Contact us now +61(0) 433 638 610

Articles

පච්ච කොටනු ලැබේ ….

Posted in ආකල්ප,කාලීන,සාහිත්‍ය by on June 12, 2014

tatoo

[Illustration by Saamantha Tennege]

චාරිත‍්‍ර පුද පූජාවන් කෙරෙහි පමණක් සැළකිලිමත් වූ එක්තරා වයස්ගත භික්ෂුවක් පන්සලේ තිබුණු වටිනා ලී මුවා පිළිමයකට නිතර දෙවේලේ පුද පූජාවන් පැවැත් වී ය. දිනක් උදෑසන පොරවකින් ගසකට කොටන හඬ ඇසී පිටතට පැමිණි නායක ස්වාමීන් වහන්සේ දුටුවේ තමන් වහන්සේ ඉතා ආදර භක්තියෙන් සුරකින ලී මුවා ප‍්‍රතිමාව පොරවකින් සැහැ දමමින් සිටි කුඩා සාමනේර හිමි නමකි.
ඉතා කලබලයට පත් නායක ස්වාමීන් වහන්සේ වහා සාමණේර හිමිනම කරා පැමිණ ‘‘අය්යෝ පොඩි තැන මොකක්ද මේ කරන අපරාධය ?’’ කියා ඇසූහ.
‘‘මම මේ බුදු හාමුදුරුවෝ හොයනවා.’’
‘‘ ඕකේ කොහේද බුදුහාමුදුරුවෝ ?’’ නායක ස්වාමීන් වහන්සේ විශ්මයෙන් ඇසූහ.
‘‘එහෙනම් මම මේ පිළිමය කැපුවම මොකද වෙන්නේ.’’
සිත විනිවිද දකින්නට (කර්තෘ ඃ ලියුම්කරු 2002)

————————-

අනූ ගණන් වල මුළ භාගයේදී ‘අසම්මත විචාරය’ ලේඛක ජයතිස්ස කුමාරගේ ඇදුරුතුමාගෙන් අපට අසන්නට ලැබුණු ඉහත කතාව අප සිත්හි නොමැකෙන ලෙස සටහන්ව තිබේ. ඒ කතාව මෙහි දැක්වූයේ බුද්ධ රූප සහ පච්ච කෙටීම ගැන ලියවෙන මේ ලිපියේ සමස්ථාර්ථය කුළු ගැන්වීම උදෙසා ය.

එකල අප ජීවත් වූ නිවසේ තිබුණේ අගල් නමයක් පමණ උසැති සුදු පැහැති බුදු පිළිමයකි. ධර්ම චක‍්‍ර මුද්‍රාවෙන් නිර්මිත ඒ බුදු පිළිමය මගේ මතකයේ මුලින්ම සටහන්ව ඇති බුදුරුව ය. ඒ වන විට මට යන්තම් වයස අවරුදු හතරක් හෝ පහක් වන්නට ඇත. ඒ කාලයේ අපේ නිවසේ සීවලී පිංතූරයක් තිබුණු බවක් මට මතක නැත. නවසිය හැත්තෑ හතේදී පමණ අපේ ගෙදරට ඇතුළු වන දොරට ඉහළින් සීවලී පිංතූරයක් එල්ලා තිබුණු බව මතකය. ඒ හැත්තෑව දශකයේ බුදු පිළිමය අභිබවා සීවලී පිළිමය පෙරමුණට එන්නට සාධාරණ හේතු තිබූ නිසා වීමට පුළුවන.

