Contact us now +61(0) 433 638 610

Articles

ඊට පස්සේ පැවති ඉබ්බා සහ හාවා අතර තරගයේ ප‍්‍රතිඵලය

Posted in සාහිත්‍ය,හසරැලි by on August 17, 2013

ඉබ්බා සහ හාවා අතර පැවති තරගයෙන් ඉබ්බා දිනුවාට පස්සේ අනිත් සත්තු ඉබ්බාට ඔහුගේ ධාවන වේගය වැඩි කරගැනීමට නොයෙක් විදිහෙ උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒත් මේ එක්කෙනෙක්වත් තරගයේදී හැබෑවටම වුණු දේ දැනගෙන හිටියෙ නැහැ. ඔවුන්ගෙන් කොටසක් හිටියෙ තරගය පටන්ගන්න තැන. අනෙක් කොටස හිටියෙ තරගය අවසන් වන තැන. හාවා වේගයෙන් ඈතට දුවගෙන යන හැටියි පළමු කොටස දැක්කෙ. අනිත් කොටස දැක්කෙ ඉබ්බා ගාටමින් දිනුම් කණුව පසුකරද්දී හාවා අසුරු සැණින් ආ බවත් විතරයි. ඉබ්බා වේගයෙන් දුවනවා කවුරුවත් දැක්කෙ නැතුවට කොතනකදී හරි ඉබ්බා වේගයෙන් දුවපු බව ඔවුන් විශ්වාස කළා. තරගයේ මුලදී ඉබ්බා වැඩි වේගයකින් ඇවිත් හාවා පසු කරල සැළකිය යුතු පරතරයක් තබාගෙන ඉන්පස්සෙ වේගය අඩුකරන්නට ඇති බව ඔවුන් විශ්වාස කළා. තරගයේ දිනීම ගැන තිබුණු හොඳම හා එකම පැහැදිලි කිරීමත් එය විතරයි. කැළේ සත්තු ඔරලෝසු පාවිච්චි කරන්නෙ නැති නිසා තරගෙට කොච්චර වෙලාවක් ගියාද කියලත් කවුරුත්ම දැන හිටියෙ නෑ.

කවුරුවත් හාවා කියූ කතාව ඇහුවේ නැහැ. ඒ හැම පරාජිතයෙකුටම කියන්න නිදහසට කරුණු ඕනතරම් තියෙන බව කවුරුත් දන්නා නිසා.

ඉබ්බා මුලදි තමන්ට විශේෂ බලයක් තියෙන බව ප‍්‍රතික්ෂේප කළා. ඒත් අනිත් අය ඒක තේරුම් ගත්තෙ එයාගේ නිහතමානී කම විදිහටයි.

”ඔයා හරිම නිහතමානී කෙනෙක්” හැමෝම කිව්වා.

ඉතින් අන්තිමට ඉබ්බාත් ඔවුන්ව විශ්වාස කරන්න පෙළඹුණා. එයාගෙ යාළුවො හදපු ‘විජයග‍්‍රාහී පදක්කම’ එයා හැමවෙලාවෙම බෙල්ලේ දාගෙනමයි හිටියෙ. මේ සේරම නිසා එයා ටිකින් ටික තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති කරගත්තා.ඒ වාගෙම ලොකු ආඩම්බරකාරයෙක් වුණා. අන්තිමේදි ඉබ්බා ආයෙම තමා සමඟ තරගයකට එන්නැයි හාවාට අභියෝග කරමින් වහසි බස් කියවන්න වුණා.

”මං සැරයක් ඒක කළා. මම ඒක ආයෙම කරලා පෙන්නන්නම්” ඉබ්බා එයාගේ යාළුවන්ට පොරොන්දු වුණා.

කලින් තරගය අහසේ ඉඳන් බලා සිටි කොණ්ඩ ගිරවා විතරයි ඉබ්බා පරදින්න යන බව කිව්වෙ.

”ඔයාට පිස්සු. දැක්කනේ ගිය සැරේ වුණු දේ…?” එතකොට අනිත් සත්තු කිව්වා.

”පොඞ්ඩක් එයා දිහා බලන්න. එයා එක තරගයක් දිනුවා වෙන්න පුලූවන්. නමුත් එයා තාමත් එක ඉබ්බෙක් විතරයි.” කොණ්ඩ ගිරවා උත්තර දුන්නා.

ඔය විදිහට දෙවෙනි තරගය තියෙන දවසත් ආවා. හාවා දිනුම් කණුව පසු කරද්දී ඉබ්බා තරගය පටන් ගත් තැන ඉඳන් අඩි හයකුත් අඟල් තුනහමාරක් විතරයි ගිහින් තිබුණෙ. සිදු වූ දේ දැකලා කොණ්ඩ ගිරවා මහා හයියෙන් හිනා වෙද්දි අනිත් සත්තු එතනින් යන්න ගියේ ලැජ්ජාවට අනිත් අයගේ මූණුවත් නොබලා ය.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>