Contact us now +61(0) 433 638 610

Articles

පාන් කිරිත්තා

Posted in ආකල්ප,ජීවිතය,සාහිත්‍ය by on July 9, 2014

pan-kiriththa

-ගීත දේව

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ඒ අපූරු ගීත රචකයා විසින් ශී‍්‍ර ලාංකීය ගීත සාහිත්‍යට දායාද කෙරූ ගී පදමාලාවන්ගේ අගය ගැන පසුගිය වසර විසිපහ පුරාවටම අපි කොතෙක් නම් කතා කරන්නට ඇත් ද ? තවත් දශක ගණනාවක් ඉදිරියටත් මේ සොඳුරු මිනිසා උපනූපන් රසික හදවත්හි සදා නොමැකෙන ළකුණක්ව ජීවත්වනු ඇත.

සිංහල ගීත සාහිත්‍යයේ ප‍්‍රහසනාත්මක ගීත ඇත්නම් ඒ අතළොස්සකි. ඒ අතරින් මුල් තැනක තැබිය හැකි පේ‍්‍රම් රචිත පාංකිරිත්තා තක්කිට තරිකිට ගීතය මෙවර ගීත විචාරයට තෝරා ගැනීමට අපි සිතුවෙමු.

මේ ගීතය අසන රසිකයෝ කිසියම් වින්දනයක් ලබමින් සිනා සෙති. එහෙත් මේ ගීතය අසා අප සිනා සෙන්නේ කාට ද ? ගීතය ඇසූ විට කාටුන් චිත‍්‍රපටියක රූප රාමු පෙළක් අපේ මනසේ ඇදී යන්නේ නිරායාසයෙනි.

මේ ලෝකයේ මිනිසුන් දෙවර්ගයක් ඇත. එක් පිරිසක් වැඩ කරති. තව පිරිසක් වැඩ කරන පිරිස දෙස බලා ඇද කුද සොයති. මුල් පිරිස වැඩ කිරීමට ගතත් සිතත් යොදවති. දෙවෙනි පිරිස වැඩ කිරීමට යොදවන්නේ මුව ය. ඒ නිසා මුල් පිරිස කම්කරු පංතිය හා සමානය. දෙවෙනි පිරිස සුප සුපවයිසර්ලා හා සමානය. කාලයක් ගත වන විට වැඩ කිරීම නිසාම කම්කරුවන්ගේ ගත සිත තව තවත් පන්නරය ලබයි. සුපවයිසර්ලා කතා කිරීම නිසාම හේතු දැක්වීමේ ප‍්‍රවීණත්වය ලබති. ඒ අතරම වැඩකාරයන්ගේ හේතු දැක්වීමේ හැකියාව මොට වන අතර කතාකාරයන්ගේ වැඩකිරීමේ හැකියාව මොට වේ. අහේතු පවා හේතු බවට පත් කිරීමට කටින් වැඩ කරන අයට ඇති හැකියාව තවදුරටත් ඉවසිය නොහැකි තැන අවසානයේදී පීඩිතයා නැගී සිටියි. පේ‍්‍රම්ට මෙවැනි ගීතයක් රචනා කිරීමට අවශ්‍ය නිමිත්ත මේ දැක්වූ කරුණු හා සමපාත වන බව ඔහු ඇසුරු කළ අයගේ මතය ය. ගීතයේ මුල් කොටසින් ඔහු ඉතා අපූරු චිත‍්‍රයක් අප ඉදිරියේ අදියි.

පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන්කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන කුං කුං හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි

පාන්කිරිත්තා යනු ලංකාවේදී අප නිතර දෙවේලේ දකින පොල්කිච්චාය. ඉතා මිහිරි නදින් ගී ගයන පාන්කිරිත්තා බිජු ලන කාලයේදී තරමක් ආවේගශීලි කුරුල්ලෙකි. නූතන පරීක්ෂණයන්ට අනුව ඔවුන්ගේ ගීත වල කිසියම් දෙබස් රටාවක් පවා ගැබ්ව ඇතැයි හඳුනාගෙන ඇත. පාන්කිරිත්තීගේ ස්වභාවය මීට වෙනස් ය. ඇය පාංකිරිත්තා ඉදිරියේදී ගී ගැයීමට මැළිකමක් දක්වන්නී ය. පැටවුන්ව රැකබලා ගැනීම ඇයගේ ප‍්‍රධාන කර්තව්‍ය වන අතර පාංකිරිත්තා කූඩුවත් සිය බලප‍්‍රදේශයත් රැකගනී.

පාන්කිරිත්තා උඩ පැන පැන නටන්නේ ඔහුගේ බල ප‍්‍රදේශයත් කුටුම්බයත් රක්ෂා කර ගැනීමට ය. පාන්කිරිත්තී පාන්කිරිත්තා තරම් ගීත ගන්නේ නැත. ඒ නිසා ඇය ඉන්නේ කරබාගෙනය. එහෙත් ඇය පාන්කිරිත්තාගේ උත්සාහය වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කරන්නී ය.

