Contact us now +61(0) 433 638 610

Articles

පාන් නැත්නම් කේක්!!!

Posted in ජීවිතය,දේශපාලන,සාහිත්‍ය by on June 10, 2013

pan-neththan

අතීත කතාව

යොවුන් දැරිය වටපිටාව දෙස බැලුවේ කුතුහලයෙනි. ගිම්හානයේ උනත්, ඇයට හිරු එලියේ රස්නයක් දැනුනේ නැති තරම්ය. මී මැස්සෙක් මලකින් පැණි බීවේය. ඒ මේ අත පාවී යන සමනලුන් ඇගේ දෙතොලට එක්ක කලේ සිනාවකි. ‘අනේ මටත් මේ වගේ සමනලියක් වෙලා ඈතට ඈතට පියාඹලා යන්ට ඇත්නම්’ ඈ සිතුවාය. ඒත් මව දමා කෙසේ නම් යන්ටද? ඈ තම නලලට වැටුනු කෙස් රොදක් සකස් කලාය.

‘මේ මගුල කෙරෙන්ටම ඕනි, අපි හැමෝම අතරේ සාමයක් පවත්වාගෙන යන්ට ඕනි නම්’ අම්මා කියද්දී ඇය උන්නේ අම්මාගේ පිටුපසට මුවාවෙලාය. ‘කුමරිය තාම පොඩි වැඩී නේද ‘ ඇසුවේ කවුදැයි ඇයට මතක නැත්තේය. ‘නිසි වයස එනකල් ඇයව එහේ තියාගත්තාවේ’ අම්මා ඊට පිලිතුරු දුන්නාය.

‘මෙයා බඳිනවා කියන එක මොකක්ද කියලා දන්නෙත් නෑ’ එසේ පැවසුවේ, රෑ නින්දට යහන් ගැබට ගිය වෙලේ, ඇගේ සොහොයුරියන්ය. ඔවුන් හැමෝටම වඩා ඇය වයසින් බාලය. ‘මට බඳින්ට ඕනිකමක් නෑ’ ඇය යහනේ අනෙක් පසට හැරුනේ, ඔවුන්ගේ සිනා හා කෙඳිරීම් මධ්‍යයේය. ඒ වේලාවේ ඇයට කල හැකි වූයේ සුසුම් හෙලීම පමනකි.

‘කුමරි කොහේ යනවද මන්දා’ දැස්ස ලඟට එනතුරු ඈ නොදුටුවාය. ‘හැමෝම අන්න ඔබව හොයනවා’

ඇය අවුරුදු 14 දී, ප්රංශයේ එකල සිටි රජතුමාගේ, මුණුබුරාගේ මනමාලිය වූයේ එලෙසිනි. ඔවුන්ගේ විවාහය ‘proxy marriage’ එකක් ලෙස හැඳින්විණි. එලෙස හැඳින්වුයේ මනාලයා හෝ මනාලිය වෙනුවට වෙනත් කෙනෙකුට පෙනී සිටිය හැකි විවාහ ක්‍රමයකටය.
කුමරිය පැරිස් නගරය වෙත ලඟා වූයේ, වාහන 57ක්, පාබල හමුදාවේ සොල්දාදුවන් 117ක්, හා අශ්වයින් 370ක්ද අතුලුවූ, කණ්ඩායමක් සමගිනි.

සිහින් , සුදුමැලි පෙනුමක් තිබූ තම හිමි කුමාරයා ලජ්ජාශීලි අයෙකු බව ඇය දැන නොසිටියාය. ඔහුට වූයේ කුඩාවෙකුගේ බඳු, කිසිවක් නොදන්නා අයෙකුගේ පෙනුමකි. එමෙන්ම ඔහුගේ මූන නිතරම ‘පාරක් හොයනා කෙනෙකුගේ’ වැනි හැඟීම්වලින් පිරී තිබුනා යැයි ඇයට සිතුනි. ‘එයා දැක්කාම ඕනෑම කාන්තාවකට එයාව ආරක්ෂා කරන්ට හිතෙනවා ඇති’ ඈ තව දුරටත් සිතුවාය.