ක‍්‍රම ක‍්‍රමයෙන් බුදු පිළිම ගැන ශ‍්‍රද්ධා භක්තිය තරමටම ගූඨ අවිනිශ්චිත බියකුත් අප තුළ වැඩෙන්නට විය. වෙසක් පතක් හෝ බුද්ධ රූපයක් මුද්‍රිත පුවත්පතක් බිම වැටුණොත් අපි එය නැවත ඇහිඳ ගැනීමට ප‍්‍රථම තුන් වතාවක් වැන්දෙමු. මේ භක්තියේ කූඨාප්ප‍්‍රාත්තිය එළැඹියේ පස් වෙනි ශ්‍රේණියේ දී අපට ඉගැන් වූ අපේ පංතිභාර පියසේන ගුරුතුමා නිසාවෙනි. සතර පෝයට සිල්ගත් සැදැහැවත් බෞද්ධයෙකු වූ එතුමා අවිවාහක දිවි පෙවෙතක් ගත කළ අයෙකි. එකල අපේ පංති වෙන් කර තිබුණේ ලීයෙන් කළ රාමු වලිනි. පංතියේ ළමුන්ගෙන් මුදල් එකතු කර අපේ පංතියට බුදු පිළිමයක් ගෙන ඒමට පියසේන සර් කටයුතු කළේ ය. අපි ඉතා ආඩම්බරයෙන් අපේ පංතියත් අනෙක් පංතියත් වෙන් කරන තැන අපේ පංතිය පැත්තට වන්නට බිත්තියේ සකස් කළ ආසනයක එම බුදුපිළිමය වඩා හිදවූවෙමු. අපේ පංතියේ ළමුන්ගෙන් සැළකිය යුතු මුස්ලිම් සිසුහු පිරිසක්ද වූහ. එදා ඔවුහු පංතිය පසුපසක මුළුගැන්වී අප දෙස බලා සිටියහ. වැඩි දවසක් යන්නට පෙර අනෙක් පංති භාර ගුරු මහත්ම මහත්මීහුද අපව අනුකරණය කළෝ ය. මේ අවධියේ නගරයේ තැනින් තැන තිබූ දැන්වීම් පුවරුවක් මගේ මතකයට එයි. ඒවායේ ලියා තිබුණේ ‘පච්ච කොටනු ලැබේ’ යනුවෙනි. ලී පෙට්ටියක අඩුම කුඩුම ටිකක් දමාගෙන මෙම ජංගම ව්‍යාපාරයේ යෙදුනු ඉතා අහිංසක මිනිසුන් දෙතුන් දෙනෙක් ගැනද මට මතක ය.

බුදු පිළිම ගැන අප තුළ ගොඩනැගුණු ශ‍්‍රද්ධා භක්තියක් තිබුණා නම් පච්ච කෙටීම ගැන අප තුළ පැළපදියම් වූයේ ඊට ඉඳුරාම වෙනස් ආකල්පයකි. එකල අතේ පච්චයක් කොටා ගෙන සිටි ආච්චි කෙනෙක් සිටියා ය. අප ඇයට කීවේ ‘පච්චාච්චි’ කියා ය. ඒ ඇය නැති තැනය. අප තුළ ඇය කෙරෙහි කිසියම් බියක් තිබූ බව ඇත්ත ය. ඒ බිය තවත් වැඩි වූයේ ඉඳහිට ඇය කළු සුරුට්ටුවක්ද උරන්නට වීම නිසාය. මේ ගැහැණු පරාණයක් දුම් උරන’යුරු මගේ මතකයේ සටහන්ව ඇති මුල්ම අවස්ථාව ය. ඊට අමතරව ‘අම්මා බුදු වේවා’ යනුවෙන් පපුවේ කොටාගෙන කමිසයේ උඩ බොත්තම් ගලවාගෙන උඩු රැවුළ කරකවාගෙන සිටි අයෙක් ගැනද මට මතකය.

මෙයාකාරයෙන් කාලය ගතවන විට මහනුවර බහිරවකන්ද උඩ බුදු පිළිමයක් ඉදිවන්නට විය. ක‍්‍රමක‍්‍රමයෙන් රට පුරා බුදු පිළිම වැසි වසින්නට පටන් ගත්තේ ය. මංමාවත් පුළුල් වනු දක්නට අකමැති වූ මුදළාලිලා ජාති ආගම් භේදයකින් තොරව හන්දියක් හන්දියක් ගානේ බෝ පැළයක් හිඳුවා බුදු පිළිමයක්ද තබා වත් පිළිවෙත් කරන්නට පටන් ගත් බව එකල අපට අසන්නට ලැබුණු කතාවකි. එහි ප‍්‍රමා-ණාත්මක සත්‍යයක්ද ගැබ්ව තිබෙන්නට ඇත.

