Contact us now +61(0) 433 638 610

Articles

සියලූ සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති

Posted in ආකල්ප,කාලීන by on March 20, 2013

pic-1303-05

සියලූ සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති. මේ අප නිතර දෙවේලේ අසා ඇති දෙයකි. ආහාරය කාලයාගේ ඈවෑමෙන් විවිධ සංස්කෘතීන්ට හා දේශයන්ට අනුව වෙනස් වී ඇති ආකාරය මනාව පසක් කර ගත හැකි රටක් වශයෙන් ඕස්ටේ‍්‍රලියාව හඳුන්වාදීමේ වරදක් තිබිය නොහැකිය. ඉංගී‍්‍රසින් හැරුණු කොට මේ රටෙහි ජීවත් වන අනෙක් ජාතීන් ගණන සියය ඉක්මවා ඇත. කථා කරන භාෂාවන්ද ඒ හා සමානය. ලොව එක් රටෙක ආහාර පාන තවත් රටෙක ආහාර සම්ප‍්‍රදායෙන් ඉඳුරාම වෙනස්ය. ශී‍්‍ර ලාංකික අපට දැනෙන පිළී ගඳ අපගේ ආහාර රුචිය නැති කරදමයි. එහෙත් ඒ හා සමාන පිළී ගන්ධය වෙනත් රටවල මිනිසුන්ගේ ආහාර රුචිය වඩවන අයුරු මා දැක තිබේ. තළ තෙල් ගන්ධයද මේ හා සමාන හැඟීමක් ඇතැම් ජන කොටස් තුළ ඇති කළද ලොව වෙනත් ජාතියකට එය එසේ නොවිය හැකිය. සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝගයක් වැළදුනු විට ආහාරයේ සුවඳ දැනීමද අඩුවී යන විට ඒවායේ රසයද ඒ අනුව නොදැනෙන බව අප අතර පවතින මතයකි. මේ මතය බොහෝ දුරට සත්‍යයක් නමුත්, සුවඳ නිසා අප මුලින් ප‍්‍රතික්ෂේප කරන ලද යම් යම් ආහාර වලට ක‍්‍රමයෙන් හුරු වූ පසුව අප මනසේ පටිගතව තිබෙන්නා වූ ආහාරය හා සම්බන්ධ යම් යම් විධානයන්ද ක‍්‍රමයෙන් දුර්වල වී යන බව ම’විසින් අත් දුටු තවත් දෙයකි.

දිනක් මා කෙසෙල් ගෙඩියක් කමින් සිටිනු දුටු ස්කොට්ලන්ත ජාතික මගේ මිතුරෙක් ඉතා රසවත් කථාවක් කීවේය. ඔහුගේ සීයා දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ අයෙකි. කෙටි නිවාඩුවකට ඔහු සියරටට ගිය අතර වාරයේදී කෙසෙල් ගෙඩි කිහිපයක්ද රැගෙන ගොස් ඇත. ඉන් එක් ගෙඩියක් තම පවුලේ අය හා එක්ව අනුභව කිරීමට තබාගෙන ඉතිරි කෙසෙල් ගෙඩි කිහිපය පවුලේ හිතවතුන් කීප දෙනෙකු අතර බෙදා දීමට ඔහුගේ සීයා පිටව ගොස් තිබේ. මෙම නිවසේ සිටි ගණන අට දෙනෙකි. ඒ අතරතුර මගේ මිතුරාගේ ආච්චී විසින් ඔවුන් අට දෙනාට බෙදා දීමට කෙසෙල් ගෙඩිය කොටස් අටකට කපා ඇත. සීයා හැර ඉතිරි හත් දෙනාම මෙම අරුම පුදුම පළතුර භුක්ති විදීමට ලක ලෑස්ති වී තිබේ. තම තමන්ගේ කොටස් අතට ගත් මේ අය ජීවිතේ ප‍්‍රථම වතාවට කෙසෙල් නැමති පළතුර කෑහ. මද වේලාවකින් ඔවුන් සියලූ දෙනාම කටට ගත් ඉතා කුඩා කෙසෙල් කැබැල්ල ඉවතට විසි කර ඇත්තේ යළි කිසි දිනක කෙසෙල් නොකන බවට ශපථ කරමිනි. මේ අතර සීයා නැවත නිවසට පැමිණ තිබේ. උගුර පාදමින් කෙළ ගසමින් සිටි නිවසේ අයගෙන් සිදුවූයේ කුමක්දැයි ඔහු අසා ඇත. ඇසූ දෙයින් ඔහු තම අත් හිසෙහි ගසා ගෙන ඇත. මේ සියළු දෙනාම කෙසෙල් කා ඇත්තේ ලෙල්ලත් සමගිනි. සීයාගේ කොටස හැර ඉතිරි කොටස් සියල්ලම අපතේ ගොසිනි.