ඔවුහු මල් උයන්වල රහසින් මෙන් හමුවූහ. ඔවුන් දුටු සේවකයෝ සිනාමුවින් යුතුව ඔවුන් තනිකර ඉවත ගියාහ. තම බිරිඳ වුවද ඔහු ඇයට සැලකුවේ යෙහෙලියකට වගේය. ඔහුගේ පටු උරහිසට මුහුන තද කරගන ඉන්නා අවස්තාවලදී, තමන් සිටින්නේ, වෙනත් රටක, වෙනත් ගෙයක, අමුත්තන් අතර බව ඇයට නොදැනුනි.

සංගීතය ඉතා ප්‍රිය කල ඈ ඉතා ඕනෑකමින් සංගීතය හැදෑරුවාය. එමෙන්ම ඇය නැටීමටද ප්‍රිය කලාය. මාලිගාවේ සාද ඇය නිසා ඔපවත් විය. තම කුමාරයාට ලැබුනු මේ පුංචි, හුරතල් කුමරියට, මාලිගාවේ සේවකයින් මෙන්ම රටවැසියෝද ආදරය කලෝය.

‘ඔවුන් තාමත් ඉන්නේ වෙන, වෙන යහන් ගබඩාවල’ ඔවුන් ගැන දැනගත් ඇගේ මව විශ්මයෙන් කෑගෑවාය. ‘වහාම මෙයට කටයුතු සකස් කල යුතුයි’ ඈ වහාම අකුරුපතක් සකස් කිරීමට පටන් ගත්තාය.

ඔවුන්ගේ ප්‍රේම කතාව ඇරඹුනේ එතැනිනි.

XV ලුවී රජ මිය ගියේ ඇයගේ සැමියා ප්‍රංශයේ රජු ලෙස ඔටුනු පලඳවමිනි. වයස 19දී ඇය ඔහුගේ අග බිසව බවට පත්වූවාය. ඔහු අනෙක් රජුන් මෙන් වෙනත් බිරියන් සොයා නොගියේය.

ඔවුන්ගේ ප්‍රථම දරුවා, මහජනයා ඉදිරිපිට ඇය ප්‍රසූත කලේ, එය එකල සම්ප්‍රදායක් වූ බැවිනි. මේ වෙලාවේ මාලිගාවේ කොරිඩෝ සේවකයන් හා රට වාසීන්ගෙන් පිරී තිබුනි. වාතය ගලා ඒම සඳහා කවුලුවක් විවර කිරීමටද සිදුවූයේ රජතුමාටය.

‘මෙය අමුතු සිරිත්, විරිත් තියෙන තැනක්! මම මගේ මූනේ සායම් උලන විටත් මේ උදවිය ඒ දිහා බලා ඉන්නවා’ ඇය වරෙක මවට කියා යැව්වේ මේ චාරිත්‍රය දැන ගැනීමට පෙර විය හැක.

වර්සේල්ස් මාලිගයේ තම යහන් ගැබ තමාට උවමනා අයුරින් වෙනස් කල හැකි බැවි දැනගත් මොහොතේ ඇයට දැනුනේ ප්‍රීතියකි. දරුවන් හැදීමෙන් හෙම්බත්වී සිටි ඇය මාලිගය වෙනස් කිරීම ආරම්භ කලාය. රජතුමා ඇයට විවේකීව සිටීම සඳහා ‘ට්රයනොන් මාලිගය’ ඉදිකර දුන්නේ මේ කාලයේදීමය. මේ සඳහා කොපමන මුදල් වැයවෙනවාද, රටවැසියා මේ සඳහා බදු ගෙවන බවත්, ඔවුන් කෙතරම් අසහනයෙන් ඉන්නවාද යන්නත් ඇය නොතැකුවාය. රජතුමා රටේ ප්‍රශ්න විසඳීමට එක්, එක් තැන්වල යද්දී ඇය කලේ ඔහු නැති පාලුව මග හරවා ගැනීම සඳහා සාදවලට සහභාගිවීමය.

