Contact us now +61(0) 433 638 610

Articles

ඔබමාගේ නැගණිය සිය මව ගැන කියයි

Posted in ආකල්ප,දේශපාලන by on June 8, 2013

obamas-sister

පුස්තකාලයේ ළමා පොත් අතර තිබී මට අපූරු පොතක් හම්බ වුණා. “Ladder to the Moon” පොතේ නම. කතාවේ අපූරුවටත් වඩා හිත ගියේ එහි පසුබිම් කතාවටයි. පොත ලියා තිබුණේ මායා සොඑටොරෝ නම් ලේඛිකාවක්. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ (අර්ධ) සොහොයුරියයි. මායා අතින් මේ පොත ලියවී තිබුණේ ඇගේත්, ඔබාමාගේත් මව වූ ඈන් සොඑටෝරෝ ඇයට කියා දුන් කතන්දරයක් පසුබිම් කරගෙනය.

මායා කියන්නේ අම්මා එකාකාරී ආකෘතියක් තුළ ජීවත් නොවූ හරිම වෙනස් ගැහැණියක බවය. ඇගේ මව තමන්ට හොදයි කියා හිතුණු දේවල් කළා. ඒවායේ ඵල විපාක බාර ගෙන ඒ තුළ ජීවිතය ගොඩ නගා ගත්තා. එහෙත් ඇතැම් තීරණ ඉතාම අවදානම් සහගතයි. බුද්ධියට වඩා හදවතට ඉඩ දුන් ඈන් විශ්වාස කළේ පේ‍්‍රමය ගැන පමණ ය. විශ්ව විද්‍යාල සිසුවියකව සිටියදී තමන් කිසිත් නොදන්නා දුර ඈත රටවල සිසුන් දෙදෙනෙකු සමග දෙවරක් පෙමින් බැඳුනු ඇය ඔවුන් සමග සිදුකරගත් විවාහ දෙකම අසාර්ථක වුණා. එයින් ලැබුණු දරු දෙදෙනා වූ ඔබාමා සහ මායාව ඕ ඇති දැඩි කරගත්තේ දෙමාපියන්ගේ සහ මිතුරු මිතුරියන්ගේ උදව්වෙන්. දරුවන්ට ජීවත් වන්නට සිදු වුණේ අම්මාගේ අවදානම් සහගත තීරණයත් සමග.

කොයි කවර ප‍්‍රශ්නය තිබුණත් මවක් ලෙස ඇය දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දුන් බව මායා ඇගේ පොතේ සඳහන් කර තිබුණා.

‘‘මගේ අම්මා අපූරු චරිතයක්. ඇය දරුවන්ගේ මට්ටමට වැටී සොහොයුරා සහ මා සමග සෙල්ලම් කළා. ගෙදර මැටි වළං හදා පුළුස්සන්නට හැකි විදිහේ පෝරණුවක් තැනූ ඇය මැටියෙන් සතුන් හදා එහි පුළුස්සා අපට දුන්නා. ළමා වියේ නිදහස, සුන්දරත්වය අත් විඳින්නට අපට ඉඩ දුන් ඇය කිසි විටක අපට තහංචි දැමුවේ නෑ. ඒ හැමටමත් වැඩියෙන් ඇය තරම් කතන්දර කියන්නියක් තවත් නැතුව ඇති. කතන්දර අහන්නට වගේම ඒවා අපට කියා දෙන්නටත් ඇය හරි කැමතියි. බාගදා එවන් විටක ඇයත් හදවතින් කුඩා දරුවෙක් වෙනවා. මූදු වලින් එහා දුර ඈත රටවල ජීවත් වෙන නොදන්නා මිනිසුන් ගැන ඉතා විසිතුරු කතා සොයා ගත් ඇය ඒවා අපට රස කරමින් කියා දුන්නා. එපමණක්ද නොවෛයි උදේ හවස දකින අපේ අසල්වැසියන් ගැනත් අමුතු කතන්දර ගොතා ඇය අපට සුරංගනා ලෝකයක් මවා දුන්නා. හැම වර්ගයක මිනිසුන් ගැන පතල ආදරය සහ වීර චාරිකා පදනම් වූ මේ කතන්දර අද මා යෙදෙන ගුරු වෘත්තියේ පදනම වූ බව දැනෙනවා. මා තරුණ වියට පත් වූ පසුවත් අම්මා මහ රෑ මා අවදි කර ජනේලයෙන් ඔබ්බේ පුර හඳ බබලන හැටි පෙන්වන දවස් තිබුණා. ඒ සුන්දරත්වය වචන වලින් කියන්නට දන්නේ නැති වුණත් අදටත් අත් විඳින්නට මා ඉතා ආසයි.’’

ඒ මායා සොඑටොරෝ ගේ වචන. මවගේ මරණයෙන් හරියටම දශකයකට පසුව උපන් දියණියටත් තම සුවිශේෂ අත්තම්මා ගැන කියා දෙන්නට මායාට තිබූ උවමණාව නිසයි මා හිතන්නේ ඇය අතින් මේ පොත ලියවුණේ.

මායාගේ දියණිය වන සුෂිලාට මහ රෑ නින්දෙන් අවදි වූ විට සඳෙන් ආ ඉනිමගක් දක්නට ලැබෙනවා. හිනි පෙළ නැග සඳට යන දරියට දක්නට ලැබෙන්නේ කවදාවත් ඇය නොදුටු ඇගේ සුවිශේෂ අත්තම්මා ය. අත්තම්මා මිණිබිරියට කියා දෙන්නේ මිහිතලය මත අසරණ වී සිටින හැම ජාතියකම මිනිසුන්ට උදව් කළ යුතු බවයි. ගං වතුරින් නිය`ග වලින් අනාථ වූ දරුවන්ට ඉණිම`ග යවා හඳට ගෙන්වාගෙන සුරක්ෂිත කරන අත්තම්මා මිනිසුන්ට ආදරය කිරීමේ වටිනාකම දැරියට කියා දෙනවා. ලෝකය මීට වඩා කාරුණික තැනක් කරන්නට නම් මිනිසුන් එක් වී වැඩ කටයුතු කළ යුතු බව කතන්දරයේ එන අත්තම්මාගේ අදහසයි.

තමන්ගේත් ඔබාමාගේත් අම්මා සැබැවින්ම එවැනි විශිෂ්ඨ ජීවන දෘෂ්ඨියක් තිබුණු කාන්තාවක බවයි මායා කියන්නේ.

අම්මාගේ දක්ෂ තාර්කික හැකියාව සහ ආත්ම විශ්වාසය ජානාධිපති ඔබාමාටත් ඇති බව නම් පෙනෙනවා. බොහෝ ඡන්ද අපේක්ෂකයන්ට වඩා වෙනස් මගක යමින් ඔබාමා තම ඡන්ද ව්‍යාපාරවලට මවගේ රූපයක් භාවිතා කළා. එහෙත් අම්මාගේ රූපය පමණක් නොව, ඇගේ ජීවන දෘෂ්ඨියත් තම දේශපාලනයේදී යොදා ගන්නට ඔබාමාට සිතෙන්නේ නම් කොතරම් අපූරුද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>