Contact us now +61(0) 433 638 610

Articles

සක්මන් මළුව – භාවනාවට පෙර

Posted in කාලීන,ජීවිතය by on March 28, 2013

pic-1303-03

- මහානාම

වර්තමානයේ ලෝකය පුරා බොහෝ දෙනෙක් ජාති ආගම් භේද වලින් තොරව නොයේක් ආකාරයේ භාවනා ක‍්‍රම පුහුණු වෙමින් සිටිති. ඒ අතර ආතතිය සහ කාංසාව තරම් සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන අසහනකාරී මනෝභාවයන් සකල ලෝක වාසීන් ගිල ගනිමින් සිටින බවද නොරහසකි. භාවනාවෙන් ලෙඩ රෝග සුව කරගත් අය ගැන ඇතැම් මාධ්‍ය, පොත්පත් සහ ස`ගරා වල නිතර නිතර දක්නට ලැබේ. නූතන වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මගින් පවා භාවනාවක නිරත වීමෙන් බොහෝ කායික මානසික රෝග නිවාරණයට අත්වැළක් සැපයෙන බව කියැවෙයි. නමුත් මෙම ලිපි පෙළේ අරමුණ වන්නේ කිසියම් ආගමක් හෝ භාවනා ක‍්‍රමයක් ගැන කරුණු ඉදිරිපත් කිරීම හෝ ලෙඩ රෝග සුව කරගැනීමට භාවනාව භාවිතා කරගන්නා අයුරු විස්තර කිරීම නොවන්නේය.

වර්තමානයේ විවිධ භාවනා ක‍්‍රම අනුගමනය කරන බටහිර සහ පෙරදිග යෝගීන් දෙස බලා ඉතා සමබරවත්, නිවැරදිව භාවනා කරගෙන යාමට සුදුසු කායික මානසික පරිසරයක් නිර්මාණය කිරීමට දරන්නා වූ ප‍්‍රයත්නයක් පමණෙකි මෙම උත්සාහය. නැවත වතාවක් කිව යුත්තේ මෙම ලිපි පෙළ භාවනා පාඩම් මාලාවක් නොවන බවය. එහෙත් ඔබ විසින් දැනට කරගෙන යනු ලබන කිසියම් භාවනා ක‍්‍රමයක් වේ නම් එය වඩාත් දියුණු කර ගැනීමට ඉදිරි ලිපි පෙළෙන් ලැබෙන මග පෙන්වීම අතිශයින්ම ප‍්‍රයෝජනවත් වනු ඇත. ඔබ කළ යුත්තේ ඉතා විවෘතව මෙහි ඉදිරිපත් කරනු ලබන කරුණු විමසා බැලීම පමණෙකි.

මිනිසුන් භාවනා කරන්නේ ඇයි ?

ඉහත ප‍්‍රශ්නය භාවනා කරන අයගෙන් ඇසුවොත් ඔබට ලැබෙන පිළිතුරු විවිධාකාරය. නිවන් අවබෝධ කරගැනීම, දුකින් මිදීම, දෙවියන් දැක ගැනීම, ලෙඩ රෝග සුව කර ගැනීම, සිතට විවේකයක් ලබා ගැනීම, කෝපය පාළනය කර ගැනීම, ආතතියෙන් මිදීම, අධි මානසික ශක්තීන් උපදවා ගැනීම ආදී නොයේක් පිළිතුරු ඔබට ලැබෙනු ඇත. එක්තරා වයස්ගත ඕස්ටේ‍්‍රලියානු කාන්තාවක් මා හා පැවසුවේ ඇය භාවනා කරන්නේ මිය ගිය ඇයගේ සැමියාගේ ආත්මය හමුවී ඔහු සම`ග කථා කිරීමට බවය. මෙවැනි පිළිතුරු වලින් අපට පසක් වන්නේ භාවනා කරන්නන්ගේ අපේක්ෂාවන් කෙතරම් සංකීර්ණද හා සියුම් ද යන්නය.

මා භාවනා කරන්නේ ඇයි ?