ඇගේ හැසිරීම සේවකයන්ගේ කතාබහට ලක්විනි. ‘අදත් ඇය තාම මාලිගාවට පැමිණ නෑ. අලුතෙන් පැමිනි තානාපතිවරයත් එක්කලු අද ගියේ’ මෑතදී පත්වී පැමිණි කදිම රූසපුවක් තිබූ තානාපතිවරයෙකු සම්බන්ධ කර මොවුහු කටකතා පැතිර වූහ.

‘මිනිසුන්ට කෑමට දෙයක් නෑ’ රජතුමා තැත් කලේ ඇයට රටේ තත්වය වටහාදීමටය. ‘ඔවුන් බදු බරින් මිරිකිලා.

‘ඇයි කියන්නේ නැත්තේ ඔවුන්ට පාන් නැත්නම් කේක් කන්ට කියලා’ ඈ ඔහුගෙන් ඇසුවාය. ඇය ‘කේක්’ යනුවෙන අදහස් කලේ ‘බ්රියොෂ්’ නැමති, බිත්තර හා බටර් වැඩියෙන් දමා හැදු, කුඩු වැටෙන පාන් වර්ගයකටය. එය ඇත්තෙන්ම බිත්තර බනිසයකි. ඉතිහාසය හෙල්ලූ මෙමෙ වදන කටින් කට ප්‍රචාරය විනි. මිනිසුන් තව දුරටත් ඇය ඔවුන්ගේ අහිංසක පුංචි කුමාරිය ලෙස නොදැක්කෝය.
ප්‍රංශය පුරා විප්ලවයක් පැතිර ගියේ මේ මොහොතේය. ඔස්ට්‍රියාවේ සිටි තම සහෝදරයාවන 11 ජෝසෆ් තමා බේරා ගනීවි යන හැඟීම ඇය තුල තිබිනි. මිනිසුන් මාලිගාව කොල්ල කෑමට අරාඳින රාත්‍රියේ ඇමතිවරුන් ඇයහට පලා යන්නැයි කී මොහෙතේ ඇය තම සැමියා තනි කර නොගියේ ඒ නිසාය.

‘මම යනවා නම් යන්නේ රජතුමාත් එක්ක’ ඇය තදින්ම කියා සිටියාය.

පැන යන ඔවුහු සතුරන්ට අසුවූවෝය. ඒ අනුව ඔහු 1793 අවුරුද්දේ ජනවාරි මාසයේදීත්, ඇය එම අවුරුද්දේ නොවැම්බර් මාසයේදීත් ගෙල සිඳ මරා දමනු ලැබිනි.

වර්තමාන කතාව

දකින, දකින සෑම තැනකම දක්නට ලැබුනේ ඇස් කඩාගෙන යන භාණ්ඩය. එමෙන්ම විශාල ශාලා, වටිනා තිර රෙදි, බිත්තිවල එල්වූ පැරණි සිත්තම්, පරම්පරා ගනනක් රට පාලනය කල පාලකයන්ගේ ප්‍රතිමාය.

මම, මාරි ඇන්ටනෙට්ගේ කාමරය අසල නතර වූයෙමි. ඇඳ අමුතුම මෝස්තරයේ එකකි. පටු කොරිඩෝවේ සිට කුඩා කවුලුවකින් ඒ දෙස බැලිය හැකිවිය. ඇඳ ඇතිරිලි හා ඒ වටාවූ තිර රෙදි, සැපපහසුවට වඩා අලංකාරය සඳහා නිර්මානය වූ ඒවාවිය. ඒ අසලම වම්පසින්වූ පුංචි දොරටුව ‘ඔවුනට රහස් උමගිකන් පලා යෑමට උදව් වූවාලු’ නේදැයි මට සිතිනි. මාරිට ඒ අවස්තාවේ මොනවා නම් සිතෙන්නට ඇත්දැයි සිතුනු මගේ සිරුර කිළිපොලා ගියේය. තමා මියයන බවක් ඇයට ඒ වෙලාවේ දැනුනාවත්ද?

