතු කොටගෙන දෙව් මිනිස් සැප විඳ මේ කාලයේදී උත්පලගන්ධ නමින් ඉපිද පෙර කළා වූ කුසල කර්මය හේතුවෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හැමීමට තරම් භාග්‍යවන්ත වූ බව බුදුන් වහන්සේ වදාළ සේක.

කරුණු මනාව වටහා ගත් කොසොල් රජතුමා තමන් සමීපයට සිටු දේවිය කැඳවා ඇය නිසා තමන්ට වුණු ධර්ම ලාභය පිළිබඳව ඇයට ප‍්‍රශංසා කළේය.

මෙවන් කතා පුවත් කියවන ඇතමෙක්ට මෙවන් දෑ සැබවින්ම සිදුවිය හැකිද යනුවෙන් ගැටලූවක් මතුවිය හැකිය. වර්තමානයේ මෙවන් දෑ සුලබ නොවුණද සිදුවිය නොහැක්කේ නොවේ.

එසේම සරලව යමක් කිවහොත් ධර්මය ශ‍්‍රවණය කිරීමේදී ධර්මාලම්භන පී‍්‍රතියෙන් ධර්මය ශ‍්‍රවණය කර සාදුකාර දුන්නා යන්නෙන් ගම්‍ය වන්නේ යහපත් දෙයක් පිළිබඳ සතුටුව ඒ දේ යහපත් යැයි අගය කළ යුතු බව නොවේද ? ඒ යහපත් ගුණාංගය තම තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්නට ඔබත් උත්සහ කරන්න.

මෙම කතාව උපුටා ගන්නා ලද්දේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග‍්‍රන්ථයේ 20 වන පරිඡේදයේ අසදෘශ මහා දාන පූජා කතා කොටසෙනි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>