ඔබත් මමත් භාවනා කරන්නා වූ හේතුව ඉහත කරුණු අතර තිබීමට පුළුවන. ඇතැම් විට එම හේතුව ඒ සියල්ලටම වඩා වෙනස් වීමට හෝ හේතු කිහිපයක සංගලනයක් වීමට ඇති ඉඩ කඩද වැඩිය. මම (ඔබ) භාවනා පුහුණුවට එළැඹෙන්නේත්, භාවනා ක‍්‍රමයක් අනුගමනය කරන්නේත් මා (ඔබ) උගත්, මට (ඔබට) ඉගෙන ගැනීමට ලැබුණු සහ මගේ (ඔබේ) මනසින් නිවැරදි යැයි තේරුම් ගත් කිසියම් අරමුණක් ඔස්සේය. බොහෝ විට මගේ (ඔබේ) අරමුණ හා එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට මා (ඔබ) තෝරාගත් මග නිවැරදි විය හැකිය. එහෙත් ඇතැම් විට නිවැරදි නොවීමටද ඉඩ නැතුවා නොවේ. වසර ගණනාවක් පුරාවට ඔබ භාවනාවේ නියුතුව සිටි අයෙක් නම් මේ බැව් පහසුවෙන් වටහා ගැනීමට ක‍්‍රමයක් ඇත. එනම් ඒ වසර කිහිපය පුරාවට ඔබ උගත් හා දැනගත් කරුණු පදනම් කරගෙන ඔබගේ භාවනා ක‍්‍රම වෙනස් වූ ආකාරය ගැන ස්වයං අධ්‍යයනක යෙදීමෙනි.

විනිශ්චය නොකිරීමේ වැදගත්කම

අත්දැකීම් බහුල නොවන විට සහ බුද්ධිමත්ව කරුණු විග‍්‍රහ නොකරන විට, ඔබ අනුගමනය කරනු ලබන භාවනා ක‍්‍රමය හා අරමුණ අන් අයව විනිශ්චය කිරීමට යොදා ගන්නා බව ඔබ තේරුම් ගෙන තිබේද ? බොහෝ විට මෙබඳු විනිශ්චය කිරීම් නිසා සිදුවන්නේ අපගේ මනස තුළ නොයේක් තර්ක විතර්ක ගොඩ නැගීම ය. මෙවන් අවස්ථාවන්හිදී මගේ (ඔබේ) භාවනාව පසෙක තිබියදී මම (ඔබ) අන් අයගේ භාවනාවන් ගැන වද වෙන බව මට (ඔබට) පසක් වන්නේ බොහෝ කල් ගත වූ පසුවය. මට සාපේක්ෂව අන් අයගේ භාවනා ක‍්‍රම සහ අරමුණු කොතරම් බොළඳ වුවද, අතාර්කික වුවද, පදනම් විරහිත වුවද මා කළ යුතු වන්නේ ඒ දෙස උපේක්ෂාවෙන් බැලීම පමණෙකි. සියයට සියයක් (මම) ඔබ නිවැරදි වුවද කරුණු පැහැදිළි කර දීමට ඉක්මන් නොවන්න. මක්නිසාද යත් ඊට සුදුසු අවස්ථාවක් එළැඹෙන බැවිනි. අවස්ථාව ඔබ කරා එළැඹෙන තෙක් සිටිය යුතු අතර කිසිවිටෙක ඔබ අවස්ථාව කරා නොඑළඹෙන්න. මෙම කරුණ නැවත නැවතත් අවධාරණය කළ යුතුව ඇත්තේ ඉතා සුදුසු භාවනා ක‍්‍රම වල නිරත වන්නන්ට පවා කට ඉස්සර කර ගැනීමෙන් සිදු වන අවැඩ නොපෙනී යාම නිසාය. ඇතැම් විට භාවනා ක‍්‍රම (ධර්මය) අන් අයට ඉගැන්වීම පිනක් බව ඇතැම් අය කල්පනා කිරීම නිසා නැති ගැටළු ඇති වීමට ඉඩ තිබේ. බුද්ධිමත්ව කල්පනාකර ඉවසීමෙන් පිනක් නොකිරීමේ ප‍්‍රතිඵලය විය හැක්කේ ආවේගය නොහොත් පටිඝය විය හැකි බැවිනි. ඒ නිසා ඔබගේ භාවනාව ගැන යම් අයෙකුට දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් පමණක් ඒ ගැන විස්තර කිරීම කළ යුතුව ඇත. නැතිනම් ගොළුවත රැකීම සුදුසුය.

