Contact us now +61(0) 433 638 610

Articles

සරෝජා මගෙ දෝණියේ

Posted in සාහිත්‍ය by on February 10, 2013

saroja

ධනේශ්වර ලෝකයේ පැවැත්ම සඳහා යුද්ධය අවශ්‍ය සාධකයකි. දැනුමෙන්ද, විද්‍යාවෙන්ද පොහොසත් යැයි සැලකෙන නූතනයෙහි ම්ලේච්ඡ යුද්ධය ද විවිධ මුහුණුවරින් සමාජ ගත කෙරේ. චින්තනමය, බුද්ධිමය, ජානමය මෙන්ම ආයුධමය ආදී වශයෙන් අති සංවිධානාත්මකව සිදු කෙරෙන විවිධ සංග‍්‍රාමයන් සඳහා ඉසියුම් ලෙස ජන මාධ්‍යය ද ඉවහල් කොට ගැනේ. විශ්වයෙහි පවතින ජීවී, අජීවී සියලූ සම්පත් තමන් වෙත නතු කොට ගෙන අදිරද බලය තමන් වෙත පවරා ගැනීම යුද්ධයේ පූර්ව නිමිත්ත වේ.

එසේම ආර්ථික, සාමාජික දේශපාලනික හා වාර්ගික අර්බුදයන්ගෙන් සපිරි ලෝකයට ලෙහෙසි පහසු විකල්ප විසඳුම යුද්ධය බවට පත්කොට තිබේ. එසේම යුද්ධය හා සාමය එකිනෙකින් ඇඳී පෝෂණය වන යැපුම් මාර්ග දෙකක් වී තිබේ.

ප‍්‍රඥා හීන මිනිසුන් එකිනෙකා ඇණ කොටා ගැනීමට සැලැස්වීමෙන් ශිෂ්ට සම්පන්න දියුණු යැයි සම්මත ලෝකය තම සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමේ කි‍්‍රයාවලියක නිරත වෙමින් ම මානව හිමිකම් සුරැකීම හා විනිවිදභාවය විදහා දැක්වීම බඳු පරස්පර විරෝධී ක‍්‍රම වේදයන් ද තම අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා භාවිතා කරනු ලබයි. යුද්ධයෙන් ගොඩ නැ‍ගෙන අධිරාජ්‍යය නඩත්තු කිරීමට තව තවත් යුද්ධ කිරීමට සිදු වන බව දාර්ශනිකයෝ දැක් වූහ. ඉතිහාසය මෙන්ම නූතන ලෝකය විමසීමෙන් මේ බව මැනවින් ප‍්‍රත්‍යක්ෂ වේ.

ජනවාර්ගික සංග‍්‍රාමයක වෙස් පැළඳ දශක තුනක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනයා මරුමුව හෙළමින් ලංකාව ගොදුරු බිමක් කර ගත්තේ ද, මේ කුරිරු යුද්ධයමය. යුද සමයෙහි අසරණ ජනයෝ ආත්ම භයෙන් සන්ත‍්‍රාසයට පත්ව හද තුළ ඇවිළි අග්නි ජාලාවෙන් ද, කුස තුළ නැඟුණු ක්ෂුධා ගින්නෙන්ද පීඩා වින්දහ. තිස් වසරක් තිස්සේ සටන් කොට, යුද්ධය නිමා කල අවි ගත්තන් මෙන්ම බොහෝ අහිංසකයන් ද භයංකර ලෙස මරණයට පත්ව, ධන ධාන්‍ය වැනසී බුදින්නට අහර නැතිව, වෙසෙන්නට නිවහන් නැතිව, ලෙඩට දුකට බෙහෙත් නැතිව පවුල් සී සී කඩ විසිර මනුෂ්‍යයෝ අන්ත අසරණ භාවයට පත් වූහ.

එසේ යුද්ධය නිසා උන් හිටි තැන් අහිමි වී, දෙමාපියන් පවා අහිමි ව සරණා ගත කඳවුරක ගාල් වූ ළදැරියක තේමා කොට ගත් ‘‘සරෝජා’’ ගීතය මෙවර ගී කැණිමඬලට පාදක වේ. පසුගියදා පිලිපීනයේ අන්තර් ජාතික සාම ත්‍යාගයෙන් පිදුම් ලද මෙම ගීතය ප‍්‍රතිභා පූර්ණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද රචනයෙන්ද, සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් ද, විශාරද දීපිකා පි‍්‍රය දර්ශනීගේ සුගායනීය ස්වරයෙන් ද පරිසමාප්ත භාවයට පත් වූ සුවිශේෂ නිර්මාණයකි.

තමන්ට පාලනය කළ නොහැකි හා තමන් නොදන්නා බලවේග නිසා දුක්ඛිත ඉරණමකට ගොදුරු වන මෙම ළදැරිය වන් සියලූ දෙනා කෙරෙහි මහත් අනුකම්පාවක් මෙන්ම අප‍්‍රමාණ වූ ශෝකයක් හා යුද්ධය කෙරෙහි මහත් වූ වෛරයක් මෙම ගීතය ශ‍්‍රවණය කරන කල්හි ඇතිවේ.