මෙම කථාව ඇසූ සැනෙකින් මගේ මතකය ඇදී ගියේ හැත්තෑව දශකයේ දෙවැනි භාගයටය. එකල ලංකාවේ ආර්ථිකය විවෘත වීමට පෙර පිටරට කෑම බීම සුලභ නොවීය. එකල මා ඇපල් ගෙඩියක් දැක තිබුණේ ඉංගී‍්‍රසි හෝඩි පොතෙන් පමණය. එහෙත් නුවර එළියට ආසන්න තේ වත්තක ජීවත් වූ නිසාම ඇති තරම් පෙයාර්ස් දැක තිබුණි. ඇපල් ඉතා රසවත් පළතුරක් යැයි එකල මා අසා තිබුණි. ඉංගී‍්‍රසි හෝඩි පොතේ ඒ පී පී එල් ඊ ඇපල් කියා නිවැරදිව අම්මා ඉදිරියේ පාඩම් දීමට සෑහෙන කලක් ගත වීමට එක් හේතුවක් වන්නට ඇත්තේද ඇපල් කියා පාඩම් කරන හැම මොහොතකම ඇපල් නම් පළතුර කෙබඳු රසයකින් යුක්තදැයි මගේ යටි සිත ප‍්‍රශ්න කළ නිසා වීමටද ඉඩ තිබේ.

මේ අතර දිනක් පිටරට සිට පැමිණි කෙනෙක්ගෙන් අපට ඇපල් ගෙඩියක් ලැබුණි. එය දුටු මා සිත මුලින්ම අපේක්ෂාභංගත්වයට පත්විය. ඒ අන් කිසිවක් නිසා නොව හෝඩි පොතෙහි මා දුටු ඇපල් ගෙඩිය තරම්ම එය ලස්සන නොවීමය. නිවසේ සියල්ලෝම සිටින විට ඇපල් ගෙඩිය කපා බෙදා දීම පිණිස අම්මා එය සඟවා තැබුවාය. දෙවෙනි වරටද මගේ සිත අපේක්ෂාභංගත්වයට පත්විය. ඉන්පසු එක් සන්ධ්‍යාවක ඇය එම ඇපල් ගෙඩිය කොටස් නවයකට හෝ දහයකට කැපුවාය. මගේ කොටස ඉතා ඉක්මණින් ඉවර විය. මා තුන් වැනි වතාවටත් අපේක්ෂාභංගත්වයට පත් වූයේ ඇපල් මා සිතා සිටි තරම් රසවත් නොවූ නිසාය. සැබවින්ම පැපොල් ඇපල් වලට වඩා රසවත්ය. නුවර එළියේ පෙයාර්ස් ඊටත් වඩා බොහෝ රසවත්ය. පසුකාලීනව නුවර එළියේ පෙයාර්ස් නැත්තටම නැති වී පිටරට ඇපල් වලින් ලංකාව ඇත්තටම යටවී ගියේය.
ආහාරය හා සම්බන්ධව මේ කරුණු කීමට හේතු වූයේ ම’සිතේ යම් තැනක කවර හේතුවක් නිසා හෝ පැළපදියම්ව තිබුණු කිසියම් අදහසක් නිසාය. එකල මා සේවය කළ සේවාස්ථානයේදී දිවා ආහාර විවේකයේදී මාත්, මා සේවය කළ ආයතනයේ පෝලන්ත ජාතික ප‍්‍රධානියාත්, තවත් මා මිතුරු ඕස්ටේ‍්‍රලියානු ජාතික සේවිකාවකුත් එක්ව දිවා ආහාරය ගැනීම පුරුද්දක්ව පැවතුණි. ශී‍්‍ර ලාංකික අපගේ ආහාර වල අපට නොදැනෙන සුවඳක් අන් ජාතීන්ට දැනේ. බොහෝ විට ඔවුන් ඒ සුවඳ අගය කරන්නේ අපේ ආහාර වල තිබෙතැයි ඔවුන් විසින් අනුමාන කරන ලද රසය පිළිබඳවද කිසියම් තක්සේරුවකට එළැඹෙමිනි.
මේ සිදුවීම සිදුවූදා දිවා ආහාරයට ගැනීමට සිටියේ මාත් කලින් සඳහන් කළ මිතුරු සේවිකාවත් පමණි. නිතර දෙවෙලේ දිවා ආහාරයට සළාද පමණක් අනුභව කරන ඇයගේ එදින ඇයගේ දිවා ආහාරය වූයේ ටෝස්ට් කරන ලද පාන් පෙති දෙකක් සහ කෙසෙල් ගෙඩියකි. එක්වරම මගේ මතකයට ආවේ කෙසෙල් ගෙඩි සමග රොටී ආහාරයට ගැනීමය. මද වේලාවකින් ඇය කෙසෙල් ගෙඩිය කපා ටෝස්ට් කරන ලද පාන් පෙති දෙක මැදට දැමුවාය. මම පුදුමයෙන් ඒ දෙස බලා සිටියෙමි. කෙසෙල් ගෙඩිය පෙති ගසන අතර එළියට පනින්නට මෙන් තිබුණු මගේ ඇස් ගෙඩි දෙස බලා ඇය ‘‘ඇයි ?’’ කියා ඇසුවාය. ‘‘නෑ නිකං’’ කියා පිළිතුරු දුන්නද ඉන් ඇය මගේ පිළිතුර ගැන සෑහීමකට පත් වූ බවක් නොපෙණින. ඉන් පසුව ඇය මට මෙසේ කීවාය, ‘‘තරහා වෙන්න එපා, අපේ සංස්කෘතියේ හැටියට කෑමක් දිහා ඔය වගේ බැලීම අනුමත කරන්නේ නැහැ’’යි කියා ඉතා කුළුපගව කීවාය. මගේ බැල්මෙන් කිසියම් වරදක් වූවා නම් ඒ ගැන සමාව අයැද සිටි මා මේ සිද්ධිය ගැන ඉතා ගැඹුරෙන් කල්පනා කරන්නට විය.