හිත පීඩාවට පත්කල එම ස්තානයෙන් බැහැරව, උද්‍යානයට ගිය මට දැනුනේ සහනයකි. මලින් බර, ඈතට විහිදුනු එය සිහිපත් කලේ යොවුන් දැරියකගේ සිහිනයක් නොවේද? ඇය ගැහැනියකබවට පත්වූ මතක සටහන් මේ මුලු පරිසරය පුරාම විහිදී ඇද්ද? මේ මල්ගොමු මැද කෙතරම් කවි , ගී නම් කියැවෙන්නට ඇතිද? අනෙකුත් තරුනියන්ගේ මෙන් ඇගේ හිතේ බලාපොරොත්තු සියල්ල හටගත්තේ මෙහිදී වෙන්නට බැරිද? මම මොහොතකට කල්පනා කලෙමි.

මාරී හැමදාමත් දරුවන් ප්‍රිය කලාය. එමෙන්ම කාරුණික කාන්තාවක් වූවාය. වරෙක ගෝනෙකුගේ අඟකට තුවාලවූ ගොවියෙකුහට නිහතමානී ලෙස, තමා අතින්ම ප්‍රතිකාර කලාය. දරුවන් නැති කාලයේ දුප්පත් දරුවෙකු හදාගත්තාය. තමාගේ දරුවන් ලැබුනු පසු ආදරය අහිමිවූවායැයි සිතූ ඔහුත්, එම විප්ලවයට කොටස් කාරයකු වීද? ඇගේ මරනය සිදුවීමට ඔහුත් එක හේතුවක් වූවාද?

උද්‍යානය හරහා ඇවිදගිය මා නතර වූයේ ට්රයනොන් මන්දිරයේය. මෙය මාරිට තනවා දුන්නේ ඇගේ සැමියාවු XV1 ලුවී රජතුමාය. එහි යට මහලේ විශාල ලිප් කීපයක්වූමුත්, ඇයට කෑම ගෙනෙනු ලැබුවේ වර්සේල්ස් මාලිගාවෙනි. එහි සිදුවූයේ කෑම රත් කිරීමක් පමනෙකි. මාලිගාව එහි සිට සෑහෙන දුරකින් තිබු නිසා ආහාර ගෙන එන්නට ඇත්තේ හේවායින් විසින් අසු පිටවත්ද? ශබ්ද නැගෙනා දොර විවර කරමින්, ඒ කෑම ඇතුලට ගන්නා සේවිකාවක ඒ මොහොතේ මගේ සිතේ ඇඳිනි. උඩුමහලේවූ රැජනගේ නිදන කාමරය, විසිත්ත කාමරය, කෙතරම් සිත් ඇදගන්නා සුලු වුවත්, පහත මාලයේවූ, ඒ නිශ්ශබ්ද , හුදකලා, සොවින් පිරුනු ගැහනියක මෙනෙහි කල ඒ මුලුතැන් ගෙය මට නම් කිසිදාක අමතක කල නොහැකි වනු ඇත.

මාලිගාව තුල ඇය දරුවන් වැදුවා යැයි පැවසෙන , අද කාලයට නොගැලෙපෙන ඇඳ, ඔවුන් රාත්‍රියේ පලාගියා යැයි කියැවෙන පසෙකින්වූ ඒ කුඩා දොර මේ කිසිවකින් නොවූ සිත් සසලවීමක් ඒ ස්තානය නිසා මා හද තුල ඇතිවූයේ ඇයිදැයි නොදනිමි. රාත්‍රී හිස් වැස්මක් පැලඳගත්, දිග ගවුමකින් සැරසුනු මෙහෙකාරිය, ඉටිපන්දමක් අතැතිව දිනපතා රාත්‍රී යාමේ ඒ උස් පඩිපෙල වෙහෙසින් යුතුව නැංගාද? තම ස්වාමිදුවගේ හිස ගැසූ බැව් දැනගත් මොහොතේ මුලුතැන්ගෙහිවූ කුඩා පුටුවේ හිඳ ඇය වැලපුනාද?

මාරී තවමත් කොරිඩෝ ඔස්සේ, ඇවිදිනවා යැයි පැවසෙන ඒ විශාල මාලිගාවට වඩා මගේ සිත්ගත්තේ, ඇගේ පුද්ගලික ජීවිතය නිහඬව කියාපානා , එමෙන්ම නිසලව අප දෙස බලා සිටිනා ඇගේ ප්‍රතිරූපයක් බඳු ට්රයනොන් මන්දිරයයි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>