මාතොටින් එන උතුරු හුළ‍ඟේ
ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි ඔබ
ඒත් අපි එක පංතියේ

ප‍්‍රචණ්ඩ හිරු රශ්මිය වැඩි කරවමින් මා තොට (පැරණි මාන්තොටයි. වත්මන් ව්‍යවහාරයට අනුව මන්නාරම් තොට මෙසේ හැඳින් වේ.) දෙසින් හමා එන උතුරු සුළඟින් මඩු පල්ලියේ සරණාගත කඳවුර ගිනියම් වී තිබේ. එහි හව්හරණක් නොමැතිව සිටින සරෝජා දියණිය දෑස් අග නැගුණු මුතු වන් කඳුළු සැඟවීමට අසාර්ථක උත්සාහයක් දරන්නීය. යුද බිමෙන් නැගෙන ගොර බිරම් වෙඩි හඬින් කම්පිතව ඇගේ පුංචි අත් අකුරු ඇද වී යයි. මම ගුරුතුමිය වෙමි. ඔබ මගේ සිසුවිය වන්නෙහිය. එහෙත් අපි එකම පංතියකට අයත් වෙමු.

ගුරුවරිය සිය සිඟිති සිසුවිය දක්නට මඩු පල්ලියේ සරණාගත කඳවුරට ගිය විට දැනෙන, හැ‍ඟෙන දෑ එසේය.

උතුරු පළාතේ දුෂ්කර සේවයේ නියුතු ඇය සිංහල ගුරුවරියකි. බිහිසුණු වර්ගවාදී යුද්ධය නිසා ජන ජීවිතය අවුල් වියවුල් වී අවතැන් වූවෝ සරණාගත කඳවුරක සිර වී සිටිති. ඇයට ද සිය ගම් බිම් බලා යා යුතු කාලය එළඹ ඇත. ඊට පෙර ඇය සිය දයාබර සිසුවිය දක්නට යන්නේ මානව පේ‍්‍රමය නිසාවෙනි. දැරියගේ දෙමව්පියන් ආ ගිය අතක් නැත. ඇය හුදෙකලා වී සිටිනුයේ ජීවිතයට මුහුණ දිය හැකි වයසක නොවේ. එමෙන්ම මේ දෙදෙනාම ස්තී‍්‍රහුය. එයින් ද ධ්වනිත වනුයේ මහත් අසරණ බවකි. ගුරු මවට දැරිය දමා යා නොහැක. එහෙත් ඇය කැටුව යාමට ද නොහැක. වාර්ගික යුද්ධයක් වෙනුවෙන් බෙදී සටන් කරන පීඩිතයන් හැම එකම පංතියකට අයත් බව මෙහිදී දීපිකා ළයාන්විත හඬින් අවධාරණය කරන්නීය.

කර වටේ අත දමා හිනැහුණු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත් අත -
වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවි ද සෙනෙහසින්

පෙර ඇය වටා සමීපව සිටි අනෛක් කුඩා දරු-දැරියන් කඳවුරෙහි නොමැත. ඔවුන් දයා විරහිත යුද පිටියෙන් පළා ගොස් ඇත. තාත්තා හීනෙන් හෝ පැමිණ කඳවුරු දොරෙන් අත වනන තුරු, කිසිඳු පිළිසරණක් නොමැති දැරිය සෙනෙහසින් රකින්නේ කවුරුදැයි ප‍්‍රශ්නාර්ථයට නංවයි. සැබවින්ම ප‍්‍රශ්නය එයයි.

යුද්ධය නිසා මානව සබඳතා බිඳී විසිරී, මිනිස් ජීවිත අවතැන් වන අයුරු මෙමගින් ශෝචනීය ලෙස අනාවරණය කෙරේ. ඇති හැකි සියල්ලෝ යුද්ධයේ මායිමෙන් පළා ගොසිනි. අසරණයෝ කඳවුරේ ගාල් වෙති. මානව ලෝකය ගිලන් වී ඇති බවත්, තමන් රැකෙනු විනා අනුනට රැකවරණය සැලසිය නොහැකි බවත් රචකයා මෙහිදී අවධාරණය කරයි.

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬ ගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්

මානව පේ‍්‍රමය බිඳ වැටී, ගිලන් වූ ලෝකය තුළ යුද්ධය ආහාරය කොට අනුභව කරන විවිධ, සමාජ කොට්ඨාශයන් ඉනික්බිති ආගමනය වේ. යුද්ධයේ කී‍්‍රඩාවෙන් මඩි තර කර ගන්නා පාර්ශ්ව බොහෝ වෙත්. ප‍්‍රඥා හීන පීඩිතය රණ මඬලෙහි අතරමං කොට සම්පත් පැහැර ගන්නා ඔවුහු ආයුධ ද විකුණති! සාමය ද විකුණති!!