සුනාමියෙන් ගසා නොගිය හැම බුදු පිළිමයක්ම පාහේ රූපවාහිනියෙන් පෙන්වූ බවද මතකය. බොහෝ දෙනා ඒ දැක සැදැහැ සිතින් සාධුකාර දුන්හ. දිය රකුසාට බිළි වූ පිළිම වහන්සේලාගේ රූප කෙසේ නම් පෙන්වන්න ද ? එදා අපට ඒ ගැන සිතන්නට උවමනාවක්ද නොතිබුණි.

අප ඉපැදුණු ලංකාවේ තත්ත්වය එසේ වුවද ඒ දහම් දිවයිනටත් වඩා බුදු රූප අපි දැක්කේ ඕස්ටේ‍්‍රලියාවේ දී ය. මෙහි ගෙවල් වලත්, ගෙවතු වලත්, කලබ් වලත්, හොටල් වලත් හැම තැනම බුදු පිළිම ය. ඇතැම් ඇඳුම් වල වෙළඳ නාමය පවා ‘බුද්ධා’ ය. කොටින්ම ඕස්ටේ‍්‍රලියාවේ හැම පච්ච කඩයකදීම අනිවාර්්‍යයෙන්ම බුදුපිළිමක් දැක ගැනීමට ඔබට පුළුවන. ලංකාවේදී අපේ අපමණ ගෞරවයට හේතු වන බදු රුව මෙහි ප‍්‍රධාන පෙළේ වෙළඳ භාණ්ඩයක් වී ඇත්තේ ඇයි ? ලංකාවේදී නිග‍්‍රහයට නිතැතින්ම බඳුන් වන ‘පච්ච කෙටීම’ මෙහි සාමාන්‍යකරණය වී ඇත්තේ ඇයි ? ජයතිස්ස කුමාරගේ අඳුරුතුමාගෙන් ලිපියේ මුලින්ම දැක්වූ වූ කතාව අසා දැනට දශක දෙකකට වැඩි මුත් ඕස්ටේ‍්‍රලියාවට පැමිණි මුල් කාලයේ මේ රටේදී බුදුරුවට වන නිග‍්‍රහය ගැන අප තුළ වූයේද අපමණ කළකිරීමක් මුසු කෝපයක් බව කිව යුතු ය.

යුදෙව් සම්භවයක් සහිත මා දන්නා ප‍්‍රධාන පෙළේ ඕස්ටේ‍්‍රලියානු ලේඛකයෙකුගේ කොම්පියුටරය අසල ඇත්තේ බුදුරුවකි. දිනක් මම ඔහුගෙන් ඒ ඇයිද කියා ඇසුවෙමි. කාම්බෝජයෙන් මිළට ගත් ඒ බුදුරුව දශක ගණනාවක් ඔහුගේ මේසය මත තබාගෙන සිටින්නේ තමා ලියන කරුණු වෙතින් සිත ඉවත යන විට නැවත අදාළ කරුණු වෙතට සිහි එළඹවා ගැනීමට බව එදා ඔහු අපට කීවේය. ඔහුගේ සුරතේද පච්චයක් කොටා ඇත.

මා දන්නා ඕස්ටේ‍්‍රලියානු කාන්තාවකගේ නිවසේ මේසයක් මත බුදු දහමට අඳාල කියමන් ඇතුළත් පොතක් (Buddhist Offerings 365 days by Thames & Hudson) තබා තිබේ. ඇය දිනපතාම උදෑසන ඉන් කවර හෝ පිටුවක් පෙරළා එහි ඇති දෙයක් කියවන්නී ය.

දිනක් මේ පොත අරඹයා අප අතර ඉතා සුන්දර සංවාදයක් ඇතිවිය. බුදු දහම ගැන කිසිවක් නොදැන සිටි ඇය අද බුදු දහම ඉගෙන ගන්නී ය. කියවන්නී ය. මේ ලිපියට අදාල කරුණු ගොනු කරමින් සිටින විට දුරකථනයෙන් කථා කළ රොක්බෑන්ක් විහාරවාසී ඉඳිපරපේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ අපට අපූරු කවියක් කී හ. ඒ මහාචාර්ය දර්ශන රත්නායකගේ ‘බව ? කෙලෙස් සඳ’ මහතා කාව්‍ය සංග‍්‍රහයේ එන නිසැදසකි.