දෙමාපියන්ගේ හව්හරණ ඇති තැන දරුවෝ කොපමණ නම් සුරක්ෂිත ද ? පී‍්‍රතිමත් ද ? පවුලක් පන්සලක් නැති අය කෙසේ නම් මේ තෘප්තිමත්භාවය වටහා ගන්න ද ? තනි කෑදැත්තාට මේ දසුන බලා සතුටු වෙන්නට බැරි ඒ නිසා ය. ඔහු පාංකිරිත්තාට අරියාදු කරන්නට සැරසෙයි. මේ ගීතය රචනා කිරීමේදී පාන්කිරිත්තියකගෙ ් හැසිරීම් රටාව ගැන පවා පේ‍්‍රම්ට මෙතරම් සියුම් අවබෝධයක් තිබීමෙන් ඔහු කෙතරම් විශ්මිත නිර්මාණ කරුවෙක්ද යන කාරණය සනාථ වනවා නොවේ ද ?

පාන්කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද ඉඳ පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන්ගත්තේ

කෑදැත්තා උගේ ගීය පටන් ගත්තේ පාංකිරිත්තාට අත්වැල් අල්ලන්ට නොවේ. පාංකිරිත්තා කරමින් සිටි කාර්යය අගය කිරීමට හෝ ඌට උදව් කිරීමටද නොවේ. පාංකිරීත්තීට හෝ පැටවුන්ට සහාය වීමටද නොවේ. උගේ ඒකායන පැතුම පාංකිරිත්තා කළ සියල්ල කඩාකප්පල් කර දැමීම ය.

පාන්කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළගට කිට්ටු වී මා ද ගොළු වතින් ඊට සවන් දුන්නා

පාංකිරිත්තා හා සැසදීමේදී කෑදැත්තා සිරුරෙන් විශාල ය. ඒත් මේ අසාධාරණය ඉදිරියේ තවදුරත් නිහඬ වන්නේ කෙසේ ද ? ඒ නිසාම උපන් දැඩි ආවේගයට කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා හෙල්ලීමට පාංකිරිත්තා දෙසරයක් නොසිත යි. එපමණකින් නොනැවතී කෑදැත්තාට මතක හිටින පාඩමක්ද උගන්වයි.

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා

කුරා කූඹියාගේ පටන් මේ ලෝකයේ ජනිත වන හැම සත්ත්වයාටම කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල් ද ඇත. එහෙත් මිනිසුන් වශයෙන් සමාජය වෙනුවෙන් අපි හැම දෙනාටම කළ හැකි දේ බොහෝමයක් ඇත. ඒ අතරින් වැදගත්ම වන්නේ එකක් අපට කළ නොහැකි දේ තේරුම් ගැනීම ය. අනෙක අපට වඩා යමක් හොඳින් කරන අයගෙන් රටට ලෝකයට වන සේවය අභූත චෝදනා ගොතා අවතක්සේරු නොකර සිටීමට ය.

මෙහිදී පාංකිරිත්තා, කරබාගෙන, විවේචනය, කෑදැත්තා, හිරිහැරය වැනි වචන ගීතයට යොදා ගෙන ඇත්තේ ආයාසයකින් තොරවය. එයින් විෂද වන්නේද රචකයා සතු නිසග දක්ෂතාවය ය.

මේ ගීතය බොහෝ දෙනා රස විඳින්නේ පාංකිරිත්තාගේ කූඩුව තුළ සිටය. එහෙත් මේ ගීතය තනි කෑදැත්තාගේ බෙනයට වැදී වටහා ගැනීමට වෑයම් කිරීමද කාලෝචිත ය. ඒ අන් කිසිවක් නිසා නොව අපේ සමාජය නැමති කුටුම්බය වෙනුවෙන් දර දිය අදින බොහෝ පාංකිරිත්තන්ට අපෙන් නොදැනුවත්ව හෝ යම් හානියක් වෙයි නම් ඒ බැව් අවංකව තේරුම් ගන්නට ය. අප තුළම ජීවත් වෙමින් අනෙක් අයව නිතර නිතර අහේතුකව විවේචනය කර ඔවුන් මේ සමාජය වෙනුවෙන් කරන සේවය කඩාකප්පල් කරන සුපවයිස්රලාව මුදා ගැනීමට ය. පේ‍්‍රම් මෙහිදී අවවාද දීමකට වඩා කරනු ලබන්නේ ආයාචනයකි. ඔහු අපට කියන්නේ පාංකිරිත්තෙක් වීමේ වැදගත්කමට වඩා තනි කෑදැත්තෙක් නොවීමේ වැදගත්කම නොවේ ද ? වික්ටර් රත්නායකගේ සංගීතය හා මුසුව ප්‍රෙඞී සිල්වාගේ උපහාසාත්මක ස්වරයෙන් ගැයෙන පේ‍්‍රම්ගේ ගීතයේ පද අතර සැගවී ඇති පණිවුඩයත් එයම නොවේ ද ?

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>