මෙහිදී ප‍්‍රථමයෙන් පැමිණෙනුයේ මෙහෙකාර සේවය සඳහා ළමුන් සොයා යන පිරිසයි. නිරතුරුව ධනේශ්වරයේ ඉඳුලින් යැපෙන ඔවුහු බොර දියේ මාළු බාන්නා සේ ව්‍යසනයන් අතර හිඳ ළමා ජීවිත සදාකාලික මෙහෙකාර සේවය සඳහා බිලි දෙති. දෙවනුව යුද්ධය පවත්වාගෙන යන්නන් පැමිණෙනුයේ ළමා සොල්දාදුවන් සේ ඔවුන් යුද්ධයට බඳවා ගෙන අල්ලා ගත් මායිම් සුරැකීම සඳහාය. මොවුනට ගොදුර පිණිස ඇය හැර දා යන්නේ කෙසේද ? එහෙත් ඇය කැටුව යාමටද නොහැක. සිය කුටුම්භයවත් රැකිය නොහැකි ගුරුවරියකට මේ කුඩා ජීවියාගේ බර දැරිය නොහැක. එසේම වර්ගවාදී සමාජයක, තම වර්ගයාට එරෙහිව අවිගත් වාර්ගික දැරියක කැටුව යාම තම ජීවිතයට තර්ජනයකි. මේ ඒ පිළිබඳව සීතිමටවත් අවස්ථාව නොවේ. සිය ජීවිතයද බේරාගෙන කුරිරු යුද්ධයේ මුව විටින් මිදී, ගම් බිම් බලා වහා පිය නැගිය යුතුය. අන් ජාතියක වුවද දැරිය කෙරෙහි ඇගේ මහත් ඇල්මක් පවතී. එබැවින් වරක් හෝ දැක හිත නිවා ගන්නට ‘දුවේ ඩිංගක් හිනැහියන්’ යනුවෙන් ආත්මික සහනය පිණිස සානුකම්පිත ඉල්ලීමක් කරන්නීය. එහෙත් යථාර්ථය ද එයම නොවේද ?

මෙම ගීතයෙහි පද පෙළ තුළින් ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ධී ශක්තිය සේම විචක්ෂණ සමාජ දැක්මද මැනවින් ප‍්‍රකට වේ. සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනය කටුක යුද වාතාවරණය සහෘද හදෙහි දෝංකාර නංවමින් ගීතයේ අරුත් පරිපාකයට නංවයි. යුද බියෙන් පෙළෙන ජනතාවගේ හදවතට ගීතයෙන් අමතන ගායන ශිල්පිනී දීපිකා පි‍්‍රය දර්ශනී යුද්ධයේ නිසරු, රුදුරු බව විදහා ලමින් යහපත් මානව සබඳතාවක මහිමය පසක් කරන්නීය! මානව පේ‍්‍රමය සිත් සතන් තුළ වපුරන්නීය !!

මහඟු නිර්මාණයක රුව ගුණ කෙසේ විය යුතු ද යන්න සනිදර්ශනව දක්වන මෙම කෘතිය සාර්වති‍්‍රක ගුණයෙන් පරිපූර්ණය.

 

2 comments.

2 thoughts on “සරෝජා මගෙ දෝණියේ

Posted by Aruni Shapiro on

ධනේශ්වර ලෝකයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ මිනිසුන් කැමැත්තෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කිරීමයි. යුද්ධයක් අවශ්‍ය සාධකයක් වෙන්නේ පිරිසකගේ ශ්‍රමය බලහත්කාරයෙන් වෙන අය සඳහා වැය කරන්නට යැයි නීත්‍යානුකූල වෙන විට දී පමණයි.

Reply

Posted by SUNIMAL on

චින්තනමය, බුද්ධිමය, ජානමය මෙන්ම ආයුධමය ආදී වශයෙන් අති සංවිධානාත්මකව සිදු කෙරෙන විවිධ සංග‍්‍රාමයන් සඳහා ඉසියුම් ලෙස ජන මාධ්‍යය ද ඉවහල් කොට ගැනේ. විශ්වයෙහි පවතින ජීවී, අජීවී සියලූ සම්පත් තමන් වෙත නතු කොට ගෙන අදිරද බලය තමන් වෙත පවරා ගැනීම යුද්ධයේ පූර්ව නිමිත්ත වේ. යුද්ධයෙන් ගොඩ නැ‍ගෙන අධිරාජ්‍යය නඩත්තු කිරීමට තව තවත් යුද්ධ කිරීමට සිදු වන බව දාර්ශනිකයෝ දැක් වූහ. ඉතිහාසය මෙන්ම නූතන ලෝකය විමසීමෙන් මේ බව මැනවින් ප‍්‍රත්‍යක්ෂ වේ.
Aruni, that article explains it very well. I think you have to learn more about the world and whats happening behind the scene.

Reply

Leave a Reply

Your email address will not be published.

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>