සියලූ සත්‍ය ගවේෂකයෝ විවෘත මනසකින් පසුවිය යුතුය

වර්තමානයේ විශේෂයෙන් ආසියානු ජාතීන් තුළ තමන්ට අත්විඳින්නට සිදු වූ නොයේක් අතීත හේතූන් නිසා හටගත් බලවත් මුළධර්මවාදී අදහස් හොඳින් විද්‍යාමන වේ. ජාතිය, ආගම, කුළය, පාට, සංවිධාන යනාදී රාමූන්ගෙන් ඉවත්වූ කල්හි මේ වෙනස්කම් කෙනෙකුට හොදින් පෙනෙන්නට පටන් ගනී. බොහෝ විට තමන්ට ඇති වූ අසාධාරණයකට එරෙහිව එකට එක කිරීමේ මානසිකත්වය විවිධ ජාතීන් හෝ ආගම් වලට වඩා එකම ජාතියක හෝ එකම ආගමක අය අතර ඉස්මතුවන ද්වේෂ සහගත ආකල්ප ගැන කල්පනා කරන කල්හි අපට ඉතා හොඳින් දැක ගන්නට හැකිය. භාවනාව සම්බන්ධයෙන්ද මෙබඳුම වූ පිල් බෙදීමක් විශේෂයෙන් අප බොහෝ දෙනා තුළ නැතුවාම නොවේ.

ඒ නිසා අන්‍ය ආගමිකයෝ හෝ කිසිඳු ආගමකට අයත් නොවන අය විසින් කරනු ලබන භාවනාවන් දෙස විවෘතව බැලීමට තරම් නිහතමානී වන්න. ඒවා විවේචනය කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට එබඳු අයගෙන් පවා ඔබේ භාවනාව දියුණු කර ගැනීමට ගත හැකි යමක් ඇත්දැයි විමසා බලන්න. ඔබට සාපේක්ෂව අනෙක් අය කොතරම් බොළද භාවනාවක යෙදුනද ඉතා කරුණාවෙන් සහ අනුකම්පාවෙන් ඒවා ඉවසන්න. අන් යෝගීන් දෙස සරදම් සහගතව හෝ උපහාසයෙන් නොබැලීම නිසා ඔබ තුළි පෙර නොවූ විරූ දියුණු ආකල්පයන් ඇතිවන්නට හේතුවක් වන්නේය. එකහෙළාම හෙළාදැකීමෙන් තොරව මෙබඳු විවෘත මනසකින් පසුවීමෙන් ලැබෙන වාසි සහ දක්ෂතා බොහෝමයකි. ඉවසීම, නිශ්ඵල තර්ක විතර්කයන් මනසේ නිර්මාණය නොවීම, ඇහුම් කන් දීම, නොදන්නා කරුණු දැනගැනීමට ලැබීම සහ ඔබේ භාවනාව ඔප මට්මටම් (Fine Tune) වීම ඒ අතරින් කරුණු කිහිපයකි. මේ කරුණු භාවනා ආචාරීන්ට පමණක් නොව අවශේෂ යෝගීන්ටද ඉතා වැදගත් වේ.
ඔබ කවර භාවනාවක නිරත වුවත්, කවර සම්ප‍්‍රදායක් අනුගමනය කළත්, කවර ආගමකට අයත් වුවත්, නොවූවත් නිහඬව, ඉතා විවෘත මනසකින් එහි නිරතවීමට ඉහත දැක්වූ කරුණු ප‍්‍රයෝජනවත් වන්නේ යැයි අපි උදක්ම විශ්වාස කරන්නෙමු.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>