තවත් දිනක ඇය ටෝස්ට් කරන ලද පාන්පෙති දෙකක් මැදට අලිගැටපේර ගෙඩියක් කපා දමා බටර් මෙන් ආලේප කර කෑවාය. දැන් නම් සුපිරි වෙළද සැල් වලින් අලිගැටපේර ආළේප මිළට ගැනීමට පුළුවන. කලකට පෙර සිදුවූ පළමු සිද්ධියෙන් මා උගත්තේත්, තහවුරු කර ගත්තේත් ලිපියේ මුල්ම ‍ෙඡ්දයේ සඳහන්ව ඇති කරුණු කාරණා ගැනය. එනම් ආහාරය සම්බන්ධව අප තුළ ඇති ද්‍රෘෂ්ඨීන්ගෙන් අන් ජාතියක ආහාර පුරුදු විමසා බැලීමේ ඇති වරදය – නොහොබිනාකමය. දෙවැනි සිද්ධියෙන් මා තේරුම් ගත්තේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි.

කුඩා කල අප ජීවත් වූ මහනුවර ප‍්‍රදේශයේ තිබූ අලිපේර ගස්වල ගෙඩි ඉදී බිම වැටී කුණු වී යන අයුරු මා දැක තිබේ. මෙතරම් බටර් හා කිරි නිෂ්පාදනය කරන රටක සාපේක්ෂව ඉතා අඩු මිළකට ගත හැකි බටර් හෝ මාගරින් වෙනුවට ඔවුන් විසින් භාවිතා කරණු ලබන විකල්පයන් ශී‍්‍ර ලාංකිකයන් වශයෙන් අපට භාවිතා කළ නොහැක්කේ මන්ද ? අනෙක් අතට කෙසෙල් කා පාන් කෑල්ලක් කෑවද පාන් පෙත්ත මැදට කෙසෙල් ගෙඩිය දමා කෑවද සිරුරට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ වල සැළකිය යුතු වෙනසක් ඇතිවිය නොහැකිය. බහීස‍්‍රාවී ද්‍රව්‍යයේ නම් කිසිම වෙනසක් ඇතිවීමට නොපුළුවන.

ශී‍්‍ර ලංකාවේ සිටියදී වර්ධනය නොවූ අපගේ ආකල්ප අන් ජාතීන් දෙස බලා වර්ධනය කර ගැනීමට දැන් අපට පුළුවන. බටහිරින් ගේන්වා ගන්නා බටර් වලට වඩා ශී‍්‍ර ලංකාව තුළින්ම විකල්පයන් සොයා ගැනීමේ වැදගත් කම ගැන දැනුවත් කිරීම ඔබටත් මටත් උපන් රට වෙනුවෙන් කළ හැකි සේවයක් නොවේද ?

එහෙත් ඒ හැමටම වඩා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉතා සියුම් ලෙස හෝ මා සිත්හි තැන්පත්ව තිබෙන මුල් බැසගත් යම් යම් ආකල්ප හා අදහස් අනුසාරයෙන් ලෝකයා දෙස බලා නිගමනයකට ඒමේ අසාධාරණ බව ඉතා කුළුපගව මට පෙන්වා දුන් මගේ ඕස්ටේ‍්‍රලියානු මිතුරියට අදටත් මම කෘතඥ වෙමි.

no comments.

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>