සිවිඞ්ඩෙන් පිට පනින
කොස් ඇටයක් සේ
පැන්නේය
ඇටෙන්ඩන් තැන
ජවනිකාවෙන් පිටට
රෝගියා මුවා කළ
කිටි කිරිටි කිරිටිගා
දත්කමින් පුප්පමින්
කුතුරු අඬු
පුළුන් ගුලි අතින් ගෙන
විසිකලා දස අතට
පරුෂ බස් බොරළු කැට
‘හාමුදුරුවරුද මුන්’
පල් හොරුද
සිවුරු පොරවාගත්ත
අනේ සාසනේටත් ගිය කලක්
ඇදී ආවෝ අවට පිරිවර ද
ගොදුර දැක එන කපුටු රැළක් සේ
විමසුවෝ
මොකද මේ කිය කියා
පුපුරන්න විය යළිත් ඇටෙන්ඩන්…..
දාන්නට බේත් ටික තුවාලෙට
ඉස්සුවේ උඩට…. අඳනකඩය
බොලේ මං බලනකොට
දෙකලවා දෙපැත්තේ
මෙන්න… පච්චයක්
පිරිමි ඇග දිහාවට
දෝත් මුදුනේ තබා
වන්දනා කර සිටින
අප්සරා… රූ දෙකක්….
තව හොඳින් බලන කොට
මෙන්න පෙකණිය යටින්
රමණයේ යෙදෙන
කොටි ජෝඩුවක්
පපුව මැද කොටාගෙන තියෙන්නේ
‘‘කුමටද කුසලට කම්මැලි වන්නේ’’
කපන්නයි වටින්නේ කකුල් දෙක
ගිගුරුවා තව තවත්
ඇටෙන්ඩන්
පච්ච නැති ඇගපතේ
කළ කමට දෙස්දෙන්න
******
උඩුකුරුව සිය ගිලන් යහන මත
හිඳී මැදිහත් සිතින්
සමිඳු සඳ…. වියපත්ව පැවිදි වූ
අචංචල
සෙල්මුවා රුවක් සේ
ජවනිකාවෙන් පිටත හමායයි
උපහාස අපහාස කුනාටුව…
වැඩහිඳී
මුදු සිතින් සන්සුන්ව…
එකෙක්
කට ඇරියෙ නම් පෙර
තමා ඉදිරියේ
කරපු පිං පව් අනුව
දිවියලෝකේ…නැතහොත් අපායේ….
ඒත් ඒ නපුරුකම්
තමන් කළ
පව් කන්ද
පාමුලින් ගලාගිය
දුක් කඳුළු ජලාසෙන්
සෝදලා… සෝදලා…. සෝදලා
පැවිද කළ නිසා
ගත සිත දෙකම
පෑදිලා ඇත සිතේ
කුසල් උල්පත් සිහිල්
තිස්වසරකට පළමු
කොටාගත් ඒ පච්ච
කෙසේ නම් සේදිය හැකි ද ?
සිතින් මිස ගතින් දැන්
පලක් නොදකින සමිඳු
සන්සුන්ව වැඩ හිදී
උපස්ථායක තැනට මෙත් වඩා
කළ කමට දෙස් දෙන්න
ඇගපතේ ‘‘පච්ච’’ නැති
සෙසු සුදන දන කැළට
මෙත් වඩා
රහත් වූ පසුත්
පිඬු සිගා යන ගමන්
කැට මුගුරු පහර කෑ
‘‘අගුල්මල්’’ සිරිත
සිහියට නගා

මේ අපූරු නිසදැසේ දැක්වෙන භික්ෂූන් වහන්සේ මහණ වී ඇත්තේ වයස් ගත වූ පසුවය. පිරිමි ඇග දිහාවට වන්දනා කරන අප්සරාවන් දෙදෙනෙක් දෙකළවාහි පච්ච කොටා ඇත්තේ තිස් වසකට පෙරය. එසේ වුවද සිත පමණක් කෙසේ නම් මහණ කළ හැකි ද ? ගතද සිත සමගම මහණ කළ යුතුව තිබේ. එහෙත් හදිසියේ ගිළන් වූ උන් වහන්සේ රෝහල් ගත කොට තිබේ. තිස් වසකට පෙර කෙටූ පච්චයක් ගැන දෙස් දෙවොල් තබන සැදැහැවත් බෞද්ධ ඇටෙන්ඩන් ප‍්‍රමුඛ ලෝකයා යනු, මුළු සිරුරේම කුඩා බිබිලි සෑදී ඒවා පිපිරී සැරව ගලන්නට වූ පූතිගත්ත තිස්ස තෙරුන්ගේ සිරුර නහවා ඇප උපස්ථාන කළ බුදුන් වහන්සේ ගැන දන්නා ඔබත් මමත් නොවේ ද ? අපේ ඇගේ පච්ච නැති බව නම් ඇත්ත ය. එහෙත් හිතේ කොටාගෙන ඇති පච්ච නම් එමට ය. සකල සත්ත්වයාට මෙත් වඩන පච්චයද ඒ අතරින් ප‍්‍රධාන නොවේ ද ? එහෙත් ගතේ පච්චයක් කොටා ගෙන ඇති අයෙකු ඉදිරියේදී එකී මෙත් කරුණා දයාව වලංගු වන්නේ නැද්ද ? මේ සියලූ කාරණා කියන්නට සිදුවූයේ මූලික වශයෙන් බුදුරුවක් අතේ පච්ච කොටාගෙන පැමිණි විදේශිකයෝ ලංකාවෙන් නැවත පිටමං කළ අය ගැනත්, ඒ අයට උල්පන්දම් දුන් මාධ්‍යවේදීන් කෙරෙහිත් උපන් මහත් අනුකම්පාවෙනි.

විවිධ නම් වලින් හැඳින්වෙන පිළිම වනාහි මහාභූත රූප එක්කොට නිමැවෙන රූපයකට අප දෙන සළකුණකි – නමකි. බුදුහු මෙසේ වදාළ හ. ‘‘යමෙක් ධර්මය දකීද හේ මා දකී.’’ උන්වහන්සේ ‘‘බුද්ධ රූපය’’ දෙස බලා ධර්මය දැකිය හැකි බවක් නොකී සේක. එහෙත් අද ඇත්තටම අප විසින් කරනු ලබන්නේ බුදුන් වහන්නේ කී දේ ද ? නැතහොත් නොකී දේ ද ? අපි කොතනක හෝ සටහන්ව ඇති බුදු රුව දකිමු. එහෙත් මෛතී‍්‍ර නොකරමු. ඒ වෙනුවට පළි ගනිමු – ඉන් පිනා යමු.

දැන් මට වැරදුනු තැන් වලට එමු. එකල අප පච්චයක් ඇඟේ කොටාගත් මිනිසුන්ව එපමණකින්ම ලේබල් ගත කිරීම කොතරම් සාධාරණ වීද ? ඔවුන් කෙරෙහි අනුකම්පා විරහිතව කටයුතු කිරීම කොතරම් යුක්ති සහගත වීද ? අනෙක් අතට පච්චයක් කොටා නොගත් පමණින් මා යහපත් අයෙකු වන්නේ කෙසේ ද ? එ කරුණෙන්ම ඇතැම් විට අපි පච්ච කොටාගත් අයටත් වඩා අනුකම්පාවට බඳුන් විය යුත්තෝ නොවන්නෙමු ද ?

ඊළගට අපේ මතකයට එන්නේ පහේ පංතියේ දී මුස්ලිම් ළමුන් ඉදිරියේ ඉතා ආඩම්බරයෙන් අප කළ වත්පිළිවෙත් ය. ඔවූහු එදා පංතියේ පසුපසට වී අප දෙස බලා සිටි අයුරු ය. අද ඕස්ටේ‍්‍රලියාවේදී දකින දකින තැන දැන් අපට පෙනෙන්නේ බුදු රූ ය. මේවා ගැන උරණ වෙනවාට වඩා අපට සතුටු වීමට කාරණා නැද් ද ? තැන තැන පෙනෙන බුදු රූ නිතැතින්ම අපේ සිතට මතක් කර දෙන්නේ ඩබ්ලිව් ඒ අබේසිංහයන් විසින් රචනා කළ අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනයෙන් ඔපවත් වූ ගීත කණ්ඩයකි.

අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා – කරුණා ධාරා
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>